ජාත්‍යන්තර වේදිකාව තුළ සැමවිටම ප්‍රමුඛ පෙළේ ඇගයීමට ලක්වූ කැනඩාව, මෙවර ලොව හොඳම රටවල් ශ්‍රේ‚ගත කිරීමේ දර්ශකයේ 19 වන ස්ථානය දක්වා පසුබැස ඇත. වඩාත්ම කැපී පෙනෙන කරුණ නම්, අපගේ සමීපතම අසල්වැසියා වන ඇමරිකා එක්සත් ජනපදයට වඩා එක් ස්ථානයක් පසුපසින් සිටීමට අපට සිදුවීමයි. 2023 වසරේ   2 වන ස්ථානයේද, 2024 වසරේ 4 වන ස්ථානයේද වැජඹුණු කැනඩාව මෙලෙස 19 වන ස්ථානයට ඇද වැටීම බැලු බැල්මට මහා පරිහානියක් ලෙස පෙනෙන්නට තිබේ.

කෙසේ වෙතත්, මෙම ප්‍රතිඵලය හුදු පසුබෑමකට වඩා, අප දෙසම අලුත් ඇසකින් බැලීමට සැලැස්වූ කැඩපතකි. U.S. News & World Report හි කළමනාකාර සංස්කාරක Eric Litke පෙන්වා දෙන පරිදි, මෙවර ශ්‍රේ‚ගත කිරීම් සිදුව ඇත්තේ සාම්ප්‍රදායික ‘මහජන මත විමසුම්’ හෝ රටවල් සතු ව්‍යාජ ප්‍රතිරූපය මත පමණක් පදනම්ව නොවේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) සහ OECD  වැනි ජාත්‍යන්තර ආයතනවල නිල සංඛ්‍යාන දර්ශක 100 ක් ඇසුරින් සකස් කළ නව ක්‍රමවේදයක් හරහාය. ලිට්කේ පවසන පරිදි මෙය ‘කීර්තිනාමයේ සිට සැබෑ යථාර්ථය’ (Reputation to Reality) වෙත ගමන් කිරීමකි. වෙනත් වචනවලින් කිවහොත්, කැනඩාව සතු ව්‍යාජ අලංකාරයට යටින් පවතින සැබෑ ‘ජාතික ප්‍රගති වාර්තාව’ මෙවර අප ඉදිරියේ දිගහැරී ඇත.

කැනඩාව තවදුරටත් ලෝකයේ බහුසංස්කෘතිකත්වයේ සහ සංචාරක ආකර්ෂණයේ කේන්ද්‍රස්ථානයක් බව මෙවරත් තහවුරු වී ඇත. සංස්කෘතිය සහ සංචාරක ව්‍යාපාරය අතින් කැනඩාව ලොව 8 වන ස්ථානය දිනාගෙන සිටින්නේ මෙරට නිර්මාණාත්මක බලපෑම සහ භාෂාමය විවිධත්වය හේතුවෙනි. 1971 දී ප්‍රථම වරට නිල වශයෙන් පිළිගත් බහුසංස්කෘතික රාමුව (Multicultural framework) අදටත් අප ජීවත්වන මෙරට අනන්‍යතාවය ශක්තිමත් කරයි.

නමුත් මෙහි අනෙක් පැත්ත අප අමතක නොකළ යුතුය. මෑතකාලීන ෆෙඩරල් සංක්‍රම‚ක සංශෝධන මඟින් 2026 වසරේ සිට නව පදිංචිකරුවන්, සිසුන් සහ තාවකාලික සේවකයන් පැමිණීම සීමා කිරීමට පියවර ගනිමින් පවතී.   රැකියා විරහිතභාවය අවම කිරීම, පොදු සේවා මත පවතින පීඩනය ලිහිල් කිරීම සහ විශේෂයෙන්ම දැවෙන ප්‍රශ්නයක් වී ඇති නිවාස අර්බුදයට පිළියම් සෙවීම රජයේ අරමුණ වුවද, ඉන් පෙනී යන්නේ මෙරට සාම්ප්‍රදායික විවෘත ප්‍රතිපත්තිය මේ වන විට දැඩි පීඩනයකට ලක්ව ඇති බවයි.

