රටක වැඩ කළ හැකි ජනතාවට වඩා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වැඩි වීම සෑම අතින්ම ගැටළු මතුකරවන්නක් බව නොකිවමනාය. එසේ සලකන විට, වර්තමානයේ සහ නුදුරු අනාගතයේදී ඔන්ටේරියෝවට විසඳීමට සිදුවන ප්‍රශ්න අතර මෙම Baby boomer පරම්පරාව (1946 සිට 1964 දක්වා උපන් අය) පෙර නොවූ ලෙස ඉහළ යෑමද සංකීර්ණ අභියෝගයක් වනු ඇත.

ඉදිරි වසර 20 තුළ ඔන්ටේරියෝව තුළ 65-84 සහ ඊටත් වැඩි වයස්ගත ජනගහනය ‘Grey Tsunami’ ක් මෙන් සියයට 68 කින් ඉහළ යනු ඇතැයි සඳහන් වේ. තවත් අතකින් කිවහොත් 2043 වන විට කැනේඩියානුවන්ගෙන් හතරෙන් එකක් පමණ වයස අවුරුදු 65 ට වැඩි ජනගහනය වනු ඇත. මෙසේ ඉහළ යන මනුෂ්‍ය ආයු කාලය පාලනය කිරීම හෝ අඩු කිරීම කිසිසේත් කළ නොහැක්කක් හෙයින් කළ හැකි එකම දේ වයස්ගත වන ජ්‍යෙෂ්ඨයින්ට සුව සේ ජීවත් වීමට අවශ්‍ය පරිසරය සාදා දීම පමණක් බව මේ පිළිබඳව අදහස් දක්වන සමාජ විශේෂඥයින් පෙන්වා දේ. විශේෂයෙන්ම වයස්ගතභාවයත් සමග සංකීර්ණ සෞඛ්‍ය අවශ්‍යතා වැඩිහිටියන් තුළ මතුවීමෙන් මේ වන විට සෞඛ්‍ය සේවා පද්ධතිය සඳහා ඇති ඉල්ලුම සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත.

සෑම වසරකම වැඩිහිටියන් 730,000 ක් පමණ නිවාස ආරක්ෂණ සේවාව(home care services) ලබා ගන්නා අතර ඔවුනට ආරක්ෂිතව වයසට යාමට එය උපකාරී වී ඇත. කෙසේ වෙතත් ඔවුන්ගේ සත්කාර සංකීර්ණත්වය සහ අවශ්‍යතා පසුගිය වසර පහ තුළ සැලකිය යුතු ලෙස වැඩි වී ඇති නමුත් ජ්‍යෙෂ්ඨයින් සහ ඔවුන් රැක බලා ගන්නන් යන දෙපිරිසටම ඒ සඳහා අවශ්‍ය තරම් ආධාර වර්ධනය වී නොමැති බව බොහෝ දෙනා නගන මැසිවිල්ලකි. වයස අවුරුදු 80 ඉක්මවූ වැඩිහිටියන් අතරින් සියයට 20 කට පමණ සංකීර්ණ අවශ්‍යතා ඇති අතර ඔවුනට ඉහළ මට්ටමේ රැකවරණයක් සහ සහායක් ලබාදීම අවශ්‍ය වේ. එසේ වුවත් සෞඛ්‍ය අංශ වාර්තා කරන අන්දමට වර්තමානයේ ඔන්ටේරියෝව තුළ එවැනි සෞඛ්‍ය ආධාරක මට්ටමක් සහිතව එවැනි වැඩිහිටියන් වෙනත් තැනක රැක බලා ගැනීමේ දිගු කාලීන සත්කාරක ලබා දිය හැක්කේ අයදුම්කරුවන් අතරින් සියයට 5.7 කට පමණි. ඔන්ටේරියෝවේ දිගුකාලීන රැකවරණ නිවාස පොරොත්තු ලේඛනයද දිනෙන් දින ඉහළ යමින් පවතින අතර ආසන්න වශයෙන් එය මේ වන විට 43,000 ඉක්මවා ඇත.

වැඩිහිටි ජනගහනය අධික වීම රෝහල් පද්ධතියට එල්ල කර ඇති බලපෑම අතිවිශාල වේ. ඔන්ටේරියෝවේ රෝහල්වල සියලුම මට්ටමේ දිගුකාලීන ප්‍රතිකාර සඳහා සෑම වයස් කාණ්ඩයකම රෝගීහු සියයට 40 ක් පමණ ඉඩක් ලැබෙනතුරු එළියේ බලා සිටිති. ඔන්ටේරියෝ රජය මේ වන විට වැඩිහිටියන් සඳහා දිගුකාලීන රැකවරණ ධාරිතාව වැඩිකිරීම, නිවාස රැකවරණ පුළුල් කිරීම, ප්‍රාථමික සත්කාර වැඩි දියුණු කිරීම සහ සෞඛ්‍ය සේවා ශ්‍රම බලකාය වැඩි කිරීම සඳහා සැලකිය යුතු ආයෝජනයක් සිදුකර ඇතත් ඉතාමත් කඩිනමින් වර්ධනය වන ජ්‍යෙෂ්ඨ ජනගහනයේ අවශ්‍යතා සපුරාලීමට එය ප්‍රමාණවත් නොවන බව සඳහන් කළ යුතුව ඇත.

