මිනිසුන් මීට ටික කලකට පෙර මැවූ විද්‍යා ප්‍රබන්ධ තවදුරටත් මිථ්‍යාවන් නොවනු ඇත. ඩිජිටල් ආධිපත්‍යයේ ග්‍රහණයට හසුවන ඒවා, එකින් එක යථාර්ථයන් වන ආකාරය දැන් අපට දැකගත හැක. මේ වන විට වර්තමාන ලෝකයේ පාලනය මානව බුද්ධියෙන් ඔබ්බට යමින් කෘත්‍රිම බුද්ධියට නතු වෙමින් පවතී. මීට දශක කීපයකට පෙර (1982) රූපවාහිනියෙන් අප දුටු Knight Rider කතා මාලාවෙහි තිබූ, කතා කළ විට ළඟට එන මෝටර් රථය - KITT වැනි, කියන දේට ප්‍රතිචාර දක්වන මෝටර් රථ, වර්තමාන වෙළඳපොළෙහි මිල දී ගත හැක. ඒ වගේම අනාගතයේ වේ යැයි අනුමාන කළ විවිධ ශල්‍යකර්ම ක්‍රම, කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence - AI) යොදා ගනිමින් ලෝකය තුළ සාර්ථක ප්‍රතිඵල අත්කර ගනිමින් සිටී.

අද වන විට, සෑම කර්මාන්තයකම පාහේ කෘත්‍රිම බුද්ධිය උපයෝගී කරගෙන බිහිවන නවෝත්පාදනයන් පවතින අතර, එය මානව වර්ගයාගේ අනාගතය පහසු කර ගැනීමට යොදා ගනිමින් ඇත. විශාල දත්ත, රොබෝ තාක්ෂණය, IoT උපාංග (සියලුම ස්මාර්ට් උපාංග මෙයට අයත් වේ.) ආදි නැගී එන තාක්ෂණයන්හි ප්‍රධාන ධාවකයා කෘත්‍රිම බුද්ධිය (AI) වේ. 2023 IBM මගින් සිදුකළ සමීක්ෂණයකට අනුව ව්‍යවසාය-පරිමාණ ව්‍යාපාරවලින් සියයට 42 ක් මේ වන විට ඔවුන්ගේ මෙහෙයුම්වලට AI ඒකාබද්ධ කරගෙන ඇත. සියයට 40 ක් පමණ ඔවුන්ගේ ආයතන සඳහා ඉදිරියේදී AI යොදා ගැනීම ගැන සාකච්ඡා කරයි.

