අද කොළඹ හත නැත්නම් කුරුඳුවත්ත කිව්ව ගමන් අපේ මතකයට එන්නේ අහස උසට විහිදුණු මන්දිර, සුපිරි රථවාහන වගේම ලංකාවේ ඉන්න ලොකුම සල්ලිකාරයෝ පදිංචි ප්‍රදේශය කියන එකයි. ’කොළඹ හතේ’ ලිපිනයක් තියෙනවා කියන්නේ අමුතුම තත්ත්වයක් විදිහටයි අද සැලකෙන්නේ. හැබැයි මීට අවුරුදු දෙසීයකට විතර කලින් මේ හරියට ගියා නම් ඔබට දකින්න ලැඛෙන්නේ මීට වඩා හාත්පසින්ම වෙනස් පෙනුමක්. ඇත්තම කිව්වොත්, එදා මේක ප්‍රභූන් පදිංචි වෙලා හිටපු සුපිරි පළාතක් නෙවෙයි. නමටම ගැලපෙන විදිහට මේ මුළු ප්‍රදේශයම වැහිලා තිබුණේ කුරුඳු ගස්වලින්.
(https://ca.pinterest.com/thearchivessl)
මරණ දඬුවම මැද හැදුණු කොළඹ කුරුඳු වත්ත
අද අපිට කුරුඳුවත්ත කිව්වම මතක් වෙන්නේ ප්‍රභූ නිවාස වුණාට, ලන්දේසීන්ගේ කාලේ (1658 – 1796) මෙය ඔවුන්ගේ ප්‍රධානම ‘මුදල් අච්චු ගහන මැෂිම’ කිව්වොත් වැරදි නැහැ. ඒ කාලේ ලෝක වෙළඳපොළේ කුරුඳුවලට තිබුණේ රන් හා සමාන වටිනාකමක්. මුල් කාලේ ලන්දේසීන් කුරුඳු හෙව්වේ කඳුකරයේ ස්වභාවිකව හැදෙන කැලෑවලින්. හැබැයි මහනුවර රජ්ජුරුවෝ එක්ක ඇතිවුණු අමනාපකම් නිසා කැලේට ගිහින් කුරුඳු කපාගන්න එක ලේසි වුණේ නැහැ. ඔය ප්‍රශ්නයට විසඳුමක් විදිහට තමයි 1789 දී ෆල්ක් ආණ්ඩුකාරවරයා කොළඹට නුදුරු මේ බිම මහා පරිමාණ කුරුඳු වතු යායක් බවට පත් කළේ.
එදා මේ වත්ත ඇතුළේ නීතිය හරිම දරුණුයි. කුරුඳු ගසකට හානි කරනවා තබා, අවසර නැතිව ගසක් කැපීම පවා මරණ දඬුවම ලැබිය හැකි වරදක් වුණා. මේ වගාවන් රකින්න ‘කුරුඳු මිලීෂියාව’ කියලා වෙනම හමුදාවක් පවා පත් කරලා තිබුණේ ඒ නිසයි. ඒ කාලේ කුරුඳුවත්ත කියන්නේ වැටවල් ගහලා ආරක්ෂා කරපු රජයේ රක්ෂිතයක්.
මේ සම්පූර්ණ ක්‍රියාවලිය පාලනය කරන්න ‘මහ බද්ද’ කියලා විශේෂ ඒකකයක් ලන්දේසීන් පිහිටුවලා තිබුණා. කුරුඳු තලන සලාගම ප්‍රජාවට විවිධ වරප්‍රසාද සහ බදු සහන දීලා ඔවුන්ව මේ වත්තේ පදිංචි කරවාගෙන තිබුණේ මේ කර්මාන්තය ඉතාම ක්‍රමවත්ව කරගෙන යන්නයි.
ඒ විතරක් නෙවෙයි, වත්තේ තලන කුරුඳු ටික පහසුවෙන් කොළඹ වරායට ගෙනියන්න ඇළ මාර්ග පද්ධතියකුත් ඉදිවුණා. අද අපිට දකින්න තියෙන හැමිල්ටන් ඇළ වගේ ඇළ මාර්ග ඒ කාලේ පාවිච්චි වුණේ මේ ආර්ථීක මර්මස්ථානය වරායත් එක්ක යා කරන ප්‍රධාන මාවත් විදිහටයි.
