ආර්ථිකය අවියක් කරගත් යුගයක අනාගතය රැක ගැනීම
Feb 5, 2026 | Canada News |

‘නව ලෝකපර්යායයක්’ ගැන මාර්ක් කාර්නි Davos හිදී
හඬ අවදි කරයි

ජනවාරි 20 දා ස්විට්සර්ලන්තයේ Davos නගරයේදී පැවැති ලෝක ආර්ථීක සමුළුවේ (World Economic Forum) වේදිකාවට පිවිසි කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි, කැළඹිලි සහිත සහ වේගයෙන් වෙනස් වන ලෝකයක් හමුවේ කැනඩාව වැනි මධ්‍යම ප්‍රමාණයේ බලවතුන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සිය දැක්ම ඉතා පැහැදිලිව විග්‍රහ කර සිටියේය.
නව ලෝකපර්යායයක් (New world order) ගොඩනැගෙමින් පවතින බව පැවසූ කාර්නි පෙන්වා දුන්නේ, ලොව බලවත්ම රාජ්‍යයන් තමන්ගේ පටු අවශ්‍යතා වෙනුවෙන් ආර්ථීක ඒකාබද්ධතාව ‘බලහත්කාරක අවියක්’ ලෙස භාවිත කරන බැවින්, පැරණි පද්ධතියේ පළුදු වූ නීතිරීති කෙරෙහි තවදුරටත් විශ්වාසය තැබිය නොහැකි බවයි.
ලොව මහා බලවතුන් (Great powers) අතර පවතින එදිරිවාදිකම් මැද සිරවී සිටින රටවල් සඳහා කාර්නි ‘තෙවන මාවතක්’ යෝජනා කළේය. එනම්, ධනවත්ම සහ ශක්තිමත්ම රටවල අනුග්‍රහය ලබා ගැනීම සඳහා තනි තනිව උත්සාහ කරනවා වෙනුවට, සමාන අරමුණු සහිත රටවල් එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමයි.
කැනඩාවට මෙන්ම සමස්ත ලෝකයටම තීරණාත්මක සන්ධිස්ථානයක් බඳු වූ මෙවන් මොහොතක, ඔබ සැම ඇමතීමට ලැබීම මා ලබන සතුටක් මෙන්ම මා සතු වගකීමක්ද වේ. අද මා ඔබ හමුවේ තබන්නේ බිඳ වැටෙමින් පවතින ලෝකපර්යාය, සුන්දර ප්‍රබන්ධයක නිමාව සහ කිසිදු සීමාවකට යටත් නොවන මහා බලවතුන්ගේ භූ-දේශපාලනික බල අරගලය හමුවේ උදාවෙමින් පවතින කර්කශ යථාර්ථය පිළිබඳවයි.
එහෙත්, විශේෂයෙන් කැනඩාව වැනි මධ්‍යම ප්‍රමාණයේ බලවතුන් සහ සෙසු ජාතීන් මෙම තත්ත්වය හමුවේ අසරණ නොවන බව මම අවධාරණය කරමි. මානව හිමිකම්වලට ගරු කිරීම, තිරසාර සංවර්ධනය, අන්‍යෝන්‍ය සහයෝගීතාව මෙන්ම රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ විවිධ රාජ්‍යයන්ගේ භූමියේ අඛණ්ඩතාව සුරැකෙන නව ලෝකපර්යායයක් ගොඩනැගීමේ සැබෑ ශක්තිය ඔවුන් සතුව පවතී. බලය සීමිත වූවන්ගේ සැබෑ ශක්තිය උද්ගතවන්නේ අවංකභාවයෙන්ය.
(ඉහත කොටස ප්‍රංශ භාෂාවෙන් ප්‍රකාශ කළ අගමැතිවරයා එතැන් සිට සිය කතාව ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකරන ලදී.)
අප ජීවත් වන්නේ මහා බලවතුන්ගේ එදිරිවාදිකම් රජයන යුගයක බව අපට දිනපතා මතක් කර දෙනු ලැබේ. නීති මත පදනම් වූ ලෝකපර්යාය (Rules-based order) කෙමෙන් වියැකෙමින් පවතී.
“ශක්තිවන්තයා තමන්ට රිසි දේ කරයි; දුර්වලයා තමන්ට උරුම වූ දුක විඳියි” ග්‍රීක ඉතිහාසඥ Thucydides ගේ මෙම කියමන, ජාත්‍යන්තර සබඳතාවල ස්වභාවික තර්කනය නැවත තහවුරු වීමක් ලෙසත්, වැළැක්විය නොහැකි දෙයක් ලෙසත් ඉදිරිපත් කෙරේ. මෙම තර්කනය හමුවේ, ගැටලූ මඟහරවා ගැනීමටත්, සුහදව සිටීමටත්, එකඟතාව පළ කිරීම තුළින් ආරක්ෂාව සැලසෙනු ඇතැයි බලාපොරොත්තු වීමටත් රටවල් පෙළඹීමේ දැඩි ප්‍රවණතාවක් පවතී.
