අවම වියදමකින් යා හැකි කැනඩාවට ආසන්නතම සංචාරක ගමනාන්තයක් ලෙස කියුබාව ප්‍රසිද්ධියක් උසුලයි. වෙනත් රටවල් සමග සැසඳීමේදී මෙම සංචාරයේදී ගුවන් ගමන් වියදම ඇතුළුව, කෑම බීම, ඉඳුම් හිටුම් සියල්ල සඳහා වැයවන්නේ ඉතාමත් අඩු මුදලකි. නමුත් කියුබාවට ගිය බොහෝ දෙනෙකු නැවත පැමිණි පසු තමන් ගිය නිවාඩු නිකේතනවලින් ලැබුණු පහසුකම්, කෑම බීම ගැන මැසිවිලි නගති. ඇතැම්හු තමන් ගිය නිවාඩු නිකේතනයේ එවැනි ගැටලූ නොවූ බව පවසති. නමුත් කවුරු කෙසේ කීවත් අවුරුද්දක් පාසා කියුබාවට ගොස් සතියක හමාරක නිවාඩුවක් ගතකරන කැනේඩියානුවෝද බොහෝ සිටිති. ඔවුන් නිරතුරුව කියුබාව තම විවේකය සඳහා තෝරා ගන්නේ පැය හතරක් වැනි සුළු කාලයකින් හා අඩු මුදලකින් හාත්පසින්ම වෙනස් දේශගුණ තත්ත්වයකට යා හැකි නිසා විය හැක. එසේම එහි ඇති වෙරළ තීරයන් ලෝකයේ ඇති සුන්දරම වෙරළ තීරයන් වීමත් හේතුවක් විය හැක. ඒ කිසිවකටත් වඩා කියුබාව එම කලාපයේ අනෙකුත් රටවල් හා සංසන්දනය කිරීමේදී සාමකාමී මිනිසුන් ජීවත් වන රටක් නිසා වන්නටත් හැක. ඕනෑම මොහොතක නිදහසේ එළියට ගොස් පොදු ප‍්‍රවාහන සේවාවල නැඟී යා හැකි තරමට කියුබාව සංචාරකයින් සඳහා ආරක්ෂිත වේ. මේ සුන්දර රටට යන සංචාරකයින් වටිනා මතකයන් ලබා ගත්තත් එරට ජීවත් වන කියුබානුවන්ට නම් එරට ජීවිතය සුන්දර නොවන බව එහි යන ඕනෑම අයෙකුට පෙනෙයි. ඔවුන්ගේ අතීතය ඔවුන්ට ගෙන දී ඇති අමිහිරි මතක අදටත් අඳුරු සෙවනැළි ලෙස ඔවුන් වටා වෙළෙමින් පවතී. වෙනත් රටවල ආක‍්‍රමණවලින් මෙන්ම ජනතාවට ආදරය නොකරන ඔවුන්ගේම නායකින්ගේ ක‍්‍රියා නිසා ඒ ජනතාව මේ වන විට හෙම්බත් වී සිටී. අද වන විට ඔවුන් දරිද්‍රතාවයේ පතුළේ ගැලී ජීවත් වුවත් ඉතාමත් සාඩම්බරව තමන් ගැන කතා කරන හිතේ හයිය ඇති කියුබානුවන් මේ සංචාරවලදී ඔබට කොතෙකුත් හමුවන්නට ඇති. ඔවුන්ට මෙවැනි ඉරණමක් අත්කර දුන් අතීතය සහ වර්තමාන කියුබාව ගැන අපි මදක් සොයා බලමු.
