වර්තමාන විලාසිතා ලෝකයේ ප්‍රධාන අංගයක් වන සුවඳ විලවුන් උපත, වසර දහස් ගණනක අතීතයකට උරුමකම් කියයි. පුරාණ ලෝකයේ සුවඳ විලවුන් ගැල්වීම වංශවතුන්ට පමණක් සීමා වූවක් විය. එකල සාමාන්‍ය මිනිසුන් සහ වංශවතුන් වෙන්කර හඳුනාගැනීමේ ප්‍රධාන නිර්ණායකයන් අතර වංශවතුන්ගේ සිරුරුවලින් නිබඳවම එන විලවුන් සුවඳද එකක් විය. මෙය ලොව පුරා බොහෝ සංස්කෘතීන් තුළ ඉහළ පැලැන්තියට හිමි වූ වරප්‍රසාදයකි. ඇතැම් විට එකල පවා සුවඳ විලවුන් සඳහා වෙළඳපොළෙහි තිබූ අධික මිලද ඒවා සාමාන්‍ය ජනතාව වෙතින් බැහැර වීමට හේතුවක් වූවා විය හැක.
ලෝකයේ පළමු සුවඳ විලවුන් නිෂ්පාදකයා ලෙස සැලකෙන්නේ Tapputi නම් කාන්තා රසායනඥවරියකි. මෙම නිපැයුම්කාරිනිය ගැන තොරතුරු මෙසපොතේමියාවේ මැටි පුවරුවක තිබී හමු වී ඇති අතර ඉන් ඇඟවෙන්නේ ක්‍රි.පූර්ව දෙවන සහස්‍රයේදී පමණ ඇය විසින් විලවුන් සොයාගෙන ඇති බවයි. මුල් කාලීනව ගස්වල පොතු, ලී, මුල්, කොළ, මල් සහ බීජ වැනි ස්වභාවික ද්‍රව්‍ය යොදා ගනිමින් සුවඳ විලවුන් නිපදවා ඇත. මෙසපොතේමියාවෙන් ආරම්භ වූ සුවඳ විලවුන් නිෂ්පාදනය පසුව පර්සියානුවන් සහ රෝමන්වරුන්ගේ අතට පත් විය. බොහෝ විට මෙම පුරාණ ශිෂ්ටාචාරයන් ආගමික උත්සව සඳහා හෝ ඔවුන්ගේ සිරුරුවල ආලේප කිරීම සඳහා සුවඳ වර්ග නිපදවා ඇත. මුල් කාලයේදී සුවඳ විලවුන් ඇසුරුම් සඳහා ලී, මැටි ආදියෙන් සාදන ලද බඳුන් මෙන්ම කුහර සහිත වටිනා ගල් බහාලුම් යොදාගෙන ඇත.
නූතන ලෝකයේ සුවඳ විලවුන් කර්මාන්තය තරගකාරී වූවකි. කෘත්‍රිම සහ ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගනිමින්, විවිධ වර්ගයේ සුවඳවලින්, තමන්ගේ තත්ත්වයේ, තරාතිමේ, වත්කමේ හැටියට මිල දී ගත හැකි සුවඳ විලවුන් වර්ග දහස් ගණනක් අද දක්නට ලැබේ. එසේම සෑම වසරකම නව සුවඳ විලවුන් වර්ග දහස් ගණනක් අලුතින් වෙළඳපොළට නිකුත් කෙරේ. අතීතයේ වංශවතුන්ට පමණක් සීමා වූ සුවඳ විලවුන් අද වන විට ඕනෑම අයෙකුට භාවිත කළ හැක.
නමුත් සුවඳ විලවුන් බෝතලයක් මිල දී ගැනීමේදී එය ආලේප කර, එහි සුවඳ ගැන පමණක් අවධානය යොමු කොට ගැනීම නිවැරදි ක්‍රමය නොවෙයි. එහිදී එම බෝතල ලේබලයේ සඳහන් Perfume Concentration ගැන ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි. සුවඳ විලවුන් සාන්ද්‍රණය හඳුනාගැනීමෙන් ඔබට එය භාවිත කිරීමට අදහස් කරන අවස්ථාව සඳහා ගැලපෙන නිවැරදිම සුවඳ විලවුන් වර්ගය සොයා ගත හැක.
