ඇතැම් විට ඔබ මෙම පුවත කියවන විට ඇමරිකාවේ ජනධිපතිවරණය නිමා වී තිබිය හැක. නොවැම්බර් 08 වන දින පැවැත්වීමට නියමිතව ඇති ඇමරිකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා දෙස මේ වන විට මුළු ලොවම ඇස් අයාගෙන බලා සිටී. මහත් ආන්දෝලනාත්මක පුවත් මවමින් සිය ප්‍රචාරණ කටයුතු සිදුකළ මෙම අපේක්ෂකයින් දෙදෙනාගෙන් එක් අයෙකු සැනසුම් සුසුම් හෙළද්දී අනෙකාට කුමක් සිදුවේදැයි බොහෝ දෙනෙකු කුතුහලයෙන් යුතුව බලා සිටී.
ජනපතිවරණය වෙනුවෙන් රට පුරාම ගොස් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකළ අපේක්ෂකයන්, එම කටයුතුවල අවසන් අදියර ලෙස රූපවාහිනි විවාදවලට සහභාගි වී සිටින අයුරු පසුගිය දිනවල දක්නට ලැබුණි. එහිදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් රූපවාහිනී විවාද තුනකට සහභාගි විය. එම විවාද ලොව වැඩිම පිරිසක් නැරඹූ දේශපාලන විවාද බව පැවසෙන අතර ඒවා දෙස බලා සිටි බොහෝ දෙනෙකු පැවසූයේ, එය දෙදෙනාගේම කුණු කන්දල් තොග පිටින් වමාරා ගත් අවස්ථාවන් වූ බවයි.
ඇමරිකාව වැනි බටහිර රටවල පැවැත්වෙන මැතිවරණ පිළිබඳව ජනතාවගේ එතරම් උනන්දුවක් නැතත් මෙවර ජනපතිවරණය ඊට වෙනස් මුහුණුවරක් ගෙන ඇත. ඒ මෙවර ජනපතිවරණයේ ජය කාට හිමිවේද යන කුතුහලය ජනතාව තුළ ඇති නිසාය.
ඇමරිකාවේ මැතිවරණ ඉතිහාසය දෙස බැලු විට ඒ බොහෝ මැතිවරණ ඉතාමත් මහත්මා ආකාරයෙන් අවසන් වී ඇති බව පෙනී යයි. එහෙත් මෙවර ජනපතිවරණය තුළින් ඒ මහාත්මා ගතිය බොහෝ ඈත් වී ගොස් ඇති බවක් දක්නට ලැබේ. එකිනෙකාගේ පෞද්ගලික තොරතුරු පවා ඇද ගනිමින් කරගන්නා චෝදනාවලින් දෙපැත්තේම සායම හේදී යයි. ඒ හෙළිදරව් වූ කරුණු පිළිබඳ සොයා බැලීමේදී ඒ ඇතැම් චෝදනා සාවද්‍ය යැයි කෙළින්ම බැහැර කළ හැකි නොවේ. විශේෂයෙන්ම හිලරි ක්ලින්ටන් සම්බන්ධයෙන් පවතින ඊ-මේල් වංචා විභාගය දැක්විය හැක. ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී දැන් එහි පරීක්ෂණ කටයුතු නැවතත් අරඹා ඇත.
හිලරි සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පැත්තෙන් නැගෙන චෝදනාවලද නිමක් නොමැත. හිලරි විසින් මාධ්‍යවල සහාය ලබාගෙන වංචනික ලෙස ජනපතිවරණය ජය ගැනීමට සූදානම් වන බව ඉන් එකකි. විශේෂයෙන්ම සී.එන්.එන් නාලිකාව සජීවීව පවත්වන කතාබහවලදී හිලරිගෙන් අසන ප්‍රශ්න ඇය වෙත කල් තියා දැනුම් දී ඇතැයි ට්‍රම්ප් සහායකයන් පවසයි.