ආර්ථීක ස්ථාවරත්වය සහ ජන ජීවිතය පිළිබඳ දත්ත දෙස බැලීමේදී කැනඩාව පසුවන්නේ කිසිසේත්ම සතුටුදායක මට්ටමක නොවේ. ‌මෙම ශ්‍රේණිගත කිරීම තුළ කැනඩාව රාජ්‍ය පාලනය අතින් 18 වන ස්ථානයත්, පුරවැසියන්ගේ අභිලාෂයන් මුදුන්පත් කරගැනීමට ඇති ‘අවස්ථා’ (Opportunity) අතින් 18 වන ස්ථානයත්, ආර්ථීක සංවර්ධනය අතින් 21 වන ස්ථානයත් ලබාගෙන ඇත්තේ ලෝකයේ ධනවත්ම රටවල් අතර අප තවමත් පසුගාමී මට්ටමක පසුවන බව ලොවටම පසක් කරමිනි. මෙම දත්තයන්ගෙන් නිරූපණය වන්නේ කැනේඩියානුවන් වන අප එදිනෙදා මුහුණ දෙන අඛණ්ඩ ජීවන වියදම් පීඩනය සහ දැරිය නොහැකි මිල ගණන් පිළිබඳ දරුණු ගැටලුවයි. අද වන විට මධ්‍යම පාන්තික කැනේඩියානු පවුලකට තමන් උපයන ආදායමෙන් එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර පාන සහ උපයෝගිතා ගාස්තු පියවා ගැනීම පවා දැඩි අරගලයක් වී හමාරය.

විශේෂයෙන්ම, රටේ සමස්ත ආර්ථීකයේ කොඳු නාරටිය බඳු නිවාස වෙළඳපොළ අද වන විට පාලනයෙන් තොර අගාධයකට ඇද වැටී ඇත. කලින් ටොරොන්ටෝ සහ වැන්කුවර් වැනි ප්‍රධාන මහා නගරවලට පමණක් සීමා වී තිබූ නිවාස මිල අධික වීමේ සහ කුලී මිල ගණන් අහස උසට නැඟීමේ පිළිලය, දැන් ඔටාවා, මොන්ට්‍රියල් සහ හැලිෆැක්ස් වැනි සාපේක්ෂව දැරිය හැකි මට්ටමක පැවති නගර කරාද ලැව්ගින්නක් සේ ව්‍යාප්ත වී හමාරය. නිවාස හිමිකාරිත්වය යන්න අද වන විට තරුණ කැනේඩියානු පරපුරට සිහිනයක් පමණක්ම වී ඇත.

මීටත් වඩා බරපතලම ඛේදවාචකය නම්, මේ සා විශාල වෙළඳපොළ ඉල්ලුමක් සහ හිඟයක් පවතින පසුබිමක වුවද, රටේ ඇතැම් කලාපවල නව නිවාස ඉදිකිරීම් කටයුතු කැපී පෙනෙන ලෙස මන්දගාමී වීමයි. ඉහළ පොලී අනුපාත, ද්‍රව්‍යමය පිරිවැය ඉහළ යාම සහ නිලධාරිවාදී රතු පටිය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය අඩපණ වී තිබීම මෙරටේ ආර්ථීක ක්‍රියාකාරීත්වයට එල්ල කර ඇති මරු පහරකි. ජනගහන වර්ධනයට සාපේක්ෂව සැපයුම වර්ධනය නොවීම තුළින් නිර්මාණය වී ඇති මෙම අර්බුදය, හුදු වෙළඳපොළ උච්චාවචනයක් නොව, රටේ ආර්ථීක ප්‍රතිපත්තිවල පවතින දුර්වලතාවය මැනවින් කියාපාන සාක්ෂියකි.

සෞඛ්‍ය සහ යටිතල පහසුකම් යන ක්ෂේත්‍ර වර්තමාන කැනඩාව තුළ වඩාත්ම දේශපාලනකරණය වූ සහ සමාජය පුරා දරුණු ලෙස කතාබහට ලක්වන දැවෙන මාතෘකා බවට පත්ව ඇත. U.S. News දර්ශකය තුළ කැනඩාවේ ‘සැමට පොදු සෞඛ්‍ය ආවරණය’ (Universal health coverage)වෙනුවෙන් ලකුණු 100 න් 100 ක්ම ලැබී තිබීම සහ පුරවැසියන්ගේ ආයු අපේක්ෂාව වෙනුවෙන් ඉහළ ලකුණු ලැබීම අප රටක් ලෙස අගය කළ යුතුය.