වර්තමානයේ වෙළඳපොළට නිකුත් කෙරෙන සුවඳ විලවුන් වර්ග සඳහා විවිධ Perfume Concentration (සුවඳ විලවුන් සාන්ද්‍රණ) පවතී. සුවඳ විලවුන් සෑදීමේදී ඇල්කොහොල්, ජලය සහ අනෙකුත් සංරචකයන් සමග පිරිසිදු සුවඳ ද්‍රව්‍ය ප්‍රතිශතයක් එකතු කරනු ලබයි. මෙම එක් කරන සුවඳ ද්‍රව්‍ය බොහෝ විට තෙල් ආකාරයෙන් එක් කෙරෙන අතර එසේ එක්කර ගනු ලබන විවිධ මට්ටම්
හැඳින්වීමේදී Perfume Concentration යන්න යොදා ගැනේ. සුවඳ විලවුන් සාන්ද්‍රණය විලවුන් වර්ගවල ප්‍රබලතාව මැනීමේදී බලපාන ප්‍රධාන සාධකයයි. සාමාන්‍යයෙන් තෙල්වල සාන්ද්‍රණය වැඩි වන තරමට එහි සුවඳ ඔබේ සම මත පවතින කාලය වැඩි වේ. එනිසාම සුවඳ විලවුන් කර්මාන්තය තුළ විලවුන් බෝතලයක කල්පැවැත්ම, මිල ආදිය සියල්ල තීරණය කෙරෙන්නේ Perfume Concentration මතයි.
සුවඳ විලවුන් ඒවායේ සාන්ද්‍රණ මට්ටම් මත පදනම්ව කාණ්ඩ කිහිපයකට වර්ග කර ඇත.
- Perfume
- Eau de Perfume
- Eau de Toilette
- Eau de Cologne
- Eau Fraiche
- Perfume Oil
Perfume
සුවඳ විලවුන් කාණ්ඩ අතර ඉහළම සුවඳ සාන්ද්‍රණය සහිත විලවුන් වර්ගය පර්ෆියුම් ලෙස හැඳින්වේ. Pure perfume (ශුද්ධ සුවඳ විලවුන්) ලෙසද හැඳින්වෙන මෙහි සුවඳ තෙල් සාන්ද්‍රණය සියයට 15 සිට සියයට 40 දක්වා ඕනෑම අගයක පැවතිය හැක. නමුත් වෙළඳපොළේ ඇති මෙම වර්ගයේ විලවුන්වල සුවඳ විලවුන් සාන්ද්‍රණය සාමාන්‍යයෙන් සියයට 20 සිට සියයට 30 අතර වේ. Perfume සම මත පැය 12 ක් හෝ ඊට වැඩි කාලයක් රඳා පවතී. එය නිපදවන අනෙක් අමුද්‍රව්‍ය අතර ඇල්කොහොල් සහ ජලය අඩු ප්‍රතිශතයකින් අඩංගු වේ. අඩු ඇල්කොහොල් ප්‍රමාණය නිසා සංවේදී සමක් ඇති පුද්ගලයින්ට මෙම සුවඳ විලවුන් වර්ගය වඩාත් සුදුසු වන අතර එයින් සම වියළීමක් හෝ ඉරි තැලීමක් සිදු නොවේ. ඉහළ සුවඳ විලවුන් සාන්ද්‍රණ මට්ටම නිසා Perfume අනෙකුත් සුවඳ විලවුන් වර්ගවලට වඩා මිලෙන් අධික වේ.
කෙසේ වෙතත් ඔබ ප්‍රබල (strong) සුවඳකට අකමැති අයෙකු නම් මෙය ඔබට ගැලපෙන්නක් නොවේ.
Eau de Perfume
මෙහි Perfume Concentration ප්‍රතිශතය සියයට 15 සිට 20 දක්වා අඩංගු වේ. පැය 6-8 ත් අතර කාලයක් මෙහි සුවඳ පැවතිය හැක. ඇල්කොහොල් ප්‍රතිශතය පෙර සඳහන් කළ ෆර්ෆියුම් වර්ගයට වඩා තරමක් වැඩි වුවත් මෙය භාවිතයෙන් සංවේදී සමක් සහිත පුද්ගලයන්ට හානියක් නොමැත. ලෝකයේ වඩාත්ම සුලභ සුවඳ විලවුන් වර්ගය මෙය වන අතර ඒ නිසාම සුවඳ විලවුන් කර්මාන්තයේදී බොහෝ සුවඳ විලවුන් වෙළඳ නාමයක් සමගම Eau de Perfume යන්න භාවිත කෙරේ. විශේෂයෙන්ම මෙය දිනපතා විලවුන් භාවිත කරන්නන් සඳහා වඩාත්ම ගැලපෙන වර්ගය වේ. මෙහි මිලද තරමක් අඩු අගයක පවතී. විශේෂයෙන්ම Eau de Perfume ප්‍රබල සැර සුවඳකින් යුක්ත නොවන නිසා භාවිත කරන්නන්ට එයින් ප්‍රසන්න බවක් දැනේ.