වරෙක ට්‍රම්ප් විසින් හිලරි වෙත දමා ගැසුවේ කාන්තා හිංසන චෝදනාවකි. මෙයට ක්ෂණයකින් ප්‍රතිචාර දැක්වූ හිලරි පාර්ශ්වය, ට්‍රම්ප් විසින් ලිංගික හිංසන සිදුකර ඇති බව දැක්වීම සඳහා කාන්තාවන් කිහිප දෙනෙකු මැතිවරණ වේදිකාවලට ගෙන ආහ.
ට්‍රම්ප් වෙත නැගෙන චෝදනාවලද නිමක් නොමැති අතර විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔහුගේ ස්ථාවරය පිළිබඳව බොහෝ දෙනෙකු තුළ ඇත්තේ අප්‍රසාදයකි. වරෙක හිලරි පවසා තිබුණේ ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලදිමිර් පුතින්ගේ රූකඩයක් බවයි.
දේශපාලන වේදිකාවේ ඔවුන්ගේ මතවාද එසේ වෙද්දී දේශපාලන විචාරකයින් මේ දෙපළ පිළිබඳ දක්වන අදහස් පිළිබඳවද සොයා බැලීම වටී. බොහෝ විචාරකයින් පවසන්නේ දෙදෙනාගෙන් කවුරු දිනුවද එය ඉතිහාසයේ ලියවෙන ජයග්‍රහණ වන බවයි. විශේෂයෙන්ම මේ දෙදෙනාගේ වයස සලකා බැලීමේදී එය පැහැදිලි වේ.
පසුගිය ජූනි 14 වෙනිදා ඩොනල්ට් ට්‍රම්ප් 70 වැනි උපන්දිනය සැමරූ අතර, ඔහු ඇමරිකාවේ ජනාධිපති වුවහොත් එතෙක් මෙතෙක් ඇමරිකාවේ නායකත්වයට පත් වයස්ගතම පුද්ගලයා බවට ඔහුගේ නම ඉතිහාසගත වෙයි. හිලරි ක්ලින්ටන් ජනාධිපති වුවහොත් ඇය ඇමරිකාවේ පළමු ජනාධිපතිනිය වෙමින් ඉතිහාසයට එක්වන අතරම ඇයගේ වයස නිසාද ඉතිහාසයට එක් වීමේ අවස්ථාව හිමිවේ. මන්ද යත්, ඇයගේ 69 වන උපන්දිනය ඔක්තෝබර් 26 වන දින සැමරූ හෙයිනි. නමුත් මෙහිදී ඇයට ඇමරිකාවේ පළමුවෙනි වයස්ගතම ජනාධිපතිනිය වීමේ අවස්ථාව නොමැත. ඒ එම අවස්ථාව මින් පෙර ජනාධිපති ලෙස කටයුතු කළ රොනල්ඩ් රේගන් විසින් හිමිකරගෙන ඇති හෙයිනි. 1981 සිට 1989 දක්වා ඇමරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළ රොනල්ඩ් රේගන් එම පදවියට පත් වන විට 69 හැවිරිදි වියේ පසුවිය.
විචාරකයින් ඔවුන්ගේ වයස සම්බන්ධයෙන් දක්වන තවත් අදහසක් වන්නේ එක්තරා ආකාරයකින් මෙය ඇමරිකානුවන්ට අලූත් අත්දැකීමක් විය හැකි බවයි. මේ දෙදෙනා හා සැසඳීමේදී ඉතාමත් ලාබාල ඔබාමා අතින් වසර 08 ක් පාලනය වූ රට විශ්‍රාම ගත යුතු වයසේ වියපත් පුද්ගලයකු අතට පත් වීමේ වාසිය කෙසේ වේදැයි මත පළ කිරීමට තවමත් කල් මදි බව ඒ බොහෝ දෙනෙකුගේ අදහසයි.

Share this Post