කුරුඳු කැලෑව ‘කොළඹ හත’ වීම
1850 දශකය වෙනකල්ම කුරුඳුවත්ත කියන්නේ නගරයෙන් පිටත තිබුණු හරිම පාළු, ඒ වගේම ගුප්ත පැත්තක්. ඒ කාලේ මේ හරහා ගිය සුදු ජාතිකයෝ ලියලා තියෙන්නේ, කුරුඳු පඳුරු අස්සෙන් එන හුළඟ පවා පුදුම සුවඳකින් පිරුණු එකක් කියලයි. හැබැයි ලන්දේසීන් පණ වගේ රැකපු මේ ‘කුරුඳු රක්ෂිතය’, 1833 දී ආපු කෝල්බෘෘක්-කැමරන් ප්‍රතිසංස්කරණ එක්ක සුඛෝපභෝගී නගරයක් වෙන්න පටන් ගත්තා.
19 වැනි සියවසේ අගභාගය කියන්නේ ලංකාවේ ආර්ථීක ඉතිහාසය උඩුයටිකුරු වුණු කාලයක්. තේ, රබර් සහ පොල් වගාව හරහා ලංකාවේ අලූත්ම ‘ධනවත් පන්තියක්’ නිර්මාණය වුණේ මේ කාලේදීයි. ඒ වගේම අරක්කු රේන්ද ව්‍යාපාරයෙන් අතිවිශාල ධනයක් උපයපු දේශීය ප්‍රභූවරුන්ට තමන්ගේ සල්ලි වගේම, තමන්ගේ සමාජ තත්ත්වය ලෝකෙට පෙන්වන්න පුළුවන් ‘රාජකීය ලිපිනයක’ අවශ්‍යතාවය තදින්ම දැනුණා.
හරියටම ඒ කාලෙම තමයි, බ්‍රිතාන්‍ය රජය ඔවුන්ට බරක් වුණු කුරුඳුවත්තේ ඉඩම් කෑලි කරලා විකුණන්න පටන් ගත්තේ. සල්ලියි, බලයයි තිබුණු අලූත් ප්‍රභූ පැළැන්තියට මේක හරියට ‘රන් ආකරයක්’ වගේ වුණා.
එතෙක් කොළඹ කොටුවේ සහ පිටකොටුවේ පදිංචි වෙලා හිටපු ධනවතුන්, ඒ ප්‍රදේශවල තදබදය මගහැරලා නිදහස් පරිසරයක් හොයාගෙන කුරුඳුවත්තට සංක්‍රමණය වෙන්න ගත්තා. ලන්ඩනයේ නගර සැලසුම්වලට අනුව, පාරවල් දෙපස සෙවණ දෙන ලොකු ගස් වවලා, පුළුල් මාවත් එක්ක කුරුඳුවත්ත අලූත් පෙනුමකින් හැඩවුණා. කැම්බල් පාර්ක්, ඇල්බට් ක්‍රෙසන්ට් වැනි ඉංග්‍රීසි නම් ඒ වීදිවලට ලැබුණා. පාරවල් දෙපස විශාල ඉඩම් වට කරලා ඉදිවුණු දැවැන්ත ‘බංගලා’ සංකල්පය ලංකාවට හඳුන්වා දුන්නෙත් මේ හරහායි. තමන්ගේ මන්දිරය අනෙක් අයට වඩා ලස්සනට සහ විශාලව හදන්න මේ ප්‍රභූ පවුල් අතර ලොකු තරගයක් තිබුණා. අක්කර ගණනක ඉඩම් මැද ඉදිවුණු ‘බංගලා’ නිසා කුරුඳුවත්තට ලැබුණේ අමුතුම පෙනුමක්.
ඒ කාලේ ඉඳලම ‘කුරුඳුවත්තේ පදිංචිය’ කියන්නේ හුදෙක් වාසස්ථානයකට වඩා, පුද්ගලයෙකුගේ සමාජ බලය සහ පවුල් පසුබිම මැන බලන මිනුම් දණ්ඩක් බවට පත්වුණා.
එදා කුරුඳු තලන්නන් වැඩ කරපු, කුරුඳු මිලීෂියාව මුර කරපු ඒ නිහඬ වත්ත, අද ලංකාවේ බලවතුන්ගේ සහ ධනවතුන්ගේ හදවත බඳු ‘කොළඹ හත’ බවට පත් වුණේ ඔය විදිහටයි.ප්‍රභූ නම් ලද පාරවල් සහ විදුලියෙන් බැබළුණු වීදි
අද අපි නිතර යන එන කොළඹ හතේ පාරවල්වල නම් පිටුපස ලොකු ඉතිහාසයක් හැංගිලා තියෙනවා. මේ බොහෝ පාරවල් නම් කරලා තියෙන්නේ ඒ කාලේ ලංකාව පාලනය කරපු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන්ගේ සහ ප්‍රභූවරුන්ගේ නම්වලින්.
