ගුවන් යානා නියමු කුටිය තුළ මත්පැන් පානය කොට සිටීම සම්බන්ධයෙන් කැනේඩියානු ගුවන් නියමුවන් දෙදෙනෙකු පසුගියදා  (18 සඳුදා) ස්කොට්ලන්තයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඔන්ටේරියානු වැසියන් වන මොවුන් Jean-Francois Perreault (39) හා Imran Zafar Syed (39) ලෙස හඳුනාගෙන ඇති අතර ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හිදී මොවුන් අත්අඩංගුවට පත් විය.

මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කර ඇති කැනේඩියානු ගුවන් සේවා විශේෂඥවරයකු වන Phyl Durdey පවසා ඇත්තේ, ගුවන් නියමුවන් දෙදෙනෙකු තම රාජකාරි අවස්ථාවේදී මේ ආකාරයෙන් මත්පැන් ගෙන සිටි බව ඇසීමට ලැබීමෙන් තමා දැඩි විශ්මයට පත්වූ බවයි. මෙය කලාතුරකින් අසන්නට ලැබෙන ඉතාමත් කණගාටුදායක තත්ත්වයක් බව ඔහුගේ පවසයි.

‘ගුවන් නියමුවකු කියන්නෙ දැඩි වගකීමක් සහිත වෘත්තිකයන් පිරිසක්. ගුවන් නියමු නීති සංග්‍රහය තුළ ඇති එක් නීතියක් හෝ ඔවුන්ගෙන් කඩ වුවහොත් එයින් ලැබිය හැකි ප්‍රතිවිපාක ඉතාමත් බරපතල විය හැකියි. මෙහිදී මේ නියමුවන් දෙදෙනාගේ තත්ත්වයන් කුමක්ද කියා හෝ ඔවුන් විසින් නිදහසට කරුණු ලෙස දක්වන්නේ මොනවද කියා මා දන්නේ නෑ. ඒත් නීතිය හා රෙගුලාසි ඉතාමත් පැහැදිලියි’ CTV පුවත් වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ ඩර්ඩි පවසා තිබුණි.

ගුවන් නියමුවන්ගේ මත්පැන් පානය හා මත්පැන් පානයෙන් පසු කොපමණ කාලයකින් නැවත රාජකාරිවල නියැළිය හැකිද යන කරුණු සම්බන්ධයෙන් එක් එක් රටවල ගුවන් සේවාවලට අනන්‍ය වූ නීති පද්ධති පවතී. කැනේඩියානු ගුවන් සේවා රෙගුලාසිවලට අනුව ‘ගුවන් නියමුවකුට නියමු කුටිය තුළ මෙහෙයුම් කටයුතු කළ හැක්කේ පැය 8 කට පෙර මත්පැන් ගෙන තිබේ නම් හෝ එසේ ගෙන ඇති මත්පැන්වලින් ඔහු වෙත රාජකාරි අරඹන අවස්ථාව වන විට කිසිදු බලපෑමක් ඇති නොවන්නේ නම් පමණි’. තවද ගුවන් නියමු රාජකාරියේ යෙදෙන අතර කිසිදු මත්වන ද්‍රව්‍යයක් ගැනීමට අවසරයක් නොමැත.

මෙම නීතිය සියලුම ගුවන් යානා වර්ග සඳහා (ගුවන් බැලුන හා හෙලිකොප්ටර් යානා) වලංගු වන්නක් වන අතර ඇතැම් වාණිජ ගුවන් යානා ආයතන විසින් මෙම නීතිය තවත් දීර්ඝ කොට මත්පැන් පානය කර තිබිය හැකි කාලය පැය 12 කට හෝ 14 කට පෙර විය යුතු යැයි දක්වා ඇත.

යම් හෙයකින් කැනේඩියානු ගුවන් නියමුවන් දෙදෙනා ඉහත මත්පැන් චෝදනාවට වැරදි කරුවන් වුවහොත් ඔවුන්ට දැඩි ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවිය හැකි බව පැවසෙන අතර බොහෝ විට ඔවුන්ගේ ගුවන් යානා පැදවීමේ බලපත්‍ර අහිමි වීමෙන් රැකියාවලින් නෙරපා දැමිය හැකි බව පැවසේ.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!