[vc_row][vc_column][vc_column_text]නිවසක් විකිණීමට දැමීමේදී එය තරඟකාරී ලෙස ඉහළම මිලකට ඉක්මනින් අලෙවි කර ගැනීම අප සැමගේ බලාපොරොත්තුව වේ. එහිදී එම ඉහළ මිල ලබාගැනීම සඳහා නිවස ප්‍රදර්ශන තත්ත්වයෙන් වෙළඳපොළට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ. නිවසක පදිංචි වී පරිහරණය කිරීමේදී එහි නැවුම් බව ටිකින් ටික ගිලිහී යාම නිතැතින්ම සිදුවන්නකි. එහෙත් විකිණීමට සූදානම් කිරීමේදී එය නැවතත් පෙර තිබූ ආකාරයටම ගත හැකි නොවූවත් ඒ ආසන්නයටම හෝ ගැනීමට උත්සාහ කිරීම අපගේ වගකීම වේ. ඔබගේ නිවස විකිණීමට පිළියෙල කිරීමේදී අනුගමනය කළ හැකි මූලික පියවර කීපයක් මෙසේ දක්වමු.

නිවසක් ප්‍රදර්ශනාත්මක තත්ත්වයෙන් සැකසීම

house saleඅපි කවුරුත් ඉතා මනරම් පිරිසිදු නිවසක් මිල දී ගැනීමට කැමැත්තක් දක්වමු. එසේ හෙයින් ඔබගේ නිවසත් විකිණීම සඳහා වෙළඳපොළට දැමීමේදී ඒ අන්දමේ පියකරු නිවසක් ලෙස සැකසීමේ කාර්යය ඔබ සතු වේ. මේ ආකාරයෙන් නිවස පිළියෙල කිරීමට ප්‍රථම ඔබ මනසින් එම නිවසේ ගැනුම් කරුවා බවට පත්වන්නේ නම් මෙම කාර්යය ඔබට ඉතා පහසුවෙන් සිදුකරගත හැක. මා මෙයින් අදහස් කරන්නේ ඉතා විශාල වශයෙන් මුදල් වැය කර මිල අධික ගෘහ අලංකරණයන් කිරීම නොවේ. අවම වියදමින් උපරිම පෙනුමක් හා වටිනාකමක් ලැඛෙන ආකාරයෙන් නිවස පිළියෙල කර ගැනීමයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිවසෙහි ඒ ඒ කොටස කෙරෙහි වෙන වෙනම අවධානය යොමු කිරීම සහ ඒවා එකින් එක පිළිවෙළකට සූදානම් කිරීම පමණි. ඒ ආකාරයෙන් ඔබේ අවධානය ප්‍රධාන වශයෙන් යොමු කළ යුතු ස්ථාන මෙසේයි.

පිවිසුම් දොරකඩ

වෙළඳපොළෙහි ඇති කිසියම් නිවෙසක් වෙත ගැනුම්කරුවන් රැගෙන ගිය ඇතැම් අවස්ථාවක වාහනයෙන් බැස්ස සැණෙන් “අනේ මේ ගේ නම් බලන්න ඕන නෑ. හරිම අප්‍රසන්නයි. අපි යමු” යැයි කියූ අවස්ථා මගේ සේවා කාලය තුළ අත්දැක ඇත. එම නිවස ඉතාමත් හොඳ පරිසරයක පිහිටි ඇතුළත තත්ත්වය හොඳින් පවත්වාගෙන ගිය නිවසක් වුවත් ඇතුළු වන විටම දැනෙන පළමු හැඟීම (first impressions) ඉතාමත් අප්‍රසන්න වීම නිසා එවැනි නිවෙස් විකිණීම ඉතාමත් අපහසු වේ.