නමුත් එය එසේ සිදු නොවේ.
එසේනම්, අප සතු විකල්ප මොනවාද?
1978 දී, පසුකාලීනව ජනාධිපති ධුරයට පත් වූ චෙකොස්ලොවැකියානු විරුද්ධ මතධාරියෙකු වන Václav Havel විසින් “The Power of the Powerless” (බල රහිත අයගේ බලය) නමින් නිබන්ධනයක් ලිවීය. එහිදී ඔහු සරල ප්‍රශ්නයක් නැගුවේය. එනම්, “කොමියුනිස්ට් ක්‍රමය ඔවුන්ව පවත්වාගනු ලැබුවේ කෙසේද?” යන්නයි. ඔහුගේ පිළිතුර ආරම්භ වූයේ එළවළු වෙළෙන්දෙකුගෙනි.
සෑම උදෑසනකම මෙම කඩහිමියා තම ප්‍රදර්ශන කවුළුවෙහි ‘ලෝකවාසී කම්කරුවනි, එක්වව්!’ යනුවෙන් සඳහන් පුවරුවක් ප්‍රදර්ශනය කරයි. එහෙත් ඔහු එය විශ්වාස කරන්නේ නැත, කිසිවෙකුත් එය විශ්වාස කරන්නේ නැත. නමුත් ඔහු එම පුවරුව එහි තබන්නේ සිදුවිය හැකි කරදර මඟහරවා ගැනීමටත්, තමන් එම ක්‍රමයට අනුකූල බව පෙන්වීමටත්, ගැටුම්වලින් තොරව ජීවත් වීමටත්ය. සෑම වීදියකම සිටින සෑම කඩහිමියෙකුම මේ ආකාරයෙන්ම කටයුතු කරන බැවින්, ක්‍රමය අඛණ්ඩව පවතී. එය පවතින්නේ හුදෙක් රාජ්‍ය ප්‍රචණ්ඩත්වය නිසාම පමණක් නොව, තමන් පෞද්ගලිකව අසත්‍ය බව දන්නා නමුත් එම පිළිවෙත් සඳහා සාමාන්‍ය ජනයා සහභාගී වීම තුළිනි.
Havel මෙයට ‘අසත්‍යය තුළ ජීවත් වීම’ යැයි පැවසීය.
පද්ධතියක බලය ගොඩනැගෙන්නේ එහි ඇති සත්‍යතාවය මත නොව, එය සත්‍යයක් සේ සලකා කටයුතු කිරීමට සැමදෙනා තුළ ඇති කැමැත්ත මතය. එහි බිඳෙනසුලු බව උදාවන්නේද එම මූලාශ්‍රයෙන්මය. එක් පුද්ගලයෙකු හෝ එසේ කටයුතු කිරීම නතර කළ විට, එනම් අර එළවළු වෙළෙන්දා තම පුවරුව ඉවත් කළ විට, එම මායාව පුපුරා යන්නට පටන් ගනී.
මිත්‍රවරුනි, මේ සමාගම් සහ රටවල් විසින් තමන් ප්‍රදර්ශනය කර ඇති එම පුවරු ඉවත් කළ යුතු කාලයයි.
දශක ගණනාවක් පුරා, කැනඩාව වැනි රටවල අප ‘නීති මත පදනම් වූ ලෝකපර්යාය’ ලෙස හැඳින්වූ ක්‍රමය යටතේ සමෘද්ධිමත් විය. අපි එහි ආයතන සමඟ එක්වුණෙමු, එහි මූලධර්ම අගය කළෙමු, තවද එහි ඇති කල් තියා කිව හැකි බවින් (predictability) ප්‍රතිලාභ ලැබුවෙමු. එහි රැකවරණය යටතේ වටිනාකම් මත පදනම් වූ විදේශ ප්‍රතිපත්ති අනුගමනය කිරීමට අපට හැකි විය.
