මිනීමැරුම්, කප්පම් ගැනීම්, බිය ගැන්වීම්, බලහත්කාරකම් සහ හිරිහැර කිරීම් ඇතුළුව කැනඩාවේ ‘සාපරාධී’ ක්‍රියාකාරකම් සිදුකරන බවට කැනේඩියානු පොලිසිය (RCMP) විසින් ගොනු කොට තිබූ චෝදනා උපුටා දක්වමින්, ඉන්දියාවේ කැනඩා මහ කොමසාරිස්වරයා සහ තවත් රාජ්‍ය තාන්ත්‍රිකයින් පස් දෙනෙකු කැනඩාවෙන් පිටුවහල් කරන බව කැනේඩියානු රජය ඔක්තෝබර් 14 වෙනි දින නිවේදනය කරනු ලැබීය. මෙය ඉන්දු-කැනඩා ඓතිහාසික සුහදත්වයට එල්ල වූ ඉතා බරපතල ප්‍රහාරයක් ලෙස සඳහන් කළ හැක. යාන්තමින් එකලස් කරමින් ඇදගෙන ආ ඒ සබඳතාව නැවතත් බිඳී යන ලකුණු මෙයින් පෙන්නුම් කෙරෙයි. කැනඩාවේ සීක් බෙදුම්වාදී කොටස් සම්බන්ධයෙන් මෙරට අගමැති ජස්ටින් ටෲඩෝ සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර පවතින පරස්පර විරෝධී ආරවුල නිසා ඉන්දු-කැනඩා හිතවත්කම් වසර ගණනාවක සිට දැඩි පීඩනයකට ලක්වෙමින් පවතී.

සීක්වරුන් සහ කැනඩාව

සීක්වරුන්ගේ කැනඩා ආගමනය වසර 100 කටත් පෙර සිදුව ඇති බව ඒ පිළිබඳව ඇති දත්තයන්හිහිසඳහන් වේ.  මෙරටට පළමු සීක්වරයා පැමිණ ඇත්‌තේ එක්දහස් අටසිය ගණන්වල වුවත් ඒ පිළිබඳ පැහැදිලි වාර්තා නොමැත. සීක් ඉතිහාසයේ කැපී පෙනෙන අවස්ථාව ලෙස සඳහන් වන්නේ 1902 බ්‍රිටිෂ් කොලොම්බියාවේ Golden ප්‍රදේශයේ
Columbia River Lumber Company වෙත රැකියා සඳහා පැමිණ පදිංචි වූ සීක්වරුන් සම්බන්ධවයි. 2021 වන විට කැනඩාවේ ජනගහනයෙන් ලක්ෂ අටකට ආසන්න ප්‍රමාණයක් හෙවත් සමස්ත ජනගහනයෙන් සියයට 2.1 ක් සීක් වරුන් විය. ඔවුන්ගේ ජනගහනය කෙසේද යත්, මේ වන විට කැනඩාවේ හතරවන විශාලතම ආගමික කණ්ඩායම බවට සීක්වරුන් පත්ව ඇත. එපමණක් නොව, ඉන්දියාවට පසුව ලෝකයේ දෙවන විශාලතම සීක් ජනගහනය ජීවත් වන රටද කැනඩාවයි. කැනඩාවේ සීක් ජනගහනය වැඩිම ඔන්ටේරියෝවේ වන අතර බ්‍රිටිෂ් කොලොම්බියා සහ ඇල්බර්ටා සීක්වරුන් වැඩි සෙසු පළාත් වේ. Brampton (Ontario), Surrey (BC), Calgary, Edmonton යන නගරවලින් කැනඩාවේ සීක් ප්‍රජාවෙන් අඩකට වැඩි ප්‍රමාණයක් සොයාගත හැකි බව සංගණන වාර්තා සඳහන් කරයි.