මෑත කාලීනව ලොව පුරා තාක්ෂණිකව සිදුවන දැවැන්ත වෙනස්කම් සියල්ලෙහිම පසුපස කෘත්‍රිම බුද්ධිය පවතින අතර එය හඳුනා ගැනීමට ඔබ තාක්ෂණ ලෝකයේ වැඩකරුවෙකු වීමට අවශ්‍ය නැත. ඒ සඳහා ඕනවටත් වඩා සාක්ෂි ඔබ පරිහරණය කරන උපාංග අතර පවතී. මයික්‍රොසොෆ්ට්, ගූගල්, ෆේස්බුක් ඇතුළු ප්‍රධාන ධාරාවේ සියලුම ස්ථානයන්හි AI මගින් ක්‍රියාත්මක වන මෙවලම් දියත් කර ඇති අතර සෑම කුඩා තාක්ෂණ සමාගමක්ම වාගේ AI තාක්ෂණය අනුගමනය කරමින් සිටී. උදාහරණ ලෙස, වර්තමානයේ සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය කළමනාකරණය කිරීමේදී යොදාගන්නා ඇල්ගොරිතමයද (algorithm) කෘත්‍රිම බුද්ධියෙහි එක් ආකාරයකි. ඔබගේ දුරකථනයේ ඇති ස්වයංක්‍රීය ක්‍රියාවලීන් කෘත්‍රිම බුද්ධියේ ආකාරයකි. එසේම කියන වචන අකුරුවලට පෙරලීමේ මෘදුකාංග ආදි සියල්ල සඳහා AI හි ආකාරයන් භාවිත කරයි. මෙසේ බලන විට, අපගේ ජීවිතයේ සෑම අංශයකටම ප්‍රායෝගිකව බලපාන පරිවර්තන යෙදුම් රාශියක් AI සතුව පවතී. සෞඛ්‍ය ආරක්ෂණය ගත් කල, විශේෂයෙන්ම රෝග විනිශ්චය තුළ AI විප්ලවීය වෙනසක් සිදුකරමින් පවතී. එය පුද්ගලාරෝපිත ප්‍රතිකාර සක්‍රීය කරන අතර, සංකීර්ණ ශල්‍යකර්ම ක්‍රියා පටිපාටිවලදී සහාය දක්වයි. ප්‍රවාහන අංශය දෙස බැලූ විට, ස්වයංක්‍රීය වාහන සහ බුද්ධිමත් ගමනාගමන කළමනාකරණ පද්ධති මතුවෙමින් පවතින අතර ආරක්ෂිත සහ වඩා කාර්යක්ෂම ක්‍රම හඳුන්වා දෙමින් ඇත. මූල්‍ය ආර්ථික විද්‍යාවේදී, ඇල්ගොරිතම වෙළඳාම, වංචා හඳුනාගැනීම සහ ආර්ථික අනාවැකි ප්‍රතිනිර්මාණය කරමින් ගෝලීය වෙළඳපොලවල් තුළ තත්ත්වයන් වෙනස් කරමින් සිටී. එපමණක් නොව, AI විසින් ඉගෙනුම් අත්දැකීම් සහ බුද්ධිමත් ඉගැන්වීම් පද්ධති, පුද්ගල වර්ධනය පෝෂණය කිරීම සහ අධ්‍යාපනික ප්‍රතිඵල වැඩිදියුණු කිරීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විශාල පරිවර්තන සිදුකරමින් ඇත. කෙටියෙන්ම කිවහොත් AI කිසිසේත්ම අලුත් තාක්ෂණයක් නොවන අතර එය වර්තමානයේ සමාජගත වන ආකාරයේ ඇති ආකර්ෂණීයත්වයත්, යොදාගන්නා අධි සංවේදී ආකාරයත් සමග එයට විශේෂිත වූ ස්ථානයක් හිමි කර දී ඇත.

ඒ අනුව සමස්ත ලෝකයම AI හි ප්‍රතිවිපාක ග්‍රහණය කර ගනිමින්, නොසිතූ විරූ වේගයකින් මානව වර්ගයාගේ දෛනික ජීවිතයට අඛණ්ඩව බලපෑම් එල්ල කරමින් විකාශනය වෙමින් පවතී. කාර්මික ස්වයංක්‍රීයකරණය, වෛද්‍ය හෝ වෙනත් විද්‍යාත්මක පර්යේෂණ, නිර්මාණාත්මක් කර්මාන්ත ක්ෂේත්‍රය වේවා.... AI මේ වන විට තාක්ෂණික සංවර්ධනයේ කඩඉමක සිටින අතර, එමගින් මානව වර්ගයාගේ අනාගතයට ගැඹුරින් හා අසමසම ලෙස බලපෑම් කිරීමට හැකි ලෙස එහි ආධිපත්‍යය පතුරවමින් ඇත.

AI යනු කුමක්ද?

මානව ඉගෙනීම, අවබෝධය, ගැටලු විසඳීම, තීරණ ගැනීම, නිර්මාණශීලීත්වය සහ ස්වයං පාලනය (autonomy) ආදිය පරිගණක සහ යන්ත්‍රවලට අනුකරණය කිරීමට හැකි තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම්ලෙ Artificial intelligence (AI)  සරලව පැහැදිලි කළ හැක.

