ඔන්ටේරියෝ පළාතේ පවතින Lockdown සීමාවන් යටතේ වසා දමා ඇති පාසල් නැවත සාමාන්‍ය පරිදි (in-person learning) විවෘත කරන දිනය පිළිබඳව මේ දිනවල සාකච්ඡා කෙරෙමින් පවතී.

ඔන්ටේරියෝහි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Dr. David Williams අඟහරුවාදා(25) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා ඇත්තේ ඔන්ටේරියෝ පළාත නැවත විවෘත කිරීමේ සැලැස්මේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමට පෙර පාසල් විවෘත කිරීමට අදහස් කර ඇති බවයි. පාසල් දරුවන්ගේ ආරක්ෂාව සහතික කළ නොහැකි මට්ටමකට කොරෝනා වසංගතයේ තුන්වැනි රැල්ල ඉහළ යෑමට පෙර පළාතේ සියලු පාසල් වසා දැමීමට පළාත් රජය පියවර ගත්හ. එහිදී අප්‍රේල් මාසයේ මැද භාගයේ සිට ඔන්ටේරියෝවේ සියලුම පාසල් කලාපවල ප්‍රාථමික සහ උසස් අධ්‍යාපන පාසල් වසා දැමුණි.

පසුගිය කාලයේ විශාල වශයෙන් කොවිඩ්-19 රෝගීන් වාර්තා වූ Peel සහ Toronto කලාපවල රෝගීන් වාර්තා වීම සැලකිය යුතු අන්දමින් පහත වැටෙමින් තිබීම සතුටුදායක තත්ත්වයක් බවත් එය එම කලාපවලට කොවිඩ්-19 කළමනාකරණය කරගැනීමේ හැකියාව පෙන්වන සහතිකයක් බවත් වෛද්‍ය විලියම්ස් මෙහිදී පවසා තිබුණි. සමස්ත ඔන්ටේරියෝව ගැන සලකා බලන විට දැන් බොහෝ දුරට රෝගීන් පාලනය වී ඇති නිසා නැවතත් ඉක්මනින් පාසල් විවෘත කිරීමට තමන් කැමති බව Dr. Williams පවසයි. පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවස්ථාව ලබා දීම කෙරෙහි GTA ඇතුළු ඔන්ටේරියෝ සියලුම කලාපවල වෛද්‍යවරුද සතුටුදායක අන්දමින් තම අදහස් දක්වා තිබුණි. ඇතැම් පාසල් මණ්ඩලවලට ජූනි පළමු සතියේ සිට පාසල් විවෘත කිරීමට අවස්ථාව ලබාදිය හැකි බවත් බොහෝදුරට මාණ්ඩලීය මට්ටමින් මෙම පාසල් විවෘත කිරීම සිදුවිය හැකි බවත් වෛද්‍ය විලියම්ස් කරුණු දක්වමින් පැවසීය.

පාසල් නැවත සාමාන්‍ය පරිදි විවෘත කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිවරයා කැමැත්ත පළ කර ඇතත් ඇතැම් සෞඛ්‍ය හා ආරක්ෂක උපදේශකයින් ඊට එරෙහිව අවවාද කර ඇති බව පසුගියදා මේ පිළිබඳ අදහස් දැක්වූ පළාත් ප්‍රධානී Doug Ford පවසා තිබුණි. පාසල් නැවත විවෘත කළහොත් දෛනික කොවිඩ්-19 රෝගීන් වාර්තා වීම සියයට 6 සිට සියයට 11 දක්වා වැඩි විය හැකි බවට කොරෝනාවෛරසය පැතිරීම අධීක්ෂණය කරන කණ්ඩායම් පවසා ඇත.

Share this Post