ජාත්‍යන්තර නීති මත පදනම් වූ මෙම අනුපිළිවෙළ පිළිබඳ කතාව තරමක් අසත්‍ය බව අපි දැන සිටියෙමු. එනම් බලවත් රටවල් තමන්ට පහසු අවස්ථාවලදී එම නීතිවලින් බැහැර වන බවත් වෙළඳ නීති ක්‍රියාත්මක වූයේ අසමාන ලෙස බවත් අපි දැන සිටියෙමු. එමෙන්ම ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක වන දැඩිභාවය, විත්තිකරුගේ හෝ වින්දිතයාගේ අනන්‍යතාවය මත වෙනස් වන බවද අපි දැන සිටියෙමු.
මෙම කල්පිතය(Fiction) ප්‍රයෝජනවත් විය. විශේෂයෙන්ම ඇමරිකානු ආධිපත්‍යය විසින් පොදු පහසුකම් සැපයීමට දායක විය. එනම්, විවෘත මුහුදු මාර්ග, ස්ථාවර මූල්‍ය පද්ධතියක්, සාමූහික ආරක්ෂාව සහ ආරවුල් විසඳීමේ මූලික ව්‍යුහයන් සඳහා සහයෝගය ලබා දීම ඒ අතර විය. එබැවින්, අපිත් කවුළුවේ පුවරුව ප්‍රදර්ශනය කළෙමු. අපි එම පිළිවෙත්වලට අනුකූල වූ අතර, ප්‍රකාශිත අලංකාර සහ සැබෑ යථාර්ථය (Rhetoric and Reality) අතර ඇති පරතරය පෙන්වා දීමෙන් බොහෝ දුරට වැළකී සිටියෙමු. නමුත් මෙම සම්මුතිය දැන් තවදුරටත් සාර්ථක නොවේ.
මා සෘජුවම පවසන්නම්, අප සිටින්නේ පරිවර්තන සමයක නොව, දැවැන්ත බිඳ වැටීමක් මධ්‍යයේය.
පසුගිය දශක දෙක තුළ මූල්‍ය, සෞඛ්‍ය, බලශක්ති සහ භූ-දේශපාලනික වශයෙන් ඇති වූ අර්බුද මාලාවක් මගින් ආන්තික ගෝලීය ඒකාබද්ධතාවයේ (Global integration) ඇති අවදානම හෙළිදරව් කර ඇත.
වඩාත් මෑතක සිට, මහා බලවතුන් ආර්ථීක ඒකාබද්ධතාවය අවියක් ලෙස භාවිත කිරීමට පටන් ගෙන ඇත. තීරුබදු (Tariffs) අරමුණු ඉටුකර ගැනීමේ උපායමාර්ග ලෙසත්, මූල්‍ය යටිතල පහසුකම් බලහත්කාරකම් සිදුකිරීමටත්, සැපයුම් දාමයන් සූරාකෑම සඳහා ඇති දුර්වලතා ලෙසත් භාවිත කිරීමට පටන් ගෙන තිබේ.
ඒකාබද්ධතාවය ඔබව යටත් කරගැනීමේ මාර්ගයක් බවට පත්වන විට, එම ඒකාබද්ධතාවය හරහා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලැඛෙනවාය යන ‘අසත්‍යය තුළ ජීවත් වීමට’ ඔබට තවදුරටත් නොහැක. මධ්‍යම ප්‍රමාණයේ බලවතුන් මෙතෙක් විශ්වාසය තැබූ බහුපාර්ශ්වික ආයතන එනම්, ලෝක වෙළඳ සංවිධානය (WTO), එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) සහ දේශගු‚ක විපර්යාස පිළිබඳ සමුළුව (COP) වැනි සාමූහිකව ගැටලූ විසඳීමේ සමස්ත ව්‍යුහයන් දැන් ඛෙහෙවින් දුර්වල වී ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස, බලශක්ති, ආහාර, තීරණාත්මක ඛනිජ සම්පත්, මූල්‍ය සහ සැපයුම් දාමයන් සම්බන්ධයෙන් තමන්ටම ආවේ‚ක වූ ‘මූලෝපායික ස්වයං පාලනයක්’ (Strategic autonomy) ගොඩනගා ගත යුතු බවට බොහෝ රටවල් නිගමනය කරමින් සිටී. මෙම පෙළඹවීම තේරුම් ගත හැකිය. තමන්ට අවශ්‍ය ආහාර සපයා ගැනීමට, බලශක්තිය නිපදවා ගැනීමට හෝ තමන්ව ආරක්ෂා කර ගැනීමට නොහැකි රටකට විකල්ප සීමිතය. නීති මගින් තවදුරටත් ඔබව ආරක්ෂා නොකරන විට, ඔබ විසින්ම ඔබව ආරක්ෂා කර ගත යුතුය.
නමුත් මෙය අපව ගෙන යන්නේ කොතැනටද යන්න ගැන අපි පැහැදිලි අවබෝධයකින් සිටිය යුතුය.