නමුත් AI යන්න ‘මෙන්න මේ’ යැයි පැහැදිලිව, ස්ථිරව ‘නිර්වචනය’ කිරීම අපහසු වූවකි. එම තාක්ෂණය පිළිබඳව නිපුණ දැනුමැති වූ සිය දෙනෙකුගෙන් ඒ පිළිබඳව විමසුවහොත්, ඔබට අර්ථකථන සියයක් ලැබෙනු ඇත. කොටින්ම කිවහොත් AI නිර්වචනය කරන ලෙස  AI උපාංගය  සහිත දත්ත කට්ටලයකින් ඉල්ලුවහොත් ඔබට විමසන වාරයක් පාසා වෙනස් වූ අළුත් පිළිතුරක් ලැබෙනු ඇත.

AI සහිත යෙදුම් (APP) සහ උපාංගවලට (devices) වලට වස්තු දැකීමට හා හඳුනාගැනීමට හැකිය. ඔවුන්ට මිනිස් භාෂාව තේරුම් ගැනීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්විය හැකිය. ඔවුන්ට නව තොරතුරු සහ අත්දැකීම් ඇසුරෙන් යමක් ඉගෙන ගත හැකිය. AI පරීශීලකයින්ට සහ විශේෂඥයින්ට සවිස්තරාත්මක නිර්දේශ ඉදිරිපත් කළ හැකිය. ඔවුන්ට ස්වාධීනව ක්‍රියා කළ හැකි අතර, මානව බුද්ධිය හෝ මැදිහත්වීමේ අවශ්‍යතා සඳහා ආදේශ විය හැකිය. (මීට හොඳම උදාහරණය ස්වයං රිය පැදවීමේ තාක්ෂණයයි)

කෘත්‍රිම බුද්ධිය වටා ඇති අධිබලතාවය හමුවේ, එයින් අදහස් කරන්නේ කුමක්දැයි තේරුම් ගැනීම පවා ඇතැම් විට ගැටලුකාරී වූවකි. වර්තමානයේ සර්වරෝග හරණය කරන, කෝකටත් තෛලයක් ලෙස AI යොදා ගැනීමට මිනිසුන් උත්සාහ කරමින් සිටියද එය එසේ නොවන බව බොහෝ දෙනා නොදනිති. AIතාක්ෂණය යොදා ගැනීමේදී එය සියයට සියයක්ම නිවැරදි වීමට නම් එහි ක්‍රියාවන්ට මග පෙන්වන ඇල්ගොරිත්මික (Algorithmic) බව සහ එහි ඇති යාන්ත්‍රණ ශිල්පීය තාක්ෂණය (Machine learning techniques) හොඳින් දැන සිටීම වැදගත් වේ. මන්ද යත්, කෘත්‍රිම බුද්ධියට විශේෂිත කාර්යයක් ඉතාමත් දක්ෂ ලෙස කළ හැකි වුවත්, එය සිදුකිරීමට විශාල දත්ත ප්‍රමාණයක් ලබා දීමට සහ එය නැවත නැවත පුනරාවර්ථනය (repetition) කිරීම අත්‍යවශ්‍ය වේ. එය හුදෙක් විශාල දත්ත ප්‍රමාණයක් විශ්ලේෂණය කිරීමෙන්, රටා හඳුනාගැනීමෙන් පසු එම දත්ත මත පදනම්ව තීරණ ගැනීමට ක්‍රියාත්මක වන තාක්ෂණයකි. යම් කාර්යයක් දිගටම කරගෙන යාමේදී එහි ක්‍රියාකාරිත්වය අඛණ්ඩව වැඩි දියුණු කර ගැනීම මෙහි විශේෂිත වූ ලක්ෂණයකි.

