June 24, 2017

බතින්දාවේ Cancer Express

සවස් ඇඳිරියත් සමගම පන්ජාබයේ බතින්දා (Bathinda) දුම්රිය පොළ අවට දිස් වන්නේ දැඩි කලබලකාරී ස්වරූපයකි. බතින්දාවේ පිහිටි කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ නගර 14 ක ජීවත් වන මිනිසුන් දිනපතා සවස් යාමයේ මේ දුම්රිය පොළට පැමිණෙන්නේ රාත්‍රී 9.30 ට පමණ පිටත්වන අංක 339 දරණ දුම්රිය බලාපොරොත්තුවෙනි. ඉහින් කනින් රෙදි කම්බිලි පොරවාගත් වයස් සීමාවකින් තොර ළමා ළපටින් ඇතුළු ගැහැනු, පිරිමි සියයකට ආසන්න පිරිසක් මෙලෙස මේ ජරාජීර්ණ කසිකබල් දුම්රිය පොළ කරා පැමිණෙන්නේ විනෝද චාරිකාවක හෝ වන්දනාවක යෑම සඳහා නොවේ. ඔවුන් බොහෝ දෙනෙකුගේ මුහුණුවලින් දිස්වන්නේ රෝගී විඩාබර දුක්මුසු ස්වරූපයකි. ඇතැමෙකු කෙඳිරි ගාමින් වකුටු වෙමින් දැඩි ශරීර අපහසුතාවන් උසුලාගෙන සිටින ආකාරය දකින කවරෙකු තුළ වුවද ඇති වන්නේ දැඩි කම්පාවකි.

ක්‍රිෂ්ණා එක්ස්ප්‍රස්, අජන්තා එක්ස්ප්‍රස්, දක්ෂින් එක්ස්ප්‍රස්, මහානාගරී එක්ස්ප්‍රස් ආදි නම් ගණනාවකින් හැඳින්වෙන ඉන්දියාවේ දුම්රිය අතර බතින්දාවට පැමිණෙන අංක 339 දරණ  දුම්රිය හැඳින්වෙන්නේ Cancer Express හෝ Cancer Train නමිනි. එරට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අංක 339 දුම්රියටද වෙනත් සැබෑ නමක් තබා ඇතිවා විය හැක. එහෙත් එම නම කුමක්දැයි මෙහි සිටින කීයෙන් කී දෙනෙකු දනීදැයි යන්න සැක සිතෙන තරමටම කැන්සර් එක්ස්ප්‍රස් මිනිසුන් අතර ප්‍රචලිත වී ඇත.

ඉහත කී දුම්රිය පොළට වී දැඩි දුක්ඛිත ස්වරූපයෙන් එකල මෙකල වෙමින් සෑම මගියෙකුම නෙත් දල්වා බලා සිටින්නේ කැන්සර් එක්ස්ප්‍රස් එනතුරුය. එම වේලාවට එහි පැමිණ සිටින මගීන් අතරින් බහුතරයක් පිළිකා රෝගයෙන් පෙළනේනෝ සහ ඔවුන්ගේ ඥාතීහු වෙති. දිනකට 75-100 ත් අතර පිළිකා රෝගීන් සංඛ්‍යාවක් බතින්දාවෙන් මෙම දුම්රියට ගොඩ වී කිලෝ මීටර 350 ක් දුරින් පිහිටි රාජස්ථානයේ බිකානර් (Bikaner) නගරය දක්වා යෑම නිසාම මෙම දුම්රියට කැන්සර් එක්ස්ප්‍රස් නාමය ලැබී ඇත. පුරා රැයක් මග ගෙවා ඔවුන් මේ යන්නේ බිකානර්හි ඇති රජය මගින් පාලනය කෙරෙන ප්‍රාදේශීය පිළිකා මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ගැනීම සඳහායි. මේ ‘කැන්සර් එක්ස්ප්‍රස්’ පසුපස ලියවී ඇත්තේ බතින්දාවේ මිනිසුන් විසින්ම ඔවුන්ගේ ජීවිත තුළ ලියාගත් ඛේදජනක ඉරණමයි.

