ඩොනල්ඩ් ට්‍රම්ප්, ධවල මන්දිරයට නැවත පැමිණීමට පෙර ඔහුගේ ප්‍රධාන අවධානය යොමු විය යුතු කරුණු රැසක් පසෙක තිබියදී, ඔහු විසින් කරන ප්‍රසිද්ධ ප්‍රකාශ සියල්ලම යොමුව ඇත්තේ, වෙනත් රටවලට එක්සත් ජනපදයේ මිලිටරි මැදිහත් වීම් සිදුකරන ආකාරය කියා පෑමටයි. ඔහු පවසන ආකාරයට, අවශ්‍ය නම් බලහත්කාරයෙන් හෝ එක්සත් ජනපදයේ භූමිය ලොකු කර ගැනීම සඳහා ඔහු සූදානම්ය. එය ඔහුගේ ‘ඈඳාගැනීමේ න්‍යාය පත්‍රය’ (annexation agenda) ලෙස හඳුන්වයි.
මෑත කාලයේදී ට්‍රම්ප් පුන පුනා පවසා සිටියේ, ඩෙන්මාර්කයෙන් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමත්, දශක ගණනාවකට පෙර පැනමා රජයට ලබා දුන් පැනමා ඇළ නැවත ලබා ගැනීමත් සහ කැනඩාව එක්සත් ජනපදයට එක් කර ගැනීමත් ගැනයි. ඔහු එහිදී පවසන්නේ, පැනමා ඇළේ සහ ග්‍රීන්ලන්තයේ පාලන බලය ලබා
ගැනීම සඳහා ‘මිලිටරි බලය’භාවිත කිරීමේ විකල්පය තමා වෙත ඇති බවත්,
කැනඩාවට බලපෑම් කිරීමට ‘ආර්ථික බලය’ යොදවන බවත්ය. ට්‍රම්ප්ගේ මේ ප්‍රකාශ පිළිබඳව ඩිමොක්‍රටික්වරුන් මෙන්ම ඔහුගේම රිපබ්ලිකානු සහචරයනුත් වික්ෂිප්තව පසුවන අතර ඔවුන් පවසන්නේ, ඔහුගේ මෑත ඉල්ලීම් සමහරක් බරපතල බවත් ඇතැම් ඒවා ඔහුගේ ඈඳා ගැනීමේ න්‍යාය පත්‍රයේ කොටස් සඳහා උත්තේජන ලබාගත හැකි ක්‍රම බවත් අනෙක් සියල්ල පුරසාරම් කතා බවත්ය.
විශේෂයෙන්ම කැනඩාව සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ ප්‍රකාශ ‘අතිවිශාල පුරාජේරු’ කතාවලට සමාන වන බව බොහෝ දෙනා පවසති. නමුත් යම් දෙයක් නිතර නිතර කියන විට, ඇත්ත අමතක වී නිතර කියන දේ සැබෑවක් ලෙස සිත් තුළට ඒමේ මිනිස් දුර්වලතාව ට්‍රම්ප් වැනි සට කපට ව්‍යාපාරිකයකු දැන සිටීම, මෙම කතාවේ
ඇති භයානක කම බව සමාජ විද්‍යාඥයෝ පවසති.
ට්‍රම්ප්ගේ ග්‍රීන්ලන්ත, පැනමා ඇළ, කැනඩා ත්‍රිත්වය එක්සත් ජනපදයේ පාලනයට ගැනීමේ සිහින අතරින් කැනඩාව ඉතිරි දෙකටම වඩා ඈතින් සිටින බව පැවසිය හැක. අතීතයේ සිට ග්‍රීන්ලන්ත සහ පැනමා ඇළ යන දෙකම යම් යම් අවස්ථාවල එක්සත් ජනපද සුරතලුන් බවට පත්ව සිටියත්, කැනඩාව එක්සත් ජනපදය හා ආර්ථික ගනුදෙනුවල යෙදී සිටිමින් ස්වෛරී රටක් ලෙස කටයුතු කර ඇත. නමුත් ට්‍රම්ප් පවසන පරිදී ඔහුගේ වාචාල කතාවලට නිසි පිළිතුරු දී හිස කෙළින් තබාගෙන සිටීමට නම් කැනඩාව එක්සත් ජනපදය මතම යැපෙන්නේ නැති ස්ථාවර ආර්ථිකයක් වර්ධනය කරගත යුතුව ඇත.