සීක් කැනේඩියානුවන්ගෙන් යම් පිරිසක් ඉන්දියාවෙන් ස්වාධීන වෙනම සීක් නිජබිමක් (Khalistan) නිර්මාණය කර ගැනීම සඳහා වන බෙදුම්වාදී අරගලය සඳහා සහාය දක්වමින් සිටින බව කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසකි. මෙම කාලිස්ථාන් නිජබිම් සංකල්පය ඉන්දියාවේ තහනම් කර ඇති ව්‍යාපාරයක් වන අතර මූලික වශයෙන් එහි වාචික උපදේශකයින් රැසක් පන්ජාබ් විදේශීය ඩයස්පෝරාව අතර සිටී. පසුගිය වසරේ බ්‍රිටිෂ් කොලොම්බියා Surrey හි පැවති නිල නොවන Khalistan ජනමත විචාරණයට සීක් කැනේඩියානුවන් දස දහස් ගණන් පැමිණ ඡන්දය ප්‍රකාශ කිරීමම ඊට සාක්ෂි සාධක සපයයි. ඉන්දියාවේ ස්වෛරීභාවය අනතුරට හෙලමින්, සම්පත් සහ මුදල් යොදවමින් සීක් කැනේඩියානුවන් සිදුකරන මෙවැනි කටයුතු
ඉන්දීය අගමැති මෝදි දැඩිව හෙළා දකිමින් දෝෂ දර්ශනයට ලක් කර තිබූ අතර ඊට කැනේඩියානු අගමැති ටෲඩෝ පවසා තිබුණේ, කැනඩා රජය සෑම විටම ‘එක්සත් ඉන්දියාවක්’ සඳහා සහාය දක්වන බවයි. නමුත් මේ පිළිබඳව ඉන්දියාවේ අදහස වූයේ සීක් බෙදුම්වාදි කතිකාවත මර්දනය කිරීමට කැනඩා රජය ක්‍රියා නොකරන බවයි.

මේ සියලු තත්ත්වයන් යටතේ කැනඩාව සහ ඉන්දියාව 2023 වසර වන තෙක් සාපේක්ෂ වශයෙන් සමීප සබඳතා භුක්ති විඳිනු ලැබීය. නමුත් ඉන්දියාවේ උපත ලබා කැනේඩියානු පුරවැසියෙකු බවට පත් සීක් ක්‍රියාකාරිකයෙකු වූ Hardeep Singh Nijjar ගේ ඝාතනයත් සමග එම තත්ත්වය කණපිට හැරුණි. අළු යට ගිනි මෙන් තිබූ විරසකය එයින් පසු බරපතල රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් දක්වා වඩා වර්ධනය විය. 2023 ජූනි 18 වැනි දින Surrey හි සීක් කෝවිලක අසලදී හර්දීප් සිං නිජ්ජාර් වෙඩි තබා ඝාතනය කර තිබුණි. ‘කාලිස්තාන්’ සඳහා සිදුකරන ප්‍රචණ්ඩත්වයන් සම්බන්ධයෙන් 2020 ජූලි මාසයේදී ‘ත්‍රස්තවාදියෙකු’ ලෙස නම් කෙරුණු නිජ්ජාර් ඉන්දීය බලධාරීන්ට අවශ්‍යව සිටි පුද්ගලයෙකි.කෙසේ වෙතත් ඉන්දියාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක් කැනඩාව ඇතුළට ගෙන ඒමට මෙම ඝාතනය සමත් විය. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් නිකුත් කළ කැනඩා අගමැති ටෲඩෝ පැවසූවේ, මෙම සිදුවීමට ඉන්දීය රජයේ නියෝජිතයන් සම්බන්ධ බවට ‘විශ්වසනීය’ තොරතුරු ඇති බවයි. ටෲඩෝගේ මේ අසාමාන්‍ය චෝදනා ප්‍රකාශය ඉන්දියාව තරයේ ප්‍රතික්ෂේප කළ අතර එය ‘විකාර’ කතාවක් ලෙස හඳුන්වා දී තිබුණි. ඒ එක්කම කැනඩාව ඉන්දීය රාජ්‍යයට තර්ජනයක් වූ ‘ත්‍රස්තවාදීන්ට’ සහ ‘ඉන්දියානු විරෝධීන්ට’ රැකවරණය සපයන බවටද චෝදනා එල්ල කරනු ලැබීය. ඉන් නොනැවතුණු ඉන්දියාව, කැනේඩියානු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු එරටින් නෙරපා හරිනු ලැබූ අතර දිල්ලියේ පිහිටි තානාපති කාර්යාලයෙන් රාජ්‍ය තාන්ත්‍රිකයින් 41 දෙනා ඉවත් කරගන්නා ලෙස කැනඩාවට නියෝග කළේය. ඒ සමගම කැනේඩියානුවන් සඳහා සියලුම වීසා අයදුම්පත් අත්හිටුවීමටද කටයුතු කොට තිබුණි.