එනිසා මෙවැනි තත්ත්වයක් ඔබේ නිවසටත් අත් කර නොගැනීම ඔබේ වගකීමකි. නිවස විකිණීමට දැමීමට පෙර පිවිසුමෙහි සිටම ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු වේ. සීත ඍතුවෙන් බැහැර කාලයකදී නම් ගෙවත්තෙහි තණකොළ කපා, මල් වවා ආකර්ෂණීය තත්ත්වයක් ඇති කර ගැනීම සිදුකළ හැක්කකි. විශේෂයෙන්ම ‘කහ පැහැති’ මල් වැවීම තුළින් නිවස මිල දී ගැනීමට පැමිණෙන්නන් කෙරෙහි ආකර්ෂණයක් ඇති කළ හැකි බවට වූ විශ්වාසයක් කැනේඩියානුවන් අතර පවතී. (Yellow flowers evokes a buying emotion)

නිවස ඉදිරිපස සහ අවට ඇති කුණු කසල ඉවත් කරන්න. සීත ඍතුවේදී නම් නිවස දක්වා එන මාර්ගය හා driveway හි හිම ඉවත් කර තැබීම අනිවාර්යය වෙයි. මන්ද, නිවස බැලීමට පැමිණෙන පුද්ගලයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඔබේ වගකීමක් වන හෙයිනි. නිවසෙහි ප්‍රධාන පිවිසුම් දොර කුණු දූවිලිවලින් අපවිත්‍ර වී තිබේ නම් එය සෝදා පිරිසිදු කර තැබීමට හෝ තීන්ත ආලේප කර අලූත්වැඩියා කිරීමට වග බලා ගන්න. දොර අබලන් තත්ත්වයෙහි ඇත්නම් නව දොර පියන්පතක් සවි කිරීම තුළින් ඔබේ නිවසට නව පෙනුමක් මෙන්ම වැඩි වටිනාකමක් එක් කර ගැනීමට හැකිය. විශේෂයෙන්ම ඉදිරි දොරෙහි යතුර පහසුවෙන් ඇරීමට සහ වැසීමට හැකි ලෙස සකසා තබන්න. නිවසෙහි අංකය සඳහන් පුවරුව දිවා රාත්‍රී දෙකෙහිම හොඳින් ප්‍රදර්ශනය වන පරිදි තිබේදැයි සැලකිලිමත් වන්න.

මුළුතැන්ගෙය

පිවිසුමෙන් ඇතුළු වූ විගස මුළුතැන්ගෙයට පිවිසුණේ ඇයිදැයි යන්න ගැන ඔබ තුළ කුහුලක් ඇති විය හැකියි. එහෙත් මගේ අත්දැකීම් අනුව නිවාස බැලීමට යන බොහෝ දෙනෙකු (විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වය) ප්‍රථමයෙන්ම මුළුතැන්ගෙය පරීක්ෂා කිරීමට නොපසුබට වෙති. මේ නිසා නිවස තුළ අවධානය යොමු විය යුතු ප්‍රධානම ස්ථානයක් ලෙස මුළුතැන්ගෙය හැඳින්විය හැක. මුළුතැන්ගෙය සැකසීමේදී එහි ඇති අනවශ්‍ය භාණ්ඩ ඉවත් කිරීම මූලිකව කළ යුත්තකි. විශේෂයෙන්ම කවුන්ටර් උඩ තබා ඇති භාජන, බෝතල් ආදිය ඉවත් කර තැබීම සුදුසු වේ. කවුන්ටර් මතුපිට කැඩී බිඳී පළුදු වී ඇත්නම් ඒවා අලූතින් දැමීම සුදුසු වුවත් එය තරමක් මුදල් වැය වන කටයුත්තක් හෙයින් හැකි පමණ පිළිසකර කර ප්‍රකෘතිමත් කිරීමට පියවර ගන්න. කුස්සියේ ගෙබිම තෙල් සහිත ස්වභාවයක් ගන්නේ නම් ඒ සඳහා උචිත පිරිසිදුකාරකයක් යොදා පිරිසිදු කර තබන්න. උදුන උඩ සහ අවට ඉතාමත් පිරිසිදුව තබන්න. තාපය පිටවීමට ඇති ෆෑනය සහිත කොටස පිරිසිදු කර අලූත් ෆිල්ටර සවිකරන්න. කබඩ් තුළ ඇති අනවශ්‍ය ද්‍රව්‍ය සියල්ල ඉවත් කර නිසි පරිදි නැරඹීමට හැකි ලෙස තබන්න. සින්කය සෑම විටම හොඳින් සෝදා තබන්න. සින්කය තුළින් දුර්ගන්ධයක් වහනය වේ නම් එය වැළැක්වීම සඳහා ඇති විෂබීජ නාෂකයක් යොදන්න. ශීතකරණය පිරිසිදුව තබන්න. කුස්සියේ ඇති සියලූම උපකරණ (උදුන, ශීතකරණය, ඩිෂ්වොෂරය ආදිය) වැඩකරන තත්ත්වයෙන් තිබේදැයි යන්න සහතික කරගන්න.