කෙසේ නමුත්, කැනඩාව 51 වෙනි ප්‍රාන්තය වීමේ සිහිනය ඈත තිබුණත් ග්‍රීන්ලන්ත සහ පැනමා ඇළ එසේ වීමේ ඉඩකඩ අඩු නිසා ඒවා ට්‍රම්ප්ට අත්‍යවශ්‍යව ඇත්තේ ඇයිදැයි මඳක් විමසා බලමු.
ග්‍රීන්ලන්තයේ පිහිටීම
මහාද්වීපයක් නොවන ලොව විශාලතම දූපත (වර්ග කිලෝමීටර 2,175,600) ලෙස සැලකෙන ග්‍රීන්ලන්තය, උතුරු ඇමරිකානු මහාද්වීපයේ කැනඩාවට ඊසාන දෙසින් ආක්ටික් කලාපයේ පිහිටා ඇත. ප්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය, ඉතාලිය, ග්‍රීසිය, ස්විස්ටර්ලන්තය සහ බෙල්ජියම යන රටවල් සියල්ලෙහිම බිම් ප්‍රමාණය එකතු කළත් ග්‍රීන්ලන්තය ඊටත් වඩා විශාල වන අතර ටෙක්සාස් මෙන් තුන් ගුණයක් විශාල වේ. එපමණ විශාල වුවත් මෙම දූපත ලෝකයේ ජනාකීර්ණත්වය අඩුම ප්‍රදේශවලින් එකක් ලෙස සැලකේ. 60,000 ක් පමණ වූ මිනිසුන් ප්‍රමාණයක් මෙහි ජීවත් වන අතර, ඒ බොහෝ දෙනෙකු ස්වදේශීය Inuit හෝ Kalaallit වරුන් වේ.
භූගෝලීය වශයෙන් උතුරු ඇමරිකාවේ පිහිටා තිබුණද කිලෝමිටර 3,532 ක් පමණ ඈතින් පවතින ඩෙන්මාර්කය විසින් වසර සිය ගණනක් පුරා ග්‍රීන්ලන්තය පාලනය කර ඇත. 20 වන ශත වර්ෂයේ මැද භාගය දක්වා මේ දිවයින ඩෙන්මාර්කයේ යටත්විජිතයක්ව තිබුණි. 1953 දී එය ඩෙන්මාර්කයේ කොටසක් බවට පත් කර, ග්‍රීන්ලන්ත වැසියන් ඩෙන්මාර්ක පුරවැසියන් ලෙස පිළිගනු ලැබුණි. 1979 දී ස්වදේශීය පාලනය පිළිබඳ ජනමත විචාරණයක් එරට පවත්වා, එම භූමිය තුළ බොහෝ ප්‍රතිපත්තිවල පාලනය ග්‍රීන්ලන්ත වැසියන්ට ලබා දුන් නමුත්, විදේශ කටයුතු සහ ආරක්ෂාව පිළිබඳ පාලනය ඩෙන්මාර්කය විසින් රඳවා ගනු ලැබ ඇත.
එහි භූමි ප්‍රදේශයෙන් සියයට 80 ක් පමණ අයිස් තට්ටුවකින් වැසී ඇත. ඒ නිසාම දූපතෙහි පරිමාවට අනුව මිනිසුන්ට ජීවත් විය හැකි භූමි ප්‍රමාණය අඩු වන අතර බොහෝ අය අගනුවර වන Nuuk වටා නිරිතදිග වෙරළ කලාපයේ ජීවත් වෙති. 1979 දී රට ස්වදේශීය පාලනය ලබාගැනීමෙන් පසු එරට අධ්‍යාපන ක්‍රමය බොහෝ වෙනස්කම්වලට භාජන විය. රජය අධ්‍යාපනයට ඉහළ ප්‍රමුඛතාවක් ලබා දී ඇති අතර අධ්‍යාපන ක්‍රමය ග්‍රීන්ලන්ත සංස්කෘතියට සහ කොන්දේසිවලට අනුගතව සිදු කෙරේ. එරට ආර්ථිකය මත්ස්‍ය අපනයනය මත රඳා පවතින අතර රජයේ ආදායමෙන් අඩක් පමණ ඩෙන්මාර්ක රජයේ සහයෝගය මත සපයනු ලැබේ.