AI ඉතිහාසය

අතීතයේදී නව නිපැයුම්කරුවන් ‘ස්වයංක්‍රීය යන්ත්‍ර’ ලෙස හැඳින්වෙන උපාංග නිමවූ අතර ඒවා යාන්ත්‍රික සහ මිනිස් මැදිහත් වීමෙන් ස්වාධීනව වැඩ කටයුතුවල නිරත කෙරුණි. Automatons (ස්වයංක්‍රීය) යන වචනය පුරාණ ග්‍රීක භාෂාවෙන් පැමිණ ඇති අතර එහි තේරුම ලෙස ඔවුන් දක්වන්නේ ‘තමන්ගේ කැමැත්ත අනුව ක්‍රියා කිරීම’යි. (acting of one’s own will.)  යන්ත්‍රයකට තනිවම ක්‍රියා කිරීමට හැකි වීම පිළිබඳ අදහස පැරණි වුවද, ඉංජිනේරුවන් සහ විද්‍යාඥයින් නවීන AI ප්‍රගතිය ලබා ගැනීමේ උත්සාහයයන් 20 වන සියවසේදී ආරම්භ කර ඇත.

AI අතීතය හාරා බැලීමේදී පෙනී යන්නේ, මෙය මෑත කාලීන වර්ධනයක් ලෙස අපට හැඟුනත් 1900 ගණන්වල මුල් භාගයේදී ඒ සඳහා පදනම ආරම්භ වී ඇති බවයි. එහිදී කෘත්‍රිම මිනිසුන් තැනීමේ අදහස බොහෝ දෙනෙකුගේ කුතුහලය වඩවන්නක් වූ අතර ඒ වටා කේන්ද්‍රගත වූ කතා රාශියක් එළියට පැමිණුනි. මෙම තාක්ෂණික උන්මාදය කෙතරම් තදින් ලොව පුරා පැතිර ගියේද යත්, සියලුම තරාතිරම්වල විද්‍යාඥයින් ඒ පිළිබඳව උනන්දු වෙමින් නැගූ ප්‍රධාන ප්‍රශ්නය වූයේ, “කෘත්‍රිම මොලයක් නිර්මාණය කළ හැකිද?” යන්නයි.
විiාඥයින් තුළ ‘කෘත්‍රිම මොළය’ පිළිබඳ උනන්දුව එසේ වර්ධනය වෙද්දී ලොව දස දෙස ජීවත් වූ නිර්මාණාත්මක මිනිසුන් තම කෘති තුළින් කෘත්‍රිම මිනිසුන් මවන්නට පටන් ගති. 1921 දී Czech–චෙක් නාට්‍යය නිර්මාණකරුවකු විසින් විද්‍යා ප්‍රබන්ධ නාට්‍යයක් නිෂ්පාදනය කරන ලද අතර එහි නම ‘Rossum’s Universal Robots’ විය. එයින්, කෘත්‍රිම මිනිසුන් සඳහා ‘රොබෝ’ යන නම ඔහු ලොවට හඳුන්වා දී තිබුණි. 1929 දී ජපන් මහාචාර්යවරයකු වූ Makoto Nishimura විසින් පළමු රොබෝව නිර්මාණය කළ අතර වාෂ්ප බලයෙන් ක්‍රියා කළ මෙම රොබෝව Gakutensoku ලෙස හඳුන්වා තිබුණි. 1949 දී පරිගණක විද්‍යාඥ Edmund Callis Berkley විසින් Giant Brains, or Machines that Think පොත ප්‍රකාශයට පත් කරන ලද අතර එහි නව පරිගණක ආකෘති මිනිස් මොළයට සංසන්දනය කර තිබුණි.