ජ්‍යෙෂ්ඨ පුරවැසියකු ලෙස පිළිගන්නා වයස

යමෙකු ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු වන්නේ කවදාද යන්න තීරණය කරන වෛද්‍ය විද්‍යාත්මක සිද්ධාන්ත සහිත සාමාන්‍යයෙන් පිළිගත් වයසක් නොමැති වුවත් කැනඩාව ජ්‍යෙෂ්ඨයන් සඳහා නිශ්චිත වයසක් ඉදිරිපත් කොට ඊට අනුකූලව ක්‍රියා කරමින් පවතී. එවැනි වයස් සීමාවක් පැවතීම, රජයේ ප්‍රතිලාභ ලබාගැනීමේ සිට සාප්පු සවාරි වට්ටම් දක්වා විවිධ වාසි ජ්‍යෙෂ්ඨයින් වෙත ගෙන දෙනු ලබයි. ඔන්ටේරියෝවේ සාමාන්‍ය විශ්‍රාම වයස 65 ක් ලෙස දක්වා ඇතත් එය සියලුම ජ්‍යෙෂ්ඨ ප්‍රතිලාභ ලැබීමේ වයස ලෙස සැලකිය යුතු නැත. ඔන්ටේරියෝවේ පවතින වැඩසටහන් සහ සේවාවන් අනුව එම වයස් මට්ටම වෙනස් විය හැක. උදාහරණයක් ලෙස, ඔන්ටේරියෝවේ බොහෝ වෙළඳසැල් ජ්‍යෙෂ්ඨ වට්ටම් ලබා දීමට වයස අවුරුදු 55 සපුරා තිබීම සුදුසුකමක් ලෙස සලකනු ලබයි. ඇතැම් ස්ථානවල මෙය අවුරුදු 50 ක් ලෙස දැක්වේ. ඒ නිසා ඔබ රෙදිපිළි හෝ වෙනත් භාණ්ඩ මිල දී ගැනීමේදී වයස අවුරුදු 50 ට වැඩි නම් ඒ පිළිබඳව අයකැමිවරයාගෙන් විමසා දැනගන්න.

කෙසේ වෙතත් කැනඩාවේ විශ්‍රාම වැටුප් සැලැස්ම(CPP) මහලු වියේ ආරක්ෂක ප්‍රතිලාභ(OAS) සහ ඔන්ටේරියෝ ඖෂධ ප්‍රතිලාභ(ODB) අවම වශයෙන් අවුරුදු 60 හෝ 65 වයස්වල පුද්ගලයින්ට ලබාගත හැක.

විශ්‍රාම යෑමෙන් පසු ඔබට ලැබෙන ප්‍රතිලාභ

විශ්‍රාම යෑමෙන් පසු වැඩිහිටියන්ට ඔවුන්ගේ ජීවන රටාවට සහාය වීමට අමතරව මූල්‍ය ආධාර අවශ්‍ය වේ. කැනඩාව මෙම තත්ත්වය අනුමත කරන අතර වැඩිහිටියන් මත පවතින මූල්‍ය පීඩනය ලිහිල් කිරීමට ප්‍රතිලාභ සැලසුම් කිහිපයක් නිර්මාණය කර ඇත.

1.කැනඩාවේ විශ්‍රාම වැටුප් සැලැස්ම – Canada Pension Plan (CPP)