නාන කාමර

මුළුතැන්ගෙයින් පසු ඔබේ අවධානය නානකාමර වෙත යොමු කරන්නේ එයද නිවසක් මිල දී ගන්නන්ගේ ප්‍රධාන අවධානය දිනාගන්නා ස්ථානයක් හෙයිනි. නාන බේසම, මූණ සෝදන බේසම, කොමඩය, නාන කාමරයේ බිම, බිත්ති කණ්ණාඩිය සහ ටයිල් සහිත බිත්ති හැකි උපරිම අන්දමින් පිරිසිදු කර වියළි ආකාරයෙන් තබන්න. මෙම උපකරණ අබලන් තත්ත්වයේ ඇත්නම් ඒවා අලූතින් සවිකිරීම සුදුසු වේ. කබඩ් තුළ සහ කවුන්ටර් මත ඇති අනවශ්‍ය භාණ්ඩ ඉවත් කර තබන්න. කරාම ආදියෙහි අඩුපාඩු, ජල වෑහීම් ආදිය ඇත්නම් අලූත්වැඩියා කරන්න. නානකාමරය තුළ පුස් (mold) පැල්ලම් බැඳී ඇත්නම් එයට නිසි පිළියම් යොදන්න. බොහෝ විට exhaust fan නොමැති නානකාමර තුළ මෙවැනි පුස් බැඳීම් සිදුවේ. පිටතට විවර කළ හැකි ජනේලයක් තිබුණද සීත ඍතුවේදී තරමක් හෝ එය විවෘත නොකර නාන කාමරය පරිහරණය කිරීම නිසා මෝල්ඩ් බැඳීම සිදුවේ.

නිවසේ සෙසු කොටස්

ඉහත කොටස් කෙරෙහි අවධානය දැඩිව යොමු කරන අතර ඊට නොදෙවෙනි වූ අවධානයක් මුළු නිවස කෙරෙහිම යොමු කරවන්නේ නම් ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵලය සිතනවාටත් වඩා හොඳින් ලබාගත හැකි බව කිව හැකියි.

ගෙබිම

නිවසේ ගෙබිමට යොදා ඇති කාපට්, හාඩ්වුඩ්, ලැමිනේටින් ආදිය පිළිබඳව විමසා බැලීම සුදුසු වේ. ඒවා අවපැහැ ගැන්වී කිළිටි ස්වභාවයකින් හෝ පළුදු වී ඇත්නම් සුද්ධ පවිත්‍ර කිරීම හා පිළිසකර කර ගැනීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි. අලූතින්ම ගෙබිම යොදන්නේ නම් එමගින් නිවසට වඩාත් විශාල වටිනාකමක් ලැඛෙන බවද කිව යුතුයි.

බිත්ති

පින්තූර හා විවිධ සැරසිලි එල්ලා තැබීම නිසා බිත්ති පළුදු වී සිදුරු සෑදී ඇත්නම් ඒවා නිසි පරිදි පුරවා පිළිසකර කළ යුතුයි. බිත්ති දුර්වර්ණ වී කිළිටි වී ඇත්නම් තීන්ත ආලේප කිරීම වඩාත්ම සුදුසු වේ. එහිදී බොහෝ දෙනෙක් ප්‍රිය කරන ලා වර්ණයන් තෝරා ගැනීමට සැලකිලිමත් වන්න. ලා වර්ණයන් ගැල්වීම තුළින් අඩු ඉඩක් සහිත ස්ථාන වඩාත් පුළුල් ලෙස ඇසට පෙනීමද සාමාන්‍ය තත්ත්වයකි. බිත්ති පුරා පින්තූර එල්ලා තැබීමෙන් අනවශ්‍ය ලෙස ඇහුරුණු ස්වභාවයක් දිස්වන හෙයින් එවන් සැරසිලි අඩු කරන්න.

