[vc_row][vc_column][vc_column_text]

මෙතෙක් ඔබ වෙත ගෙන ආ  සුපුරුදු ලිපි රටාවෙන් මඳක් බැහැරට ගොස් නිවසක් මිල දී ගෙන පදිංචිය ඇරඹීමෙන් පසු බොහෝ දෙනෙක් මුහුණ පාන ගැටලුවක් පිළිබඳව සාකච්ඡා කරමු. මෙය තමන්ගේම නිවසක පදිංචිව සිටින්නන් මෙන්ම අනාගතයේ නිවෙස් මිල දී ගෙන පදිංචියට යන්නට බලාපොරොත්තු වන්නන් විසින්ද අනිවාර්යයෙන්ම දැන සිටිය යුත්තකි.

කැනඩාවට පැමිණ තට්ටු නිවාසයක හෝ බේස්මන්ට් නිවාසයක ජීවිතය ඇරඹූ ඔබ දැන් ඔබේම නිවසක සාඩම්බර හිමිකරුවකු වී ඇතිවාට සැකයක් නැත. නොරටකට පැමිණ ජීවිතය ජය ගැනීමට තැබූ මූලික පියවර කීපය අතර ඔබේම කියා නිවසක් මිල දී ගැනීමද එකකි. කුලියට සිටි කාලයේ මෙන් නොව, තමන්ටම කියා නිවසක් මිල දී ගැනීමෙන් පසු එය සිතට නොමඳ සැනසිල්ලක් ගෙන දෙන්නක් බව එම අත්දැකීමට මුහුණ දුන් බොහෝදෙනෙකුගේ අදහස වේ. කැනඩාවට පැමිණි දා සිට දැනුණු ආගන්තුක බවෙන් මඳක් මිදී මේ රටේ අපේම කියා බිම් කඩක් ඇත යන හැඟීම තුළින් බලවත් මානසික තෘප්තියක් ලැබීම එයට හේතුව වේ. එහෙත් ඔබේ නිවාස සිහිනය යථාර්ථයක් බවට පත්කරගෙන සාමාකාමීව හා සැනසිල්ලෙන් ජීවත් වීමට නම් ඒ සඳහා සුදුසු යහපත් වටාපිටාවක් හා මානසික තත්ත්වයක් ඔබ වෙත තිබීම අනිවාර්යය වෙයි. ඇතැම් විට නිවසක් මිල දී ගැනීමෙන් පසු ඒ පිළිබඳව පසුතැවිලි වෙමින් කණස්සල්ලෙන් ගත කරන පිරිස්ද මේ අතර සිටින අතර බොහෝ විට ඔවුන් එම තත්ත්වයට මුහුණ පා ඇත්තේ තෝරා ගත් නිවසෙහි යම් නොගැලපීමක් හෝ වටිනාකම පිළිබඳ ගැටලූවකදී විය හැකියි.

දොරින් දොර වෙළෙන්දෝ hhtty

එහෙත් මීට හාත්පසින්ම වෙනස් ආකාරයේ ගැටලූවක් නිසා නිවසක් මිල දී ගැනීමෙන් පසු මානසික පීඩාවට පත්වන පිරිසක්ද මෙරට තුළ වෙසෙති. එහිදී එම ගැටලූකාරී වාතාවරණය නිර්මාණය කිරීමට දායක වන මූලිකයන් ලෙස දොරින් දොර ගොස් භාණ්ඩ හා සේවා අලෙවි කරන්නන් (door-to-door salespeople) හඳුන්වා දිය හැකියි. මේ ආකාරයේ කූට වෙළඳුන්ගේ ඉච්ඡා බස්වලට කන් නොදුන් අයෙකු අපගේ පාඨකයන් අතර ඇතැයි අපි නොසිතමු.