මෙය රැකියාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු වැඩිහිටියෙකුගේ ආදායම වෙනුවට කැනේඩියානු රජය මාසිකව ගෙවනු ලබන බදු අය කළ හැකි ජ්‍යෙෂ්ඨ ප්‍රතිලාභයකි. විශ්‍රාම වැටුප ලබන්නා සපුරා ඇති සුදුසුකම් මත එක් එක් විශ්‍රාමිකයාට ලැබෙන මුදල වෙනස් වේ. විශ්‍රාමිකයාගේ සේවා කාලය තුළ සාමාන්‍ය ඉපැයීම්, CPP වෙත ඔවුන්ගේ දායකත්වය, දරුවන් රැක බලා ගැනීමේදී රැකියාවෙන් බැහැරව සිටි කාලය සහ විශ්‍රාම වැටුප් ගෙවීම ආරම්භ කිරීමට තෝරාගත් වයස යනාදි සාධක එහිදී නිරීක්ෂණය කෙරේ.
විශ්‍රාම යාමේ සාමාන්‍ය වයස අවුරුදු 65ක් වුවත් වසර 60 තරම් ඉක්මන් කාලයකදී හෝ 70 වැනි පසු කාලයකදී වුවත් මේ ප්‍රතිලාභය ලබාගැනීම ආරම්භ කළ හැක. මෙහි උපරිම මාසික ගෙවීම අවුරුදු 70 දී ළඟා වේ.
ඔන්ටේරියෝනුවන් සඳහා වන අනෙකුත් ප්‍රතිලාභ අතර පශ්චාත් විශ්‍රාම ප්‍රතිලාභ (post-retirement benefits), ආබාධිත විශ්‍රාම වැටුප (disability pension), පශ්චාත් විශ්‍රාම ආබාධිත ප්‍රතිලාභ(retirement disability benefits), සහ survivor’s pension, ළමා ප්‍රතිලාභ(children’s benefits) ඇතුළත් වේ.

2. OAS/GIS/GAINS

Old Age Security (OAS)
OAS යනු වයස අවුරුදු 65 හෝ ඊට වැඩි ජ්‍යෙෂ්ඨයින්ට මූලික විශ්‍රාම වැටුපක් ලබාදීමට නිර්මාණය කර ඇති කැනඩාවේ ප්‍රධාන සමාජ ආරක්ෂණ වැඩ සටහනකි. මෙය කැනඩාව පුරා ක්‍රියාත්මක වැඩසටහනකි. මේ සඳහා වයස අවුරුදු 65 සම්පූර්ණ කර සිටිය යුතු අතර අයදුම් කරන අවස්ථාවේ කැනේඩියානු පුරවැසියෙකු හෝ කැනඩාවේ නිත්‍යානුකූල පදිංචිකරුවෙකු විය යුතුයි. වැඩිහිටියන් සඳහා මෙයින් ලැබෙන මුදල තීරණය වන්නේ ඔවුන්ගේ ආදායම සහ කැනඩාවේ හෝ වෙනත් රටක අවුරුදු 18 ක් පිරුණු පසු ගත කළ කාලය අනුවයි. OAS උපරිම විශ්‍රාම වැටුප කැනඩාවේ වසර 40 ක් පදිංචි අයට ලබාගත හැක. යම් පුද්ගලයෙකුගේ ශුද්ධ ආදායම නිශ්චිත සීමාවක් ඉක්මවා ඇත්නම් (මෙය වාර්ෂිකව යාවත්කාලීන කරනු ලබයි) ඔවුන් තම OAS හි කොටසක් බදු හරහා ආපසු ගෙවිය යුතුයි. Service Canada විසින් මේ සඳහා ඔබව ස්වයංක්‍රීයව ලියාපදිංචි කරන නිසා මෙම OAS ප්‍රතිලාභය සඳහා ඔබ අයදුම් කිරීමට අවශ්‍ය නොවේ. නමුත් යම් වැඩිහිටියෙකු Service Canada හි ලියාපදිංචි කිරීමට ප්‍රමාණවත් තොරතුරු නොමැති විට ඒ පිළිබඳව සොයා බලා ඔබට අයදුම් කිරීමට සිදුවනු ඇත.

Guaranteed Income Supplement (GIS)
මෙයද ෆෙඩරල් රජය විසින් පරිපාලනය කරන කැනඩාව පුරා ක්‍රියාත්මක වැඩසටහනකි. මෙය OAS විශ්‍රාම වැටුප පද්ධතියේ කොටසක් ලෙස ක්‍රියාත්මක වේ.
මේ සඳහා අවම වශයෙන් අවුරුදු 65 සම්පූර්ණ කළ යුතු අතර අනිවාර්යෙන් කැනඩාවේ පදිංචිකරුවෙකු විය යුතුයි. එසේම OAS ලබන්නෙකු සහ අඩු ආදායම්ලාභියෙකු විය යුතුයි. GIS සඳහා බදු අය නොකෙරේ. මේ සඳහාද බොහෝ විට සුදුසුකම් ලත් අපේක්ෂකයින් ස්වයංක්‍රීයව ලියාපදිංචි වූවත් ඇතැම් විට ප්‍රතිලාභ සඳහා අයදුම් කිරීමට සිදුවිය හැක.

Guaranteed Annual Income System (GAINS)
මෙය ඔන්ටේරියෝවේ වැඩිහිටියන් සඳහා වන විශේෂිත වැඩසටහනකි. ඔන්ටේරියෝහි GIS ප්‍රතිලාභීන්ට GAINS ප්‍රතිලාභය ලබාගත හැක. එය වැඩිහිටි පුද්ගලයින් සඳහා වන තවත් බදු රහිත ගෙවීමකි. ඔබ OAS, GIS ප්‍රතිලාභය ලබයි නම් ස්වයංක්‍රීයව GAINS ප්‍රතිලාභය ඔබ වෙත ලැබෙයි.

