අද (18) සිට කොවිඩ්-19 එන්නත සඳහා ඔන්ටේරියෝහි පදිංචි වයස අවුරුදු 18 හෝ ඊට වැඩි (2003 හෝ ඊට පෙර උපත ලද) සියලුම දෙනාට ලියාපදිංචි වීමේ අවස්ථාව විවෘත කර ඇත. මේ පිළිබඳ අවශ්‍ය වැඩි විස්තර ඔබ පදිංචි නගර සභා ප්‍රදේශයට අයත් වෙබ් අඩවිවලින් ඔබට ලබාගත හැක. එසේම 1-833-943-3900 යන අංකයෙන් පළාත් ඇමතුම් මධ්‍යස්ථානය හරහා හෝ මහජන සෞඛ්‍ය ඒකක හරහා ඔබට එන්නත වෙන් කරවා ගත හැක. එන්නත්කරණ වැඩසටහන සඳහා මේ වන විට ඒ ඒ නගර සභා ප්‍රදේශවල දැවැන්ත ප්‍රතිශක්තිකරණ සායන විශාල සංඛ්‍යාවක් ආරම්භ කර ඇත. Peel නගර සභා බල ප්‍රදේශය තුළ එන්නත් ලබා දීමේ වයස් සීමාව අවුරුදු 16 දක්වා අඩු කර ඇති අතර එම වයස් කාණ්ඩවල පුද්ගලයන්ට අදාළ මධ්‍යස්ථාන හරහා එන්නත වෙන් කරගත හැක.

Health Canada විසින්12-18 වයස් කාණ්ඩය සඳහා අනුමත කර ඇති එකම එන්නත වන Pfizer එන්නත වයස අවුරුදු 16-18 අතර තරුණ පිරිසට ලබාදෙන ලෙස රජය අනිවාර්යයෙන්ම නිර්දේශ කර ඇත.

එන්නත සඳහා ලියාපදිංචි වන වයස් සීමාව මේ සතියේදී අවුරුදු 30+ දක්වාත් ලබන සතියේදී 18+ දක්වාත් සිදුකරන බව මීට පෙර පළාත් සෞඛ්‍ය අංශය ප්‍රකාශ කර තිබුණි. එසේ වුවත් එන්නත් තොග බලාපොරොත්තු වූ කාල සීමාවට පෙර කැනඩාවට පැමිණීමත් සමග එම සැලසුම මෙසේ වෙනස් කළ බව ඔන්ටේරියෝව පළාත් රජය ජනතාවට දැනුම් දී සිටී. මේ වන විට කැනඩාවට අවශ්‍ය එන්නත් තොග නොකඩවා පැමිණෙන අතර මේ සතිය තුළ Pfizer-BioNTech සහ Moderna එන්නත් මාත්‍රාවන් මිලියන 4.5 ක් පමණ පැමිණෙන බව කැනඩා ෆෙඩරල් රජය පවසා සිටී.

වයස අවුරුදු 12-17 ත් අතර ඔන්ටේරියෝවේ සියළුම දරුවන් සඳහා මැයි 31 වැනිදා එන්නත වෙන් කරවා ගැනීමේ අවස්ථාව ලබාදීමට ඔන්ටේරියෝව මේ වන විට සැලසුම් කර ඇත. සැප්තැම්බර් මාසය අග වන විට එන්නත සඳහා සුදුසුකම් ලත් ඔන්ටේරියෝවේ සියලුම පුද්ගලයන් සඳහා සම්පූර්ණ එන්නත් මාත්‍රාවන් ලබා දීමට රජය බලාපොරොත්තු වේ.

පසුගිය ඉරිදා (16)  රාත්‍රි 8 වන විට ඔන්ටේරියෝවේ මිලියන 14 ක් වූ සමස්ත ජනගහනයෙන් පුද්ගලයන් මිලියන 7.1 කට එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබුණි. පූර්ණ එන්නත් මාත්‍රා ලබාගත් ඔන්ටේරියානුවන් සංඛ්‍යාව 432,000 ක් ලෙස දැක්වුණි. ඒ අනුව වයස අවුරුදු 18 ට වැඩි ඔන්ටේරියානුවන් අතරින් සියයට 55 කට වැඩි පිරිසක් මේ වන විට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා ඇත.

Share this Post