ග්‍රීන්ලන්තයේ වත්මන් ජනගහනය, ක්‍රි.ව. 1200 දී පමණ එරටට සංක්‍රමණය වූ Thule සංස්කෘතියෙන් පැවත එන්නන් වන අතර නෝර්වීජියානු වයිකිං Erik the Red ගේ නායකත්වයෙන් Norsemen වරු එහි පදිංචි වී ඇතත්, ක්‍රි.වර්ෂ 1500 දී පමණ පැහැදිලි හේතුවක් නොමැතිවම මෙම නොර්ස් ජනගහනය සම්පූර්ණයෙන්ම එරටින් අතුරුදන් වී ඇත.
ස්වභාවික සුන්දරත්වයෙන් අනූන ග්‍රීන්ලන්තය ගැන රට වැසියන් කතා කරන්නේ මහත් සාඩම්බරයෙනි. ඔවුන් පවසන පරිදි, ග්ලැසියර, ග්ලැසියර නිම්න, සුන්දර කඳුවැටි, එම දේශගුණයට ආවේණික සත්ව විශේෂ ඇතුළු විශ්මයජනක වටාපිටාවේ මැද, එහි යන්නන්ට ඔවුන් ‘ඉතා කුඩා’ බව හැඟෙනු ඇති බවයි.
අයිස් කුට්ටි, ග්‍රීන්ලන්තයේ වඩාත් දර්ශනීය ස්වභාවික සැකැස්ම වන අතර, පාවෙන අයිස් කුට්ටි විශාල තට්ටු ගොඩනැගිල්ලක් තරම් උස වේ. මුහුදේ පාවෙන අයිස් කුට්ටි අතරින් මුහුද මතුපිටට මතුව ඇත්තේ සියයට 10 ක ප්‍රමාණයක් පමණි. මෑත වසරවලදී ග්‍රීන්ලන්තයේ මෙම දැවැන්ත අයිස් තට්ටු හැකිලෙමින් පවතින බවට විද්‍යාඥයින් අනතුරු අඟවා ඇති අතර මිනිසුන් විසින් ඇති කරන දූෂිත ක්‍රියාකාරකම් මෙම දේශගුණික විපර්යාසවලට හේතු වී ඇත.
ග්‍රීන්ලන්තය, එක්සත්ජනපදයට මෙතරම් අවශ්‍යද?
දෙවන ලෝක සංග්‍රාමයේදී නාසි ජර්මානුවන් ඩෙන්මාර්කයේ ප්‍රධාන භූමිය අත්පත් කර ගැනීමෙන් පසු, එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය ආක්‍රමණය කර එම භූමිය පුරා හමුදා සහ ගුවන්විදුලි මධ්‍යස්ථාන ස්ථාපිත කළහ. යුද්ධය හමාර වීමෙන් පසු නැවතත් එම දූපත ඩෙන්මාර්කය වෙත භාර වුවත්, 1951 වසරේදී, හමුදා කඳවුරු ගොඩනැගීමේ සහ නඩත්තු කිරීමේ අයිතිය ඇතුළු භූමිය ආරක්ෂා කිරීමේ සැලකිය යුතු කාර්යභාරයක් ආරක්ෂක ගිවිසුමක් මගින්ම ඩෙන්මාර්කය විසින් එක්සත් ජනපදය වෙත ලබා දී ඇත. නමුත් දැන් ඔවුන්ට සිදුව ඇත්තේ ‘පරිස්සමට භාර දී ඈලියාවට යවා ගත්තා’ වැනි සිදුවීමකි.
