Snake Island, Brazil
අත්ලාන්තික් සාගරයේ බ්‍රසීල වෙරළට ඔබ්බෙන් පිහිටි Ilha da Queimada Grande දූපත පොදු ව්‍යවහාරයේ Snake Island ලෙස හඳුන්වති. බ්‍රසීලයේ São Paulo නගරයේ සිට සැතපුම් 93 ක් (කි.මී. 150 ක්) පමණ දුරින් පිහිටා ඇති සර්ප දූපත හෙක්ටයාර් 43 ක් (අක්කර 106) පමණ වූ කුඩා භූමි ප්‍රමාණයකින් යුක්ත වේ. සෞම්‍ය දේශගුණයක් සහිත එහි භූ විෂමතාව හිස් පාෂාණ සිට වැසි වනාන්තර දක්වා විහිදේ.
ලෝකයේ මාරාන්තිකම සහ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සර්ප විශේෂයක් වන Golden Lancehead Viper සර්පයන්ගේ එකම නිවහන වන්නේ මෙම දූපතයි. විෂකුරු සර්පයන් බහුල රටක් වන බ්‍රසීලයේ මරණ අනුපාතයෙන් සියයට 90 කට වඩා ඉහළ දැමීමට ප්‍රධාන වගකිවයුත්තන් වී ඇත්තේද සර්පයන්ය. පර්යේෂකයන් ඇස්තමේන්තු කර ඇති ආකාරයට සර්ප දූපතෙහි Golden Lancehead Viper 2000 සිට 4000 දක්වා ප්‍රමාණයක් ජීවත් වෙති. එය වර්ග මීටර 200 කට සර්පයන් එකෙක් හෝ දෙදෙනෙකු ලෙස හෝ ඇමරිකානු පාපන්දු පිටියක විශාලත්වය ගතහොත් සර්පයන් 20-50 ත් අතර වේ. මෙම Viper සර්ප විෂට පැයක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයෙකු මරා දැමිය හැක. සර්ප විෂ නිසා වකුගඩු අකර්මණ්‍ය වීම, මාංශපේශී පටකවලට රුධිර සැපයුම අඩාල වීම නිසා ඉන්ද්‍රියක හෝ පටකයක සෛල සියල්ල මිය යෑම, මොළයේ රක්තපාතය, බඩවැල්වල ලේ ගැලීම ආදි මිනිසකු ක්ෂණිකව මරණයට පත් කළ හැකි ඕනෑම හේතුවක් ඇති විය හැකි බව සඳහන් වේ.
වසර දහස් ගණනකට පෙර අවසාන අයිස් යුගය අවසන් වී මුහුදු මට්ටම ඉහළ යාමත් සමග ප්‍රධාන භූමියෙන් හුදකලා වී මෙම දූපත නිර්මාණය වී ඇත. බ්‍රසීලයේ බහුලව වෙසෙන සර්ප විශේෂයක් වන Bothrops jararaca සර්පයන් මෙම දූපත එසේ හුදකලා වීමේදී එහි කොටුවන්නට ඇති බව පර්යේෂකයින්ගේ අදහසයි. දූපතෙහි කොටු වීමත් සමග ඇති වූ පරිණාමීය පීඩනය මගින් මෙම සර්පයන් ප්‍රධාන භූමියේ ජීවත් වන සහෝදර සර්පයන්ට වඩා නව වටපිටාවට අනුවර්තනය වෙමින් වැඩෙන්නට ඇත. එසේම දූපතේ අතරමං වූ සර්පයින්ට බිම් මට්ටමේ විලෝපිකයන් නොසිටීම නිසා ඔවුන්ගේ ගහණය වේගයෙන් සිදුවන්නට ඇත. සර්ප ගහනය සීඝ්‍රයෙන් වැඩිවීමත් සමග මහජනයාට මෙම දූපත අනතුරුදායක කලාපයක් බවට පත්විය.
සර්ප දූපතේ ජීවත් වූ අවසාන මිනිස් ප්‍රාණීන් කිහිපදෙනා එහි ජීවත්ව ඇත්තේ 1909-1920 දක්වා කාලයේදී වන අතර ඔවුන් එහි ඇති ප්‍රදීපාගාරයේ (lighthouse) පාලන කටයුතු සිදුකර ඇත. කෙසේ වෙතත් ප්‍රදීපාගාරයේ සේවය කළ අවසාන පාලකයා සහ ඔහුගේ බිරිඳ, දරු තිදෙනා පිළිබඳව පවතින කතාවක සඳහන් වන්නේ, ඔවුන් රාත්‍රියේ නිදා සිටියදී ජනේලයකින් රිංගා ගත් සර්පයන් කිහිපදෙනෙකු ඔවුන්ට පහර දී ඇති බවත් එහිදී සර්පයන්ගෙන් බේරී පලා යාමට බෝට්ටුවට දිව ආ ඔවුන් ලුහුබඳිමින් සර්පයන් දෂ්ට කර ඔවුන්ව මරා දමා ඇති බවත්ය.
