කැනඩා විශ්‍රාම වැටුප් සැලැස්ම වැඩි දියුණු කිරීමට ෆෙඩරල් රජය සමග අනෙකුත් ප්‍රාදේශීය පළාත් එකඟතාව පළ කර තිබියදී ප්‍රාදේශීය විශ්‍රාම වැටුප් සැලැස්මක් (provincial pension plan) ක්‍රියාත්මක කිරීම සඳහා ඔන්ටේරියෝ ලිබරල් රජය ඩොලර් මිලියන 70 ක් වැය කිරීම අනවශ්‍ය ක්‍රියාවක් බව ඒ පිළිබඳව අදහස් දක්වන බොහෝ දෙනෙකු පවසා සිටිති. එකදු සතයක්වත් ඉපයීමට පෙර මේ ආකාරයේ සැලැස්මක් වෙනුවෙන් මේ සා විශාල මුදලක් වැය කිරීම සැබවින්ම සුදුසු ක්‍රියාවක් නොවන බව ඒ වැඩිදෙනෙකුගේ අදහසයි.

මේ වැඩපිළිවෙළ යටතේ ඔන්ටේරියානුවන්ගේ විශ්‍රාම වැටුප් කටයුතු නියාමනය සඳහා අලුතින් පරිපාලන ආයතනයක් ආරම්භ කර ඇති අතර එහි සේවක පඩි නඩි ඇතුළු නඩත්තු කටයුතු සඳහා අතිවිශාල මුදලක් වැය වන බව ඇස්තමේන්තු ගත වාර්තාවල සඳහන් වේ. මෙම ආයතනයේ කටයුතු සඳහා මේ වන විට බඳවාගෙන ඇති සේවක පිරිස වෙනුවෙන් වැය කර ඇති මුදල ඩොලර් මිලියන 3.7 ක් ලෙස සඳහන් වේ. මෙම වාර්තාවට අනුව එහි ඉහළ විධායක ශ්‍රේණියේ නිලධාරීන් හයදෙනෙකු සඳහා පමණක් ඩොලර් මිලියන 2 කට වැඩි මුදලක් වැය කර ඇති බව පෙන්නුම් කෙරේ. මේ නිලධාරීන්ගෙන් වැඩි පිරිසක් පසුගිය මාර්තු-අප්‍රේල් මාසවලදී බඳවාගෙන ඇත. මේ විධායක ශ්‍රේණියේ නිලධාරියකු වෙනුවෙන් ඩොලර් 335,000 ක වැටුප් දීමනාවක් හිමිවන අතර එහි සේවයේ නියුතු සෙසු නිලධාරීන් 27 දෙනෙකුගේ වැටුප් දීමනාව එක් අයෙකුට ඩොලර් 62,522 ක් ලෙස දැක්වේ.

ලිබරල් පක්ෂයේ මෙම අලුත් විශ්‍රාම වැටුප් සැලසුම් ක්‍රමය පිළිබඳව නව ඩිමොක්‍රටික් පක්ෂය දැඩි කණස්සල්ල පළ කර සිටින අතර ඔවුන් පවසන්නේ මේ ආකාරයට අනවශ්‍ය වියදම් සහිත විශ්‍රාම වැටුප් ක්‍රමයක් ගෙන ඒම නුසුදුසු දෙයක් බවයි. මෙය විශ්‍රාමය ලබාගැනීමටවත් සුදුසුකම් ලබාගත නොහැකිව ළතැවෙමින් සිටින ඔන්ටේරියෝ ජනතාවට කරන ‘අපහාසයක්’ බවයි ඔවුන් පෙන්වා දෙන්නෙ. මෙවැනි ප්‍රාදේශීය විශ්‍රාම වැටුප් සැලැසුමක් සාර්ථකව ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නොවන්නක් බව ඩිමොක්‍රටිකයන්ගේ අදහසයි.