කැනේඩියානුවන්ගෙන් 2/3 කට වැඩි පිරිසක් මෙම දොරින් දොර වෙළඳුන්ගේ ආක්‍රමණයන්ට ගොදුරු වීම තුළින්ම මෙය කැනඩාව තුළ කෙතරම් දුරට පැතිර ඇති ව්‍යාපාරයක්ද යන්න අපට සිතා ගත හැකියි. කැනේඩියානුවන් 1000 ක් ගතහොත් එයින් භාගයකට වැඩි පිරිසක් මේ ආක්‍රමණයට ලක් වී ඇති බව පසුගිය වසරේ සිදුකළ සමීක්ෂණයකින්ද හෙළි වී ඇත. මෙහිදී මෙම වෙළඳුන් විසින් පාරිභෝගිකයින් අල්ලා ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරන අතර බොහෝ විට එහිදී පාරිභෝගිකයා දැඩි මානසික පීඩනයකට ලක් කිරීම සිදුකරනු ලබයි. මෙලෙස දොරින් දොර එන වෙළෙන්දාගේ තොරතෝංචියක් නැති දේශනය අවසානයේදී බොහෝ දෙනෙකු ඔහුට වසඟ වී ඔහු කියන්නක් කිරීමට තරම් අසරණ වී සිටිති. මේ වන විට ඔන්ටේරියෝව ඇතුළු සමස්ත කැනඩාවේම පොලීසි වෙත මෙවැනි සිද්ධීන් පිළිබඳව දිනපතා වාර්තා වෙමින් පවතී. Small claims court තුළද මෙවැනි නඩුවක් විභාග නොවන දවසක් නැති තරම්ය.

දොරින් දොර සේවා

දොරින් දොර පැමිණෙන වෙළඳුන් විසින් ඔබ වෙත ලබා දීමට පොරොන්දු වන භාණ්ඩ හා සේවාවන් අතරින් කීපයක් මෙසේ දැක්විය හැකියි.

  • ජල තාපක යන්ත්‍ර (water heater) හා සවිකිරීමේ සේවා
  • ගෘහස්ත තාප යන්ත්‍ර (home heating – furnace. fireplace ) හා සවිකිරීමේ සේවා
  • ජල පිරිපහදු යන්ත්‍ර (water filter) හා සවිකිරීමේ සේවා
  • හිම ඉවත් කිරීමේ යන්ත්‍ර (snow removal) සේවා
  • තණකොළ සහිත ගෙවත්ත සඳහා උචිත යන්ත්‍ර හා ගෙවත්ත රැක බලා ගැනීමේ සේවා – Lawn care
  • දේපළ වෙළඳාම් සේවා – Real estate
  • Carbon offsets වැඩසටහන්
  • දුරකතන සේවා, සැටලයිට් ටෙලිවිෂන්, හදිසි සංඥා පද්ධති (alarm systems)

ගනුදෙනු කිරීමට පෙර

මෙවැනි දොරින් දොර පැමිණෙන වෙළඳුන් හා ගනුදෙනු කිරීමට පෙර ඔබ ඔවුන් පිළිබඳ ස්වයං පරීක්ෂාවක් සිදුකළ යුතු වෙයි. එහෙත් දොරින් දොර යන්නන් මේ සියලු පරීක්ෂාවන්ගෙන් මිදී යා හැකි අන්දමේ සූක්ෂ්ම උපක්‍රම භාවිත කිරීමේ උපන් හපන්නු වෙති. ඒ නිසා තමාගේ ආරක්ෂාව තමා වෙත යන්න සෑම විටම සිහි තබාගෙන දොර ඇරීම සුදුසු වන අතර විශේෂයෙන්ම නිවසේ තනිව සිටින (කාන්තාවක, පිරිමියෙකු, දරුවකු ආදි ඕනෑම අයෙකු පමණක් සිටින) කිසිදු අවස්ථාවක මේ ආකාරයේ වෙළඳුන් සඳහා දොර නෑරීමට මතක තබාගත යුතුයි. කිසියම් ලෙසකින් මෙබඳු පුද්ගලයින් හට දොර විවර කළේ නම් ඔබ දැනසිටිය යුතු විශේෂිත කරුණු මෙසේයි.