කෘත්‍රිම බුද්ධිය පිළිබඳ අදහස් මෙසේ ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට පැමිණි අතර 1950-56 වකවානුව වන විට තාක්ෂණික වශයෙන් එහි යම් ප්‍රගතියක් අත්පත් කරගනු ලැබුණි. එම කාලයේදී Alan Turing විසින් Computer Machinery and Intelligence නමැති පොත ප්‍රකාශයට පත් කරන ලද අතර පසුව එය The Turing Test ලෙස විශේෂඥයින් විසින් පරිගණක බුද්ධිය මැනීමට භාවිත කරන ලදී. ඒ සමගම Artificial intelligence යන වචනයද මිනිස් පරිශීලනයට පැමිණුනි.

ඉන්පසු, මිනිස් මොළයකින් පරිබාහිරව ගැටලු විසඳීම සහ සංකේතාත්මක ක්‍රම භාවිතය වැනි මුල්ම AI සම්බන්ධ මාතෘකා පිළිබඳව ගවේෂණ ආරම්භ වී ඇත.
එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙවැනි වැඩ සඳහා උනන්දුවෙන් කටයුතු කර ඇති අතර මූලික මානව තාර්කික හැසිරීම් රටාවන් අනුකරණය කිරීම සඳහා 1960 ගණන්වලදී ඔවුන් පරිගණක පුහුණු කිරීම් ආරම්භ කර ඇත. උදාහරණයක් ලෙස එක්සත් ජනපදයේ Defense Advanced Research Projects Agency (DARPA) විසින් 1970 ගණන්වලදී වීදි සිතියම්කරණ ව්‍යාපෘතියක් (street mapping projects) සම්පූර්ණ කර ඇත. එසේම වර්තමානයේ ජනප්‍රිය Siri, Alexa, හෝ Cortana වැනි පරිශීලක නොතිබුණු 2003 වසරේදී DARPA විසින් intelligent personal assistants වැනි මෘදුකාංග පද්ධති ක්‍රියාත්මක කොට ඇත. (Siri 2011 ද Alexa සහ Cortana 2014 ද භාවිතයට පැමිණ ඇත.)
කෘත්‍රිම බුද්ධියෙහි මුල් කාර්යයන් අතර අද අපි පරිගණකය තුළ දකින Decision Support Systems (DSS),  Smart search systems ආදියට මග පෑදීය. කෙටියෙන්ම කිවහොත්, පරිගණකය යනු, මුල්ම කාලයේ නිකුත් වූ ‘කෘත්‍රිම බුද්ධිය’ යොදාගත් අවස්ථාවක් ලෙස දැක්විය හැක.

1980 වෙන් පසු කාලය AI boom ලෙස හැඳින්වෙන අතර එය AI තාක්ෂණය සීඝ්‍රයෙන් වර්ධනය වූ කාල වකවානුව විය. 2012 න් පසු කාලය AI හි පරිණාමීය කාලය ලෙස දැක්විය හැකි අතර වර්තමානයේදී දක්නට ලැබෙන virtual සහායකයින්, සෙවුම් යන්ත්‍ර වැනි පොදු භාවිතයන් වැඩි වැඩියෙන් එළි දැක්වූ අවධිය එය විය.

2016 දී Hanson Robotics විසින් පළමු මානවරූපී රොබෝව නිර්මාණය කරන ලද අතර මිනිස් පෙනුම ඇතිව හැඟීම් දැකීමට සහ ප්‍රතිනිර්මාණය කිරීමට මෙන්ම සන්නිවේදනය කිරීමට ඇති හැකියාව සහිතව නිර්මාණය වූ ලොව පළමු ‘රොබෝ පුරවැසියා’ ලෙස මෙය හඳුන්වා තිබුණි. කාන්තාවක් වූ ඇය Sophia යන නම ලැබූහ. සොෆියා මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පළමු රොබෝ නවෝත්පාදන තානාපතිනිය ලෙස කටයුතු කරමින් සිටී. එසේම, AI ආචාරධර්ම සහ රොබෝ විද්‍යාවේ අනාගතය පිළිබඳ පොදු සාකච්ඡා ප්‍රවර්ධනයේදීද ඇයට ප්‍රධාන තැනක් හිමි වේ. මේ වන විට කතා කිරීමට, ගායනා කිරීමට, ක්‍රීඩා කිරීමට සහ විහිළු කීමට හැකියාව ඇති Little Sophia නම් සහෝදරියක්ද සොෆියාට සිටී.