ආරක්ෂක පවුරුවලින් වට කරගත් හුදකලා ලෝකයක් යනු වඩාත් දිළිඳු, වඩාත් බිඳෙනසුලූ සහ අවම තිරසාර එකක් වනු ඇත. තවත් සත්‍යයක් තිබේ. මහා බලවතුන් තම බලය සහ අවශ්‍යතාවන් බාධාවකින් තොරව හඹා යාම වෙනුවෙන්, ජාත්‍යන්තර නීති සහ සාරධර්ම පිළිපදින බවට පෙන්වන මවාපෑම පවා අත්හැර
දැමුවහොත්, ‘ගනුදෙනුවාදය’ (Transactionalism) තුළින් ලැඛෙන වාසි නැවත ලබා ගැනීම වඩාත් දුෂ්කර වනු ඇත. ආධිපත්‍යධාරීන්ට (Hegemons) තම සබඳතා දිගින් දිගටම මුදල් බවට පත් කළ නොහැක. මිත්‍ර රටවල් අවිනිශ්චිතතාවයෙන් මිදීම සඳහා විකල්ප මාර්ග සොයා යනු ඇත. ස්වෛරීභාවය නැවත ගොඩනැගීම සඳහා ආරක්ෂණ ක්‍රම සොයනු ඇත. විකල්ප වැඩි කර ගනු ඇත. කලක් නීති මත පදනම්ව තිබූ ස්වෛරීභාවය, ඉදිරියේදී තීරණය වන්නේ පීඩනයන්ට ඔරොත්තු දීමේ හැකියාව මතය.
මෙය සම්මත අවදානම් කළමනාකරණයක් (Risk management) බව මෙම සභාව දනී. අවදානම් කළමනාකරණය සඳහා මිලක් ගෙවීමට සිදු වේ. නමුත් මූලෝපායික ස්වයං පාලනයක් හෝ ස්වෛරීභාවය සඳහා වැය වන එම පිරිවැය අනෙක් රටවල් සමඟ ඛෙදාගත හැකිය.
සෑම කෙනෙක්ම තනි තනිව බලකොටු තනා ගැනීමට වඩා, ඔරොත්තු දීමේ හැකියාව වෙනුවෙන් කරනු ලබන සාමූහික ආයෝජන වඩා ලාභදායී වේ. පොදු ප්‍රමිතීන් ඛෙදී යාම අවම කරයි. අනුපූරකතාවයන් (Complementarities) සැමටම වාසිදායක වේ. කැනඩාව වැනි මධ්‍යම ප්‍රමාණයේ බලවතුන්ට ඇති ප්‍රශ්නය, මෙම නව යථාර්ථයට අනුකූල විය යුතුද යන්න නොවේ – අප අනිවාර්යයෙන්ම එය කළ යුතුය. ප්‍රශ්නය වන්නේ, අප අනුවර්තනය වන්නේ හුදෙක් උස පවුරු ඉදිකර ගැනීමෙන්ද, නැතහොත් ඊට වඩා උන්තිකාමී වැඩි යමක් කිරීමට අපට හැකිද යන්නයි.
දැන් මෙම අනතුරු ඇඟවුමට මුලින්ම සවන් දුන් රටවල් අතර කැනඩාවද සිටින අතර, එය අපගේ මූලෝපායික විලාසය මූලික වශයෙන් වෙනස් කිරීමට අපව යොමු කළේය. අපගේ භූගෝලීය පිහිටීම සහ සන්ධාන සාමාජිකත්වය මගින් ස්වයංක්‍රීයවම සමෘද්ධිය සහ ආරක්ෂාව හිමිවේ යැයි අප තුළ තිබූ පැර‚ සුවපහසු විශ්වාසයන් තවදුරටත් වලංගු නොවන බව කැනේඩියානුවන් දනිති. අපගේ නව ප්‍රවේශයේ පදනම් වී ඇත්තේ ෆින්ලන්ත ජනාධිපති Alexander Stubb විසින් නම් කළ ‘වටිනාකම් මත පදනම් වූ යථාර්ථවාදය’ (Value-based realism) යන සංකල්පය මතය. වෙනත් අයුරකින් පවසන්නේ නම්, අපි ප්‍රතිපත්තිගරුක
මෙන්ම ප්‍රායෝගික වීමට අපේක්ෂා කරමු. ස්වෛරීභාවය, භූමියේ අඛණ්ඩතාව, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූල නොවන අවස්ථාවලදී බලය භාවිත කිරීම තහනම් කිරීම සහ මානව හිමිකම්වලට ගරු කිරීම වැනි මූලික වටිනාකම් සම්බන්ධයෙන් අප ප්‍රතිපත්තිගරුක වන්නෙමු. ප්‍රගතිය බොහෝ විට ක්‍රමිකව සිදුවන බවත්, අවශ්‍යතා එකිනෙකට වෙනස් විය හැකි බවත්, සෑම හවුල්කරුවෙකුම අපගේ සියලූ වටිනාකම් ඛෙදා නොගන්නා බවත් හඳුනා ගනිමින් අප ප්‍රායෝගික වන්නෙමු.