3. ඔන්ටේරියෝ ඖෂධ ප්‍රතිලාභය – Ontario Drug Benefit (ODB)

වයස අවුරුදු 65 හෝ ඊට වැඩි පුද්ගලයින් සඳහා අනුමත ඖෂධ වට්ටෝරුවල පිරිවැයෙන් ප්‍රතිශතයක් ආවරණය කරන වැඩසටහනකි. මෙය ඔන්ටේරියෝ ජ්‍යෙෂ්ඨයන් සඳහා පිරිනමන සුවිශේෂී සෞඛ්‍ය ප්‍රතිලාභයකි. ODB සඳහා අවුරුදු 65 වැඩි ඔන්ටේරියෝ පදිංචිකරුවන්ට ලබා ගත හැකි වුවත් විශේෂ සත්කාර සේවා යටතේ නිවෙස්වල හෝ ප්‍රජා මධ්‍යස්ථානවල ජීවත් වන අයටද වයස් බේදයකින් තොරව මෙය ඉල්ලුම් කළ හැක. මෙම ඔන්ටේරියෝ ඖෂධ ප්‍රතිලාභ ක්‍රමය මගින් මගින් බෙහෙත් වට්ටෝරු 5,000 කට පමණ ඒවායේ මිලෙන් වැඩි කොටසක් ආවරණය කරයි. Ontario.ca යටතේ ODB වෙත යෑමෙන් ඔබගේ ඖෂධ මෙම වැඩසටහන යටතේ ආවරණය වී ඇත්දැයි දැනගැනීමට ඔබට පුළුවන. යම් විදියකින් ඔබේ ඖෂධය ODB යටතේ ආවරණය නොවන්නේ නම් Exceptional Access Program (EAP) මගින් එය ආවරණය කළ හැක. මෙය ජ්‍යෙෂ්ඨයින් සඳහාම වන වැඩසටහනක් නොවන අතර අදාළ නිර්ණායක සපුරන ඕනෑම අයෙකුට අවශ්‍ය විශේෂීත ඖෂධ මෙමගින් අයදුම් කළ හැක.

4. ඔන්ටේරියෝ ජ්‍යෙෂ්ඨ දන්ත සත්කාරක වැඩසටහන – Ontario Seniors Dental Care Program

වයස 65 වැඩි, අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා වන නොමිලේ සාමාන්‍ය දන්ත වෛද්‍ය සේවා සපයන වැඩසටහනකි. මෙම වැඩ සටහන යටතේ දන්ත වෛද්‍ය පරීක්ෂණ, එක්ස් කිරණ, කැඩුණු දත් සහ කුහර සවි කිරීම plaque removal සහ polishing වැනි සේවා කිහිපයක් ආවරණය කරයි. මෙය අයදුම් කිරීමේදී අවුරුදු 65 සම්පූර්ණ කළ ඔන්ටේරියෝවේ පදිංචිකරුවකු වීම අනිවාර්ය වේ. තනිකඩයකු නම් වාර්ෂික ශුද්ධ ආදායම ඩොලර් 22,200 ක් සහ යුවළක් සඳහා ඩොලර් 37,100 නොඉක්මවන ආදායමක් සහිත විය යුතුයි. එසේම පෞද්ගලික රක්ෂණ හෝ වෙනත් රජයේ ප්‍රතිලාභ වැඩසටහන් යටතේ දන්ත ආවරණයක් ලබා නොගත යුතුයි. මෙම සුදුසුකම් සපුරා ඇත්නම් ඔබටත් ඒ සඳහා තැපෑලෙන් හෝ අන්තර්ජාලය මගින් අයදුම් කිරීමට හැක.

ඔන්ටේරියෝහි ජ්‍යෙෂ්ඨයින් සඳහා වන අනෙකුත් වෛද්‍ය ප්‍රතිලාභ අතර Assistive Devices Program (ADP) සහ Ontario Disability Support Program (ODSP) වැඩසටහනද ඇතුළත් වේ.

Seniors Home Safety Tax Credit
Low-Income Seniors’ Property Tax Deferral Program
Seniors Property Tax Credit
Ontario Electricity Support Program (OESP)
වැනි වැඩසටහන්ද ඔන්ටේරියෝව ජ්‍යෙෂ්ඨයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන අතර මේවා වෙත ප්‍රවේශ වීමේදී ඔබගේ වාර්ෂික බදු වාර්තා ගොනු කර තිබීම ඉතා වැදගත් වේ.

චමරි අබේසිංහ

Share this Post