මෙම ගිවිසුමෙන් පසු, යුද්ධය හමාර වුවත් එක්සත් ජනපද හමුදා ග්‍රීන්ලන්තයෙන් පිට නොවී රැඳී සිටි අතර Thule Air Base හි පාලනය ඔවුන් විසින් මෙහෙයවන ලදී. (2023 අප්‍රේල් 06 වන දින සිට Thule ගුවන් කඳවුර Pituffik අභ්‍යවකාශ කඳවුර ලෙස නම් කර ඇත.) යම් විටෙක රුසියාව විසින් එක්සත් ජනපදය දෙසට මිසයිල යැව්වහොත්, එම න්‍යෂ්ටික අවි සඳහා කෙටිම මාර්ගය වන්නේ උත්තර ධ්‍රැවය සහ ග්‍රීන්ලන්තය හරහා වන මාර්ගය නිසා, එක්සත් ජනපදය ආරක්ෂා කර ගැනීමේදී ග්‍රීන්ලන්තයේ පිහිටි
මෙම Pituffik අභ්‍යවකාශ කඳවුර අතිශයින් වැදගත් වේ. පසුගිය කාලයේ එළිදුටු ආක්ටික් ආයතනයේ පත්‍රිකාවකට අනුව, චීනය සහ රුසියාව මෑත වසරවලදී ඔවුන්ගේ ආක්ටික් මිලිටරි හැකියාවන් ගොඩ නැඟීම ආරම්භ කොට ඇත. එම ප්‍රතිවාදීන්ට එරෙහිව සටන් කිරීම සඳහා ආක්ටික් ප්‍රදේශයේ තම පැවැත්ම වර්ධනය කරගත යුතු බව, එම පත්‍රිකාව එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියි.
මේ අතර මෑත වසරවලදී ග්‍රීන්ලන්තයේ දකුණු ප්‍රදේශයේ පවතින, තවමත් කැණීම් නොකළ යුරේනියම් සහ යකඩ වැනි දුර්ලභ පෘථිවි ඛනිජ කෙරෙහිද ලෝකයේ වැඩි උනන්දුවක් ඇති වී තිබෙන අතර ට්‍රම්ප් ග්‍රීන්ලන්තයේ විශාල භූමි ප්‍රදේශය හරහා පතල් කැණීම ගැනද උනන්දුවක් දක්වනවා විය හැකැයි ඩෙන්මාර්කයේ රාජකීය ආරක්ෂක විද්‍යාලයේ සහකාර මහාචාර්ය මාක් ජේකොබ්සන් පවසා සිටී. මෙම ඛනිජ වර්ග සුළං ටර්බයින නිපදවීමේ සිට සියලුම වර්ගවල තාක්ෂණයන් සඳහා අතිශයින් වැදගත් වේ. නමුත් පතල් කැණීම් වැනි පරිසර විනාශකාරී තත්ත්වයන්ට ප්‍රවේශ වීමේදී, ග්‍රීන්ලන්තයේ අයිස් කඳු දිය වී යාම සිදුවිය හැකි බව මහාචාර්ය මාක් පෙන්වා දේ.
ග්‍රීන්ලන්තය කවදත් ට්‍රම්ප් දැඩිව ලොබ කළ දූපතකි. එය අත්පත් කර ගැනීම පිළිබඳ තිබූ කැමැත්ත ඔහු කිසිවිටෙකත් අත් නොහැරියහ. ඒ නිසා ග්‍රීන්ලන්තයේ පූර්ණ පාලනය ගැන ට්‍රම්ප් පවසන්නේ ස්ඵීරවම එය එසේ විය යුත්තක් බවයි. එක්සත් ජනපදයේ ජාතික සහ ආර්ථික ආරක්ෂාව සඳහා, ග්‍රීන්ලන්තයේ පාලනය එක්සත් ජනපදය අතට පත් විය යුතුව ඇති බව ඔහු තරයේ අදහයි.
