කැනඩාවේ පළාත් අතර ඔන්ටේරියෝවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. කැනඩාවේ අගනගරය මෙන්ම ප්‍රධාන ආර්ථික මර්මස්ථාන, රජයේ සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන කාර්යාල සියල්ලක්ම පාහේ ඔන්ටේරියෝවෙහි පිහිටා තිබීම මෙයට ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැක. ඔන්ටේරියෝවේ ප්‍රදේශ පිළිබඳව සලකා බැලීමේදී Toronto, York, Peel, Durham, Halton යන ප්‍රදේශ අයත් වන Greater Toronto Area (GTA ) ප්‍රධාන තැනක් ගනී. විශේෂයෙන්ම මෙහි ප්‍රධාන නගරය වන ටොරොන්ටෝව කැනඩාවේ විශාලතම නගරය මෙන්ම මෙරට වාණිජ හා මූල්‍ය මධ්‍යස්ථානය වේ. මීට අමතරව ඔන්ටේරියෝවේ බොහෝ සුන්දර නගර සහ ග්‍රාමීය පෙදෙස්ද රාශියකි. එමෙන්ම මෙම පළාත තුළ මිනිස් මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය සියලුම සාධකයන් නොඅඩුව පවතී. එහෙයින්ම බොහෝ දෙනෙකු තමන්ගේ වාසස්ථානය හා රැකියාව සඳහා ඔන්ටේරියෝව තෝරාගෙන ඇත. මෙරට ඉපදුණු බොහෝ දෙනෙකු මෙන්ම සංක්‍රමණිකයන් ලෙස මෙරටට පැමිණෙන බොහෝ දෙනෙකුගේද වැඩිම ඉල්ලුම ඇති ප්‍රදේශය ලෙස ඔන්ටේරියෝව හඳුනාගෙන ඇත. දිනෙන් දින වැඩිවන ජන ඝනත්වය නිසා ඔන්ටේරියෝවේ පහසුකම් සැමට සමාන ආකාරයට බෙදී යෑමේදී ඇතැම් අවස්ථාවල තරමක ගැටලුකාරී තත්ත්වයන් පැන නැගුණද ඒවා විසඳා ගනිමින් පළාත තුළ පහසුකම් වැඩි දියුණු කිරීමට රජය ප්‍රධාන කොට ප්‍රාදේශීය සහ නගරසභා රජයයන් විවිධ පියවරයන් ගනිමින් සිටී.
වර්තමානයේදී ඔන්ටේරියෝවේ බොහෝ දෙනෙකු හමුවේ ඇති ප්‍රධාන අර්බුදය වී ඇත්තේ තමන්ටම කියා නිවසක් මිල දී ගැනීමේදී මුහුණ පෑමට සිදුවන ගැටලුකාරී තත්ත්වයන්ය. විශේෂයෙන්ම කැනඩාවට පැමිණ තම පළමු නිවස මිල දී ගැනීමට උත්සාහ කරන සහ කැනේඩියානු අලුත් පරම්පරාවට එනම් Millennials (1981-1996 අතර උපන් අය) සහ Gen Z (1997-2012 අතර උපන් අය) පිරිසට මෙය බරපතල ගැටලුවක්ව පවතී.
එහෙත් ඔන්ටේරියෝවෙන් නිවසක් මිල දී ගැනීමට අදහස් කරන අයෙකු ඒ පිළිබඳව මුල සිටම නිවැරදිව අවශ්‍ය නිර්ණායකයන් සකසා ගතහොත් නිවසක් මිල දී ගැනීමේදී ඔබට මුහුණ පෑමට සිදුවන අමිහිරි අත්දැකීම්වලින් ගැලවී ගත හැක. මේ ලිපිය අද ඔබ වෙත ගෙන එන්නේ එම නිර්ණායකයන් අඩුවක් නොමැතිව සකසා ගැනීම පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි.