ජල කරාම සහ කසල නළ

ජලය කාන්දු වන කරාම ආදිය ප්‍රතිසංස්කරණය කරන්න. ඔබ නිවස විකිණීමට අදහස් කළත් නැතත් මෙවැනි ජල කාන්දු සහිත කරාම වහාම අලූත්වැඩියා කොට භාවිත කිරීමට ඔබේ අවධානය යොමු කිරීම සුදුසු වන්නේ එමගින් ඔබගේ ජල බිලෙහි අනවශ්‍ය ඉහළ නැගීමක් සිදුවන හෙයිනි. ශ්‍රී ලංකාවේදී අප භාවිත කරන වාස්තු විද්‍යාත්මක සාධක අනුවද මෙවැනි ජල කාන්දු සහිත කරාම නිවස තුළ තිබීම සුදුසු නොවේ. කසළ නළ ආදියෙහි තිඛෙන අවහිරතා පිළිබඳ පරීක්ෂාකාරී වන්න.

විදුලි පහන්

කැඩී බිඳී ඇති විදුලි පහන් ඉවත් කරන්න. සෑම විදුලි පහනකම ඇති සියලූම බල්බ දැල්වෙන මට්ටමින් පවතීදැයි සොයා බලන්න. මන්ද යත්, නිවස බැලීමට පැමිණෙන ගැනුම්කරුවන් නිවසෙහි විදුලිය දැල්වීමෙන් පසු නිවස තුළ ඇති අඳුරු ස්වභාවය දුරු වී යාම නිසා ඔබ නිවස වඩාත් අලංකාර ලෙස දිස්වන්නට ගනී. කිසියම් විදුලි බල්බයක් දැල්වීම සඳහා ඇති ස්විචය නොපෙනෙන තැනක ඇත්නම් ඒ පිළිබඳව වූ සටහනක් හොඳින් පෙනෙන සේ තබන්න.

දොර ජනෙල්

නිවසෙහි සියලූම දොර ජනෙල් පිළිබඳ අවධානය යොමු කරන්න. කාමරවල ඇති දොරවල් නිසි පරිදි ඇරීම සහ වැසීම සිදුවේදැයි පරීක්ෂා කොට බලන්න. ඒවායේ ඇති දෝෂ පරීක්ෂා කර නිවැරදි කරන්න. ඇතැම් විට මෙවැනි අලූත්වැඩියා සඳහා ඔබගෙන් කිසිදු මුදලක් වැය නොවිය හැකි අතර ඇණ ආදිය මනා සේ පරීක්ෂා කොට ඒවා නිවැරදිව සවි කිරීම තුළින් මේවා විසඳා ගත හැක. සියලූම ජනේල හොඳින් පිරිසිදු කර තබන්න. විශේෂයෙන්ම හිම වැටී නොමැති කාලවලදී ඔබ නිවස වෙළඳපොළට දමන්නේ නම් මේ පිළිබඳව සැළකිල්ල යොමු කරන්න. ජනේලවල ඇතුළු පැත්තේ රාමුව, වීදුරුව මෙන්ම පිට පැත්තද පිරිසිදු කරන්න. ජනේල වටා ඇති ආරක්ෂිත ආවරණ ඈත් වී හෝ පළුදු වී ඇත්නම් ඒවා අළුත්වැඩියා කිරීම සඳහා පියවර ගන්න. ඔබේ නිවසටත් බලශක්ති සුරැකෙන ආකාරයේ thermal windows සවි කර ගැනීමට හැකි නම් එයින් අමතර වටිනාකමක් නිවසට එක්කර ගත හැකි වේ.

කාමර

නිවසක් වෙළඳ පොළට දැමීමෙන් පසු බොහෝ පිරිසක් එය බැලීමට පැමිණීම සාමාන්‍ය දෙයකි. මෙහිදී නිවසේ නිදන කාමර පිළිවෙළකට තැබීම කෙරෙහිත් ඔබේ අවධානය වෙසෙසින් යොමු විය යුතුය. ඇඳන් සහ රෙදි කබඩ සියල්ල පිළිවෙළකට තැබිය හැකි නම් එයින් වැඩි වාසි ඔබට ලබාගැනීමට හැකිය. එමෙන්ම රන් භාණ්ඩ වැනි වටිනා දේවල් හැකි තරම් ප්‍රවේශම් ආකාරයෙන් තබා ගැනීමද ඔබේ වගකීමකි. බොහෝ විට දේපළ අලෙවි නියෝජිතවරයෙකු යටතේ වෙළඳපොළට දමන නිවෙස්හි ඇති භාණ්ඩ නැති වීම් පිළිබඳව වාර්තා නොවන තරම්ය. එයට හේතුව වන්නේ එසේ වෙළඳපොළට එක් කළ සෑම නිවසක්ම බැලීම සඳහා බොහෝ විට දේපළ අලෙවි නියෝජිතවරයකු සමගම පිරිස් පැමිණීම වේ.