සැබවින්ම ට්‍රම්ප්ගේ කට වාචාලකම නිසා ග්‍රීන්ලන්තය එක්සත් ජනපදයට ඈඳා ගැනීමේ කතා බහ අලුතින් පැමිණි කතාවක් සේ මතුව ඇතත්, සියවසකට වැඩි කාලයක් එක්සත් ජනපද පාලකයන් ග්‍රීන්ලන්තයේ පාලනය එරට යටතට ගැනීමට උත්සාහ ගෙන ඇත. බොහෝ දුරට ස්වාධීන ඩෙන්මාර්ක භූමියක් වන ග්‍රීන්ලන්තය, උතුරු ඇමරිකාවේ සිට යුරෝපය දක්වා වන කෙටිම මාර්ගයේ පිහිටා ඇති නිසා උපායමාර්ගිකව එය එක්සත් ජනපදයට ලබා ගැනීම වැදගත් වේ. 1867 දී එක්සත් ජනපදය විසින් රුසියාවෙන් ඇලස්කාව මිල දී ගත් පසු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් William H. Seward ග්‍රීන්ලන්තය මිල දී ගැනීමට සාකච්ඡා කළ නමුත් ඒ සඳහා එකඟතාවයකට පැමිණීමට අසමත් විය. 1946 දී එක්සත් ජනපද භූමියේ ජාතික ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය බව තීරණය කොට, ග්‍රීන්ලන්ත භූමිය සඳහා ඩොලර් මිලියන 100 ක ළංසුවක් තබා ඇති මුත් ඩෙන්මාර්ක රජය එය ප්‍රතික්ෂේප කර ඇත. ට්‍රම්ප්ද 2019, ඔහුගේ පළමු ධුර කාලය තුළ ග්‍රීන්ලන්තය මිල දී ගැනීමට උත්සාහ කර ඇතත් ඩෙන්මාර්ක සහ ග්‍රීන්ලන්ත ආණ්ඩු දෙකම එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ, “Greenland is not for sale” ලෙසයි.
මේ පිළිබඳව ග්‍රීන්ලන්ත පාර්ලිමේන්තුව තුළ නිතර අදහස් හුවමාරු වන අතර එහි Inatsisarut සාමාජික Kuno Fencker ජනවාරි මාසයේ පවසා ඇත්තේ, ට්‍රම්ප්ගේ ප්‍රකාශ තර්ජන ලෙස තමා නොදකින බවයි. ස්වෛරී ග්‍රීන්ලන්තයට ආරක්ෂාව සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තෝරා ගත හැකි බව ඔහුගේ අදහසයි.
ග්‍රීන්ලන්තයේ ප්‍රථම කාන්තා අගමැතිනිය වන Aleqa Hammond පවසන්නේ ‘ට්‍රම්ප් අපට සලකන්නේ ඔහුට මිල දී ගත හැකි හොඳ භාණ්ඩයක් වගෙයි. ඔහු ග්‍රීන්ලන්තය සමග කතා කරන්නේවත් නැහැ. නමුත් ඔහු ග්‍රීන්ලන්තය මිල දී ගැනීමට ඩෙන්මාර්කය සමග කතා කරයි’ යනුවෙනි.
පසුගිය ජනවාරි 07 වන දින ට්‍රම්ප්ගේ වැඩිමහල් පුත්,Donald Trump Jr, ග්‍රීන්ලන්තයේ සම්පූර්ණ ජනගහනයම වාගේ සිටින Nuuk වෙත සංචාරය කළ අතර, තේරී පත් වූ ජනාධිපතිවරයාගෙන් ග්‍රීන්ලන්ත වැසියන්ට පණිවිඩයක් ලබා දීමට ඔහු එහි ගොස් තිබුණු බව සඳහන් විය.
කෙසේ වෙතත් මේ වන විට ග්‍රීන්ලන්ත වැසියන් වෙනුවෙන් හඬ අවදි කරන ඩෙනමාර්කයේ විදේශ ඇමතිවරයා පවසා ඇත්තේ, ග්‍රීන්ලන්තයේ පදිංචිකරුවන්ට අවශ්‍ය නම් ස්වාධීන විය හැකි නමුත් එක්සත් ජනපද රාජ්‍යයක් බවට පත්වීමට ඉඩක් නොමැති බවයි. නමුත් මේ ප්‍රකාශයෙන් දින කිහිපයකට පසු විදේශ ඇමතිවරයා පවසා ඇත්තේ, නීත්‍යනුකූලව ඇමරිකානු අවශ්‍යතා සහතික කිරීම සඳහා ට්‍රම්ප් සමග දිගටම සාකච්ඡා කිරීම වෙනුවෙන් ග්‍රීන්ලන්තය සමග වැඩ කිරීමට සූදානම් බවයි.
