කැනඩාව තුළ කොවිඩ්-19 නිසා මරණයට පත් පුද්ගලයන් සංඛ්‍යාව අද (18)  25,000 සීමාව ඉක්මවා ගොස් ඇත. ඒ අනුව අද දින කැනඩාවෙන් වාර්තා වූ මරණ 25 ත් සමග රටෙහි සමස්ත මරණ සංඛ්‍යාව 25,008 ක් ලෙස සටහන් වේ.

කැනඩාව තුළ පළමු කොවිඩ්-19 ආශ්‍රිත මරණය 2020 මාර්තු 09 දින වාර්තා වූ අතර 2021 ජනවාරි මාසය අග වන විට මරණ සංඛ්‍යාව 20,000 ඉක්මවා තිබුණි. මේ දක්වා කැනඩාවේ කොවිඩ්-19 මරණ අනුපාතය හා සම්බන්ධ සංඛ්‍යාලේඛනවලට අනුව පුද්ගලයන් 10,000 කට 6 දෙනෙකු මිය ගොස් ඇත.

ලෝකයේ සෙසු රටවල මෙන්ම කැනඩාව තුළද කොරෝනාවෛරස වසංගතයේ වැඩිම බලපෑම එල්ල වූයේ වැඩිහිටි පුද්ගලයන්ටයි. කොරෝනාවෛරසය ආසාදිතව මිය ගිය පුද්ගලයන් 5 දෙනෙකු ගැන විමර්ශනය කළහොත් ඔවුන් අතරින් 4 දෙනෙකුම වයස අවුරුදු 70 ඉක්මවූවන් වේ. මෙසේ මියගිය වැඩිහිටියන් 5 දෙනෙකු ගෙන බැලුවහොත් ඔවුන් අතරින් තිදෙනෙකුම වැඩිහිටි නිවාසවල පදිංචිකරුවන් වේ.

Our World in Data පවසන ආකාරයට කැනඩාවේ කොවිඩ්-19 මරණ අනුපාතය ලෝකයේ 64 වන ස්ථානයේ පසුවේ.

මේ වන විට ලෝකයේ වැඩිම කොවිඩ්-19 මරණ අනුපාතය සඳහන් වන රට වන්නේ හංගේරියාවයි. එරට තුළ පුද්ගලයන් 10,000 කට කොවිඩ්-19 මරණ 30 ක් වාර්තා වෙයි. එක්සත් රාජධානියේ(UK) පුද්ගලයන් 10,000 කට කොවිඩ් මරණ 18 ක්ද එක්සත් ජනපදය (USA) පුද්ගලයන් 10,000 කට කොවිඩ් මරණ 17 ක්ද වාර්තා වෙමින් පවතී.

Share this Post