Pearl of the Antilles
දකුණින් සහ බටහිරින් කැරිබියන් මුහුදෙන් (Caribbean Sea), වයඹ දෙසින් මෙක්සිිිිකන්න්න බොක්කෙන් (Gulf of Mexico) සහ උතුරු හා නැගෙනහිරින් අත්ලාන්තික් සාගරයෙන් (Atlantic Ocean) වටවූ ‘ඇන්ටිලස්’ දූපත් සමූහයකි. මෙම ඇන්ටිලස් දූපත් කුඩා කණ්ඩායම් දෙකකට බෙදා ඒවා Greater Antilles සහ Lesser Antilles ලෙස නම් කර ඇත. Greater Antilles හි රටවල් මෙසේයි. කියුබාව, Cayman Islands, Navassa Island, ජැමෙයිකාව, Puerto Rico සහ Hispaniola (වර්ග කිලෝමීටර 76,000 කට අධික මෙම දූපත වර්තමානයේදී ඩොමිනිකන් ජනරජය සහ හයිටි රාජ්‍යය ලෙස රටවල් දෙකකට බෙදා වෙන් කොට ඇත.Lesser Antilles ට Leeward Islands, Windward Islands, Leeward Antilles යන දූපත් අයත් වේ.භූගෝලීය වශයෙන් ඇන්ටිලියන් දූපත් උතුරු ඇමරිකාවේ උප කලාපයක් ලෙස සැලකෙතත් සංස්කෘතිකමය වශයෙන් කියුබාව, ඩොමිනිකන් ජනරජය, පුවර්ටෝරිකෝ මෙන්ම ඇතැම් විට සම්පූර්ණ ඇන්ටිලස් කලාපයම ලතින් ඇමරිකාවට ඇතුළත් වේ. එහෙත් ඇතැම් මූලාශ‍්‍රවල ලතින් ඇමරිකාව මෙන්ම කැරිබියන් යන වචනයද මෙම රටවල් හැඳින්වීමේදී යොදා ගැනේ.
මේ දූපත් අතරින් විශාලතම දූපත වන කියුබාව ‘ඇන්ටිලස් මුතු ඇටය’ යන අනවර්ථ නාමයෙන් හැඳින්වේ. එම නම ලබා දී ඇත්තේ බය බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පියෙකු වූ Walter Goodman විසිනි. 1873 දී ඔහු විසින් නිර්මාණය කරන ලද කියුබාව පිළිබඳ සිතුවම් සහිත නිදර්ශන පොත ‘The Pearl of the Antilles, or an Artist in Cuba’ ලෙස නම් කර ඇත. කියුබාවේ, භූගෝලීය පිහිටීමත්, නාවික ගමනාගමනය පහසු කරන හවානා, සන්තියාගෝ වරායයනුත්, සුන්දර වෙරළ තීරයනුත්, නිවර්තන කලාපීය රටක් ලෙස බොහෝ ස්වාභාවික සම්පත් සහිත වීමත් ආදිය නිසා එය එම දූපත් කලාපයේ ‘මුතු ඇටය’ බව අවිවාදිතව පැවසිය හැකි බව ඒ පිළිබඳ ගවේෂණය කරන්නෝ පවසති.
එහෙත් එම කලාපයේම හයිටි රාජ්‍යයද Pearl of the Antilles ලෙස හඳුන්වා ඇත. ප‍්‍රංශයේ යටත් විජිතයක්ව පැවති විට බොහෝ අය හයිටිය හැඳින්වූයේ එසේයි. යටත්විජිත කාලයේදී කෝපි සහ සීනි නිෂ්පාදනයෙන් එරටින් උපයාගත් ධනය ගැන මෙන්ම රටේ ගොඩබිම සහ ජලය සූරා සොයාගත් ස්වභාවික සම්පත් ගැනද සලකා බැලීමේදී එකල හයිටිය සැබවින්ම ඔවුන්ට මුතු ඇටයක්ම වන්නට ඇත. අද වන විට හයිටි ආර්ථිකය විනාශකාරී ලෙස පරිහානියට පත්ව ඇතත් එරට ආකර්ෂණීය වෙරළ තීර සහ නිවර්තන කලාපීය සුන්දරත්වය තවමත් එලෙසම පවතී.