සියලුම ප්‍රාදේශීය රජයයන් එක්ව කැනඩා විශ්‍රාම වැටුප ඉහළ නැංවීමට දායක වනවා මිස වෙන වෙනම ප්‍රාදේශීය විශ්‍රාම සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව NDP පක්ෂයේ ජෙනිෆර් ෆ්‍රෙන්ච් පවසයි. එවැනි දෙයකින් අනාගතයේ ඇතිවිය හැකි අනිසි ප්‍රතිඵල පිළිබඳ කැත්ලින් වේන් සහ ඇගේ රජයට දුරදිග සිතා බැලීමේ අවශ්‍යතාවක් නොමැති වීම කණගාටුවට කරුණක් බව ඇය වැඩිදුරටත් කියා සිටියි. මෙවැනි අනවශ්‍ය වැඩක් ආරම්භ කර සීමාවකින් තොරව විධායක නිලධාරීන් හා සේවකයින් බඳවා ගනිමින් ඔවුන්ට අතිවිශාල වැටුප් ගෙවීම් සිදුකිරීමෙනුත් යටිතල පහසුකම් ආදිය සැලසීමට විශාල මුදලක් වැය කිරීමෙනුත් පෙනී යන්නේ සමස්ත ඔන්ටේරියානුවන්ගේ අවශ්‍යතාවන්ට වඩා ලිබරල් රජය සිය හිතවතුන්ගේ මනදොළ පිනවීමේ අවශ්‍යතාවට මූලිකත්වය දී කටයුතු කරන බව යැයි NDP නියෝජිතවරිය පවසා ඇත.

ඔන්ටේරියෝ විශ්‍රාම වැටුප් සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික යටිතල පහසුකම් සපයා ගැනීම සඳහා විශාල වියදමක් දැරීමට මේ වන විට රජයට සිදුවී ඇත. මෙහිදී නව ප්‍රාදේශීය විශ්‍රාම වැටුප් පරිපාලන ආයතනය පිහිටුවීම සඳහා මේ වසර මුලදී පස් අවුරුදු බදු පදනමකට යටත්ව ටොරොන්ටෝ නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලකින් මහල් දෙකක් ලබාගෙන තිබුණේ ඩොලර් මිලියන 12 ක් වැය කරමිනි. ඒ බව සඳහන් වාර්තාවක් පසුගියදා එළිදක්වා තිබුණු අතර මේ කටයුතු සඳහා ඩොලර් මිලියන 31 ක ණයක් ප්‍රාදේශීය රජයෙන් ලබා දී ඇතැයිද එහි සඳහන් විය. මීට අමතරව Ontario Retirement Pension Plan Administration Corporation හි උපදේශන කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන 17.7 ක් වැය කොට ඇත.

විශ්‍රාම වැටුප් සැලසුම් පරිපාලන සංස්ථාවේ කටයුතු වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 15 ක් හිඟ මුදල් වශයෙන්ද ගෙවීමට ඇති බව මේ පිළිබඳව කරුණු දක්වමින් ඔන්ටේරියෝ මුදල් අමාත්‍ය චාල්ස් සූසා පවසා තිබුණි. තම රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන මෙම විශ්‍රාම සැලසුම් ක්‍රමය පිළිබඳව ඔන්ටේරියෝ මුදල් අමාත්‍යවරයා පවසන්නේ මෙසේය. ‘කැනඩා විශ්‍රාම වැටුප් ක්‍රමය වැඩි දියුණු කිරීමට සහාය දීම ඔන්ටේරියෝවේ පළමු තේරීම වුවත් ප්‍රාදේශීය විශ්‍රාම වැටුප් සැලැස්මක්ද තිබීම අවශ්‍යයි. යම් හේතුවකින් අනෙකුත් ප්‍රාදේශිකයන් හෝ ෆෙඩරල් රජය විසින් ජාතික ගිවිසුමට අවහිර වන යමක් කළහොත් ඊට සූදානම් වීමක් ලෙස මෙය පැවතීමවටිනවා.’  මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් ඇමතිවරයා මෙසේද සඳහන් කර තිබුණි. ‘ඔන්ටේරියෝ විශ්‍රාම වැටුප් සැලැස්ම හරහා වැඩකරන ජනතාවගේ විශ්‍රාම වැටුප ආරක්ෂා කිරීමට අපි දුන් මැතිවරණ පොරොන්දුව මත බහුතර ජනවරමක් දිනාගැනීමට අපට හැකි වුණා. කැනඩා විශ්‍රාම වැටුප් සැලැස්ම වැඩි දියුණු කිරීම කළ හැකිද යන අවිනිශ්චිත කාල පරිච්ඡේදයක් පැවතියදී අප වගකිව යුතු ප්‍රවිශ්ටයක් විදියට ඔන්ටේරියෝ විශ්‍රාම වැටුප් සැලසුම ස්ථාපිත කිරීමට කටයුතු කළා.’