මෙහිදී ඔබ පළමුව කළ යුත්තේ ඔබගේ නිවාස අවශ්‍යතාව පිළිබඳව පැහැදිලිව විස්තර කොට ඒ සඳහා පැහැදිලි පිළිතුරක් ලැබෙන නිවාස අලෙවි නියෝජිතවරයෙකු තෝරා ගැනීමයි. ඉන්පසු එම අලෙවි නියෝජිතවරයා සමග වෙළඳපොළ තත්ත්වය පිළිබඳව අධ්‍යයනයක් සහිතව ඔන්ටේරියෝවෙන් නිවසක් මිල දී ගැනීමට අවශ්‍ය නිවාස ණය ගැනීම පිළිබඳව අවධානය යොමුකළ යුතුයි.
නිවාස වෙළඳපොළ තත්ත්වය
පසුගිය වසර කිහිපයක ඔන්ටේරියෝ නිවාස අලෙවිය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ මෙම පළාතේ නිවාස අලෙවියේ මන්දගාමී ආරම්භය 2023 ජනවාරි මාසයේ සිට සිදුවන බවයි. 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ ඉතාමත් ‘තියුණු’ පහත වැටීමක් නිවාස විකිණීමේදී හා මිල දී ගැනීමේදී සිදුවී ඇත. අලෙවියේ අඩුවත් සමග නිවාස මිල ගණන් යම්කිසි මට්ටමකින් පහත වැටීමක් සිදුව ඇතත් එය සෑහීමකට පත්විය හැකි මිල අඩු වීමක් ලෙස නොපෙනෙන බව Ontario Real Estate Association (OREA) පෙන්වා දේ. කෙසේ වෙතත් නගරාසන්නයන්හි නිවාස මිල ගණන් තවමත් බොහෝ දෙනෙකුට දැරිය නොහැකි අධික පිවිසුම් අගයයන් වී ඇත. ඇතැම් විට මෙම තත්ත්වය නගරයෙන් පිටත ප්‍රදේශවල තරමක් වෙනස් විය හැකි නමුත් එවැනි පළාත්වල නිවසක් මිල දී ගැනීමෙන් පසු එය අපගේ එදිනෙදා අවශ්‍යතා හා සැසදේද යන්න සොයා බැලිය යුතුව ඇත.
ඔන්ටේරියෝහි නිවසක් මිල දී ගැනීමේදී සාමාන්‍ය මූලික ගෙවීම
වර්තමානයේ නිවාස මිල ගණන් වැඩි බැවින් ගෙවීමට සිදුවන මූලික මුදලත් වැඩිවීම නොවැළැක්විය හැක්කක් බව අප කවුරුත් දන්නා කරුණකි. මූලික ගෙවීමක් යනු උකස් ණයක් සාදා ගැනීමේදී පළමුව එකවර ගෙවනු ලබන මුදලක් වන අතර එය අදාළ දේපලෙහි සම්පූර්ණ මිල වටිනාකමින් ප්‍රතිශතයකි. ඉතිරි පිරිවැය උකස් ණයෙන් ආවරණය කෙරේ. කැනඩාවේ මේ වන විට පවතින මූලික ගෙවීම් සහ ක්‍රමක්ෂය කාලය (amortization period) ක්‍රියාත්මක වන ආකාරය මෙසේය.
