Oymyakon Russia

Oymyakon, රුසියාවේ Yakutia පළාතේ Oymyakonsky දිස්ත්‍රික්කයේ පිහිටි අතිදුෂ්කර ගම්මානයකි. මෙම ගම්මානය Pole of Cold (සීතල ධ්‍රැවය) ලෙස හැඳින්වෙන ඇන්ටාක්ටිකා කලාපයේ සයිබීරියානු හදවතෙහි පිහිටා ඇත. පෘථිවියේ ශීතලම මානව ජනාවාසය ලෙස සැලකෙන Oymyakon හි කලකට පෙර ස්ථිර පදිංචිකරුවන් 2500 ක් පමණ සිට ඇතත් 2018 වන විට එම සංඛ්‍යාව 900 ක් දක්වා අඩු වී ඇත. ඔවුන්ගේ ජීවිත ඉතාමත් කටුක සහ දුෂ්කර වූවකි. මෙතරම් දුකක් විඳිමින් එම ගම්මානයේ ඔවුන් රැඳී සිටින්නේ ඇයිදැයි කාට හෝ සිතුණොත් එය පුදුමයක් නොවේ. නමුත් මෙය අපගේ පෘථිවියෙහි විස්මිත බව පෙන්වීම විය හැක. මෙහි ජීවත් වන මිනිසුන්ද එසේමය. පෘථිවියේ සෑම අස්සක් මුල්ලක් නෑරම මිනිස් ගහනයෙන් වැසී යමින් දුර්ලභ තැන්වල පවා ජීවිත පවත්වා ගැනීමට මිනිසුන් දරන වෙර වීරිය පෙන්වීමට මෙය හොඳ උදාහරණයකි. අපට දුකක් බව පෙනුණත් ඔවුනට මෙම ගම සුරපුරයක් විය හැක.