මේ වසර මුලදී නිජ්ජාර් ඝාතනය කළ ප්‍රහාරක කණ්ඩායමට සම්බන්ධ බවට චෝදනා ලැබූ ඉන්දියානු ජාතිකයන් තිදෙනෙකු කැනේඩියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනි. මෙම පුද්ගලයන් ‘ඉන්දියා රජය සමග කිසියම් සබඳතාවක් තිබේද යන්න විමර්ශනය කරන බව’ එහිදී පොලිසිය පවසා තිබුණි. මෙම ඝාතනය සම්බන්ධයෙන් තම රට අල්ලා ගනිමින් සිදුකරන කටයුතු තරයේ ප්‍රතික්ෂේප කරමින් ඉන්දියාව පැවසූවේ මෙම පොලිස් පරීක්ෂණ කටයුතුවලින් කැනඩාව දේශපාලනික වාසි ලබාගනිමින් සංක්‍රමණික ඡන්ද ඉලක්ක කරගනිමින් කටයුතු කරන බවයි.

වර්තමානය වන විට කැනඩාව සහ ඉන්දියාව අතර තත්ත්වය තවත් අවුල් සහගත වී ඇත. ඉන්දීය රජය කැනඩාවට එරෙහිව නගන සියලු චෝදනාවලට වඩා විශාල සාපරාධී චෝදනාවක් කැනේඩියානු පොලිස් නිලධාරීන් විසින් ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයකු සහ කොන්සියුලර් කාර්ය මණ්ඩලයේ කීප දෙනෙකු වටා ගොනුකර ඇත. මෙම නිලධාරි පිරිස ඉන්දියාවේ කුප්‍රකට මැර ප්‍රධානියකු වන ලෝරන්ස් බිෂ්නෝයි විසින් මෙහෙයවන අපරාධ ජාලයක් සමග කටයුතු කර ඇති බවට විශ්වාස කරන බවත් කාලිස්ථාන් ව්‍යාපාරයට සම්බන්ධ යැයි සැක කර කැනේඩියානුවන් පිළිබඳ බුද්ධි තොරතුරු රැස් කරමින් සිටින බවටත් කැනඩා පොලිසිය චෝදනා කරයි. නිජ්ජාර් ඝාතනයට කැනඩාවේ සිටින ඉන්දියාවේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා වන මහ කොමසාරිස් සංජේ කුමාර් වර්මා සහ අනෙකුත් කොන්සියුලර් කාර්ය මණ්ඩලය සම්බන්ධ බවට තමන් සතුව සාක්ෂි ඇති බවත් කැනේඩියානු නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

 

මේ පිළිබඳව පැවති මාධ්‍ය හමුවකදී එම චෝදනා දෙගුණ තෙගුණ කරමින් අදහස් දැක්වූ ටෲඩෝ අගමැතිවරයා පවසා ඇත්තේ, ඉන්දියානු රජයේ නියෝජිතයන් මහජන ආරක්ෂාවට සැලකිය යුතු තර්ජනයක් වන ක්‍රියාකාරකම්වල නිරත වී ඇති බවටත්, දිගටම නිරත වෙමින් ඇති බවටත් කැනඩාව සතුව පැහැදිලි සහ බලගතු සාක්ෂි ඇති බවයි. කැනේඩියානුවන්ට පහර දීම සඳහා ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි යොදාගැනීමට තෝරා ගැනීමේදී ඉන්දියාව දැවැන්ත වරදක් කර ඇති බවත් මෙවැනි කටයුතු කැනඩාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් ලෙස පිළිගන්නා බවත් ටෲඩෝ ටෲඩෝ වැඩිදුරටත් පවසයි. මේ පිළිබඳව කැනඩා විදේශ ඇමතිනී Mélanie Joly පවසා ඇත්තේ, කැනේඩියානුවන්ගේ ජීවිත කිසියම් හෝ ආකාරයකින් අවදානමට ලක් කර ඇත්නම් කැනඩාවේ සිටින ඉතිරි ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන්ද වහාම නෙරපා හරින බව ඔවුන් වෙත ‘දැනුම් දී’ ඇති බවයි.