  • දොරකඩට පැමිණි එම පුද්ගලයාගේ සහ ඔහුගේ ව්‍යාපාරයේ අනන්‍යතාව තහවුරු කරගත හැකි අන්දමේ හැඳුනුම්පත් ඉල්ලා සිටින්න.
  • අලෙවිකරුවාගේ ආයතනයේ නම, ව්‍යාපාර කාඩ් පතෙහි සඳහන් විස්තර සහ ඔහු ඉදිරිපත් කරන භාණ්ඩවල වර්ගය පිළිබඳව හොඳින් විපරම් කර ඒවා ඔහුගේ ආයතන නම සහ ඔහුගේ යෝජිත ගිවිසුම් හා සැසෙඳන්නේදැයි හොඳින් සොයා බලන්න.
  • ඔබගේ නිවසට මෙතෙක් කාලයක් ලැබුණු විදුලි බිල්පත්, ගෑස් බිල්පත් ආදිය ඔහුට පෙන්වීමෙන් වළකින්න.
  • දොරින් දොර පැමිණෙන වෙළඳුන් වෙතින් ඔබ නිවසේ ඇති උපකරණ පිළිබඳ (water heater/ furnace) උපදෙස් ගැනීමෙන් වළකින්න.
  • ප්‍රාදේශීය උපයෝගි සේවා ආයතන (local utility companies) නගරසභා හෝ මහනගර සභා (municipalities) රජයේ ආයතන (government agencies) හෝ නියාමක සංවිධාන (regulatory organizations) මගින් කිසිදු විටෙක මේ ආකාරයේ දොරින් දොර වෙළඳුන් එවීමක් සිදු නොකරන බව සිහි තබාගන්න.
  • දොරින් දොර වෙළඳුන් හා ගිවිසුම් අත්සන් නොකරන්න.
  • කිසියම් ලෙසකින් ඔබ ඔහුට පිටව යන ලෙස කිවහොත් කිසිදු වාද විවාදයකින් තොරව වහාම එම ස්ථානයෙන් පිටව යෑම ඔහු සිදුකළ යුත්තකි. එසේ නොවූ අවස්ථාවක යම් හෙයකින් ඔබ අනාරක්ෂිත යැයි හැඟුනහොත් වහාම පොලීසියට දැනුම් දෙන්න.

ප්‍රවේශම් වන්න

ඔබ වෙත විශාල සේවාවක් සපයන ආකාරයක් පෙන්නුම් කරමින් ගේ දොරකොඩටම ගෙනවිත් දෙන මේ සේවාවන් ලබාගැනීමට පෙර එකවරක් නොව කීපවරක් සිතා බැලීම කළ යුත්තකි. යම්කිසි දෙයක් ඔබට නොතේරේ නම් ඒ පිළිබඳ දෙවැන්නකුගෙන් අදහස් විමසීමට පසුබට නොවන්න.

විශේෂයෙන්ම උණුවතුර ජල ටැංකි, තාප යන්ත්‍ර (furnace) ජල පිරිපහදු ක්‍රම ආදිය සවිකිරීමට පැමිණෙන්නන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු වෙයි. මෙහිදී ඔවුන් සපයන සේවාවන් හෝ භාණ්ඩ පිළිබඳව කිසියම් සැකයක් හෝ ඔබට තේරුම් ගැනීමට නොහැකි අවස්ථාවක් ඇතිවුවහොත් ඔවුන් හා ගිවිසුමකට (contract) යාමෙන් වැළකී සිටීම සුබදායක වේ. ඇතැම් විට එම සේවාව කිසිවකුගෙන් ලබාගැනීමට ඔබ සිතා සිටියා විය හැකියි. එහෙත් ඔබ විමසන දේට පැහැදිලි නිරවුල් පිළිතුරක් ලබාදිය නොහැකි සේවා සපයන්නකුගෙන් කාර්යක්ෂම හා නිවැරදි සේවාවක් ලබා ගත නොහැකි බව මගේ පෞද්ගලික වැටහීමයි. මෙම සේවාවන් සපයන පුද්ගලයන්ගෙන් කරුණු විමසා දැනගැනීමේදී ඔබ අනිවාර්යයෙන්ම ඇසිය යුතු ප්‍රශ්න කීපයක් පහත දැක්වේ.