කෙසේ වෙතත්, එමඟින් නිරූපණය වන්නේ නීතිමය සහ ප්‍රතිපත්තිමය රාමුවේ පවතින සුන්දරත්වය පම‚. සැබෑ ප්‍රායෝගික තත්ත්වය නම්, ඒකපුද්ගල රෝහල් ඇඳන් සංඛ්‍යාව සහ ඒකපුද්ගල වෛද්‍යවරුන් සංඛ්‍යාව වැනි ප්‍රායෝගික දර්ශකයන්ගෙන් අප අද වන විට දරුණු ලෙස පරාජය වී තිබීමයි. කඩදාසි මත අපේ සෞඛ්‍ය පද්ධතිය කොතරම් සුන්දර වුවද, බිම් මට්ටමේදී රෝගියෙකුට පවුලේ වෛද්‍යවරයකු (Family doctor) සොයා ගැනීමට, විශේෂඥ වෛද්‍යවරයකු හමුවීමට හෝ හදිසි අවස්ථාවකදී රෝහල් ඇඳක් වෙන්කරවා ගැනීමට ඇති ප්‍රවේශයේ පවතින දුෂ්කරතාවය මෙමඟින් මැනවින් සනාථ වේ. අප යටිතල පහසුකම් අතින් ලොව 20 වන ස්ථානයටත්, සමස්ත සෞඛ්‍ය අංශයෙන් 27 වන ස්ථානයටත් ඇද වැටී ඇත්තේ එබැවිනි.

මෙම කනගාටුදායක තත්ත්වය හදිසියේ නිර්මාණය වූවක් නොව, දශක කිහිපයක සිට ක්‍රමයෙන් ඔඩුදුවන ලද පද්ධතිමය අසාර්ථකත්වයක ප්‍රතිඵලයකි. 1960 සහ 70 දශකවලදී Marc Lalonde වැනි දූරදර්ශී සෞඛ්‍ය ඇමතිවරුන් යටතේ කැනඩාව ලෝකයටම ආදර්ශයක් වූ අතිවිශිෂ්ට පොදු සෞඛ්‍ය ආකෘතියක් ගොඩනැඟ=වේය. එදා ලෝකයම කැනඩාව දෙස බැලූවේ නොමිලේ සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සපයන පාරාදීසයක් ලෙසය. නමුත් 1990 දශකයේ මැද භාගයේදී එවකට පැවති ෆෙඩරල් රජයන් විසින් දියත් කළ අයවැය හිඟය පියවීමේ දැඩි ආර්ථීක ප්‍රතිපත්ති හමුවේ, පළාත් පාලන ආයතන වෙත සෞඛ්‍ය අංශය වෙනුවෙන් ලබා දුන් ප්‍රතිපාදන දරුණු ලෙස කපා හරින ලදී. එහි ඍජු ප්‍රතිඵලයක් ලෙස රෝහල් ඇඳන් සංඛ්‍යාව සීමා කෙරුණු අතර, වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් පුහුණු කිරීමේ ධාරිතාවද කප්පාදු කෙරු‚. එදා තාවකාලික විසඳුම් ලෙස හඳුන්වා දුන් එම මූල්‍ය කප්පාදුවේ බරපතල විපාක අද වන විට කැනේඩියානු පුරවැසියන් තමන්ගේ ජීවිතවලින් ගෙවමින් සිටී.

වර්තමාන අර්බුදය තවදුරටත් උග්‍ර වීමට බලපා ඇත්තේ, පවතින සෞඛ්‍ය හා ප්‍රවාහන යටිතල පහසුකම්වල ධාරිතාව ඉක්මවා යමින් සිදුවන ශීඝ්‍ර ජනගහන වර්ධනයයි. පසුගිය වසර කිහිපය තුළ නව සංක්‍රම‚කයන්, තාවකාලික සේවකයන් සහ ජාත්‍යන්තර සිසුන්ගේ පැමිණීම ඉහළ ගියද, ඊට සාපේක්ෂව රෝහල් පද්ධතිය, හදිසි සත්කාරක ඒකක  සහ පොදු ප්‍රවාහන ජාලයන් පුළුල් කිරීමට ෆෙඩරල් සහ පළාත් රජයන් අසමත් විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, අද වන විට රෝගීන්ට හදිසි ප්‍රතිකාර ඒකකවල පැය ගණනාවක්, ඇතැම්විට දින භාගයකට වඩා බලා සිටීමට සිදුව ඇති අතර, අත්‍යවශ්‍ය සැත්කම් සඳහා මාස ගණන් ලැයිස්තුගත වීමට සිදුව ඇත.