- නිවස ඩොලර් ලක්ෂ 5 කට අඩු නම් ඔබ සියයට 5 ක මූලික ගෙවීම් තැන්පතුවක් තැබිය යුතුයි. නිවස ඩොලර් ලක්ෂ 5 සිට ඩොලර් මිලියන 1 ක් දක්වා වන්නේ නම් ඔබගේ මූලික ගෙවීම පළමු ඩොලර් ලක්ෂ 5 න් සියයට 5 ක්ද ඉතිරි මුදලට සියයට 10 ක්ද ලෙස සැකසී ඇත. (උදාහරණයකින් ගතහොත්, ලක්ෂ 8ක නිවසක් මිල දී ගැනීමේදී පළමු ලක්ෂ 5 ට ඩොලර් 25,000ක්ද ඉතිරි ලක්ෂ 3 ට ඩොලර් 30,000 ක් ලෙසද ගෙවිය යුතු මූලික මුදල ඩොලර් 55,000 ක් ලෙස ගණනය වේ) **මෙම මූලික තැන්පතුවේදී මුළු ප්‍රතිශතයෙන් ගෙවිය යුතු මුදල පිළිබඳව මේ වන විට සංශෝධනය කොට ප්‍රකාශයට පත් කොට ඇති අතර එම නව සංශෝධිත මූලික ගෙවීම් ක්‍රමය 2024 දෙසැම්බර් 15 වැනි දා සිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව එදින සිට ඔබ මිල දී ගන්නා නිවාසය ඩොලර් ලක්ෂ 5 සිට ඩොලර් මිලියන 1.5 ක් දක්වා සියයට 10 ක මූලික ගෙවීම් තැන්පතුවකට යටත්ව ඔබට මිල දී ගත හැක. දැනට පවතින මූලික ගෙවීම් අගයයන්ට අනුව ඔබ මිලියන 1 ට වැඩි නිවසක් මිල දී ගන්නේ නම් සියයට 20 ක මූලික ගෙවීමක් කළ යුතු වේ. 2024 දෙසැම්බර් 15 සිට ඔබ මිලියන 1.5 කට වැඩි මිලක නිවසක් මිල දී ගන්නේ නම් මූලික ගෙවීම් තැන්පතුව සියයට 20 ක් ලෙස දැක්වේ.
- ක්‍රමක්ෂය කාලය එසේත් නැතිනම් උකස් ණය ගෙවී අවසන් කළ යුතු කාලය ඔබගේ වත්මන් පොලී අනුපාතය මත පදනම් වූ ඇස්තමේන්තුවකි. නිවසක් මිල දී ගැනීමේදී මූලික ගෙවීම නිවසේ වටිනාකමින් සියයට 20කට වඩා අඩු වුවහොත් ඔබට ලැබෙන උපරිම ක්‍රමක්ෂය කාලය වසර 25 ක් ලෙස මේ වන විට පවතී. 2024 දෙසැම්බර් 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පළමු වරට නිවසක් මිල දී ගන්නන් සඳහා ක්‍රමක්ෂය කාලය (amortization period) වසර 30 ක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කොට ඇත. මෙම උකස් ණය ප්‍රතිපත්තීන් සංශෝධන කිරීම නිසා තරුණ සහ මෙරටට අලුතින් පැමිණ පළමු නිවස මිල දී ගැනීමට උත්සාහ කරන්නන් දිරිමත් වේ යැයි කැනඩා ෆෙඩරල් රජය අපේක්ෂා කරයි. ඒ අනුව ටොරොන්ටෝ, වැන්කූවර් වැනි නිවාස මිල අධික ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයින්ට මාසික උකස් ගෙවීම් මිල යම් තරමක පහළ අගයක තබාගැනීමට මෙය බලපානු ඇත. නමුත් මෙහිදී ණයේ ආයු කාලය වැඩි වීම මත ණය ගෙවී අවසන් වන විට වැඩි පොලී අනුපාතයක් ගෙවීමට සිදුවේ. නමුත් බොහෝ විට කැනඩාව වැනි රටකදී ‘ජීවිත කාලය පුරා එකම නිවසක ජීවත් වනවා’ යන සංකල්පයෙන් තොර වීම නිසා මෙය එතරම් සැලකිල්ලට ගත යුතු නැත.
පළමු නිවස ගැනීමේදී සැලසෙන සහන
ඔන්ටේරියෝව තුළ පළමු වරට නිවසක් මිල දී ගන්නන් සඳහා රජය සලසා ඇති සහන කිහිපයක් ඇත. මේවා අතරින්, ඔන්ටේරියෝවේ ඉඩම් පැවරීමේ බදු ආපසු ගෙවීම (Ontario Land Transfer Tax Refund) සහ පළමු වරට ටොරොන්ටෝහි නිවසක් මිල දී ගැනීමේදී ලැබෙන වට්ටම (First-time Home Purchase Rebate (Toronto)) ප්‍රධාන වේ.
