[vc_row][vc_column][vc_column_text]ගෘහස්ථ පැළ තවාන් එසේත් නැතිනම් Grow-op houses ලෙසින් හඳුන්වනු ලබන්නේ මොනවාද යන්නත් මෙවැනි නීතිවිරෝධී ගෘහස්ථ පැළ තවාන් නිසා හට ගන්නා බලපෑම් පිළිබඳවත් නීතිවිරෝධී පැළ තවාන් පවත්වාගෙන යනු ලබන නිවාස හඳුනාගන්නා ආකාරය පිළිබඳවත් පසුගිය මාසයේ පළ වූ ලිපිය තුළින් අප ඔබට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙවර ලිපියෙන් ඒ පිළිබඳව තවදුරටත් විග්‍රහ කර බලමු.

වසංගතයක් ලෙස දිනෙන් දින වැඩිවෙමින් පවතින නීතිවිරෝධී ගෘහස්ථ පැළ තවාන් උවදුර හමුවේ කැනඩා ආර්ථීකයට සිදුවෙමින් පවතින හානිය සුළුවෙන් තැකිය හැකි නොවේ. මෙහිදී ඍජුවම බලපෑම එල්ලව ඇත්තේ කැනඩාවේ ප්‍රධාන ආයෝජන මාර්ගය වන නිවාස වෙළඳපොළටය. ඉතාමත් ඉහළ මිල ගණන් අතර පවතින ස්ථානයක වන නිවසක් වුවත් එය නීති විරෝධී පැළ තවාන් සඳහා භාවිත කර ඇත්නම් එහි මිල ගණන් පවතින මිල මෙන් අඩකටත් වැඩි අගයකින් පහළ යෑම ඉබේම සිදුවන්නකි. ඇතැම් විට මෙවැනි නිවාස පළාතේ පවතින ඉඩම් මිලටත් අඩු අගයකට පවා විකිණෙන අවස්ථා ඇත.

ග්‍රෝ-ඔප්ස් නිවසක් පවත්වාගෙන ගොස් වසර ගණනාවක් ගතවූ පසුවත් එවැනි නිවාසවල වෙළඳපළ වටිනාකම අඩු අගයක් ගනු ලැබීම තුළින්ම මෙය නිවාස වෙළඳපොළ තුළ කෙතරම් ගැටලූකාරී තත්ත්වයක් ඇති කර ඇත්ද යන්න පෙන්නුම් කෙරෙයි.

එසේ වීමට හේතු

මෙවැනි ගෘහස්ථ පැළ තවාන් පවත්වාගෙන ගිය නිවාසවල මිල අඩු වීම සඳහා හේතු ගණනාවක් බලපානු ලබයි. ඒවා අතර

  • නිවසෙහි කල් පැවැත්ම කෙරෙහි ඇතිවිය හැකි බලපෑම්

  • සෞඛ්‍යමයව ඇති විය හැකි ගැටලූ

  • නිවාස ණය ලබාගැනීමේදී ඇතිවන ගැටලූ ආදිය ප්‍රධාන වේ.

Marijuana Growing Roomනිවසෙහි කල් පැවැත්ම කෙරෙහි සිදුවිය හැකි බලපෑම්

මෙවැනි ග්‍රෝ-ඔප්ස් නිවසක කල් පැවැත්ම පිළිබඳව කිසිදු විටෙක නිවැරදි නිගමනයක් ලබා දිය නොහැකි වීම මෙහි ඇති භයානක තත්ත්වය වේ. අලූත්වැඩියා කටයුතු සහ නවීකරණ කටයුතු මගින් පිළිසකර කර මතුපිට පෙනුම ඔප මට්ටම් කර තිබුණද මෙවැනි ගොඩනැගිලිවල ව්‍යුහමය සැකිල්ලට (Structure) හානි සිදුවී තිබිය හැකියි. මෙහිදී එම හානිය පිළිබඳ නිසි තක්සේරුවක් ලබා දීමට කිසිවකුටත් හැකි නොවනු ඇත. ටික කලක් ඉක්ම යෑමත් සමග මෙම නිවාසවල නොයෙකුත් සංකීර්ණ ගැටලූ මතුවිය හැකියි.