වසරේ වැඩි කාලයක් උෂ්ණත්වය බිංදුවට අඩු අගයක් සහිතව පවතින Oymyakon හි ශීත ඍතු උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක ඍණ 58 ක් හෝ ඊටත් පහතට වැටේ. මෙහි වාර්තා වී ඇති අවම උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක -96 කි. සාමාන්‍යයෙන් ශීත මාස පුරාම අධික හිම පතනය බහුල ප්‍රදේශයකි. ප්‍රදේශවාසීන් ඔවුන්ගේ ජීවිතයේ එදිනෙදා කටයුතු මෙම ශීත දේශගුණයට අනුගත වී කර ගැනීමට හොඳින් හුරු වී සිටිති. පරිසරයට අනුවර්තනය වීමේ මානව ක්‍රියාවලියක් ලෙස ජානගතව ගෙන එන මිටි ශරීර මොවුන්ට හිමිව ඇත. ශීතල දරා ගැනීමට අවශ්‍ය මේදය රදවා තබා ගැනම්දී එය ඔවුනට වාසියකි. Reindeers ගෝනුන්, අශ්වයන් සහ කිරි එළදෙනුන් බෝ කිරීම, සත්ව ලෝම සෑදීම ආදි සත්ව පාලනය මත පදනම් වූ ආර්ථිකයක් ඇත. හිම කුට්ටි යට සිටින මසුන් ඇල්ලීම (ice fishing) සහ දඩයම් කිරීම ගමෙහි දෛනික කාර්යයන් අතර වේ. බොහෝ දෙනෙක් central තාපන යන්ත්‍ර නැති සාම්ප්‍රදායික ලී ගෙවල්වල ජීවත් වෙති. අධික ශීතල නිසා ගෘහස්ථ ජලනල පද්ධති ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොමැති අතර ජලය ලබා ගැනීම සඳහා අයිස් තට්ටු කඩා විවර කරගන්නා ළිං සාදාගෙන ඇත. නිවාස තුළට ජලය එන මාර්ග නොමැති නිසා බොහෝ වැසිකිලි, නිවාසවලින් පිටත නිමවා ඇත. මෝටර් රථ නවතා තැබීම සඳහා උණුසුම් කළ ගරාජ භාවිත කිරීම අනිවාර්යය වී ඇත්තේ වාහනයේ එන්ජිම නිවා පිටත නතර කළහොත් එය නැවත පණගැන්වීම කළ නොහැක්කක් වන හෙයිනි. පිටත නතර කරන වාහන එන්ජින් කිසිදු විටෙක නවතා දැමීමක් නොකරන අතර ඇතැම් විට 24/7 එන්ජින් ක්‍රියාත්මක කර තැබීමට සිදුවේ. අඩුම තරමින් ශීත ඍතුවේදී මෙම ප්‍රදේශයට ඉහළින් ගුවන් යානාවකට හෝ ගමන් කළ නොහැක. මෙම ප්‍රදේශයේ මිනිසුන් ජීවත්ව සිටියදී පමණක් නොව, ඔවුන් මිය ගිය පසුවද අවසන් ගමනට ශීතල බාධා ගෙන දේ. මළ සිරුර වළ දැමීමට මිනී වළ හාරා ගැනීමට ප්‍රථම ගිනිමැලයක් ගසා අදාළ බිම් කඩ උණුසුම් කොට එම කටයුත්ත කළ යුතුව ඇත. මෙම භූමි ප්‍රදේශයේ පවතින අධික ශීතල නිසා තුරුලතා කිසිවක් මෙහි වගා කළ නොහැකි වූවත් ඇතැම් සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම මොවුහු භාවිත කරති. ශාක ආහාර හිඟ නිසා මස් මාංශ මත යැපෙන ජීවිතයකට ඔවුන් හුරු වී ඇත. ශීත කළ අමු ආක්ටික් මාළු, සුදු සැමන්, ශීත කළ අමු අශ්ව අක්මාව, reindeer මාංශ ආදිය ඔවුන්ගේ ප්‍රියතම ආහාර වන අතර සුප්ද ඔවුන්ගේ ආහාර රටාවේ පළමු ස්ථානයේ පවතී. මේ මස් සහ මාළු අමුවෙන් ආහාරයට ගැනීම අපට අපුල ගෙන දෙන්නක් වුවත් ඔවුන් මෙම ආහාර ප්‍රණීත සහ සෞඛ්‍ය රැකගැනීමට ඉතාමත් අත්‍යවශ්‍ය වන ආකාරයට සකසා ගනී. එසේම කවදා හෝ මෙම ප්‍රදේශය නැරඹීමට යෑමට ඔබ අදහස් කරන්නේ නම්, ඔබටත් රීන්ඩියර්ස් මස්, ශීත කළ මාලු සහ මැකරෝනි සමග පිරිනමන අශ්ව රුධිරයෙන් සෑදූ අයිස් කැට වැනි ප්‍රණීත දේශීය ආහාර රස බැලිය හැක.

 