කියුබානු ඉතිහාසය
ස්පාඤ්ඤය පදනම් කරගත් දේශගවේශක ක‍්‍රිස්ටෝපර් කොලොම්බස් 1492 ඔක්තෝබර් 27 වෙනි දින කැරිබියානු කලාපයේ පිහිටි දූපතකට ගොඩ බැස්ස බවටත් එහිදී ඔහු එම දූපතට ඇතුළුව ඇත්තේ ඊසානදිග දෙසින් බවටත් ඒ පිළිබඳ ඇති තොරතුරුවල සඳහන් වේ. පසුව එම දිවයින ස්පාඤ්ඤයේ නව රාජධානියක් ලෙස සඳහන් කරමින් ස්පාඤ්ඤ ඇස්ටූරියස් රජ පෙළපතේ ජෝන් කුමරුගේ නමින් ‘Isla Juana’ ලෙස නම් කරන ලදී. සැබවින්ම මෙය කියුබාව සොයා ගැනීමේ කොලොම්බස් ගවේශණය ලෙස දැක්වීමට බොහෝ දෙනා උත්සාහ කළත් එහිදී සිදුව ඇත්තේ ස්පාඤ්ඤය විසින් කියුබාව යටත් කර ගැනීමයි. කොලොම්බස් එම දිවයිනට ගොඩ බසින විටත් එම දූපත විවිධ ස්වදේශීය ඇමරිකානු (Native American) සංස්කෘතීන් කිහිපයකගේ ජනාවාසයක් විය. ක‍්‍රි.පූර්ව කාලයේදී දකුණු ඇමරිකානු ආදිවාසී ජනයා කියුබාවට පැමිණ පදිංචි වූ බව එරට මූලාශ‍්‍රවල දැක්වේ. Cubanascnan, Coabana යන නම්වලින් ඔවුන් එවකට එම දූපත හඳුන්වා ඇත. 1492 කොලොම්බස් එම දූපතට ගොස් නම වෙනස් කර ස්පාඤ්ඤයට අයත් බව ප‍්‍රකාශ කළත් නියම යටත් විජිතකරණය ආරම්භ වන්නේ 1511 දී Baracoa හි ස්පාඤ්ඤ ජනාවාස පිහිටුවීමත් සමගයි. ඉන්පසු 1514 Santiago හිද 1515 Havana හිද ජනාවාස පිහිටුවන ලදී කෙසේ නමුත් කොලොම්බස් විසින් දුන් ස්පාඤ්ඤ නම අතහැර දිවයිනෙහි සිටි ස්වදේශික ඇමරිකානුවන් භාවිත කළ Cubanascnan වලින් කැඞී ආ Cuba යන නමින් එරට හැඳින්වීම පසුකාලයේදී සිදුව ඇත. 1607 දී එරට අගනගරය ලෙස Havana නම් කර ඇත.
1868-1898 ස්පාඤ්ඤ පාලනයෙන් මිදීම සඳහා කියුබානුවන් යුද වැදුණු අතර එහිදී කැරලි මාලාවක් දියත් විය. එයි් කියුබානු ගරිල්ලන් 49,000 ක් සහ ස්පාඤ්ඤ සොල්දාදුවන් 126,000 ක් පමණ මිය ගොස් ඇතැයි සඳහන් වෙතත් එම සංඛ්‍යාලේඛන ගැන නිසි ආකාරයෙන් පැහැදිලි ලෙස සඳහන්ව නැත. කෙසේ වුවත් ස්පාඤ්ඤ පාලනය පලවා හැරීමට එම සටන් ප‍්‍රමාණවත් නොවුණි. 1895 දී විප්ලවවාදී කවියකු වන José Martí සහ ජනරාල් Máximo Gómez ගේ ප‍්‍රධානත්වයෙන් කියුබානු නිදහස් සටන ආරම්භ විය. කියුබානු විප්ලවවාදී සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ José Martí 1895 වසරේදී ස්පාඤ්ඤ හමුදාව විසින් ඝාතනය කර ඇත.
ඉඟුරු දී මිරිස් ගත් කියුබාව
මෙම ගැටුම් අතරතුර ඇමරිකාවෙන් කියුබාවට යවා, හවානා වරායේ නැංගුරම් ලා තිබූ USS Maine යුද නෞකාව තුළ සිදුවූ පිපිරීමක් නිසා ගිලී විනාශ විය. එම සිදුවීමෙන් නැවේ සිටි ඇමරිකානු යුද භටයන් 260 කට වැඩි පිරිසකට ජීවිත අහිමි විය. එය නැව අභ්‍යන්තරයේ හටගත් ගින්නක් ආවුද ගබඩාවට පැතිර යාමත් සමග සිදු වූ පිපිරීමක් බව පසුව හෙළිදරව් වූවත් ඇමරිකානු පුවත්පත් කිහිපයක්ම මෙය ස්පාඤ්ඤය විසින් සිදුකළ බවට චෝදනා කරමින් ඇවිලෙන ගින්නට පිදුරු දැමීමට කටයුතු කොට තිබුණි. මේ ප‍්‍රචාරය ස්පාඤ්ඤයට එරෙහිව කියුබාව තුළදී ඇමරිකාව යුද වදින තත්ත්වයක් කරා වර්ධනය වී ඇමරිකා-ස්පාඤ්ඤ යුද්ධය ආරම්භ විය. එක්සත් ජනපදය සහ කියුබාව එක්ව ස්පාඤ්ඤය පරාජයට පත් කරමින් යුද්ධය නිළ වශයෙන් අවසන් බවට වන ප‍්‍රකාශය 1898 වසරේදී ප‍්‍රංශයේ පැරිස් නුවරදී අත්සන් කරන ලද අතර එහිදී කියුබාවට ස්වාධීන පාලනයක් ලබාදෙන බවට ඇමරිකාව විසින් ප‍්‍රකාශ කොට තිබුණි. නමුත් කරුණු එලෙස සිදුනොවුණු අතර එක්සත් ජනපද හමුදාවේ පූර්ණ අධීක්ෂණය යටතේ තවත් වසර තුනක් පමණ පාලනය වීමට කියුබාවට සිදුවිය.