ග්‍රෝ-ඔප්ස් පැළ තවාන් සඳහා බහුලව ජලය යොදාගනු ලබන අතර අවශ්‍ය උෂ්ණත්වය පවත්වාගෙන යාම සඳහා දැඩි තාපයද භාවිත කරනු ලබයි. මේ දෙකම ගොඩනැගිලි පැවැත්මට ඍජුවම බලපානු ලබයි. දැඩි ආර්ද්‍රතාව මෙන්ම දැඩී වියළි තත්ත්වයද නිවාසයන්හි සැකිල්ලෙහි තත්ත්වය වෙනස් කිරීමට බලපානු ලබයි.

සෞඛ්‍යමයව ඇති විය හැකි ගැටලු

ඉහත සඳහන් කළ අන්දමට දැඩි ආර්ද්‍රතාව නිසා නිවාස තුළ පුස් බැඳීම් හා දිළීර වර්ධනය වීම් සිදුවිය හැකියි. ඇස්බැස්ටෝස් වැනි මිනිස් සිරුරට අතිහානිකාරී ද්‍රව්‍යයද මෙමගින් ඇතිවිය හැකියි. තීන්ත ගා පිළිසකර කර මතුපිටින් මෙම පුස් පැල්ලම් මකා දැමූවද ඒවා මුළුමනින්ම ඉවත්ව යාමක් සිදු නොවේ. ලී සැකිල්ල තුළ, ශීත කාලයට ඔරොත්තු දෙන අන්දමට යෙදූ ආරක්ෂක ආවරණ (Insulation) තුළ, බුමුතුරුණු තුළ, නානාකාමර තුළ, ඇටික් එක තුළ මෙම දිළීර රැදී තිබිය හැකි අතර ක්‍රමයෙන් ඒවා වර්ධනය වීම සිදුවිය හැකියි.

මීට අමතරව පැළ තවාන් පවත්වාගෙන යන කාලයේදී යෙදූ දැඩි කෘමිනාශක, වල් පැළ නාශක ආදිය නිසා නිවස තුළ භයානක රසායන ක්‍රියාකාරකම් සිදුවී තිබිය හැකියි.

මෙවැනි නිවාසයන්හි පදිංචි වීම තුළින් බරපතල සෞඛ්‍ය ගැටලූ රැසක් ඇතිවිය හැකි අතර විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වැඩිහිටියන් කෙරෙහි මේවා ඍජුවම බලපෑම් එල්ල කළ හැකියි. ඇදුම, කල් පවතින කැස්ස, උදරයේ අමාරු, වමනය, හිසරදය වැනි රෝගී තත්ත්වයන් මෙන්ම පිළිකා වැනි අවදානම් තත්ත්වයන්ටද මුහුණ දීමට සිදුවිය හැකියි.

නිවාස ණය ලබාගැනීමේදී ඇතිවන ගැටලු

නීතිවිරෝධී පැළ තවාන් පවත්වාගෙන ගිය නිවාස සඳහා නිවාස ණය පහසුකම් ලබා ගැනීම ඉතාමත් දුෂ්කර කටයුත්තකි. ඇතැම් අවස්ථාවල අයථා ක්‍රම මගින් නිවාස ණය අනුමත කරගනු ලැබුවද කිසියම් අවස්ථාවක (Refinance කිරීමකදී හෝ නැවත විකිණීමේදී, එසේත් නැතිනම් කිසියම් පැමිණිල්ලකදී) මේ පිළිබඳ හෙළිදරව් වීමක් සිදුවුවහොත් එයින් ඉතාමත් අහිතකර ප්‍රතිඵල අත්විය හැකියි.

මෙවැනි නිවාසයන් වෙත ණය ලබා දීමේ පවතින අවදානම් බව නිසා බැංකු ඇතුළු ප්‍රධාන පෙළේ ණය දෙන ආයතන විසින් grow-op houses සඳහා ණය අනුමත නොකරයි. කිසියම් විදියකින් මෙවන් නිවසක් බැංකුවක් වෙත සින්න (foreclosure) වුවහොත් එය වෙළඳපොළට දැමීමේදී ඇතිවිය හැකි අවදානම් සහිත තත්ත්වය මත බැංකු සහ ණය දෙන ආයතනය මෙම පියවර ගෙන ඇත.

ඇතැම් ණය දෙන ආයතන මගින් නිවාසයේ පැවැත්ම තත්ත්වය පිළිබඳ 100% ක්ම සෑහීමට පත් වන අන්දමේ වාර්තාවක් ලබාගැනීමෙන් අනතුරුව ණය ලබා දීම සිදුකරතත් එA සඳහා 50% කට ආසන්න මූලික මුදලක් (Down payment) යෙදීමට නිවාස ගැනුම්කරුට සිදු වනු ඇත.