Oymyakon ප්‍රදේශය තමන්ගේ වික්‍රමාන්විතව ගමනාන්තය ලෙස තෝරා ගැනීමට කැමති සංචාරකයින්ට සිරුරු ගල් ගැහෙන සීතලේ වුවද අද්විතීය අත්දැකීම් ලබා ගත හැක. මෙම චාරිකා යාමට බොහෝ දෙනෙකු තෝරා ගන්නේ වසරේ අධිකතම ශීත කාලයයි. දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි පළමු භාගය මෙහි වැඩිම ශීතල කාලය වන අතර නොවැම්බර් අග සිට අප්‍රේල් මුල දක්වා මෙම චාරිකා සංවිධානය කෙරේ. එය අභියෝගාත්මක ගමනක් වන අතර මුළු ගමනම ත්‍රාසජනක අත්දැකීමකි. රුසියාවේ ප්‍රධාන නගරවල සිට Oymyakon කරා ළඟා වීමට ඇති ආසන්නම ගුවන් තොටුපළ ශ්නමඑින හි පිහිටා ඇත. Yakutsk වෙත ගුවනින් ගොස් එතැන් සිට රළු සහ අයිස් පිරි පාරවල් හරහා මෝටර් රථයෙන් දින දෙකක අතිදුෂ්කර ගමනකින් පසු ඔයිමියාකන් වෙත ළඟා විය හැක. මෙම ගමන් මගේදී හිම පතනය නිසා මාර්ග ඇහිරී හෝ විනාශ වී තිබුණහොත් නියමිත ගමනාන්තයට යන දිනය හෝ නැවත ආපසු පැමිණෙන දිනය අවිනිශ්චිත වේ. එනිසාම ගමන සැලසුම් කිරීමේදී කියන ආකාරයටම ගමන අතරතුර කටයුතු සිද්ධ නොවිය හැකි බවට වූ කොන්දේසියට එහි යන සෑම සංචාරකයකුම යටත් විය යුතුය. එසේම Oymyakon හි නවාතැන් පහසුකම් සපයා ගැනීම අනිත් ගැටලුවයි. නවාතැන් පොළවල් ඉතා සීමිතය. එවැනි නවාතැනක් වෙන්කර ගැනීමට නොහැකි වුවහොත්, මූලික පහසුකම් අවම දේශීය ජීවන රටාව අත්විඳීමට ඔබට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් ලෙස සිතා ප්‍රදේශවාසීන්ගේ නිවාසවල (homestays) ලැගුම් ගැනීමට සිදුවිය හැක.


මෙහි යන සංචාරකයින්ට ඕනෑම අවස්ථාවක සිදුවෙතැයි බලාපොරොත්තු විය යුතු සිදුවීම් රැසක් අතරින් සෞඛ්‍ය ගැටලු ප්‍රධාන වේ. මෙහි ඇති අධික ශීතල බරපතලම සෞඛ්‍ය අවදානමයි. එහිදී ඇතිවිය හැකි hypothermia (ශරීරයේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස අඩු වීම) තත්ත්වය සහ යම් විටෙක ශරීරය ශීතලට නිරාවරණය වීමක් වුවහොත් ශරීරයේ පටකවලට හානි වීමෙන් (frostbite) සිදුවිය හැකි රුධිර සංසරණ බාධා වීමෙන් ශරීර පටක වියෝජනය වීම දැක්විය හැක. විශේෂයෙන් එළිමහනේ කණ්නාඩි පැළඳීමෙදී ඒවා පැළඳ සිටින අයගේ මුහුණටම ඇලවී යාම මෙහි ඇති තවත් ගැටලුවකි. අධික ශීතලට මුහුණ නිරාවරණය කිරීමේදී කටෙහි කෙළ පවා කැටි වී ඉඳිකටු මෙන් තොල්වල ඇනී වේදනා ගෙන දුන් බවත් බොහෝ සංචාරකයින් තම අත්දැකීම්වල සඳහන් කොට ඇත. වොඩ්කා බෝතලයක් වුවත් එළිමහනේ තැබුවහොත් කැටිව යන අයුරු ඔබට මෙහිදී දැකගත හැක.