පැනමා ඇළ
අත්ලාන්තික් සාගරය සහ පැසිෆික් සාගරය යා කරන, අත්‍යවශ්‍ය නැව් මාර්ගය වන පැනමා ඇළ පාලනය කිරීමට චීන සොල්දාදුවන්ට අවසර දී ඇතැයි යන සාවද්‍ය ප්‍රකාශයක් පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණි. එසේම එක්සත් ජනපද නැව්වලට මෙම මාර්ගයේදී අධික ගාස්තුවක් අයකරන බවද ඔහු නගන ප්‍රධාන චෝදනාවකි. ඒ අනුව ජනවාරි 20 වන දින ඔහු බලයට පත් වූ වහාම ඒවා අඩු නොකළහොත් සම්පූර්ණයෙන්ම, ඉතාමත් ඉක්මනින්, කිසිඳු ප්‍රශ්න කිරීමකින් තොරව ඇළ පාලනය එක්සත් ජනපදයට ලබා ගන්නා බවට ඔහු අනතුරු අඟවා සිටී. ඒ සඳහා අවශ්‍ය වුවහොත් මිලිටරි බලය වුවත් යොදා ගන්නා බවද ඔහුගේ ප්‍රකාශ තුළ කියවී තිබුණි.
පැනමාවේ විදේශ අමාත්‍ය Javier Martínez-Acha මේ කතාවලට ප්‍රතිචාර දක්වමින් මෙසේ පවසා තිබුණි. “ඇළෙහි ක්‍රියාත්මක කිරීම් සිදුකරන එකම අත පැනමාව පමණි. නමුත්, එය පවතින්නේ කෙසේදැයි, කවුරුන් මතදැයි තීරණය කිරීමේ අයිතිය පැනමාවට පමණක් ඇති බව කවුරුත් දැන සිටිය යුතුයි”
පැනමා ජනාධිපති, José Raúl Mulino, ට්‍රම්ප්ගේ කිසිදු ප්‍රකාශයක් සම්බන්ධයෙන් තවමත් ඍජු ප්‍රතිචාර දක්වා නැත. නමුත්
2024 දෙසැම්බර් 31 වැනි දින පැනමා ඇළ පවරා දීමේ 25 වන සංවත්සරය සනිටුහන් කරමින් පැවති වර්ණවත් උත්සවයේදී ඔහු ජනතාවට පැවසූවේ, “විශ්වාසවන්තව පසුවන්න. එය සදහටම අපගේ පාලනයේ පවතිනු ඇතැ” යි යනුවෙනි.
පැනමා ඇළ, කාගෙද?
ප්‍රථම වරට පැනමා ඇළ ඉදිකිරීම් කටයුතු 1881 දී ප්‍රංශය විසින් ආරම්භ කර ඇත. නමුත් 1890 වන විට එම ව්‍යාපෘතිය අසාර්ථක වී ඇත්තේ කම්කරුවන් 20,000 ක් පමණ, මැලේරියාව සහ කහ උණ වැනි නිවර්තන රෝගවලිනුත් වෙනත් ආබාධවලිනුත් මිය යෑම හේතුවෙනි. පසුව 1904 දී එක්සත් ජනපදය විසින් එම ව්‍යාපෘතිය භාරගෙන 1914 වන විට ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇත. දුෂ්කර කාලගුණික තත්ත්වයන් සහ නුහුරු නුපුරුදු රෝග, ඇළ ඉදිකිරීමේදී ඔවුන් වෙතද අභියෝගාත්මක වූවත් වසර 10 ක් තුළ එම කටයුතු නිමා කිරීමට ඔවුන් සමත් විය.