මෙවැනි නිවෙස් මිල දී ගැනීම වාසිදායකද? uuuu

ඉහත කරුණු සියල්ල පිළිබඳව සලකා බැලීමේදී කිව හැක්කේ මෙවැනි නිවසක් මිල දී ගැනීම වාසිදායක තත්ත්වයක් නොවන බවයි. එහෙත් මේ ආකාරයේ නිවාස වෙළඳපොළ තුළදී ඉතාමත් අඩු මිලට ලබාගත හැකි නිසා බොහෝ දෙනෙක් මේවා මිල දී ගැනීමට ලැදි කමක් දක්වයි. එහිදී බොහෝ සටකපටකම් මගින් නිවාස ණය අනුමත කර ගැනීම ආදිය සිදුකර ගැනීමටද ඇතැම්හු දක්ෂ වී සිටිති.

මේ ආකාරයේ ග්‍රෝ-ඔප්ස් නිවාස බොහෝ විට වෙළඳපොළට නිකුත් කෙරෙණුයේ පෞද්ගලික නිවාස විකුණුම් (Private sale house)ලෙසින් වීම විශේෂත්වයකි. දේපළ වෙළඳාම්කරුවකු මගින් මෙවැනි නිවෙස් විකිණීමේදී එය MLS listings තුළට ඇතුළත් කිරීම අනිවාර්ය වෙයි. මෙහිදී එම නිවසෙහි අතීත වාර්තාව එහි ඇතුළත් කිරීම දේපළ වෙළඳාම්කරුවකු විසින් කළ යුතු කාර්යයක් වෙයි. එමෙන්ම මෙවැනි නිවසක් මිල දී ගැනීමට සැරසෙන සේවාදායකයා වෙත එවැනි නිවසක ඇති සැබෑ තත්ත්වය සම්පූර්ණයෙන්ම පහදා දීම වෘත්තීමය නිපුණත්වය සහිත දේපළ වෙළඳාම් කරුවකුගේ කාර්යභාරය වෙයි.

කිසියම් අයකු විසින් මෙවැනි නිවසක් මිල දී ගැනීමට දැඩි කැමැත්තෙන් පසුවන්නේ නම් ඒ සඳහා ඉංජිනේරු දැනුම සහිත බලය ලත් පරීක්ෂකවරයෙකුගේ (engineering inspector) සේවය ලබාගැනීම සුදුසු වේ. එම පරීක්ෂකවරයා විසින් නිවසේ සැකැස්මට යම් හානි සිදුවී ඇත්ද යන්නත් විදුලි රැහැන් පද්ධතිය නිසිපරිදි තිබේද යන්නත් නිවසෙහි පුස්, දිළීර ආදිය තැන්පත්ව ඇත්ද යන්නත් පිළිබඳව ඉතාමත් දැඩි පරීක්ෂාවක් සිදුකරනු ලැබේ. මේ සඳහා ඩොලර් 5000-8000 ත් අතර මුදලක් ඔබට වැය කිරීමට සිදුවෙනු ඇත.

වසර ගණනක් පැරණි ග්‍රෝ-ඔප්ස් හඳුනාගැනීම

නීතිවිරෝධී ගෘහ තවාන් සහිත නිවාස එක් පළාතක එක් ප්‍රදේශයක් ඉලක්ක කරගෙන පවත්වාගෙන යාමක් නොමැත. මිලෙන් අඩු, ඉතාමත් ජනාකීර්ණ, නීතිවිරෝධී ක්‍රියාවන් පිළිබඳ නම ගිය පළාත්වල මෙන්ම මිලෙන් අධික පදිංචියට ඉතාමත් යෝග්‍ය පරිසර තුළද මෙවන් ග්‍රෝ-ඔප්ස් නිවාස පැවතිය හැකි බව පසුගිය කාලයේ සිදුකර ඇති පොලිස් වැටලීම්වලින් තහවුරු වී ඇත. මේ ආකාරයෙන් ගෘහ තවානක් පවත්වාගෙන ගිය නිවසක් පොලිස් වැටලීමකට හසු නොවී වෙළඳපොළට පැමිණීමක් සිදුවුවහොත් එය ඉතා භයානක තත්ත්වයක් විය හැකියි. එසේ වන්නේ එම නිවස පිළිබඳ කිසිදු වාර්තාවක් කිසිදු තැනක නොමැති හෙයිනි. එනිසා ඔබ නිවසක් මිල දී ගැනීමට සූදානම් වන්නේ නම් සෑම විටම පළපුරුදු පිරික්සුම් කරුවකු ලවා නිවාස පරීක්ෂාවක් (home inspection) සිදුකර ගැනීම සුදුසු වෙයි. මන්ද යත්, නිවාස පරීක්ෂකවරුන් සතු නවීන උපකරන මගින් මෙවැනි නිවෙස් තුළ ඇති වෙනස්කම් හඳුනාගැනීමට හැකියාව ලැබේ.