මෙම දූපතට 20 වතාවකට වඩා ගොස් ඇති ජීව විද්‍යාඥයෙකු වන Marcelo Duarte පවසන්නේ මිනිසුන් දූපත පිළිබඳව කට කතා ලෙස පවසන ඇතැම් කතා සත්‍ය නොවූවත් වර්ග මීටරයකට එක සර්පයෙකු ලෙස සඳහන් වන කතාව කිසිසේත් බොරුවක් නොවන බවයි. එහි අදහස දූපතට පැමිණෙන සෑම අයෙකුම අඩි තුනක් ඉදිරියෙන් හෝ පසුපසින් මරණයට අත වනමින් ගමන් කළ යුතු බවයි. කෙසේ වෙතත් මෙම දූපත ජීව විද්‍යාඥයින්ට සහ පර්යේෂකයින්ට වැදගත් රසායනාගාරයක් වන අතර මෙම Golden lanceheads සර්පයන් අධ්‍යයනය කිරීම සඳහා මෙහි දිවයිනට යාමට කැමති පුද්ගලයන්ට විශේෂ අවසරයක් ලබා ගැනීමෙන් එය කළ හැක. දිවයිනට ගොඩ බැසීම සඳහා බ්‍රසීල නාවික හමුදාවේ සහාය ලබා ගැනීමට සිදුවේ. සංචාරකයන්ගේ ඉල්ලීම් මත දූපත කරා ගොස් Golden Lancehead දැක බලා ගැනීමට අවස්ථා විවෘත වී ඇතත්, මෙම ස්ථානය කිසිසේත්ම නොයා යුතු අනතුරුදායක ස්ථානයක් බව ඔබට වැටහෙනු ඇත. ඔබට Golden Lancehead දැක බලා ගැනීම සඳහා කැමත්තක් ඇතොත් ඒ සඳහා විකල්පය වන්නේ,São Paulo සත්වෝද්‍යානයේ සර්ප නිවස තුළ ප්‍රදර්ශන කුටියක සිටින Golden Lancehead සර්පයන් පස් දෙනා දැකබලා ගැනීමයි.
Danakil Desert, East Africa
Image courtesy of – (www.theatlantic.com)
Afar Triangle අෆාර් ත්‍රිකෝණය – මෙම ප්‍රදේශය මිනිස් පරිණාමයේ ආරම්භක ස්ථානය ලෙස ඇතැම් පාෂාණ විද්‍යාඥයෝ සලකති. මානව විද්‍යාවේ මේ අපූරු සොයා ගැනීමත් සමග Afar කාන්තාරය එසේත් නැතිනම් Danakil කාන්තාරය 1974 දී ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය. ඉතියෝපියාවේ අවාෂ් නිම්නයේ (Awash Valley) හදර් (Hadar)හිදී මෙම නව මානව විශේෂය සොයා ගැනීමට මානව විද්‍යාඳයින් සමත් විය. මෙම නව විශේෂය Australopithecus Afarensis – Afar ape-man නම් කර ඇත. වසර මිලියන 2.9 ත් 3.8 ත් තරම් කාලයකට පෙර නැගෙනහිර අප්‍රිකාව වටා ඇවිද ගිය බවට විශ්වාස කරන ගැහැණු සිරුරක් මෙසේ හමු වී ඇත. මෙම සිරුර Lucy ලෙස නම් ලද අතර ලුසීට මිනිස් සිරුරක් මත කෙළින් ඇවිදීමට හැකි වුවත් කුඩා වානර හිසක් සහ ප්‍රාථමික දත් පිහිටා තිබූ බව නිරීක්ෂණය වී තිබුණි.
ඊසානදිග ඉතියෝපියාව, දකුණු එරිත්‍රියාව (Eritrea) සහ වයඹදිග ජිබුටි (Djibouti) අතර පිහිටා ඇති Danakil කාන්තාරය පෘථිවියේ උණුසුම්ම සහ මුහුදු මට්ටමේ සිට මීටර 100 ක පමණ පහළින් පිහිටා ඇති පෘථිවියේ පහත්ම භූමි ප්‍රදේශවලින් එකකි. වසර දහස් ගණනකට පෙර දනකිල් කාන්තාරය රතු මුහුදේ කොටසක් ලෙස තිබී ඇත. පසුව ඇති වූ ගිනිකඳු පිපිරීම් නිසා පාෂාණ ඛාදන ඇති වී අභ්‍යන්තරයේ මුහුදක් නිර්මාණය වී ඇතත් අවසානයේ දැඩි තාපය තුළ ජලය වාෂ්ප වී කාන්තාරය නිර්මාණය වී ඇත. මෙහි තවමත් දක්නට ලැබෙන විශාල ලුණු තට්ටු සහ ලුණු විල් ඊට සාක්ෂි දරයි. අෆාර් ත්‍රිකෝණය වර්ග කිලෝමීටර 136,956 (වර්ග සැතපුම් 52,879) වියළි බිමක් ආවරණය කරන අතර අෆාර් ප්‍රජාවට අයත් සුළු පිරිසක් මෙහි ලුණු කැණීම් ජීවිකාව කොට වාසය කරති. ඔටුවන්, බූරුවන්, එළුවන් සහ බැටළුවන් ඇති දැඩි කරන ඔවුහු ලුණු ප්‍රවාහණය සඳහා ඔටු තවලම් භාවිත කරති. ඉතාමත් ප්‍රාථමික ලෙස සැකසූ පැල්පත් මඩු සහිත කුඩා ගම්මානවල මොවුහු ජීවත් වෙති.