AI භීතිකාව සැබෑවක්ද?

AI ප්‍රවේශයේ වේගවත් බවත් සමග එය ප්‍රවේශමෙන් භාවිත කළ යුතු බවට වූ සදාචාරාත්මක සහ සාමාජීය ඇඟවුම් සෑම විටෙකම අසන්නට ලැබේ. තාක්ෂණයේ දියුණුව මනුෂ්‍ය සංහතියේ යහපතට යොදාගන්නා තාක් කල් එයින් අවැඩක් සිදු නොවෙතත් එම දැණුම අයහපතට යොදාගතහොත් අදහාගත නොහැකි තරම් විනාශයක් ලොවට සිදුවිය හැකි බව අප කවුරුත් දන්නා දෙයකි.

තාක්ෂණයේ මේ විපත්තිදායක පෙර නිමිත්ත දුටු Tesla නිර්මාතෘ Elon Musk, මහාචාර්ය Stephen Hawking, Apple සම නිර්මාතෘ Steve Wozniak වැනි විශිෂ්ට
පර්යේෂකයින් සහ තවත් විශේෂඥයින් 1000 ක් පමණ 2015 දී තීරණාත්මක ලියවිල්ලකට අත්සන් කිරීමට තීරණය කළහ. ආර්ජන්ටිනාවේ Buenos Aires හි පැවති කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාත්‍යන්තර ඒකාබද්ධ සම්මන්ත්‍රණයකදී ඉදිරිපත් කළ මෙම ලිපිය world’s government systems වෙත යොමුකරන ලද්දකි. ‘මිලිටරි කෘත්‍රිම බුද්ධි අවි තරගයක්’ ගැන අනතුරු අඟවමින් ‘ප්‍රහාරක ස්වයංක්‍රීය අවි’ තහනම් කරන ලෙස සඳහන් වූ එම ලිපියෙහි AI තාක්ෂණයෙන් බල ගැන්වෙන ස්වයංක්‍රීය ආයුධ හඳුන්වා ඇත්තේ වෙඩි බෙහෙත් සහ න්‍යෂ්ටික අවිවලින් පසුව යුද්ධ සඳහා යොදාගත හැකි තුන්වන විප්ලවීය කාරකය ලෙසයි. ඒ නිසා යුද්ධයේ අරමුණු සඳහා AI යොදාගනිමින් ස්වයංක්‍රීය ආයුධ සංවර්ධනය කිරීම හෝ ඒවා අනාගතයේ කිසිදු දිනක භාවිත කිරීම තහනම් විය යුතු බව එහි සඳහන් විය.

එසේම පහුගිය කාලයෙහි නොයෙක් අවස්ථාවල කෘත්‍රිම බුද්ධිය විසින් මිනිස් බුද්ධිය අභිබවූ අවස්ථා අපට අසන්නට දකින්නට ලැබුණි. මෙසේ මෑත කාලීන AI වර්ධනයන් සහ ජයග්‍රහණයන් වෙන කවරදාටත් වඩා මානව බුද්ධියට සමීපව සම්බන්ධව සිටියත් සෑම අංශයකින් AI නව බුද්ධිය අභිබව ගොස් ඇතැයි පැවසීමටත් අපි ඉක්මන් නොවෙමු. AI යනු මූලික පරිගණක ක්‍රමලේඛනයට ඉහළින් ඇති එක් මට්ටමක් පමණි. මානවයා ඊට ඉතා ඉහළ මට්ටමක සිටී. පුනරාවර්තන දත්ත මත පදනම් වූ කාර්යයන් හැසිරවීමට සහ දත්ත මත පදනම් වූ තීරණ ගැනීමට AI වඩාත් සුදුසු වුවත් නිර්මාණශීලීත්වය, විවේචනාත්මක චින්තනය, සංකීර්ණ ගැටලු විසඳීම වැනි මානව කුසලතා තවමත් AI විසින් අනුකරණය කළ යුතුව පවතී.