North Sentinel Island-India

ඉන්දියාවේ විශාල දූපත් දාමයක් වන අන්දමන් සහ නිකොබාර් දූපත්වල කොටසක් ලෙස උතුරු සෙන්ටිනල් දූපත පිහිටා ඇත. මියන්මාර වෙරළට සැතපුම් 300 ක් සහ ඉන්දියාවේ සිට සැතපුම් 700 ක් දුරින් බෙංගාල බොක්කෙහි පිහිටා ඇති නිකොබාර් සහ අන්දමන් දූපත් සමූහයට දූපත් 184 ක් පමණ අයත් වේ. මෙම දූපත් අතරින් 30 ක් පමණ ජනාවාස වී ඇති අතර එකිනෙකට වෙනස් වූ උපභාෂා හා සංස්කෘතීන් රැසක් මේ ජනයා භාවිත කරති. සෙන්ටිනල් දූපතේ ජීවත් වන ජන කොට්ඨාසය සෙන්ටිනලීස් (Sentinelese) ලෙස හඳුන්වන අතර මොවුන් පිටස්තරයන් සමග කිසිදු සබදතාව නොපවත්වන ග්‍රෝත්‍රික ජන කොට්ඨාසයකි. එසේම මොවුන් කතා කරන සෙන්ටිනලීස් භාෂාව කතා කරන වෙනත් කිසිවෙකුත් මිහිපිට නොමැති බවද මානව විද්‍යාඥයෝ පවසති. මෙම මිනිසුන් අප්‍රිකාවෙන් මතු වූ ප්‍රථම මානව ජනගහනයෙන් ඍජුවම පැවත එන්නන් යැයි සැලකෙන අතර වසර 60,000 ක පමණ ඈත අතීතයක සිට මෙම දූපත්වල ජීවත් වන්නට ඇතැයි පැවසේ. සෙන්ටිනල් වැසියන් පිළිබඳව සඳහන් වන ඇතැම් තැන්වල කියවෙන්නේ දැනට පෘථිවියේ සිටින අවසාන ‘නොබැඳි’ පුද්ගල කණ්ඩායම මොවුන් විය හැකි බවයි. ඔවුන්ගේ හුදකලා බව රැක ගැනීමට ඔවුන්ගේ ප්‍රචණ්ඩකාරීත්වය සහ දූපත පිහිටා ඇති භූගෝලීය සාධකද ඉවහල් වී ඇත.

උතුරු සෙන්ටිනලය ප්‍රධාන නැව් මාර්ගවලින් බැහැරව, ස්වභාවික වරායන් නොමැති නොගැඹුරු ගල්පරයකින් වට වූ දූපතකි. පසුගිය වසර 200 තුළ කිහිප වතාවක් පිටස්තරයන් දූපතට යෑමට උත්සාහ කර ඇතත් එය බොහෝ විට දෙපාර්ශවයටම නරක ප්‍රතිඵල ලැබීමෙන් අවසන් වී ඇත.