Eau de Toilette
ප්‍රංශ වචනයක් වන මෙය පරිවර්තනය වූ පසු ඉංග්‍රිසි අදහස Grooming water ලෙස දැක්විය හැක.Eau de Toilette හි ඇරොමැටික සුවඳ සාන්ද්‍රණය සියයට 5 සිට සියයට 15 දක්වා අගයක් ගන්නා අතර පැය 4-6 දක්වා කාලයක් සම මත සුවඳ රැඳී තිබිය හැක. ලෝකයේ ජනප්‍රියම විලවුන් වර්ගය මෙය වුවත් සාන්ද්‍රණය නොබලා එය භාවිත කරන බොහෝ දෙනෙකු Eau de Perfume ලෙස සිතා Eau de Toilette භාවිත කරති. එම නිසාම බොහෝ දෙනා බහුලව මිල දී ගන්නා වර්ගය Eau de Toilette වේ. ගිම්හාන කාලයේදී භාවිතයට වඩාත්ම ගැලපෙන විලවුන් වර්ගය ලෙස හැඳින්වෙන්නේ මෙයයි. ඇල්කොහොල් සාන්ද්‍රණය අඩු නිසා ඔබගේ සම කුමන වර්ගයේ වුවත් Eau de Toilette ගැළපෙයි. මෙම විලවුන් වර්ගය වඩාත් සැහැල්ලු සහ ප්‍රබෝධමත් සුවඳකින් යුක්තයි.
Eau de Cologne
Cologne යන්න බොහෝ විට පිරිමි සුවඳ විලවුන් සඳහා පොදු ව්‍යවහාරයක් ලෙස භාවිත කළත් කාන්තාවන්ට සුවිශේෂී වූ කොලෝන්ග් වර්ග ගණනාවක්ද වෙළඳපොළ තුළ ඇත. Eau de Cologne ජර්මනියේ ආරම්භ වූවත් එහි නිපැයුම්කරුගේ මවුරට ඉතාලිය විය. ඔහු සොයාගත් විලවුන් වර්ගය Kölnisch Wasser (Water from Cologne) ලෙස හැඳින්විය. නමුත් Cologne සුවඳ ‘පිරිමි සුවඳ’ ලෙස හඳුන්වනු ලබයි.
විලවුන් වර්ගීකරණයේදී අඩු සුවඳ සාන්ද්‍රණයක් Eau de Cologne හි පවතී. Perfume Concentration ප්‍රතිශතය සියයට 2 සිට සියයට 4 දක්වා ඇති මෙහි ඇල්කොහොල් ප්‍රතිශතය අධික වේ. වෙළඳපොළ තුළ ඉහත වර්ග සියල්ලටම වඩා අඩු මිලකට ගත හැකි විලවුන් වර්ගයකි. Eau de Cologne සාමාන්‍යයෙන් විශාල බෝතල්වල එන අතර මෙය ගැල්වීමේදී විලවුන් වැඩිපුර ප්‍රමාණයක් පාවිච්චි කිරීමට සිදු වේ. පැය 2 ත් 3 ත් අතර කාලයක් සම මත සුවඳ රඳා පවතින මෙය දිවා කාලයේ භාවිතය සඳහා නිර්දේශිත සුවඳ විලවුන් වර්ගයකි.
Eau Fraiche
මෙය බොහෝ දුරට Eau de Cologne හා සමාන වේ. එහි සුවඳ විලවුන් සාන්ද්‍රණ ප්‍රතිශතය සියයට 1 සිට 3 දක්වා පරාසයක අඩංගු වන අතර පැය දෙකක් පමණ සුවඳ රඳවා ගැනීමට හැකියාවක් ඇත. මෙහි විශේෂත්වය වන්නේ අඩු සුවඳ සාන්ද්‍රණයක් තිබුණත් එහි අඩංගු ඇල්කොහොල් ප්‍රමාණය අල්ප වීමයි. එහි සංයුතියේ බහුතරයක් ජලය වන අතර සංවේදී සමක් ඇති අයට විශිෂ්ට විකල්පයක් ලෙස හැඳින්විය හැක. Eau Fraiche යන වචනයෙහි තේරුම fresh water (මිරිදිය) යන්නයි. එබැවින් මෙම වර්ගයෙහි සුවඳ සාන්ද්‍රණයට අමතර වැඩිහරියක් ජලය පවතී. කෙටි වෙලාවකට ඉතාමත් මෘදු සුවඳක් භාවිතයට කැමති අයට මෙය සුදුසු වේ.