ප්‍රධාන සාලය, විසිත්ත කාමරය හා කෑම කාමරය

නිවෙසක් පරිහරණය කිරීමේදී බොහෝ බඩු බාහිරාදිය එකතු වීම නොවැළැක්විය හැක්කකි. එහෙත් නිවස විකිණීමට සූදානම් වෙද්දී මේ ආකාරයෙන් බඩු පිරී තිබීම නිසා එහි අලංකාරය හා වටිනාකම නොපෙනී යයි. එනිසා සාලය (living room) විසිත්ත කාමරය (family room) සහ කෑම කාමරය (dining room) හි වැඩිපුර ඇති භාණ්ඩ ඉවත් කරන්න. සාලයෙහි ගැළපෙන සෝෆා සෙට් එකක් සහ සයිඩ් ටේබල් සහිත කොෆි ටේබල් කට්ටලයක් පමණක් තබන්න. හාඩ්වුඩ් පොළවක් සහිත නම් කාපටයක් එළීමෙන් වැළකීම සුදුසු වේ. කෑම කාමරය තුළත් එම ස්ථානයට ගැළපෙන ආකාරයේ කෑම මේසයක් සහ පුටු තබන්න. විසිත්ත කාමරයත් ඒ ආකාරයෙන්ම අවම ගෘහ භාණ්ඩ සහිතව සකසන්න. ඔබ සතුව ඇති වැඩිපුර බඩු බාහිරාදිය ආරක්ෂා සහිතව තබා ගැනීම සඳහා ගබඩා (storage) පහසුකම් ලබාගැනීම සුදුසු වේ. ඔබ නව නිවසකට යන කාලය තෙක් වන මාස කීපය සඳහා ඉතාමත් සුළු මුදලකට මෙවැනි ගබඩා කාමර ලබාගත හැකිය.

බේස්මන්ට් කොටස

නිවසක පවතින තවත් ප්‍රධාන ස්ථානයකි බේස්මන්ට් කොටස. බොහෝ විට ඔබ මෙම කොටස කුලියට දී ඇතිවා විය හැකියි. එහෙත් නිවස මිල දී ගැනීමට පැමිණෙන පුද්ගලයන් ඒ කොටසද බැලීම සඳහා යන බව ඔබ සිහි තබාගත යුත්තකි. එනිසා බේස්මන්ට් කොටසද ප්‍රධාන නිවස මෙන්ම පිරිසිදුවටත් දීප්තිමත්වත් තබාගැනීමට උත්සාහ ගන්න. යහමින් එළිය දෙන බල්බ යොදා එහි අඳුරු ස්වභාවය හැකි තරම් අවම කරගන්න. විශේෂයෙන්ම ඔබගේ නිවස විකිණීමට පවතින සූදානම පිළිබඳව කුලී නිවැසියන් දැනුවත් කරන්න. නිවස බැලීමට පැමිණෙන ගැනුම් කරුවන් හට බේස්මන්ට් කොටස බැලීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසෙන සේ කුලී නිවැසියන් හා එකඟත්වයකට පැමිණෙන්න. බේස්මන්ට් කොටසෙහි ඇති උපාංග කාමරය (furnace room) හා electric panel සහිත කොටස කිසිදු ලෙසකින් අවහිර නොකරන්න. බේස්මන්ට් කොටස තුළ මෝල්ඩ් බැඳී ඇත්නම් එයට පිළියම් යොදන්න. ජල කාන්දු ආදිය ඇත්නම් ඒ සියල්ල පිළිසකර කරන්න. බේස්මන්ට්හි ඇති අනවශ්‍ය බඩු ඉවත් කර සිත්ගන්නා ආකාරයෙන් පවත්වාගන්න.