ඉන්දියාවේ ප්‍රතිචාරය

නිජ්ජාර් ඝාතනය විමර්ශනයේදී මෙම ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් වගකිව යුතු පුද්ගලයන් ලෙස කැනඩාව දැනුම් දීමත් සමග ඉන්දීය විදේශ අමාත්‍යාංශය දැඩි කෝපයෙන් ඊට ප්‍රතිචාර දක්වා තිබුණි. පසුගිය දා ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය ආණ්ඩුව පවසා තිබුණේ කැනඩාව නගන චෝදනා ‘අසත්‍ය’ බවයි. මෙය ටෲඩෝ ආණ්ඩුවේ ‘දේශපාලන න්‍යාය පත්‍රයක්’ ලෙස ඔවුහු පවසති. කැනේඩියානු පොලිසිය සහ ටෲඩෝ විසින් කරන ප්‍රකාශයන්ට පටහැනිව දිල්ලිය පවසන්නේ නිජ්ජාර් ඝාතනයට ඉන්දියානු සම්බන්ධයක් ගැන කියන ප්‍රකාශ සනාථ කිරීමට ඔටාවා කිසිදු විශ්වසනීය සාක්ෂියක් සඳහන් නොකරන බවයි. මෙහිදී ටෲඩෝ කලිස්ථානි බෙදුම්වාදීන්ට අසීමිතව අනුකම්පා කරන බවට ඉන්දියාව නැවත නැවත චෝදනා කරයි.
මේ අතර රාජ්‍ය තාන්ත්‍රිකයන් නෙරපීම පිළිබඳව ඉන්දියාව පවසන්නේ වෙනත් කතාවකි. තම රාජ්‍ය නියෝජිතයන්ට කැනඩාවේදී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි නිසා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයින් හයදෙනෙකු ‘ඉවත් කරගැනීමට’ කටයුතු කළ බව ඉන්දියාව පවසයි. කෙසේ වෙතත් මේ පිළිබඳව ප්‍රවෘත්ති ප්‍රකාශන කිහිපයකින් දැනුවත් කළ කැනඩාව පැවසූවේ ඉන්දියාව එසේ පැවසූවත් කැනඩාව මුලින්ම මෙම ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා දැමූ බවයි.

කෙසේ වෙතත් ඉන්දියාව සහ කැනඩාව අතර ද්විපාර්ශ්වික සබඳතා දැන් සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇත. ඇතැම් විට මෙම කතාව තුළ අපට නොපෙනෙන සැලකිය යුතු භූ දේශපාලන ඇඟවුම් තිබිය හැක. මේ වන විට ඉන්දියාව වර්ධනය වන සුපිරි බලවතෙකු ලෙස සලකනු ලබන අතර එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය වැනි බටහිර රටවලට වැදගත් ආරක්ෂක සහ ආර්ථික මිතුරෙකු වී ඇත. එහෙත් මෝදි ආණ්ඩුව ජාත්‍යන්තර සබඳතාවලදී ක්‍රියා කරන ආකාරය සම්බන්ධව වැරදි චිත්‍රයක් මවන සාක්ෂි වර්ධනය වුවහොත් එම සම්බන්ධතා සංකීර්ණ කිරීමට හැකි වෙනු ඇත.

සීක්වරුන්ගේ කාලිස්ථානය

ඉන්දියාව තුළ සීක් වරුන් වෙනමම නිජබිමක අයිතිය ඉල්ලීම අද ඊයේ ඇති වූවක් නොවේ. බ්‍රිතාන්‍ය පාලනයේ අවසාන කාලයේ සිට සීක් ජනතාවට වෙනම ප්‍රාන්තයක් අවශ්‍ය බව ඔවුන් ප්‍රකාශ කර තිබුණි. කෙසේ වෙතත් නිදහස ලැබූ ඉන්දියාවේ ප්‍රාන්ත බෙදීමේදී පන්ජාබය ප්‍රාන්ත දෙකකට කැඩුණි. එක් පළාතක සීක් සහ හින්දූන් ජීවත් වූ අතර අනෙක සීක්වරුන්ටම වෙන් විය. නමුත් සීක්වරුන්ට තනිව සිටීමට බෙදුණු පන්ජාබය එකක් කරන ලෙස දිගටම සිදුකළ ඉල්ලීම් සලකා බලා 1966 දී ඉන්දීය රජය පන්ජාබයේ මායිම් ප්‍රතිසංවිධානය කළහ. නමුත් මෙම ප්‍රාන්ත සංකල්පයෙන් නොනැවණු බෙදුම්වාදී සීක් සංවිධානයක්, ‘කලිස්ථාන’ ව්‍යාපාරය නම් සංවිධානය නිර්මාණය කොට ඒ සඳහා කටයුතු කිරීමට පටන් ගත්හ.