අපි විවෘත මනසකින් යුතුව පුළුල්ව සහ මූලෝපායිකව ලෝකය සමග සම්බන්ධ වන්නෙමු. ලෝකය අපට අවශ්‍ය ආකාරයට සැකසෙන තෙක් බලා නොසිට, පවතින ලෝකය පවතින ආකාරයෙන්ම අපි භාර ගනිමු. අපි අපගේ සබඳතා මැනවින් ගලපා ගනිමින් සිටින අතර, එම සබඳතාවල ගැඹුර අපගේ වටිනාකම් පිළිබිඹු කරනු ඇත. මේ මොහොතේ ලෝකයේ පවතින අස්ථාවරත්වය, ඉන් ඇති වන අවදානම් සහ අනාගතයට ඇති අභියෝ සැලකිල්ලට ගෙන, අපගේ බලපෑම උපරිම කිරීමට පුළුල් මැදිහත්වීම්වලට අපි ප්‍රමුඛතාවය දෙන්නෙමු.
අපි තවදුරටත් අපගේ වටිනාකම්වල ශක්තිය මත පමණක් නොව, අප සතු ශක්තියේ වටිනාකම මතද විශ්වාසය තබමින් සිටිමු. අපි එම ශක්තිය දේශීයව ගොඩනඟමින් සිටින්නෙමු.
මගේ රජය බලයට පත් වූ දා සිට, අපි ආදායම් බදු, ප්‍රාග්ධන ලාභ බදු සහ ව්‍යාපාරික ආයෝජන බදු අඩු කළෙමු. අන්තර් පළාත් (Interprovincial) වෙළඳාමට තිබූ සියලූම ෆෙඩරල් බාධක අපි ඉවත් කළෙමු. බලශක්තිය, කෘත්‍රිම බුද්ධිය (AI), තීරණාත්මක ඛනිජ සම්පත්, නව වෙළඳ කොරිඩෝවන් සහ ඉන් ඔබ්බට වූ ක්ෂේත්‍ර රැසක ඩොලර් ට්‍රිලියනයක ආයෝජන අපි කඩිනම් කරමින් සිටිමු. මේ දශකය අවසන් වන විට අපගේ ආරක්ෂක වියදම් දෙගුණ කරන අතර, එය කරනු ලබන්නේ අපගේ දේශීය කර්මාන්ත ගොඩනැගෙන ආකාරයෙනි. එමෙන්ම අපි විදේශයන්හි අපගේ සබඳතා සීඝ්‍රයෙන් විවිධාංගීකරණය කරමින් සිටිමු. යුරෝපා සංගමය සමඟ පුළුල් මූලෝපායික හවුල්කාරිත්වයකට අප එකඟ වී ඇති අතර, ඊට යුරෝපීය ආරක්ෂක ප්‍රසම්පාදන විධිවිධාන සමඟ එක්වීමද ඇතුළත් වේ. පසුගිය මාස හය තුළ මහාද්වීප හතරක වෙළඳ සහ ආරක්ෂක ගිවිසුම් 12 කට අප අත්සන් තැබුවෙමු.
පසුගිය දින කිහිපය තුළ චීනය සහ කටාර් රාජ්‍යය සමඟ නව මූලෝපායික හවුල්කාරිත්වයන් ඇති කර ගත්තෙමු. ඉන්දියාව සහ තායිලන්තය, පිලිපීනය ඇතුළු අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ASEAN) රටවල් සමගද දකුණු ඇමරිකානු වෙළඳ සමූහය වූ ‘දකුණු පොදු වෙළඳපොළ'(Mercosur) සමගද නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳව සාකච්ඡා කරමින් සිටිමු.
ගෝලීය ගැටලූ විසඳීම සඳහා අපි ‘විචල්‍ය ජ්‍යාමිතියක්’ (Variable geometry) අනුගමනය කරමු. වෙනත් වචනවලින් පවසන්නේ නම් ඒ, වටිනාකම් සහ අවශ්‍යතා මත පදනම්ව විවිධ ප්‍රශ්න සඳහා විවිධ සන්ධාන ගොඩනැගීමයි. යුක්රේනය සම්බන්ධයෙන් ගත් කල, අපි Coalition of the Willing සන්ධානයේ ප්‍රධාන සාමාජිකයෙකු වන අතර එහි ආරක්ෂාව සඳහා ඒකපුද්ගල දායකත්වය වැඩියෙන්ම ලබා දෙන රටක් වෙමු.