අද අපිට හමුවන ග්‍රෙගරි පාර නම් කළේ විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා සිහි වෙන්නයි. ඒ වගේම හෝර්ටන් පෙදෙස නම් කළේ රොබට් විල්මට් හෝර්ටන් ආණ්ඩුකාරවරයා වෙනුවෙන්. රොස්මීඩ් පෙදෙස කියන්නෙත් එදා හිටපු හර්කියුලිස් රොබින්සන් නැත්නම් රොස්මීඩ් සාමිවරයාට ගෞරවයක් විදිහට දාපු නමක්.
19 වැනි සියවසේ අග භාගයේදී කොළඹ නගරයට විදුලිය ලැඛෙන කොට ඒ වාසනාව මුලින්ම ලැබුණු ප්‍රදේශ අතර කුරුඳුවත්ත ඉදිරියෙන්ම හිටියා. එතකන් වීදි ආලෝකවත් කරන්න පාවිච්චි කරපු කරකුට්ටු ගෑස් ලාම්පු වෙනුවට, මුලින්ම විදුලි පහන් දැල්වුණේ මේ ප්‍රභූ මාවත්වලයි.
සැබවින්ම, එදා මේ වීදි දිගේ විදුලි පහන් දැල්වෙනකොට ඒක කොළඹ වැසියන්ට අමුතුම දර්ශනයක් වුණා. මේ පහන් එළියෙන් බැබළුණු කුරුඳුවත්ත, නගරයේ අනෙක් ප්‍රදේශවලට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියන එකට ඒකත් ලොකු හේතුවක් වුණා.
අශ්ව රේස්, යුද්ධය සහ මව් සරසවිය
අද අපි දකින කුරුඳුවත්ත අධ්‍යාපනයේ සහ ක්‍රීඩාවේ කේන්ද්‍රස්ථානයක් වුණේ අහම්බයකින් නෙවෙයි. ඒ පිටුපස අශ්ව රේස් සද්දෙයි, යුද ගුවන් යානාවල හඬයි දෙකම හැංගිලා තියෙනවා.
1840 ගණන්වල සුද්දෝ මුලින්ම අශ්ව රේස් පැවැත්වූවේ අද රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණය තියෙන භූමියේ. ඒ කාලේ මේකට කිව්වේ පෙරදිග ඇස්කොට් (Ascot of the East) කියලා. ඒ තරමටම ඒක දියුණුයි. පස්සේ සෙනඟ වැඩිවෙද්දී, 1893 දී තමයි අද අපි දකින රේස්කෝස් පිටිය (රාජකීය විද්‍යාලය ගාව තියෙන එක) අලූතින් හැදුවේ.
රාජකීය විද්‍යාලය මුලින්ම තිබුණේ පිටකොටුවේ සෙබස්තියන් කන්දේ. ඒක කුරුඳුවත්තට සංක්‍රමණය වුණේ 1913 දී. පස්සේ 1923 දී මැනිං ආණ්ඩුකාරවරයා රීඩ් මාවතේ අද තියෙන අභිමානවත් ගොඩනැගිල්ල විවෘත කළා.
දෙවන ලෝක යුද්ධය (1940 ගණන්වල) ආපු ගමන් මුළු කුරුඳුවත්තම යුද කඳවුරක් වුණා. රාජකීය විද්‍යාලයීය ගොඩනැගිල්ල බ්‍රිතාන්‍යයන් පවරා ගත්තෙ යුද රෝහලක් කරන්නයි. ඒ නිසා ළමයින්ට සිද්ධ වුණා බණ්ඩාරවෙල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලවලට ගිහින් ඉගෙන ගන්න. පුදුමෙකට වගේ, අශ්වයෝ දොට්ට දාලා අද අපි දකින රේස්කෝස් පිටිය ඒ කාලේ යුද ගුවන් යානා පියාසර කරන ගුවන් පථයක් (Airstrip) විදිහටයි පාවිච්චි කළේ. යුද්ධය ඉවර වෙලා 1946 දී තමයි ආයෙත් පාසල රීඩ් මාවතට ආවේ. අශ්වයෝ දිව්ව පරණ පිටිය පාසලට ලැබුණා.
කුරුඳු සුවඳ මැද ඉදිවුණු ලංකාවේ බුද්ධිමය මධ්‍යස්ථානය
අපේ රටේ ‘මව් සරසවිය’ කොළඹ විශ්වවිද්‍යාලයයි. කුරුඳුවත්තේ වංශකතාවත් එක්ක මේ සරසවිය අදටත් බද්ධ වෙලා තියෙන්නේ, අධ්‍යාපනයේ අග්‍රගන්‍ය සලකුණ විදිහටයි.