සියවස් ගණනාවක් පුරා බෙංගාල බොක්කෙහි පිහිටි මේ කුඩා දිවයිනේ වෙසෙන මොවුන්, ඔවුන්ගේ නිවර්තන නිවහනට රිංගා ගැනීමට උත්සාහ කරන සෑම පුද්ගලයෙකුම ප්‍රතික්ෂේප කරමින් සිටී. අවම වශයෙන් මෙම දූපතේ කොතරම් සෙන්ටිනල්ස් ජනගහනයක් වෙසේද යන්න පිළිබඳවවත් නිසි අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් ඔවුන් විසින් පිටත ලෝකයට ලබා දී නොමැත. එම ප්‍රමාණය 50-100 ත් අතර හෝ ඊට ආසන්න සංඛ්‍යාවක් විය හැකි බව විශ්වාස කෙරේ. 2004 සුනාමි ව්‍යසනයේදී මේ ජනතාවගෙන් අඩක් පමණ විනාශ වන්නට ඇතැයි සැලකේ. සෙන්ටිනලීස්වරු වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින කණ්ඩායමකි. අවට ලෝකයෙන් වෙන්ව සිටීමෙන් ඉන්ෆ්ලුවෙන්සා වැනි සාමාන්‍ය රෝග සඳහා අවශ්‍ය ප්‍රතිශක්තිය ගොඩ නැගීමක් නොමැති මේ ගෝත්‍රය ලෝකයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කණ්ඩායම ලෙස Survival International නම් කර ඇත. මේ නිසාම ගෝත්‍රික අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන කණ්ඩායම් පවසන්නේ මේ ග්‍රෝත්‍රිකයන්ගේ සෞඛ්‍ය අවදානමකට ලක් නොකර ඔවුන්ගෙන් හැකිතාක් ඈත් වී සිටින ලෙසයි.
මේ දූපතේ වැසියන් ඔවුන්ටම ආවේණික වූ ජීවන රටාවක් ගත කරන අතර ගල් යුගයෙන් යාන්තම් මෙපිටට ඇවිත් ලෝහවලින් මෙවලම් සහ ආයුධ නිපදවා ගැනීමට මොවුන් සමත්කම් දක්වති. ගල්පරවල හැපී දූපත ආසන්නයේ විනාශ වූ නැව්වලින් ඔවුන් ඊට අවශ්‍ය ලෝහ සපයා ගනී. ලී කඳන්වලින් සෑදූ ඔරුවල නැඟී හෙල්ලවලින් ගසා මසුන් ඇල්ලීම ඔවුන්ගේ ආහාර සපයා ගැනීමේ ප්‍රධාන මාර්ගය වී ඇත. තද අඳුරු පැහැ ශරීර සහිත මොවුන් මෑත කාලය දක්වා ගැහැනු පිරිමි භේදයකින් තොරව නිරුවතින් සිට ඇත. එය ‘ඇඟේ නූල් පොටක්වත් නැති’ නිරුවතක් නොවුණේ ඔවුන් ඔවුන්ටම ආවේණික වූ ගෝත්‍රික ආභරණ පැළඳි හෙයිනි. නමුත් වර්තමානයේ ඇතැම්හු ඇඳුම් ඇඳීමට කැමැත්ත දක්වන බව පෙනී යන බව දිවා රාත්‍රි දූපතට දෑස් දල්වා සිටින ගවේෂකයෝ පවසති. මෙම නවශිලා යුගයට අයත් ජන කොට්ඨාසය ජීවත්වන දූපත අසල්වැසි නිකොබාර් ජනාවාස දූපත්වලින් සැතපුම් 20ක් (කිලෝමීටර 32) පමණ අඩු දුරකින් තිබියදීත් එම අනිකුත් දූපත්වල වැසියන් ස්වදේශීය නව සංස්කෘතීන් හා මිශ්‍රව ජීවත් වෙද්දීත් මොවුන් මෙතරම්ම ගෝත්‍රිකවාදීන් වීම සැබවින්ම ලෝක පුදුමයක් ලෙස සැලකිය යුත්තකි.

වරෙක මෙම දූපත්වාසීන් පිළිබඳව National Geographic සඟරාව වෙත අදහස් දැක්වූ ප්‍රකට මානව විද්‍යාඥවරියක වන Madhumala Chattopadhyay පැවසූවේ, මෙම ජන කොට්ඨාසය කිසිදු ගැටලුවක් නොමැතිව දූපතේ ජීවත් වන විට පිටස්තරයින් ඔවුන් හා සබඳතා ඇතිකර ගැනීමට ගොස් ඔවුන්ගේ කරදර ආරම්භ කර ඇති බවයි. 1991 දී මේ හුදකලා ගෝත්‍රය වෙත ගිය Trinok Nath Pandit ප්‍රධාන කොට ගත් කණ්ඩායමේ සිටි එකම සහ එතෙක් එම දූපතට ගිය පළමු කාන්තාව මධුමාලා වන නමුත් ඇය නැවතත් එහි කිසිදා නොයන බවට ප්‍රතිඥා දී ඇත. මෙම දූපතේ වැසියන්ව ආරක්ෂා කිරීමට කිසිවෙකු අවශ්‍ය නොවන බවත් ඔවුන්ට ඇවැසි තනිව ජීවත් වීමට නම් ඔවුන්ව එසේ තැබීමට පිටස්තර ලෝකය වගබලා ගත යුතු බවත් ඇය පවසයි.