පැනමා ඇළ මාර්ගය සාගර දෙකක් යා කරමින්, මිනිසා විසින් සාදන ලද ජල මාර්ගයක් සේම එය නූතන ලෝකයේ අරුම පුදුම අතර එකක් ලෙසද සැලකෙන්නකි.
ඉදිකිරීම්වලින් පසු 1977 දක්වා පැනමා ඇළ සහ එම ඇළ කලාපය පාලනය කිරීම එක්සත් ජනපදය විසින් කරගෙන ගොස් ඇත. නමුත් Torrijos–Carter ගිවිසුම මගින් 1977 දී ඇළෙහි අයිතිය පැනමාවට පවරා දෙනු ලැබුණි. මේ සඳහා මෑතකදී අභාවප්‍රාප්ත, හිටපු ජනාධිපති Jimmy Carter මූලික වී කටයුතු කර ඇත. එම ගිවිසුමෙන් පසු ඇමරිකානු-පැනමියානු ඒකාබද්ධ පාලනයක් පැනමා ඇළ මාර්ගය තුළ සිදු කෙරුණු අතර 1999 දෙසැම්බර් 31 වැනි දින ඇළෙහි පාලනය සම්පූර්ණයෙන්ම පැනමාව යටතට පත් කොට ඇත.
ගෝලීය සමුද්‍ර වෙළඳාමේ ප්‍රධාන මර්මස්ථානයක් වන මෙම ඇළ Cape Horn අවට ඇති අනතුරුදායක සහ දිගු මාර්ගය මග හැරීමට නැව්වලට ඉඩ සලසයි. එක්සත් ජනපදයේ ප්‍රධාන වෙළඳ මාර්ගයක් වන මෙය හරහා එක්සත් ජනපද මුහුදු වෙළඳාමෙන් සියයට 14 ක් පමණ සිදු කෙරේ. මෙම ඇල මාර්ගයේ දිග කි.මීටර 80 ක් වන අතර නැව්වලට දෙපැත්තකින් ගමන් කළ හැකි ලෙස සකසා ඇත. මෙහි එක් පැත්තක සිට අනෙක් පසට යාමට පැය 10 ක් පමණ ගත වේ.
ට්‍රම්ප්ට එය අවශ්‍ය ඇයි?
පැනමා ඇළ සම්බන්ධයෙන් ට්‍රම්ප් මෑත කාලයේ මෙතරම් දඟලන්නේ ඇයිදැයි අපහැදිලි වුවත් ‘ආර්ථික ආරක්ෂාව’ සඳහා එක්සත් ජනපදයට පැනමා ඇළ අවශ්‍ය බව ට්‍රම්ප් පවසා සිටියි. ඔහු පවසන්නේ, පැනමා ඇළ එක්සත් ජනපදය විසින් පැනමාවට මිසක් චීනයට ලබා නොදුන් බවයි. නමුත් පැනමාව එය අවභාවිත කරමින් එක්සත් ජනපදය ලබාදුන් තෑග්ග චීනුන්ට දෙමින් අපයෝජනය කර ඇති බව ට්‍රම්ප් පවසයි.
කෙසේ වෙතත් ග්‍රීන්ලන්තය මෙන්ම, මෙයත් ට්‍රම්ප්ට පමණක් ඇති ප්‍රශ්නයක් නොවේ. රිපබ්ලිකානුවන් සෑම විටෙකම ඇළ නැවත පැනමාවට පවරා දීම එක්සත් ජනපදයේ එකල නායකයින් ගැන අප්‍රසාදයෙන් කතා කරයි. එක්සත් ජනපදයේ ජනතාව ඇළේ ‘නිවැරදි අයිතිකරුවන්’ බවත් ‘අපි එය මිල දී ගත්තා… අපි ඒකට ගෙව්වා… අපි ඒක හැදුවා…’ යැයි ඔවුහු නිතරම පවසති. එසේම, ට්‍රම්ප් දිගින් දිගටම පවසා සිටින්නේ, ඇළ ආපසු ලබා දීමෙන් කාටර් ජනාධිපතිවරයා එක්සත් ජනපදයට ‘විශාල වැරැද්දක්’ කර ඇති බවයි.
-
චමරි අබේසිංහ