Ontario Land Transfer Tax Refund
ඔබ ඔන්ටාරියෝහි පළමු වරට නිවාස ගැනුම්කරුවකු ලෙස සුදුසුකම් ලබන්නේ නම්, පළාත් ඉඩම් පැවරීමේ බදු ආපසු ලබාගැනීම සඳහා ඔබ සුදුසුකම් ලැබිය හැක. ඩොලර් 368,000 ට වැඩි මිලක් සහිත නිවාස සඳහා මෙම ආපසු ගෙවීම ඩොලර් 4000 දක්වා ඉහළ යා හැක. මෙම අගයට අඩු මිලක් සහිත නිවාස සඳහා ඉඩම් පැවරීමේ බද්ද අදාළ නොවේ. ඔබ ප්‍රථම නිවස ලබාගැනීමේදී සාදන අයවැය සටහනට මෙම ආපසු ලැබෙන බදු අගය විශාල වෙනසක් ඇති කළ හැක.
- මෙම බදු නැවත ලබාගැනීම සඳහා ඔබ සපුරාගත යුතු සුදුසුකම් මෙසේය.
- අවම වශයෙන් අවුරුදු 18 සම්පූර්ණ කොට තිබීම
- කැනේඩියානු පුරවැසියෙකු හෝ කැනඩාවේ ස්ථිර පදිංචිකරුවෙකු වීම
- ඔබ මිල දී ගන්නා නිවසේ මාස නවයක් ජීවත් වීම (එය ඔබගේ ප්‍රධාන පදිංචි නිවස ලෙස භාවිත කළ යුතුයි), ලියාපදිංචි වී මාස 18 ක් ඇතුළත අයදුම් කිරීම.
- ඊට අමතරව ඔබ විවාහක නම්, ඔබගේ සහකරු හෝ සහකාරියගේ දේපළ ඉතිහාසයද සැලකිල්ලට ගනු ලබයි. යම් හෙයකින් ඔබ විවාහ වී සිටින අතරතුර ඔබේ සහකරු හෝ සහකාරිය යම් දේපළක් තනි තනිව මිල දී ගෙන ඇත්නම් ඔබ දෙදෙනාගෙන් කිසිවෙකු බදු ආපසු ලබාගැනීම සඳහා සුදුසුකම් නොලබයි. එහෙත් ඔබ විවාහ වීමට පෙර ඔබේ සහකරු හෝ සහකාරිය දේපළ මිල දී ගෙන හෝ උරුම වූවකට හිමිකම් දරා ඇත්නම් ඔබට මෙම බදු මුදල් ආපසු ගෙවීමේ හිමිකම ලබාගත හැක.
First-time Home Purchase Rebate (Toronto)
මෙය ටොරොන්ටෝවේ නිවසක් මිල දී ගන්නන් සඳහා පමණක් බලපාන වට්ටම් දීමනාවකි. ඒ අනුව ඔබ පළමුවරට ටොරොන්ටෝවෙන් නව ඉදිකිරීමක් හෝ නැවත විකිණීමේ දේපළක් මිල දී ගන්නේ නම් ඔබට ඩොලර් 4475 ක් දක්වා වූ වට්ටමකට සුදුසුකම් ලැබිය හැක. ඔන්ටේරියෝ ඉඩම් පැවරීමේ බද්ද සඳහා ඔබ සපුරාලිය යුතු ඉහත සඳහන් කළ අවශ්‍යතා සියල්ල මේ සඳහාද අදාළ වේ. ඔබ ටොරොන්ටෝවේ පළමු වරට නිවසක් මිල දී ගන්නේ නම් ඔන්ටේරියෝ Land Transfer Tax Refund iy First-time Home Purchase Rebate යන දෙකටම සුදුසුකම් ලැබිය හැක.
Gamini Abeysinghe
ඔන්ටේරියෝ නිවාස හා දේපොළ වෙළඳාම් සංගමයෙහි බලයලත් දේපල හා නිවාස වෙළඳාම් අලෙවි නියෝජිත
Tel: 1-416 822 2789
Email : shinko@rogers.com
Web : www.gaminiabeysinghe.com