ආක්ටික් කලාපයේ ස්වෛරීභාවය පිළිබඳව අප ග්‍රීන්ලන්තය හා ඩෙන්මාර්කය සමඟ තිරසරව පෙනී සිටින අතර, ග්‍රීන්ලන්තයේ අනාගතය තීරණය කිරීමට ඔවුන්ට ඇති සුවිශේෂී අයිතියට පූර්ණ සහාය ලබා දෙන්නෙමු.
නේටෝ ප්‍රඥප්තියේ 5 වන වගන්තිය (Article 5) සඳහා වූ අපගේ කැපවීම නොසැලී පවතී. මෙතෙක් නොවූ විරූ ආයෝජනයන් හරහා Over-the-Horizon රේඩාර් පද්ධති, සබ්මැරීන, ගුවන් යානා සහ සක්‍රීය භට පිරිස් යෙදවීම හරහා සන්ධානයේ උතුරු සහ බටහිර කලාපයන්හි ආරක්ෂාව තහවුරු කිරීමට අපි Nordic-Baltic Eight (NB8) රටවල් ඇතුළු නේටෝ මිත්‍ර රටවල් සමඟ කටයුතු කරන්නෙමු. ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් පනවන වෙළඳ බදුවලට කැනඩාව දැඩි ලෙස විරෝධය දක්වන අතර, ආක්ටික් කලාපයේ ආරක්ෂාව සහ සෞභාග්‍යය පිළිබඳ පොදු අරමුණු ඉටු කර ගැනීමට ඉලක්කගත සාකච්ඡා අවශ්‍ය බව පවසන්නෙමු.
බහුපාර්ශ්වික වෙළඳාම සම්බන්ධයෙන් ගත් කල, ට්‍රාන්ස් පැසිෆික් හවුල්කාරිත්වය (TPP) සහ යුරෝපා සංගමය අතර පාලමක් තැනීමේ උත්සාහයයන්ට අප නායකත්වය දෙන්නෙමු. එමගින් බිලියන 1.5 ක ජනගහනයක් සහිත නව වෙළඳ කලාපයක් නිර්මාණය වනු ඇත.
තීරණාත්මක ඛනිජ සම්පත් (Critical Minerals) සම්බන්ධයෙන්, ලෝකය එක රටක් මත පමණක් රඳා නොසිට විවිධාංගීකරණය කළ හැකි පරිදි G 7 රටවල් කේන්ද්‍ර කරගත් ‘ගැනුම්කරුවන්ගේ සමාජ’ (buyers’ clubs) අපි පිහිටුවමින් සිටිමු. කෘත්‍රිම බුද්ධිය (AI) සම්බන්ධයෙන්, අපට අවසානයේ ආධිපත්‍යවාදීන් සහ
දැවැන්ත තාක්ෂණික සමාගම් (Hyperscalers) අතරින් එකක් තෝරාගැනීමට සිදු නොවන බව තහවුරු කිරීමට සමාන අදහස් ඇති ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමඟ අපි සහයෝගයෙන් කටයුතු කරන්නෙමු.
මෙය බොළඳ බහුපාර්ශ්විකවාදයක් (Multilateralism) හෝ මෙය එහි දුර්වල ආයතන මත යැපීමක්ද නොවේ. මෙය එක් එක් ගැටලූවෙන් ගැටලූවට කළ හැකි, එකට වැඩ කිරීමට තරම් පොදු එකඟතාවන් ඇති හවුල්කරුවන් සමඟ සාර්ථක සන්ධාන ගොඩනැගීමකි. සමහර අවස්ථාවලදී මෙය අතිමහත් බහුතර සංඛ්‍යාවක් ජාතීන් විය හැකිය. මෙයින් සිදුවන්නේ අනාගත අභියෝග සහ වාසි ගෙන දෙන තත්ත්වයන් තුළ අපට ප්‍රයෝජනයට ගත හැකි වෙළඳ, ආයෝජන සහ සංස්කෘතික සබඳතාවල දැඩි ජාලයක් නිර්මාණය කිරීමයි.