Perfume Oil
පිරිසිදු තෙල් පමණක් භාවිත කර සාදන මෙම සුවඳ විලවුන්වල ඇල්කොහොල් හෝ ජලය මිශ්‍ර කර නොමැත. බොහෝ විට Perfume Oil සඳහා යොදාගන්නා සුවඳ විලවුන් සාන්ද්‍රණ ප්‍රමාණය සියයට 20 ක් පමණ වේ. මල්, දැව, කුළුබඩු, පළතුරු ආදි ස්වභාවිකව නිස්සාරණය කෙරෙන Perfume Oil භාවිතය ඈත අතීතයේ සිට පවතින්නකි. පුරාණ ඊජිප්තු වැසියන් සුවඳ තෙල් සෑදීමේ ක්‍රමය ඉතාමත් හොඳින් හඳුනාගෙන එයින් ප්‍රයෝජන ගෙන ඇත.
වර්තමානයේ බොහෝ අය සුවඳ විලවුන්වලට වඩා සුවඳ තෙල් ගැල්වීමට කැමැත්තක් දක්වති. ඒවායේ සුවඳ සාන්ද්‍රණය ඉහළ නිසා දිගු කල් පැවැත්ම සහ ඇල්කොහොල් අඩංගු නොවන නිසා සංවේදී සමට හිතකර වීම ඊට විශේෂ හේතුවයි. එසේම සුවඳ විලවුන් තෙල් ඕනෑම කාලගුණ තත්ත්වයකට (winter or summer) සුදුසු වේ.
මේ ප්‍රධාන සුවඳ විලවුන් සාන්ද්‍රණ මට්ටම්වලට අමතරව වෙනත් සාන්ද්‍රණ අගයයන් සහිත සුවඳ විලවුන් නිෂ්පාදන රැසක් වෙළඳපොළෙහි පවතී. උදාහරණයක් ලෙස, ඇතැම් සුවඳ විලවුන් Eau Fraiche ලෙස අලෙවි කළ හැකි වුවත් ඒවායේ සුවඳ සාන්ද්‍රණය සියයට 1-3 අගයට අඩු විය හැකියි. සුවඳ විලවුන් තෝරා ගැනීමේදී සාන්ද්‍රණ මට්ටම සහ සුවඳ ත්‍රීව්‍රතාවය ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගත යුතු වේ. එමෙන්ම එය ඔබේ මනාපයට ගැලපෙන්නේ කෙසේදැයි අවබෝධ කරගැනීමත් දවසේ කුමක් වේලාවක කුමන ආකාරයේ අවස්ථාවකට ගැල්විය යුතුද යන්නත් ඔබගේ වයස ගැනත් සලකා මිල දී ගැනීම සුදුසු වේ. ගෝලීය විලාසිතා කර්මාන්තය තුළ වැඩි සාන්ද්‍රණ මට්ටමේ විලවුන් විශේෂ අවස්ථා හෝ සන්ධ්‍යා ඇඳුම් සඳහා භාවිත කරන අතර අඩු සාන්ද්‍රණ මට්ටම්වල විලවුන් එදිනෙදා පාවිච්චියේදී යොදා ගැනේ.
සුවඳ විලවුන් පාවිච්චියේදී අප විවෘත කළ විලවුන් බෝතල අවසාන වන තෙක් කොපමණ කාලයක් ගත වුවත් භාවිතයට හුරු වී සිටිමු. බොහෝ සුවඳ විලවුන් බඳුන්වල කල් ඉකුත් වීමේ දිනයක් නොමැති වුවත් මෙයද අප පරිහරණය කරන අනෙකුත් දෑ ලෙසින්ම කල් ඉකුත් වීමට ලක් වේ. එය වසර 1-10 ත් අතර ඕනෑම අවස්ථාවක විය හැක. නමුත් බොහෝ විට විලවුන්වල ආයු කාලය එය ගබඩා කර ඇති ආකාරය හා රඳා පවතී. නිවැරදිව ගබඩා කර ඇති සුවඳ විලවුන් කිසිදු ගැටලුවක් නොමැතිව බොහෝ කලක් භාවිත කළ හැක. ඒ නිසා සුවඳ විලවුන් විවෘත කිරීමෙන් පසු වාතය, ආලෝකය සහ තාපයට නිරාවරණය නොවන ලෙස සිසිල්, අඳුරු ස්ථානයක ගබඩා කර තැබීම කළ යුතු වේ. එවිට ඒවායේ පවතින රසායනික සංයුතිය වෙනස් නොවී දිගු කලක් තබාගත හැක. කල් ඉකුත් වූ සුවඳ විලවුන්වලින් අප්‍රසන්න ගන්ධයක් වහනය වීම, විලවුන්වල පැහැය වෙනස් වීම විය හැකි අතර සමේ අසාත්මිකතා වුවත් ඇති විය හැක. එනිසා ඔබ භාවිත කරන සුවඳ විලවුන් වසර දෙකකට වඩා පැරණි නම් එය භාවිතයට පෙර සමේ එක් ස්ථානයක ආලේප කොට පරීක්ෂා කර බලන්න.
-
චමරී අබේසිංහ