  • අත්සන් කිරීමට පෙර මෙම ගිවිසුම වැඩිදුරටත් අධ්‍යයනය කිරීම සඳහා මා වෙත තබා යා හැකිද? Can you leave the contract with me so I can review it?
  • මෙම ගිවිසුම මගේ අවසරයකින් තොරව දීර්ඝ වන්නක්ද? (Can the contract be renewed without my consent? For example, does it say “without your prior consent” )
  • මෙම ගිවිසුමෙන් ඉවත් විය හැකි කාල සීමාව හා එය කෙරෙන ආකාරය කෙසේද? (when and how can I get out of the contract?)
  • කිසියම් ලෙසකින් මෙම නව ගිවිසුම අවලංගු කිරීමේදී යම් ගාස්තුවක් අය කරන්නේද? ( Are there any fees to cancel this new contract?)
  • දැනට මා සේවා ලබාගන්නා ආයතනය වෙතින් මෙම කාර්යය සිදුකර ගත හැකිද? (Am I due for an upgrade from my existing supplier?)
  • වර්තමානයේ මා ලබාගන්නා සේවාව අවලංගු කිරීමේදී යම් කිසි ගාස්තුවකට හෝ දඩමුදලකට යටත් වීමට සිදුවේද? (If I want to cancel my contract with my existing supplier, will there be any fees?)
  • පැරණි උණුවතුර ටැංකිය හෝ ඒ ආකාරයේ මා වෙත ඇති යන්ත්‍ර ඉවත් කිරීම සඳහා යම්කිසි මුදලක් වැය වෙයිද? (Will they charge me to come and remove my current water heater/ furnace?)
  • නව යන්ත්‍ර සවිකිරීම මගින් මා වෙත මූල්‍යමය ඵලදායිතාවක් ඇති වෙයිද? ( Is it more cost effective for me to buy a water heater/ furnace?)

පාරිභෝගික ආරක්ෂණ පනත

මෙම දොරෙන් දොර පැමිණෙන වෙළෙඳුන් වෙතින් පාරිභෝගිකයන්ට සිදුවන ගැහැට දිනෙන් දිනම වැඩිවීම නිසා ඔවුන්ගේ ගැටලු විමසීම සඳහා පාරිභෝගික ආරක්ෂණ පනතක්   (The Consumer Protection Act (CPA)) මේ වන විට කැනඩාව තුළ ක්‍රියාත්මක වේ. දොරින් දොර පැමිණ ලබාදුන් සේවාව හෝ භාණ්ඩවල වටිනාකම ඩොලර් 50 ට වැඩි වන සෑම අවස්ථාවකම මෙම පනත මගින් ඔබ වෙත මෙම විශේෂ ආරක්ෂණය හිමිවේ. නමුත් එම පාරිභෝගික ආරක්ෂණය නිසි ලෙස ලබාගැනීමට ඔබද අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කීපයක් වේ.