මධ්‍යම ප්‍රමාණයේ බලවතුන් එක්ව ක්‍රියා කළ යුතුය. මන්ද, ඔබ මේසයේ නොසිටින්නේ නම්, ඔබ සිටිනු ඇත්තේ අනෙක් අයගේ ආහාර මෙනුවෙහිය.(Menu)
මම මෙසේද පවසමි: මහා බලවතුන්ට (Great powers) දැනට තනිවම තම ගමන යාමට හැකියාව ඇත. ඔවුන් සතුව විශාල වෙළඳපොළක්, යුධ ශක්තියක් සහ කොන්දේසි පැනවීමට අවශ්‍ය ආධිපත්‍යයක් පවතී. නමුත් මධ්‍යම බලවතුන්ට (Middle powers) එවැනි හැකියාවක් නැත. අප හුදෙක් අධිපති බලවතෙකු සමඟ ද්විපාර්ශ්විකව සාකච්ඡා කරන විට, අපව සැලකෙන්නේ දුර්වල පාර්ශ්වයක් ලෙසය. එවිට ලැඛෙන ඕනෑම දෙයක් අපි භාර ගනිමු. වඩාත්ම අනුගත වන රට වීමට අපි එකිනෙකා සමඟ තරග කරන්නෙමු. මෙය ස්වෛරීභාවය නොවේ. මෙය යටත් වීමට එකඟ වෙමින්, ස්වෛරීභාවය ඇති බව පෙන්වීමට සිදුකරන රඟපෑමක් පමණි.
මහා බලවතුන්ගේ එදිරිවාදිකම් පවතින ලෝකයක, ඒ අතර මැද සිටින රටවලට තේරීමක් ඇත. එනම් අනුග්‍රහය ලබාගැනීම සඳහා එකිනෙකා සමඟ තරඟ කිරීම හෝ ඒ වෙනුවට බලපෑමක් ඇති කළ හැකි ‘තෙවන මාවතක්’ නිර්මාණය කිරීම සඳහා එක්සත් වීමයි. නීත්‍යානුකූලභාවය, අඛණ්ඩතාව සහ නීති රීතිවල ඇති බලය අපි එක්ව පරිහරණය කිරීමට තීරණය කරන්නේ නම්, ඒවා ශක්තිමත්ව තිඛෙන බවට වූ කාරණය, අධිපති බලය තුළින් අන්ධ කිරීමට අප ඉඩ නොදිය යුතුය.
මෙය මා නැවතත් Havel වෙත ගෙන යයි.
මධ්‍යම මට්ටමේ බලවතුන් සඳහා ‘සත්‍යය තුළ ජීවත් වීම’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
එයින් අදහස් කරන්නේ යථාර්ථය පිළිගැනීමයි.
‘නීති මත පදනම් වූ ලෝකපර්යාය’ තවමත් පෙර පරිදිම ක්‍රියාත්මක වන මෙන් එය අනුගමනය කිරීම නතර කරන්න. මෙම ක්‍රමය මෙලෙසින්ම හඳුන්වන්න. එනම්, මහා බලවතුන් ‘ආර්ථීක ඒකාබද්ධතාවය’ බලහත්කාරකම් කිරීමේ අවියක් ලෙස භාවිත කරමින්, තම අභිමතාර්ථයන් ඉටු කරගන්නා එදිරිවාදිකම් තීව්‍ර කරන ක්‍රමයක් ලෙස එය හඳුන්වන්න.
අප අදහස් කරන්නේ, මිතුරන්ට මෙන්ම ප්‍රතිවාදීන්ටද එකම ප්‍රමිතීන් අනුගමනය කරමින් ස්ථාවරව කටයුතු කිරීමයි. මධ්‍යම මට්ටමේ බලවතුන් එක් දිශාවකින් එන ආර්ථීක බියගැන්වීම් විවේචනය කරමින්, තවත් දිශාවකින් එන එවැනිම ක්‍රියාවන් හමුවේ නිශ්ශබ්දව සිටින්නේ නම්, අපි තවමත් කරන්නේ මා කලින් පැවසූ ‘පුවරුව කවුළුවේ ප්‍රදර්ශනය කිරීම’ පමණි.
එහි තේරුම වන්නේ පැර‚ ලෝකපර්යාය නැවත ස්ථාපිත වන තෙක් බලා නොසිට, අප විශ්වාස කරන දේ ගොඩනැගීමයි. එහි අර්ථය විස්තර කර ඇති පරිදි ක්‍රියා කරන ආයතන සමග ගිවිසුම් ඇති කිරීමයි. එමෙන්ම බලහත්කාරකම් කිරීමට ඉඩ සලසන දුර්වලතා අවම කිරීමයි. එනම්, ශක්තිමත් දේශීය ආර්ථීකයක් ගොඩ නැගීමයි. එය සෑම රජයකම ක්ෂණික ප්‍රමුඛතාවය විය යුතුය.