1901 දී Platt නම් ඇමරිකානු හිතවාදී සංශෝධන යෝජනාවක් ගෙන ආ අතර 1902 දී ඇමරිකාවට වාසිදායක වන කොන්දේසි කිහිපයක් සහිත කියුබන් ආණ්ඩුවක් නිර්මාණය කොට ඇමරිකන් හමුදාව කියුබාවෙන් ඉවත් කරගැනීමට කටයුතු කොට තිබුණි. 1902 දී ජනතා ඡන්දයෙන් කියුබානු ජනාධිපතිවරයා ලෙස Tomás Estrada Palma පත් විය. 1901 සම්මත කළ Platt යෝජනාවට අනුව කියුබාවේ ඉඩම් ඇමරිකානු සමාගම්වලට මිල දී ගත හැකි වූ අතර එයට අනුව යමින් ඇමරිකානු සමාගම් කියුබාවේ ඉඩම් මිලට ගනිමින් රටෙහි දුම්කොළ සහ උක් වගාව ඔවුන් වෙත නතුකර ගැනීමට කටයුතු කෙරුණි. එපමණක් නොව Guantanamo වරායද ඇමරිකාව විසින් අත්පත් කරගත් අතර එහි ඇමරිකන් නාවික කඳවුරක් පිහිටුවන ලදී.
José Martí නායකත්වය දුන් විප්ලවීය ගරිල්ලා සංවිධානයේ දෙවැනියා ලෙස කටයුතු කළ Tomás Estrada Palma ජනාධිපතිවරයා ජනතාව වෙනුවෙන් කටයුතු කළ නායකයකු වූ අතර ඇමරිකානු ආක‍්‍රමණවලට උපක‍්‍රමශීලීව මුහුණ දීමට ඔහු දැන සිටියේය. කෙසේ වුවත් ඇමරිකාවට හිතකර ආර්ථික පිළිවෙතත් අනුගමනය කිරීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා 1906 වන විට Estrada Palma රජය පිළිබඳව දැඩි විරෝධයක් ඇමරිකාව දැක්වූ අතර එම පාලනය බිඳ දැමීමට නැවතත් කියුබාව ආක‍්‍රමණය කරනු ලැබීය. 1909 දී පැල්මාගේ රජය පෙරළා දමමින් José Miguel Gómez ජනාධිපතිවරයා පත් කළ ඇමරිකන් හමුදාව නැවතත් එරටින් පිටව ගියහ.