 සෞඛ්‍ය සේවය සඳහා ‘නොමිලේ අයිතියක්’ තිබූ පලියටම ඉන් පලක් නොමැත. එම සේවාව නිසි වේලාවට ලබා ගැනීමට ප්‍රවේශයක් නොමැති නම්, එම අයිතිය හුදු ලියවිල්ලකට පමණක් සීමා වේ. U.S. News දත්ත මඟින් කැනඩාවට පෙන්වා දෙන්නේ අප වහාම මෙම යටිතල පහසුකම් සහ සෞඛ්‍ය ශ්‍රම බලකාය (Healthcare workforce) පුළුල් කිරීමට ආයෝජනය කළ යුතු බවයි. එසේ නොමැති වුවහොත්, අප ආඩම්බරයෙන් කතා කරන කැනේඩියානු සෞඛ්‍ය අනන්‍යතාවය ඉතිහාසයට පමණක් සීමා වනු ඇත.

මෙවර වාර්තාවෙන් කැනේඩියානුවන් වන අපට එල්ල වූ විශාලම සහ ලැජ්ජාසහගතම කම්පනය වන්නේ, ස්වභාවික පරිසරය (Natural environment)අතින් කැනඩාව ගෝලීය වශයෙන් 63 වන ස්ථානය දක්වා අගාධයකට ඇද වැටීමයි. අප සැමවිටම ආඩම්බර වන මහා වනාන්තර, ග්ලැසියර සහ පිරිසිදු විල් දෙස බලා අප මෙතෙක් ජීවත් වූයේ ස්වයං-මුලාවකය. ලෝකයා අප දෙස බලන ‘හරිත කැනඩාව’ (Green Canada) යන ප්‍රතිරූපය දත්ත ඉදිරියේ කුඩුපට්ටම් වී ඇත. වායු ගුණාත්මකභාවය (Air quality) සහ ආලෝක දූෂණය අවම වීම අතින් අප ඉහළම ලකුණු ලබා ගත්තද, ජීවී විශේෂවල පොහොසත්භාවය (Species richness) හෙවත් ජෛව විවිධත්වය අතින් අප පසුවන්නේ ලෝකයේ ඉතාම පහළ මට්ටමකය. සුන්දර ස්වභාවික දර්ශන හෝ පෝස්ටර්වලට ගන්නා සුන්දර ඡායාරූප තිබූ පලියටම රටක් සැබෑ ලෙසම පරිසර හිතකාමී නොවන බව අප දැන්වත් පසක් කරගත යුතුය.

මෙම පසුබෑමට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ, ඒකපුද්ගල කාබන් විමෝචනය අතින් කැනඩාව තවමත් ලොව ඉහළම දූෂකයන් අතර රැඳී සිටීමයි. කඩදාසි මත දේශගු‚ක විපර්යාසයන්ට එරෙහිව කතා කරන ෆෙඩරල් රජයන්, ප්‍රායෝගිකව කාර්මික විමෝචනයන් පාලනය කිරීමට හෝ තිරසාර බලශක්ති ප්‍රභවයන් වෙත වේගයෙන් සංක්‍රමණය වීමට අසමත් වී ඇත. මීට අමතරව, ශීඝ්‍ර සහ සැලසුම් රහිත නාගරීකරණය හේතුවෙන් ප්‍රධාන මහා නගර ආශ්‍රිතව පවතින නාගරික හරිත කලාප ශීඝ්‍රයෙන් විනාශ වෙමින් පවතී. කොන්ක්‍රීට් වනාන්තර බිහිවීම වැළැක්වීමට සහ නාගරික තෙත් බිම් ආරක්ෂා කිරීමට පළාත් පාලන ආයතන සතුව පවතින දැක්මක් නොමැතිකම මෙම අර්බුදය තවදුරටත් උග්‍ර කරයි.