මෙම කණ්ඩායම විසින් තමන්ගේම රටක් සාදා ගැනීම සඳහා චිරාත්කාලයක සිට විවිධ වූ ක්‍රියාකාරකම් සිදුකරමින් සිටී. 1984 ඔක්තෝබර් 31 වන දින සීක් ජාතික ආරක්ෂක භටයන් දෙදෙනෙකුගේ වෙඩි පහරින් එවකට අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි ඝාතනය වීම ඉන් එක් සිදුවීමකි. සීක් වරුන්ගේ කාලිස්ථාන් සිහිනයත් සමග කැනඩාවේ නම කියවෙන අවස්ථා කිහිපයක්ම මින් පෙරද තිබී ඇතත් ඒ කිසිදු විටෙක මෙම බෙදුම්වාදීන්ට ඍජුව ආධාර උපකාර දීමක් පිළිබඳව සඳහන් වී නොමැත. එහෙත් ඒ බොහෝ අවස්ථාවල ඉන්දියාව දුක්ගැනවිල්ලක් මෙන් ලෝකයට කියා සිටියේ සීක් බෙදුම්වාදීන්ට කැනඩාවේ සහාය සෑම විටම ලබා දෙන බවයි. එහිදී අතීත සිදුවීමක් ලෙස, 1985 ජූනි 23 වෙනි දින අංක 182 දරණ එයාර් ඉන්දියා ගුවන් යානය බෝම්බ ප්‍රහාරයකින් විනාශ කළ අවස්ථාවේ කැනඩාවේ හැසිරීම ඔවුහු හුවා දක්වති. මෙම ගුවන් යානය මොන්ට්‍රියල්වලින් ගමන් ආරම්භ කොට ලන්ඩන් හරහා දිල්ලිය වෙත ගමන් කරමින් තිබුණි. එය අයර්ලන්ත වෙරළට ඔබ්බෙන් පුපුරා යාමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 329 දෙනාම මිය ගිය අතර වින්දිතයින් අතර සිටි කැනේඩියානු පුරවැසියන් 268 අතරින් වැඩි පිරිසක් ඉන්දීය සම්භවයක් සහිත කැනේඩියානුවෝ වූහ. 1984 වසරේ පන්ජාබ් රන් දෙවොලට ඉන්දීය හමුදාව සිදුකළ ප්‍රහාරයට පළි ගැනීමක් ලෙස සීක් බෙදුම්වාදීන් විසින් මෙම ප්‍රහාරය සැලසුම් කළ බවට එකල කැනේඩියානු විමර්ශකයින් පවසා තිබුණි. එම ප්‍රහාරයෙන් මාස කිහිපයකට පසු මෙම සිද්ධියට සැක පිට RCMP විසින් ඉන්දියාවේ සහ කැනඩාවේ තහනම් කර ඇති අන්තවාදී කල්ලියක නායකයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඉදිරිපත් වූ සාක්ෂි සලකා බලා ඔහුව නිදහස් කොට තිබුණි. නමුත් 1992 දී ඉන්දියාවේදී එරට පොලිසිය විසින් ඔහුව ඝාතනය කොට තිබුණි. ඔහුගේ ඝාතනයෙන් පසු හෙළිදරව් වූ කරුණුවලින් අනාවරණය වූයේ ගුවන් යානය පුපුරවා හැරීමේ ප්‍රහාරයේ මහ මොළකරු ඔහු විය හැකි බවයි. මෙම පුද්ගලයාට එරෙහිව කැනඩාව කටයුතු කළ ආකාරය පිළිබඳව ඉන්දියාව අදටත් මැසිවිලි නගති.

Share this Post