රට කාපු ජනාධිපති
1906-1959 කියුබානු ඉතිහාසයේ ඓතිහාසික කාල පරිච්ඡේදයක් ආවරණය කරයි. මෙම යුගයට, දූෂණය සහ අදූරදර්ශී ඒකාධිපතීන්ගේ අනුප‍්‍රාප්තීන් සමග වෙනස් වන ආණ්ඩු සහ එක්සත් ජනපද හමුදා වාඩි ලා ගැනීම් ඇතුළත් විය. 1933 දී කියුබානු හමුදා සැරයන්වරයෙකු ලෙස සිටි Fulgencio Batista සහ හමුදා කණ්ඩායමක් විසින් එවකට සිටි ජනාධිපතිවරයා බලයෙන් පහ කොට නව ජනාධිපතිවරයකු පත්කර ගන්නා ලද අතර ඇමරිකාවේ පූර්ණ සහයෝගය ඇතිව කියුබාවේ හමුදා ප‍්‍රධානියා ලෙස Batista පත්කරනු ලැබීය. රටේ නායකයා නොවූවද නව ආණ්ඩුව සම්පූර්ණයෙන්ම මෙහෙයවූයේ බැටිස්ටා විසිනි. 1940 දී පවත්වන ලද මහජන ඡන්දයෙන් බැටිස්ටා ජනාධිපතිවරයා ලෙස පත්වන අතර කියුබන් සමාජවාදී ක‍්‍රියාකාරීන්ගේ සහයෝගයද ඔහුට මෙහිදී ලැබී තිබුණි. බැටිස්ටා ජනාධිපතිවරයාගේ අනුදැනුම සහිතව දෙවන ලෝක යුද්ධයේදී ඇමරිකාව ප‍්‍රමුඛ මිත‍්‍ර රටවලට කියුබාවේ සහාය ලබා දී ඇත.
1944 පැවති මැතිවරණයෙන් බැටිස්ටා පරාජය වූ අතර ඉන්පසු ඔහු ඇමරිකාවේ පදිංචි විය. කෙසේ වෙතත් 1948 වසරේදී කියුබානු සෙනෙට් මණ්ඩලයට තේරී පත්වෙමින් නැවතත් දේශපාලනයට පැමිණෙන බැටිස්ටා කියුබාව තුළ ජනාධිපතිවරණය ඉවත් කරමින් ඒකාධිපති පාලනයක් ගෙන යෑමට කටයුතු කොට තිබුණි. වසර ගණනාවක් පුරා පැවති නාස්තිය, දූෂණය සමග ඒ වන විට කියුබාවේ ආර්ථිකය ඉතාමත් අස්ථාවර මට්ටමක පැවතුනි. අධ්‍යාපනය, සෞඛ්‍ය හා අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සඳහා රජය මුදල් වෙන් නොකළ අතර නීතිය, අධිකරණය විශ්වසනීයත්වයෙන් තොර ස්ථාන බවට පත්ව තිබුණි. විරැකියාව ඉතාමත් ඉහළ ගොස් තිබුණු අතර පවුලක දළ ආදායම ඩොලර් හයකටත් වඩා අඩු අගයක් ගෙන තිබුණි. පළමුවෙන්ම සමාජවාදී පෙරමුණුවලද සහායෙන් පත් වූ බැටිස්ටා ඒ වන විට දැඩි කොමියුනිස්ට් විරෝධියෙකු බවට පත්ව තිබුණි. රටෙහි පැවති උක් වගා බිම්වලින් සියයට 40 කට වැඩි ප‍්‍රමාණයක්ද ඛනිජ තෙල් නිධි හා ස්වභාවික සම්පත් වැඩි ප‍්‍රමාණයක්ද ඇමරිකානුවන් සතු වූ අතර කියුබානු සංචාරක කර්මාන්තයටද ඇමරිකාව දැඩිව හිස දමා තිබුණි.
බැටිස්ටාගේ මේ ඒකාධිපති දුර්දාන්ත පාලනය රටට ඉතාමත් අහිතකර වීමත් සමග ඊට විරුද්ධව රට තුළ නැගී සිටීම් ඇති විය. එහෙත් ඒවා ලත් තැනම ව්‍යර්ථ වූ අතර තරුණ නීතිඥයකු වූ Fidel Castro විසින් මෙම දූෂිත හා අත්තනෝමතික පාලනයට විරුද්ධව කියුබානු අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කළත් ඒවා අධිකරණය විසින් නිෂ්ප‍්‍රභා කිරීමට කටයුතු කෙරුණි. අවනීතිය රජයන විට නීතියෙන් පළක් නොවන බව තේරුම් ගත් ෆිදෙල් ක‍්‍රැස්ත්‍රෝ ඔහුගේ සොයුරු Raúl Castro හා එක්ව රහසිගතව ආවි ආයුධ එක්කරමින් කැරැල්ලක් සඳහා නව සාමාජිකයන් බඳවා ගනිමින් සංවිධානය වන්නට විය.