කල් ගත වී හෝ ඔබ නිවසේ මතුවිය හැකි පහත සඳහන් ආකාරයේ ගැටලූ පිළිබඳ විමසිලිමත් වන්න.

  • සිවිලිම සහ බිත්තිය අතර කොටසෙහි පුස් පැල්ලම් මතු වීම

  • හුළං කවුළුවල ඇති සලකුණු (පුස් පැල්ලම් වැනි හෝ මඩ පැල්ලම් වැනි)

  • බේස්මන්ට්හි පොළව අලූතින් තීන්ත ගා ඇත්නම් ඒ පිළිබඳ ඔබගේ සැලකිල්ල යොමු කිරීම සුදුසු වේ. මන්ද යත් එය පැළෑටි බඳුන් තැබීම නිසා ඇති වූ පැල්ලම් මැකීම සඳහා විකුණුම් කරුවා ගත් උත්සාහයක් විය හැකිය.

  • එ විදුලි මීටරයේ සිදුකර ඇති වෙනස්කම් හෝ එයට හානිකර තිබීම (මුද්‍රාව කඩා තිබීම ආදිය) හා මීටරයේ සිට පොළව දක්වා අනවසර රැහැන් සවිකර තිබී ඇත්දැයි විමසිලිමත් වීම

  • ගෙයි පිට පැත්තෙහි වහලයෙහි ඇති ලින්ටලයෙහි දුඹුරු පැහැති පැල්ලම් ඇත්දැයි සොයා බලන්න

  • ගරාජය තුළ සිදුකර ඇති වෙනස්කම් පිළිබඳ සැලකිලිමත් වන්න

  • බිත්ති තුළට තදින් කිඳා බසින ලෙසින් සාදා ඇති සිදුරු

  • ගිනිඋඳුනෙහි (fireplace) අස්වාභාවික සවිකිරීම්

  • නිවසෙහි ප්‍රධාන නළ මාර්ගයන්හි සිදුකර ඇති වෙනස්කම්. මෙහිදී ජල නළ පද්ධතිය, කසල නළ පද්ධතිය සහ වායු සංසරණය කෙරෙන නළ පද්ධතිය පිළිබඳව සලකා බැලිය යුතු වේ.

  • ශීත ඍතුවේදී නිවසෙහි වහලය රැෙඳන හිම ප්‍රමාණය අඩු වීම. ගෘහස්ථ පැළ තවාන් පවත්වාගෙන ගිය කාලයේදී ඇති කළ අධික තාපය නිසා මෙය කල් පවතින තත්ත්වයක් බවට පත්විය හැකිය.

  • පඩි පෙළ, ලී සහිත ගෙබිම, ජනෙල් රාමු ආදිය ඇද ගැසී ඇත්දැයි සොයා බලන්න.

  • බිත්ති කුහර, ජනෙල් අතර, වායු සංසරණ පද්ධතිය, සිවිලිම තුළ ආදියෙහි විෂ සහිත පුස් වර්ග රැඳී තිබිය හැකි බැවින් නිවසට යාමෙන් පසු ඔබ ලෙඩ රෝගවලට ගොදුරු වන බවක් හැඟී යා නම් ඒ පිළිබඳව වහා අවධානය යොමු කරන්න.

  • බළල් මුත්‍රාවලට සමාන ගඳක් වහනය වන්නේ නම් වහා ඒ පිළිබඳ සොයා බලන්න. මෙහිදී එA පිළිබඳ පළපුරුදු අයගේ සේවය ලබාගැනීමට වග බලා ගැනීම සුදුසුම ක්‍රමය වේ.

 

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text]

Gamini

Gamini Abeysinghe – ABR, Certified Negotiation Expert
ඔන්ටේරියෝ නිවාස හා දේපොළ වෙළඳාම් සංගමයෙහි
බලයලත් දේපල හා නිවාස වෙළඳාම් අලෙවි නියෝජිත

Tel: 1-416 822 2789
Email : shinko@rogers.com
Web : www.gaminiabeysinghe.com

[/vc_column_text][/vc_column][/vc_row]

Share this Post