ශ්‍රම වෙළපොළ බලපෑම් තක්සේරු කිරීමේ Labour Market Impact Assessment (LMIA) වැඩසටහන යටතේ සේවා යෝජකයන් විසින් තාවකාලික සේවකයින්ට ගෙවිය යුතු අවම පැයක වැටුප සැලකිය යුතු ලෙස වැඩි කිරීමට ෆෙඩරල් රජය කටයුතු කරමින් සිටී. ඒ අනුව 2024 නොවැම්බර් 8 වැනි දා සිට සේවකයකු සඳහා රැකියා බලපත්‍රයක් ලබා දීමේදී සේවා යෝජකයා විසින් අදාළ පළාතේ මධ්‍ය වැටුපට(median hourly wage) වඩා අවම වශයෙන් සියයට 20 ක වැඩි පඩියක් ගෙවීම අනිවාර්ය කෙරෙනු ඇත.
උදාහරණයක් ලෙස ඔන්ටේරියෝහි වත්මන් median hourly wage පැයකට ඩොලර් 28.39 ක් වන අතර නව නීති යටතේ සේවා යෝජකයන් විසින් විදේශ ශ්‍රමිකයන් සඳහා අවම වශයෙන් ඩොලර් 34.07 ක් ගෙවීමට අවශ්‍ය වනු ඇත.
තාවකාලික විදේශ ශ්‍රමිකයන් සඳහා මෙම වැඩි පඩි ක්‍රමය ක්‍රියාත්මක කිරීම තුළින් කැනේඩියානු ශ්‍රමිකයන් බඳවා ගැනීමට ප්‍රමුඛත්වය දීමට බලාපොරොත්තු වන බව කැනඩා රැකිරක්ෂා කටයුතු අමාත්‍ය Randy Boissonnault මේ පිළිබඳව නිවේදනය කරමින් සඳහන් කර තිබුණි.
මෙම වෙනස LIMA යටතේ ඉහළ ඉහළ වැටුප් ප්‍රවාහය හරහා සේවයේ නියුතු තාවකාලික විදේශීය ශ්‍රමිකයන් 34,000 කට බලපානු ඇත.
කැනඩාව විසින් සිදුකරමින් පවතින විදේශීය ශ්‍රමිකයන් අඩු කිරීමේ වැඩසටහන්වලට සමාන්තරව මෙය ක්‍රියාත්මක කෙරෙන අතර ඉදිරියේදී ශ්‍රමිකයන් බඳවා ගැනීමේදී දැඩි සුදුසුකම් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරනු ඇත.
කැනඩාවේ කෘෂි ගොවිතැන තාවකාලික විදේශ ශ්‍රමිකයන් මත දැඩි ලෙස රඳා පවතින නිසා මෙම වෙනස් වන වැටුප් නීතිය එම අංශවලට අදාළ නොවේ.

Share this Post