කෘමි උවදුරු

නිවස තුළ කෘමි සතුන් බෝවී ඇත්නම් (කැරපොත්තන්, මකුණන්, වේයන්) වහාම ඒ සඳහා පිළියම් යෙදීම කළ යුත්තකි. විශේෂයෙන්ම වේ උවදුරට ලක් වූ නිවෙස් විකිණීමට පෙර වේයන් වඳ කර එය නියමාකාරයෙන් සිදුකළ බවට වන සහතිකය ඒ පිළිබඳ විශේෂඥ ආයතනයකින් ලබා ගත යුතු වේ. වේ උවදුරට ලක් වූ නිවාස පිළිබඳව ගැනුම් කරුවාට නොදන්වා සිටීමෙන් පසුකලෙක මහත් ගැටලූ ඇති කළ හැකියි. නිවසෙහි මකුළු දැල් ආදිය බැඳී ඇත්නම් ඒවා ඉවත් කර පිරිසිදු කරගන්න. කැරපොත්තන් සහ වෙනත් කෘමි සතුන් ගැවසෙන නිවෙසක් මිල දී ගැනීමට කිසිවෙක් කැමැත්තක් නොදක්වති.

යහමින් මිල මුදල් වැයවන අලුත්වැඩියාවන්

වසර කීපයක් පැරණි නිවසක් වෙළඳපොළට එක් කිරීමේදී සැලකිය යුතු මුදලක් වැය වන අලූත්වැඩියා කටයුතුද කීපයක් පවතී. මේ සඳහා යම් මුදලක් වැය වුවත් වෙළඳපොළ තුළ තරඟකාරිත්වයක් ඇති කර වැඩි වටිනාකමකට නිවස විකුණා ගැනීමට නම් මේවා සිදුකොට තිබීම යෝග්‍ය වේ.

ඒ යටතේ,

  • තාප යන්ත්‍රය (furnace) යන්ත්‍රය (වසර 15 කට වඩා පැරණි නම්)
  • වායුසමීකරණ යන්ත්‍රය (මෙහි කාලසීමාව එම යන්ත්‍රයේ වර්ගය අනුව වෙනස් වන අතර නිසි නඩත්තු කටයුතු සිදුකර ඇත්නම් එය තවදුරටත් භාවිතයට ගත හැකියි)
  • නිවසෙහි වහළය (වසර 20 ට අධික පැරණි වහළයක් සහිත නම් ඒ පිළිබඳව සැලකිලිමත් වීම සුදුසු වේ)
  • තාපය ආරක්ෂා වන පරිදි යෙදූ දොර ජනෙල් (ගෙයක් මිල දී ගන්නා බොහෝ දෙනෙක් thermal windows පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරයි. ඒ නිසා එයද ඔබගේ අවධානයට යොමු විය යුත්තකි)
  • ගෙබිම (කාපට්, හාඩ්වුඩ්, ලැමිනේටින් යන ආකාරවලින් නිවසට යොදා ඇති ගෙබිම ඉවත් කිරීම සඳහා නිශ්චිත කාලයක් නැති අතර එය භාවිත කර ඇති තත්ත්වය මත රඳා පවතී. කාපට් සහිත නිවෙස් පිරිසිදු කර ප්‍රකෘතිමත් කළ නොහැකි තරමට කිළිටි වී ඇත්නම් ඒවා අලුතින් සවිකිරීම සුදුසු වේ)

ඉහත මා දැක්වූයේ ඔබේ නිවස විකිණීමට වෙළඳ පොළට දැමීමේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුතු කරණු කීපයකි. මෙම කරුණු අනුගමනය කිරීම තුළින් ඔබේ නිවසත් ඉතාමත් අඩු කාලයකින් වැඩිම මිලකට විකිණිය හැකි ස්ථානයක් කරගැනීමට ඔබට හැකියාව ලැඛෙනු ඇත.[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text]

Gamini

Gamini Abeysinghe – ABR, Certified Negotiation Expert
ඔන්ටේරියෝ නිවාස හා දේපොළ වෙළඳාම් සංගමයෙහි
බලයලත් දේපල හා නිවාස වෙළඳාම් අලෙවි නියෝජිත

Tel: 1-416 822 2789
Email : shinko@rogers.com
Web : www.gaminiabeysinghe.com

[/vc_column_text][/vc_column][/vc_row]

Share this Post