එදා කුරුඳු තලපු, පස්සේ අශ්වයෝ දිව්ව, යුද ගුවන් යානා නැගුණු මේ බිම, අද ලංකාවේ බුද්ධිමතුන් සහ ප්‍රභූන් බිහි කරන තක්සලාව බවට පත් වෙලා හමාරයි.
කුරුඳුවත්තේ ඉතිහාසය කියන්නේ හුදෙක් සල්ලිකාරයන්ගේ කතාවක් විතරක් නෙවෙයි. ඒක ලංකාවේ උසස් අධ්‍යාපනයේ සහ විද්‍යාවේ අත්පොත කිව්වොත් වඩාත් නිවැරදියි.
කොළඹ විශ්වවිද්‍යාලයේ මුල්ම පුරුක වැටුණේ 1870 දී ආරම්භ වුණු කොළඹ වෛද්‍ය විද්‍යාලයත් එක්කයි. මේක ලංකාවේ දෙවැනියට පැරණිතම උසස් අධ්‍යාපන ආයතනය. අද අපි දකින වෛද්‍ය පීඨය ඉදිවුණේ එදා කුරුඳු වගා බිම් මැදයි.
කුමාරතුංග මුනිදාස මාවතේ තියෙන ‘කොලේජ් හවුස්’ ගොඩනැගිල්ල දිහා අද බැලූවොත් ඒකෙ තියෙන්නේ පුදුම අභිමානයක්. හැබැයි මේක මුලින්ම ආතර් ද සොයිසා කියන ධනවත් ව්‍යාපාරිකයා තමන්ගේ පෞද්ගලික පදිංචියට හදපු මන්දිරයක්. ඒ කාලේ මේකට කිව්වේ ‘රෙජිනා වෝල්ඩාව්’ කියලා. පස්සේ රජය මේක මිලදී ගෙන 1921 දී ලංකා විශ්ව විද්‍යාලය මෙහි ආරම්භ කළා. මේ සියල්ල එකතු වෙලා 1942 දී ශ්‍රීමත් අයිවර් ජෙනින්ග්ස් මහතාගේ මූලිකත්වයෙන් තමයි අද තියෙන ‘කොළඹ විශ්වවිද්‍යාලය’ බිහිවුණේ.
කුරුඳුවත්තේ තියෙන තවත් සුවිශේෂී ස්මාරකයක් තමයි කොළඹ විශ්වවිද්‍යාලීය නිරීක්ෂණාගාරය (Observatory). අංශක 360 ක් කැරකැවිය හැකි අමුතුම ගෝලාකාර වහලයක් තියෙන මේ ගොඩනැගිල්ල 1907 දී විවෘත වුණේ ලංකාවේ විද්‍යා ඉතිහාසය අලූත් කරමින්.
එදා මෙහි තිබුණු අඟල් 6 ක දැවැන්ත දුරේක්ෂයෙන් තමයි අපේ රටේ විද්‍යාර්ථීන් හඳේ මතුපිට, සෙනසුරුගේ වළලූ වගේම බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් මුලින්ම දැක්කේ. ඒ විතරක් නෙවෙයි, එදා ලංකාවේ සම්මත වේලාව නියම කරන්න අවශ්‍ය තාරකා විද්‍යාත්මක දත්ත ගත්තෙත් මේ කුරුඳුවත්තේ තිබුණු නිරීක්ෂණාගාරය හරහා වීම විශේෂත්වයක්.
මෙම කොළඹ විශ්වවිද්‍යාලීය නිරීක්ෂණාගාරයේ ගැන තියෙන තවත් ලස්සන කතාවක් තමයි, එහි ඇති වටිනා උපකරණ බොහොමයක් එදා හිටපු විද්‍යාවට ලැදි ප්‍රභූවරුන්ගේ පෞද්ගලික පරිත්‍යාගයන් වීම. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේත් උදව් ඇතිව ඉදිවුණු මේ අපූරු මධ්‍යස්ථානය, කාලයක් අක්‍රීය වෙලා තිබුණත්, පස්සේ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශය සහ තාරකා විද්‍යා සංගමය මැදිහත් වෙලා මේක ආයෙත් පණ ගැන්වුවා. අදටත් මේක තරු දකින්න ආස කරන අපේ පාසල් දරුවන්ට තියෙන හොඳම තක්සලාවක්.
අද අපි දකින බ්‍රිතාන්‍ය පන්නයේ දැවැන්ත පුස්තකාලය සහ කලා පීඨ ගොඩනැගිලි, කුරුඳුවත්තේ ඒ අතීත ශ්‍රී විභූතිය අදටත් ලෝකයට කියාපාන නිහඬ සාක්ෂිකරුවන් වගෙයි.