වඩාත්ම කනගාටුදායක කරුණ නම්, අප සතු අතිමහත් ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම සඳහා පවතින නීතිමය ආවරණ සහ පාරිසරික පනත්වල පවතින දුර්වලතාවය සහ සිදුරුයි. වාසස්ථාන අහිමි වීම හේතුවෙන් කැනඩාවටම ආවේ‚ක සත්ව හා ශාක විශේෂ වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටියදී, කීර්තිනාමයට මුවා වී නිහඬව සිටීමේ කාලය දැන් අවසන්ය. U.S. News දර්ශකය අපට සිහිපත් කරන්නේ, සොබාදහම අපට දායාද කළ සම්පත් ආරක්ෂා කරගැනීමට නිසි නීතිමය සහ ප්‍රායෝගික වැඩපිළිවෙළක් නොමැති නම්, කැනඩාව යනු පරිසරය විනාශ කරන තවත් එක් කාර්මික රාජ්‍යයක් පමණක්ම වන බවයි.

මෙවර දර්ශකයේ පෙරමුණ ගෙන සිටින්නේ ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය සහ ස්වීඩනය වැනි යුරෝපීය රටවල්ය. ඔවුන් ගෝලීය කිරුළ දිනාගෙන පසුවන්නේ හුදෙක් එක ක්ෂේත්‍රයකින් පමණක් කැපී පෙනී නොවේ. රාජ්‍ය පාලනය, සමාජ සුබසාධනය, ආර්ථීකය මෙන්ම පරිසරය යන සියලූම ක්ෂේත්‍ර පුරාවටම එක සමාන ඉහළ සමතුලිතතාවයක් සහ ස්ථාවරත්වයක් පවත්වා ගැනීමට ඔවුන් සමත්ව ඇති බැවිනි. ඔවුන් පෙන්වා දෙන්නේ සාර්ථක ජාතියක් යනු තනි අංශයකින් ඉදිරියට යාම නොව, සමස්ත පද්ධතියම එකසේ ශක්තිමත් කිරීම බවයි.

අනෙක් අතට, අපේ අසල්වැසි ඇමරිකා එක්සත් ජනපදය පවා ශක්තිමත් ආර්ථීක සංවර්ධනයෙන් ලොව 2 වැනි ස්ථානය ගත්තද, සෞඛ්‍යයෙන් 33 වන ස්ථානයටත්, ස්වභාවික පරිසරයෙන් 72 වන ස්ථානයටත් ඇද වැටෙමින් දරුණු ලෙස අසමතුලිත වී ඇත. මින් පැහැදිලි වන්නේ ආර්ථීකයේ ප්‍රමාණය හෝ ධනය පමණක්ම පුරවැසියෙකුගේ සැබෑ ජීවන තත්ත්වය උසස් කිරීමට ප්‍රමාණවත් නොවන බවයි. ඇමරිකානු අසාර්ථකත්වය දෙස බලා අප සැනසිය යුතු නැත. මන්ද අපද ගමන් කරමින් සිටින්නේ එම අසමතුලිත, අසාර්ථක මගෙහිම බැවිනි.

අපගේ ස්ථාවරය නම්, U.S. News දර්ශකය යනු කිසිසේත්ම ජනප්‍රියතා තරඟයක් හෝ දේශපාලන වාසි තකා කරන ලියවිල්ලක් නොවන බවයි. එය ජාත්‍යන්තර දත්ත පදනම් කරගත් නිවැරදි, විනිවිදභාවයකින් යුතු වත්මන් තත්ත්ව විශ්ලේෂණයකි. කැනඩාව ලොව 19 වන ස්ථානයට පත්වීම යනු අප රටක් ලෙස සහමුලින්ම විනාශ වී ඇති බවක් නොවේ. නමුත් අප මෙතෙක් කල් රැකගෙන ආ ව්‍යාජ ප්‍රතිරූපයේ සහ අතීත කීර්තිනාමයේ ‘මුලාවෙන්’ වහාම මිදී, අප සතු සැබෑ බිම් මට්ටමේ අඩුපාඩු හඳුනාගෙන ඒවා වහාම සකස් කරගත යුතු බවට අපට ලැබුණු අවසන් අනතුරු ඇඟවීමයි.

තවදුරටත් කඩදාසි මත පමණක් පවතින සංඛ්‍යාලේඛනවලින් හෝ ජනමාධ්‍ය හරහා කරන ප්‍රචාරණවලින් පුරවැසියා මුලා කළ නොහැක. එබැවින්, ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීම වන්නේ දැන්වත් ව්‍යාජ ප්‍රචාරණයන්ගෙන් මිදී, දත්ත පෙන්වන කටුක යථාර්ථයට මුහුණ දී රට නිවැරදි මඟට ගැනීමයි.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!