මිනිස් බුද්ධියට සමාන මට්ටමේ කෘත්‍රිම

බුද්ධිය Artificial General Intelligence (AGI) ලෙස හඳුන්වන අතර ඒ පිළිබඳ විවිධ පර්යේෂණ මේ වන විට දියත් කෙරෙමින් පවතී. ඇතැම් අය පවසන්නේ, දැනටමත් මානව මට්ටමේ බුද්ධිමත් කෘත්‍රිම මොළ (AGI) නිර්මාණය කර ඇතත් සදාචාරාත්මක හේතු මත ඒවා නිරාවරණය නොකරන බවයි. AGI මට්ටමට කෘත්‍රිම බුද්ධිය ගෙන ඒම මානව සංහතියට කරන අපරාධයක් ලෙසට වූ මත වාද මේ වන විට ලොව තුළ මතු වෙමින් පවතී. මිනිසා විසින්ම දියුණු කරන ලද AI තාක්ෂණය පිළිබඳව ලොව පුරා බොහෝ විශේෂඥයින් බිය පළ කරමින් සිටින අතර බ්‍රිතාන්‍ය -කැනේඩියානු පරිගණක විද්‍යාඥයකු සහ මනෝවිද්‍යාඥයකු වන මහාචාර්ය Geoffrey Hinton පවසන්නේ, “අපි මිනිසුන්ට වඩා බුද්ධිමත් ලෙස AI තාක්ෂණය සංවර්ධනය කිරීමට යනවා. එය මිනිසාට පහළ වූ ඉතා බියකරු සිතුවිල්ලක්” බවයි.

කෙසේ වෙතත්, AI මිනිස් ජීවිතවලට සෑම තරාතිරමකින්ම පරිවර්තනීය වෙනසක් සිදුකළ හැකි තාක්ෂණයක් බව අප තේරුම් ගත යුතුව ඇත. පුළුල් පරාසයක් සහිත මෙම මෙවලම, බොහෝ කර්මාන්ත ධනාත්මක ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කළද AI ප්‍රවර්ධනයේදී සැලකිලිමත් වීමට ඇති අවදානම් රාශියක් පවතී.
කෘත්‍රිම බුද්ධිය මානව ශ්‍රමයට බලපාන ආකාරය මින් පළමුවැන්න වෙයි. මේ පිළිබඳව කර ඇති පුරෝකථනයන්ට අනුව 2023 සහ 2028 අතර ප්‍රධාන මට්ටමේ රැකියා කුසලතාවලින් සියයට 44 ක් පමණ කඩා වැටිය හැකි බව සඳහන් වේ. මෙය සියලුම රැකියා ක්ෂේත්‍ර සඳහා බල නොපෑවත් ඉංජිනේරු වැනි නිර්මාණාත්මක රැකියාවලට මෙයින් වැඩි තර්ජන තිබිය හැකි බව සමාජ විද්‍යාඥයෝ පවසති. පොදුවේ ගත් කල බොහෝ කර්මාන්ත ක්ෂේත්‍ර, බුද්ධිමත් යන්ත්‍ර සූත්‍ර සමග රැකියාවන් ස්වයංක්‍රීය කිරීමට කටයුතු කරමින් සිටින නිසා මිනිස් ශ්‍රම බලකාය ඉවතට තල්ලු වී යනු ඇතැයි යන කණස්සල්ල බොහෝ දෙනෙකු තුළ පවතී.