Danakil කාන්තාරයට පිවිසෙන ඕනෑම අයෙකුට තමන් වෙනත් ලෝකයකට පා තබා ඇත්ද යන සැකය ඇතිවන ආකාරයේ භූ විෂමතා රැසක් දක්නට ලැබේ. ගිනිකඳු, ලාවා විල් සහ දීප්තිමත් වර්ණ සහිත ආම්ලික උණු දිය උල්පත් අපූරු පිටසක්වල පරිසරයක් නිර්මාණය කරයි. එහි විවිධ ලවණ සංයෝග සහිත නිධිවලින් නික්මෙන ආලෝකයන් තුළින් Kaleidoscopic සංදර්ශන මැවෙන්නේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක රූප රාමු සිහි ගන්වමින් බව එය දුටු අය පවසති. එහෙත් විෂ වායුවලින් පිරී ඇති මේ ප්‍රදේශය මිනිසුන්ට මෙන්ම වන සතුන්ටත් අභියෝගාත්මක පරිසරයක් නිර්මාණය කොට ඇත. මෙහි උණුසුම දරාගත නොහැකි අතර දිවා කාලයේ සෙල්සියස් අංශක 50 (122F) ඉක්මවා යන උෂ්ණත්වයක් එහි සඳහන් වේ. සෑම වසරකම මිලිමීටර 25 ට (අඟල් 1) අඩු වර්ෂාපතනයක් ලැබේ.Image courtesy of – (www.theatlantic.com)
මෙම කාන්තාරය සංචාරක ගමනාන්තයක් ලෙස තෝරා ගැනීම රළු පරළු වික්‍රමයකි. ඉතාමත් නුසුදුසු පරිසරයක් තිබියදීත් ත්‍රාසජනක සහ ලෝකයේ වඩාත්ම විශ්මයජනක ස්වභාවික අරුම පුදුම දේ දැකීමට කැමති අයට සුදුසු ගමනාන්තයකි. මෙය ඉතියෝපියාවේ වඩාත් ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි. කලාපීය ගැටුම්, දුර්වල ප්‍රවේශ මාර්ග ආදිය නිසා දශක ගණනාවක් පුරා මෙම ප්‍රදේශය සංචාරකයින්ගෙන් තොර විය. නමුත් වර්තමානයේ එම තත්ත්වය වෙනස් වී දහස් ගණන් සංචාරකයන් පැමිණෙන ස්ථානයක් බවට පත්ව ඇත. වාර්ෂික උෂ්ණත්වය වඩාත් දරාගත හැකි කාලය ලෙස සැලකෙන නොවැම්බර් සිට මාර්තු දක්වා Danakil නැරඹීමට සුදුසුම කාලය වේ. සංචාරක සමාගම් විසින් දින හතරක් හෝ හයක් දක්වා වන සංචාර සංවිධානය කරනු ලබයි. මෙම සංචාරයන්හි විශේෂිතම ස්ථානයක් වන්නේ ඉතියෝපියාවේ සක්‍රිය ගිනි කන්දක් වන Etra Ale ගිනිකන්ද නැරඹීමට ලැබෙන අවස්ථාවයි. ගිනිකන්ද මුදුනේ ඇති ලාවා විල නැරඹීමට සහ එය සමීපව දැක බලා ගැනීමට නරඹන්නන්ට එම කඳු මුදුනට නැගිය හැක. මෙහි ත්‍රාසජනකම අත්දැකීම වන්නේ Etra Ale ගිනිකන්ද වෙත රාත්‍රියේදී සංචාරය කොට කඳු මුදුනේ රාත්‍රිය ගත කරමින් තරු පිරි අහස් වියන යට ගිනි කන්දෙහි විස්මිත සුන්දරත්වය විඳීමට හැකි වීමයි.
බ්‍රිතාන්‍ය ගවේෂක Wilfred Thesiger පවසන පරිදි Danakil කාන්තාරය සැබවින්ම මරණයේ දේශයකි.(land of death) එසේම එම ප්‍රදේශය නරකාදියේ දොරටුව (gateway to hell) ලෙසද හඳුන්වති. මේ ප්‍රදේශය පිළිබඳව පර්යේෂණ කරන විද්‍යාඥයින් පවසන්නේ මෙහි නිරුපද්‍රිතව ජීවත් විය හැකි ඕනෑම අයෙකුට අඟහරු ලෝකය මතද ජීවත් විය හැකි බවයි.
-
චමරි අබේසිංහ