1952 වසර වන විට 26 හැවිරිදි වියෙහි පසුවූ ෆිදෙල් කියුබානු ජනතා පක්ෂයේ ක‍්‍රියාකාරිකයෙකු විය. ෆිදෙල් ඇතුළු 160 දෙනෙකුගෙන් සමන්විත කැරලිකරුවන් 1953 ජූලි 26 වන Santiago හි Moncada හමුදා බැරැක්කයට පහර දෙන අතර මෙම සන්නද්ධ ප‍්‍රහාරය කියුබානු විප්ලවයේ ආරම්භය ලෙස සලකනු ලැබේ. මෙම පහරදීම ඉතා අසාර්ථක ප‍්‍රයත්නයක් වූ අතර කැරලිකරුවන් බොහෝ දෙනෙකු ඝාතනය කොට අනෙක් පිරිස අත්අඩංගුවට ගැනීමෙන් එම ප‍්‍රහාරය මර්දනය කිරීමට හමුදාව සහ පොලිසිය කටයුතු කොට තිබුණි. 1953 ඔක්තෝබර් පැවැත්වූ නඩු විභාගයකින් පසු ෆිදෙල්ට වසර 15 ක සිර දඬුවමක් හිමි වූ අතර රාවුල් ඇතුළු ප‍්‍රධානීන් කීප දෙනෙකුට වසර 13 ක සිර දඬුවම් නියම කරනු ලැබීය. එමෙන්ම කියුබාව තුළ සමාජවාදී කොමියුනිස්ට් දේශපාලන ව්‍යාපාර තහනම් කිරීමටද බැටිස්ටා පාලනය තීරණය කොට තිබුණි. එහෙත් ෆිදෙල් වෙත පැනවූ සිර දඬුවමට විරුද්ධව ජනතාව වෙතින් ආ බලපෑම නොසලකා සිටීමට බැටිස්ටාට නොහැකි වූ අතර සිරගත කර සිටි ෆිදෙල් ඇතුළු පිරිස 1955 දී නිදහස් කිරීමට ඔහුට සිදුවිය. ඒ සමගම එම පිරිස මෙක්සිකෝවට පිටුවහල් කිරීමටත් කටයුතු කෙරුණි.
ෆිදෙල්ට චේ හමුවීම
මැක්සිකෝවේදී ෆිදෙල් සහ රාවුල් එක්ව ගරිල්ලා සටන් පුහුණුව ලබාගැනීමට කටයුතු කර ඇත. මෙහිදී සිදුවූ විශේෂිතම සිදුවීම වන්නේ ඔවුන්ට Ernesto Guevara(Che Guevara) හමුවීමයි. කියුබානු ඉතිහාසය වෙනස් කළ මෙම හමුවෙන් පසු ෆිදෙල්ගේ ප‍්‍රධාන උපදේශකයා ලෙස ‘චේ’ කටයුතු කිරීමට පටන් ගැනුණි. නැවත කියුබාවට ගොස් බැටිස්ටාගේ පාලනයෙන් එරට මුදා ගැනීමට ගරිල්ලා කණ්ඩායමක් ලෙස මේ පිරිස් සන්නද්ධ වූ අතර 1956 නොවැම්බර් මාසයේදී බෝට්ටුවක නැගී කියුබාව බලා පිටත් විය. මෙම බෝට්ටුව සාමාන්‍යයෙන් 12 දෙනෙකුට ගමන් කළ හැක්කක් වූ අතර එහි උපරිම මගී ප‍්‍රමාණය 25 ක් යා හැකි විය. නමුත් මෙම විප්ලවයට මුහුණ දීම සඳහා එහි නැගී ආ පිරිස 81 ක්
බව සඳහන් වේ. දෙසැම්බර් 02 වන දින කියුබාවේ Playa Las Coloradas වෙත පැමිණි පිරිස එසැණින්ම Sierra Maestra කඳුකරය වෙත යෑමට කටයුතු කොට තිබුණි. බැටිස්ටාගේ කණ්ඩායම් මොවුන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිට ඇති අතර දින කිහිපයක් තුළ කඳුකරය කරා යුද කණ්ඩායම් පැමිණීමත් සමග එහිදී දරුණු සටන් ඇති විය. එම සටනේදී 81 ක් වූ ගරිල්ලා කණ්ඩායමෙන් නොමැරී ඉතිරි වූයේ 20 දෙනෙකු පමණි. කැස්ත්‍රෝ සහෝදරයන් සහ චේ ඇතුළු පිරිසක් එම 20 දෙනා අතර විය.