මෙහි ඇති තවත් අවදානමක් වන්නේ, AI වෙත ඇල්ගොරිතම ආකෘති පුහුණු කරන පුද්ගලයින්ගේ පක්ෂග්‍රාහීත්වයයි. මේ වන විට එම හේතුව නිසා AI හි පැවතිය යුතු සමතුලිත කීර්තිය කිහිපවරක්ම කිලිටි වී ඇත. නිදසුනක් ලෙස, මුහුණ හඳුනා ගැනීමේ තාක්ෂණය සුදු සමට (lighter-skinned) වඩාත් අනුකූලතාවක් දක්වන අතර අඳුරු වර්ණ ඇති පුද්ගලයන්ට වෙනස්කම් කරයි. පර්යේෂකයින් මෙම පක්ෂග්‍රාහීත්වය මුල් අවස්ථාවේදීම මුලිනුපුටා නොදැමුවහොත් AI මෙවලම් දිගටම එම පක්ෂග්‍රාහීත්වයේ පවතිනු ඇත. එසේම AI මගින් හුවමාරු වන දත්ත රහස්‍යතාවද බොහෝ විට සියයට සියයක්ම ආරක්ෂා වෙතැයි සිතිය නොහැකි අතර සමාගම්වලට පොදු දත්ත එකතු කිරීම සඳහා මෙවලම් හරහා AI යොදාගත හැක. 2024 සිදු කළ Cisco සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ, ව්‍යාපාරවලින් සියයට 48 ක් පොදු නොවන සමාගම් තොරතුරු AI මෙවලම්වලට ඇතුළත් කර ඇති අතර සියයට 69 ක් මෙම මෙවලම් ඔවුන්ගේ බුද්ධිමය දේපළවලට සහ නීතිමය අයිතිවාසිකම්වලට හානි කළ හැකි බවට කණස්සල්ලට පත්ව ඇති බවයි. මෙහිදී එක් කඩ කිරීමකින් මිලියන සංඛ්‍යාත පාරිභෝගිකයින්ගේ තොරතුරු හෙළිදරව් කළ හැකිවනු ඇත.

කෙසේ වෙතත් අනාගතයේ නිපදවෙන කෘත්‍රිම වූ සුපිරි බුද්ධිය, අපගේ වටිනාකම් සහ අවශ්‍යතා සියල්ල ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යතැයි උපකල්පනය කිරීමට නොහැක. ජීව විද්‍යාත්මක නොවන මෙම අලුත් පරම්පරාවට විශ්වයේ ගැඹුරුම ප්‍රහේළිකා විසඳිය හැකි වුවත්, අභ්‍යන්තර ආත්මීය අත්දැකීම් හෝ බැඳීම් නොමැති නිසා ඒ කිසිවකින් සිදුවන හොඳ නරක ගැන ඔවුන් පුදුම නොවනු ඇත. වග නොවනු ඇත. AI අපගේ ලෝකයේ රැඳී සිටීමේදී AI සඳහාම වන ජෛව ආචාර ධර්ම පද්ධතියක් බලාත්මක කිරීමට එහි නිරත වන්නන් උත්සාහ කළ යුතුය. මේ පිළිබඳව අදහස් පළ කළ AI හි පුරෝගාමියෙකු වන ජර්මන්-ඇමරිකානු පරිගණක විද්‍යාඥයෙකු හා MIT විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන Joseph Weizenbaum මෙසේ පවසා ඇත. “AI යන්ත්‍රයක් ලෙස, සදාචාරාත්මකව වටහා ගැනීමට සහ විනිශ්චය කිරීමට අවශ්‍ය වන අනුකම්පාව, ප්‍රඥාව වැනි මානව ගුණාංගයන් සතු නොවන්නක් නිසා, කිසිවිටෙකත් එයට වැදගත් තීරණ ගැනීමට ඉඩ නොතැබිය යුතුයි”

  • චමරි අබේසිංහ

Share this Post