  • නිවසට පැමිණ ඔබ වෙත ලබාදුන් ඕනෑම සේවාවක් හෝ භාණ්ඩයක් (ඩොලර් 50 ට වැඩි) සඳහා වන ගිවිසුම් අහෝසි කිරීමේ බලය ඔබ සතු වේ. එහෙත් මෙම ආහෝසි කිරීම ගිවිසුමට යටත් වූ දින සිට කැලැන්ඩර දින 10 ක් ඇතුළත කිරීමෙන් පමණක් බලගැන්වෙන බව ඔබ මෙහිදී විශේෂයෙන්ම මතක තබා ගත යුතු වේ. මෙහිදී ඔබ මෙම ගිවිසුම්වලින් ඉවත් වීම පිළිබඳව කිසිදු හේතු දැක්වීමක් කිරීම අවශ්‍ය නොවන අතර එය ඉහත CPA යටතේ ඔබ වෙත ලැබී ඇති අයිතියකි.
  • නිවසට පැමිණ සේවා සැපයූ ආයතනය හෝ පුද්ගලයින් සමග වූ ලිඛිත ගිවිසුමක් අනිවාර්යයෙන්ම ඔබ වෙත තිබිය යුතුයි. මෙම පාරිභෝගික ගිවිසුම CPA රෙගුලාසි යටතේ සකස් වූවක් විය යුතු අතර එතුළ ඔබ ලබාගත් භාණ්ඩය හෝ සේවාව පිළිබඳවත් එහිදී ඔබ වෙත ලැඛෙන අයිතිවාසිකම් පිළිබඳවත් නිවැරදිව සටහන්ව තිබිය යුතු වේ. යම් හෙයකින් එම ගිවිසුම CPA රෙගුලාසිවලින් බාහිරව ලියවී ඇති එකක් නම් වසර 1 ක් තුළ ඔබ අත්සන් කළ ගිවිසුම අහෝසි කිරීමේ බලය ඔබ සතු වේ.
  • මෙම දොරින් දොර වෙළඳුන් වෙතින් ඔබ කිසියම් භාණ්ඩයක් ඇණවුම් කිරීමෙන් පසු එය දින 30 ක් ඇතුළත හෝ ඔබ වෙත පොරොන්දු වූ නියමිත දිනයට හෝ නොලැබුණහොත් ඒ වෙනුවෙන් ඔබ ලබාදුන් මුදල ආපසු ගෙවීමට එම ආයතනය බැඳී සිටී. එහෙත් කිසියම් ලෙසකින් ප්‍රමාද වී පැමිණි භාණ්ඩය ඔබ වෙත තබා ගතහොත් එහිදී ඔබට වූ ප්‍රමාදය හෝ වෙනත් අපහසුතා වෙනුවෙන් නැවත මුදල් අයකර ගැනීමක් සිදුකළ නොහැක. තවද ඔබ වෙත ලබාදුන් භාණ්ඩය ඔබ ඇණවුම් කළ අන්දමේ එකක් නොවුණහොත් ඒ සඳහා පැමිණිල්ලක් කිරීමේ බලය ඔබ සතු වේ. තවද මෙම භාණ්ඩය භාවිත කිරීම හෝ ඉවත දැමීමද ඔබට අභිමත පරිදි සිදුකළ හැකියි.

පාරිභෝගික ආරක්ෂණ පනත යටතේ ඔබගේ පැමිණිල්ල කැනඩා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය (Ministry of Consumer Services) වෙත යොමුකළ හැකි අතර එය ලිඛිතව හෝ දුරකථන මාර්ගයෙන් දැක්විය හැකි ලෙස පහසුකම් ලබා දී ඇත.

එලෙස දුරකථනයෙන් දන්වන්නේ නම්,

1-800-889-9768 හෝ  416-326-8800

TTY 1-877-666-6545 හෝ 416-229-6086 යන අංක භාවිත කළ හැක.

ලිඛිතව දැන්වීමේදී තැපැල් මගින්, ෆැක්ස් මගින් හෝ ඊමේල මගින් හෝ ඔබගේ පැමිණිල්ල ඉදිරිපත් කළ හැක.

සඳහා වන ලිපියක ආදර්ශයක් පහත යොමුවට ගොස් ඔබට ලබා ගත හැකියි.

http://www.sse.gov.on.ca/mcs/Documents/samp_228552.pdf

තැපැල්

Ministry of Consumer Services

Consumer Protection Branch

Box 450

1201 Wilson Ave Building A

North York ON, M3M 1J8

Email: consumer@ontario.ca

Fax: 416-326-8665

 

මේ පිළිබඳව වැඩි විස්තර

www.consumerbeware.mgs.gov.on.ca/catsct/start.do

වෙබ් අඩවියට පිවිසීම තුළින් ඔබට ලබාගත හැකියි.

 

නිවසක් මිල දී ගැනීමේදී විකිණීමේදී මෙන්ම එය පරිහරණය කිරීමේදීද ඔබට වැදගත් වන තවත් තොරතුරු සමග ලබන කලාපයෙන් හමුවෙමු.[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text]

Gamini

Gamini Abeysinghe – ABR, Certified Negotiation Expert
ඔන්ටේරියෝ නිවාස හා දේපොළ වෙළඳාම් සංගමයෙහි
බලයලත් දේපල හා නිවාස වෙළඳාම් අලෙවි නියෝජිත

Tel: 1-416 822 2789
Email : shinko@rogers.com
Web : www.gaminiabeysinghe.com

[/vc_column_text][/vc_column][/vc_row]

Share this Post