සෙන්ටිනල් ගවේෂණයට යෑමට පෙර එම ගමනේ අන්තරාය පිළිගනිමින් තම ආරක්ෂාව තමන්ගේ වගකීමක් ලෙස සලකන බවට නිදහස් කිරීමේ පත්‍රිකා අත්සන් කළ බව ඇය පවසයි. මෙම කණ්ඩායම දූපතේ වෙරළ කරා පැමිණෙන විට ආයුධ සන්නද්ධ මිනිසුන් වෙරළ පුරා සිට ඇත. මෙහිදී ගවේෂක කණ්ඩායම විසින් රැගෙන ගිය පොල් ගෙඩි මුහුදට දමා ගෝත්‍රික පිරිස දෙසට පාවෙන්නට හැර ඇති අතර සෙන්ටිනලීස්වරු මුහුදට පැන පොල් අහුලාගෙන ඇත. එතැනින් නොනැවතුණු ඔවුන් දියඹේ තිබූ බෝට්ටුවට ගොස් එය පරීක්ෂා කොට බෝට්ටුවේ සිටි කණ්ඩායම දුන් විවිධ දේවල් ලබාගෙන ඇත. එසේම මේ මිත්‍රශීලීභාවය තවත් වර්ධනය කරමින් වෙරළට පා තැබීමට අවසර දී සෙන්ටිනලීස් කාන්තාවන්, තරුණයන් සහ ළමයි ඔවුන් හා ඡායාරූප ගැනීමට එක් වී ඇත. මේ පිළිබඳව මධුමාලා පවසන්නේ කැමරා ගැන ඔවුන්ට අවබෝධයක් නොතිබුණු නිසා එසේ සිටින්නට ඇති බවයි. නමුත් කිසිදු ආකාරයකින් වෙරළෙන් ඔබ්බට ගොස් කැළයට ඇතුළු වීමට හෝ ගම බැලීමට මේ කණ්ඩායමට ඉඩ ලබා දී නැත. මෙම කණ්ඩායමේ ප්‍රධානියා වූ Trinok Nath Pandit 1967 සිට මෙම ජන කොට්ඨාසය පිළිබඳ ගවේෂණ කටයුතු සිදුකරයි. විවිධ අවස්ථාවල කැළයේ සැඟවුණු සෙන්ටිනලීස්වරුන්ගේ ප්‍රහාරවලට මෙම පිරිස ලක්වී ඇති අතර වසර 24 ක් පුරා 1991 වන තුරු ඔවුන් හා කිසි සේත් සබඳතා ඇතිකර ගැනීමට නොහැකි වී ඇත. වෙර දරා යම් හිතවත්කමක් ඇති කරගත්තත් එය එම මොහොතට පමණක් සීමා වූවක් විය. ඔවුන් පණ්ඩිත් ඇතුළු කණ්ඩායමට දැක්වූ සහයෝගය තරම්වත් හිතවත් කමක් වෙනත් කණ්ඩායම්වලට දක්වා නොමැත. දූපතට යෑමට ගත් උත්සාහයයන්වලදී දෙපාර්ශ්වයන් අතර බැඳීම පොල් ගෙඩි කිහිපයකින් එහාට ගෙන යාමට ඔවුන් කැමති නොවුණි. සෙන්ටිනලීස් කෙදිනකවත් අමුත්තන්ට සංග්‍රහ සත්කාර කොට ත්‍යාග පිරිනැමීමට ඉදිරිපත් වී නොමැති අතර කුමන විදියකින් හෝ දූපතට ගොඩ බැස්ස බොහෝ අය ඊතල පහරවල්වලින් තුවාල සිදුකරගෙන තිබුණි. සුනාමි සමයේ ඉන්දියානු වෙරළාරක්ෂක හෙලිකොප්ටරයක් මෙම දූපත හරහා පියාසර කර ඇතත් දුනු ඊතලවලින් එයට පහර දීමෙන් පසු ඔවුන් ගැන සොයා බැලීම අතහැර දමා ඇත.
2006 වසරේදී දූපතේ වෙරළට ගසාගෙන ගිය බෝට්ටුවක සිටි ධීවරයන් දෙදෙනෙකු පහර දී මරා දැමීමත් 2018 දී අනවසරයෙන් මෙම දූපතට ගොඩ බැස්ස තරුණ ඇමරිකානුවකු මරා දැමීමත් මෑතකදී මොවුන්ගේ දරුණු කම් වඩාත් කතාබහට ලක් වූ සිදුවීම් විිය. 27 හැවිරිදි John Allen Chau නම් ඇමරිකානු සංචාරක මිෂනාරිවරයා මෙසේ ඝාතනය වූ අතර මෙම පුද්ගලයා දූපතට ගොඩ වී වෙරළේ සිට ආගමික ගීතිකා ගායනා කරන විට දෙවතාවක්ම ඔහුව එළවා දමා ඇතත් තුන්වෙනි වතාවෙත් එහි ගිය විට ඔහුව මරා දමා ඇත.
ඉන්දියාව සිය පුරවැසියන්ට උතුරු සෙන්ටිනල් දූපතට යෑම හෝ එම ජනයා සමග සම්බන්ධ වීමට උත්සාහ කිරීම තහනම් කොට ඇත. එම දිවයිනේ සිට සැතපුම් තුනක් ඇතුළතට යෑම නීති විරෝධී වූවක් ලෙස ඉන්දියාව ප්‍රකාශ කරයි. මෙම දූපත පෘථිවියේ සංචාරය කිරීමට අපහසුම සහ භයානකම ස්ථානයක් ලෙස නම් වූවකි. පර්යේෂණ සඳහා එම දූපතට යන මානව විද්‍යාඥයින්ගේ සියළුම සංචාරද 1996 වසරේ සිට ඉන්දියානු රජය අත්හිටුවා ඇත. නිල වශයෙන් මෙය ඉන්දීය රජයට අයත් දූපතකි. නමුත් මෙහි සිදුවන අපරාද, මිනී මැරීම් කිසිවක් ඉන්දීය ජනරජයේ නීති මගින් පාලනය කිරීමට නොහැකි වී ඇත. බාහිර ලෝකය හා ගණුදෙනු නොකරන ඔවුන් ඉන්දීය අධිකරණ බලයට යටත් කරගත නොහැක.