ඔන්ටේරියෝ විශ්‍රාම වැටුප් සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා වන සම්පූර්ණ ඇස්තමේන්තු වියදම් වාර්තාවේ සඳහන් වන්නේ සේවා නියුක්තිකයන් 50 දෙනෙකු මේ වන විටත් රාජකාරි කටයුතු වල නිරතව සිටින බවත් තවත් 100 දෙනෙකු පමණ මේ මාසයේදී අලුතින් බඳවා පියවර ගනිමින් ඇති බවත්ය. මීට අමතරව තවත් 100 ක පිරිසක් ලබන සැප්තැම්බර් මාසයේදීද 250 ක පිරිසක් ලබන වසරේ ජූනි මාසයට පෙරද බඳවා ගැනීමට නියමිතව ඇත.

මෙය ලිබරල් රජයේ නාස්තිය හා දූෂණයත් අවිධිමත් බවත් පෙන්වන හොඳම උදාහරණයක් බව කොන්සර්වේටිව් පක්ෂයේ අදහසයි. සක්‍රියව කටයුතු කිරීම සිහිනයක් වැනි මෙවැනි ප්‍රාදේශීය විශ්‍රාම වැටුප් ක්‍රමයක් අධික වියදමක් දරමින් ක්‍රියාත්මක කිරීමට පෙර අනිකුත් ප්‍රාදේශිකයන් සහ ඔටාවා ප්‍රධාන රජය වෙත මේ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් සිදුකිරීමට ඔන්ටේරියෝ රජය විසින් කළ යුතුව තිබුණු බව ඔවුහු වැඩිදුරටත් පවසා සිටිති.

‘මෙය ඔන්ටේරියෝවේ ඉදිරි පියවරක්’ බව පවසමින් ඔන්ටේරියෝ මුදල් අමාත්‍යවරයා මෙම විශ්‍රාම වැටුප් සැලසුම සකස් කිරීමට වැය කළ සහ කරන වියදම ආරක්ෂා කිරීමට සුදු හුණු ගෑවත් මේකෙන් වන අනවශ්‍ය මුදල් නාස්තිය ඕනෑම අයෙකුට වටහා ගැනීම අපහසු නොවන බව පළාත් සභා විශ්‍රාම වැටුප් විචාරකයකු වූ ජූලියා මුන්රෝගේ අදහසයි. මේ සිදුකරන නාස්තිය සම්බන්ධයෙන් කැත්ලින් වේන් ප්‍රමුඛ ලිබරල් රජය සමස්ත ඔන්ටේරියානුවන්ගෙන් සමාව ඉල්ලිය යුතු බව ජූලියා පවසා සිටියි.

මෙම අලුත් ඔන්ටේරියෝ විශ්‍රාම වැටුප් සැලසුම පිළිබඳව මූල්‍ය සැලසුම් විචාරකයින් මෙසේ පවසා ඇත. ‘සේවකයන්ට හා හාම්පුතුන්ට විශ්‍රාම වැටුප් සඳහා අතිරේක දායකත්වයක් පැනවීම තුළින් ඉදිරි කාලයේදී පළාතේ ආර්ථීකයට බලපෑම් එල්ල විය හැකි අතර එය කැනඩා විශ්‍රාම වැටුප් සැලසුමේ වැඩි දියුණුවද අනතුරේ හෙළීමකි’

මේ තත්ත්වය කුඩා සමාගම් සඳහා ‘විනාශකාරී’ එකක් වනු ඇතැයි Canadian Federation of Independent Business ආයතනයද පෙන්වා දී ඇත.

 

(Keith Leslie විසින් ලියන ලද Ontario spent $70 million to create provincial pension plan that’s not needed ලිපියේ සාරාංශය ඇසුරෙන් සැකසුනකි)

සටහන – චමරි අබේසිංහ

Share this Post