ජාත්‍යන්තර වශයෙන් විවිධාංගීකරණය වීම යනු හුදු ආර්ථීක ප්‍රඥාවන්තකමක් පමණක් නොවේ. එය අවංක විදේශ ප්‍රතිපත්තියක් සඳහා වූ ද්‍රව්‍යමය පදනමයි. මන්ද, පළිගැනීම්වලට ඇති බිය සහ දුර්වලතාව අවම කර ගැනීමෙන් රටවල් තම ප්‍රතිපත්තිගරුක ස්ථාවරයන් සඳහා වූ අයිතිය දිනා ගන්නා බැවිනි.
කැනඩාව ගැන බලන්න. ලෝකය අපේක්ෂා කරන දේ කැනඩාව සතුව ඇත. අපි බලශක්ති සුපිරි බලවතුන් වෙමු. අප සතුව තීරණාත්මක ඛනිජ සම්පත්වල විශාල සංචිත ඇත. ලොව ඉහළම උගත් ජනගහනය අප සතුය. අපගේ විශ්‍රාම වැටුප් අරමුදල් ලොව විශාලතම, දියුණු සහ නවීන ආයෝජකයින් අතර වේ. වෙනත් වචනවලින් කිවහොත්, අප සතුව ප්‍රාග්ධනය සහ නිපුණත්වය ඇත. එමෙන්ම තීරණාත්මක මොහොතේ ක්‍රියා කිරීමට අතිමහත් මූල්‍ය ශක්තියක් ඇති රජයක් අපට ඇත. තවද බොහෝ අය අපේක්ෂා කරන වටිනාකම් අප සතුව ඇත.
කැනඩාව යනු සාර්ථකව ක්‍රියාත්මක වන බහුත්වවාදී (Pluralistic) සමාජයකි. අපගේ පොදු අවකාශය ජවසම්පන්නය. විවිධත්වයෙන් යුක්ත මෙන්ම නිදහස්ය. කැනේඩියානුවන් තිරසාරභාවය වෙනුවෙන් කැපවී සිටිති. අපි අස්ථාවර ලෝකයක ස්ථාවර සහ විශ්වාසවන්ත හවුල්කරුවෙකු වෙමු. දිගුකාලීන සබඳතා ගොඩනඟා අගය කරන සහකරුවෙකු වෙමු.
තවද අප සතුව තවත් දෙයක් ඇත. සිදුවෙමින් පවතින දේ පිළිබඳ අවබෝධය සහ ඒ අනුව කටයුතු කිරීමේ අධිෂ්ඨානය අප සතුව ඇත. මෙම බිඳ වැටීම සඳහා අනුගත වීමට වඩා වැඩි යමක් අවශ්‍ය බව අපි වටහා ගනිමු. ලෝකය පවතින අයුරින්ම දැකීමට අවංකභාවය අවශ්‍ය බව අපි දනිමු.
අපි දැන් ‘පුවරුව කවුළුවෙන් ඉවත් කරමින්’ සිටිමු. පැර‚ ලෝකපර්යාය නැවත නොඑන බව අපි දනිමු. අපි ඒ ගැන වැළපිය යුතු නැත. අතීතකාමය (Nostalgia) යනු මූලෝපායක් නොවේ. නමුත් මෙම බිඳ වැටීමෙන් වඩා විශාල, වඩා හොඳ, වඩා ශක්තිමත් සහ වඩා සාධාරණ යමක් ගොඩ නැගිය හැකි බව අපි විශ්වාස කරමු. පවුරුවලින් වට වූ ලෝකයකින් වැඩිපුරම අහිමි වීමට ඉඩ ඇති සහ අවංක සහයෝගීතාවයෙන් වැඩිම ප්‍රතිලාභ ලැබීමට ඇති රටවල් වන ‘මධ්‍යම මට්ටමේ බලවතුන්ගේ’ කාර්යය මෙයයි.
බලවතුන්ට ඔවුන්ගේ බලය ඇත. නමුත් අපටත් යමක් තිබේ. ‘එනම් මවාපෑම් නැවැත්වීමේ හැකියාව, යථාර්ථය පිළිගැනීමේ හැකියාව, අපගේ ශක්තිය දේශීයව ගොඩනැගීමේ හැකියාව සහ එක්ව ක්‍රියා කිරීමේ හැකියාවයි.’
කැනඩාවේ මාවත එයයි. අපි එය විවෘතව සහ විශ්වාසයෙන් යුතුව තෝරා ගනිමු. එය අප සමඟ එක්වීමට කැමති ඕනෑම රටකට විවෘත වූ පුළුල් මාවතකි.