අභියෝගාත්මක සංචාරක ගමනාන්ත සඳහා කැමති අයෙකුට මෙම උතුරු සෙන්ටිනල් දූපත් කරා යා හැකිදැයි කිසිවෙකු විමසුවහොත් දිය හැකි පිළිතුර වන්නේ, තාක්ෂණික වශයෙන් ඕනෑම අභියෝගාත්මක දෙයක් කළ හැකි නමුත්, කළ යුතු, කළ හැකි සහ කැමැත්ත මත බොහෝ දේවල් වෙනස් කිරීමට සිදුවන බවයි. ප්‍රථමයෙන්ම මෙම දූපතට යෑම දැඩි ලෙස නීති විරෝධී වූවකි. එසේම මෙහි පැමිණීම ආරක්ෂිත යැයි කවුරුන් කීවත් එය අතිශයින්ම භයංකාර ගමනාන්තයකි. අනික් අතින් ගත් විට පෘථිවියේ වඩාත්ම ස්වාධීන පාලනය සහිතව, බාහිර ලෝකය අතහැර වෙනම ග්‍රහලොවක මෙන් ජීවත් වන සෙන්ටිනල්වරුන් බලන්නට ගොස් ඔවුන්ව අවුස්සා මැරුම් කෑම මෙලොව සිටින කිසිවෙකුටවත් වැඩක් නොමැති මෝඩ වීර ක්‍රියාවකි.

  • චමරි අබේසිංහ

අතිබිහිසුණු සංචාර – 1

Share this Post