“සෑම රාත්‍රියකම සියයකට ආසන්න මිනිස්සු මේ දුම්රියට ගොඩ වෙන හැටි මම දකිනවා. ඔවුන් හරිම අසරණයි. එක පැත්තකින් රෝගය. අනික් අතින් දුප්පත් කම. මේ විදියට වද විඳිමින් හරි මේ ගමන යනවා හැර ඔවුන් වෙන මොනව කරන්නද? අපිට ආසන්නම රෝහල තියෙන්නෙත් කිලෝමීටර 150 ක් විතර දුරින්. ඒත් ඒකෙත් පිළිකාවලට ප්‍රතිකාර හොඳින් කෙරෙන්නෙ නෑ. මේ නගරයේ හැම වීදියකම පිළිකා රෝගීන් ඉන්නවා. මේක මුළු පළාතටම ශාපයක්. හරිම අවාසනාවන්ත තත්ත්වයක්” බතින්දා දුම්රියපොළේ තේ අලෙවිසලෙහි විකී කුමාර් පවසන්නේ එසේය.

රෝහලට යාමට දුම්රිය පොළේ රැඳී සිටි එක පවුලක් පැමිණ තිබුණේ කිලෝ මීටර 10 ක් එපිටින් පිහිටි ගමක සිටය. ඔවුන්ගේ රෝගියා 17 හැවිරිදි පිරිමි ළමයෙකි. ගලනාලයේ පිළිකාවකින් පීඩා විඳින එම තරුණ දරුවා පිළිබඳව ඔහුගේ  මව පැවසූවේ මෙවැන්නකි. “මගේ දරුවට මෙහෙම වුණේ ඇයි කියල අපිට තේරෙන්නෙ නෑ. පුතා කිසි දවසක දුම්කොළ, මධ්‍යසාර පාවිච්චි කරල නෑ. මගේ දරුව විතරක් නෙවෙයි. අපේ ගමේ මේ වයසේ දරුවො හුඟක් ඉන්නවා මේ විදියට ලෙඩ වෙලා”

මේ ආකාරයට පිළිකා දුම්රියක් නිර්මාණය වීමට තරම් බතින්දාවට සිදුවී ඇති විපත කුමක්ද?

අතීතයේ මෙන්ම අදටත් සශ්‍රීක කෘෂිකාර්මික ප්‍රදේශයක් ලෙස සැලකෙන බතින්දාව ඉන්දියාවේ විශාලතම ධාන්‍ය ආහාර නිෂ්පාදන ප්‍රදේශය ලෙසත් විශාලතම කපු වෙළඳපොළ සහිත ප්‍රදේශය ලෙසත් සැලකේ. කෘෂිකර්මාන්තයට අමතරව අද එම ප්‍රදේශය දැඩි කාර්මීකරණයට නතු වූ ප්‍රදේශයක් වී ඇත්තේ තාප විදුලි බලාගාරයක්, ගල් අඟ=රු විදුලි බලාගාර දෙකක්, පොහොර නිෂ්පාදනාගාරයක්, සිමෙන්ති කර්මාන්ත ශාලා කිහිපයක් සහ අතිවිශාල තෙල් පිරිපහදුවකින් සමන්විත වෙමිනි. මේ සියලූම කර්මාන්ත ශාලා පිළිකා කාරක කෘත්‍රිම රසායන ගණනාවක් පරිසරයට මුදා හැරෙන චක්‍රීය ක්‍රියාවලීන් සහිත වූ ඒවා බව අමුතුවෙන් කිව යුතු නැත. මේ හැරුණු විට අද එම ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයද සම්පූර්ණයෙන්ම පාහේ කෘත්‍රිම රසායන ද්‍රව්‍ය භාවිතයෙන් සිදුකෙරේ. ගොවීන් විසින් ඉවක් බවක් නොමැතිව කෘමිනාශක භාවිතයට හුරු වීම නිසා එම ප්‍රදේශවල ජල මූලාශ්‍ර අපවිත්‍ර වීමද කලක සිටම සිදුවන්නකි. 2007 වසරේදී වසංගත රෝග පිළිබඳව සිදුකළ අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ බතින්දාවේ මතුපිට ජල ස්ථර ආසනික්, කැඩ්මියම්, ක්‍රෝමියම්, සෙලේනියම් සහ රසදිය ආදි විෂ රසායනයන්ගෙන් දූෂිත වී ඇති බවයි. එපමණක් නොව, අනාරක්ෂිත කෘමිනාශක භාවිතය නිසා මේ ගොවීන් බොහෝ දෙනෙකු විවිධ වූ සෞඛ්‍ය ගැටලූ රැසකට මුහුණ පා ඇති බවද අනාවරණය කරගෙන ඇත.

කලෙක සිට පරිසරය පිළිබඳව මිනිසුන් දැක්වූ නොසැලකිලිමත් කමේ ප්‍රතිවිපාක බතින්දා වැසියන් වර්තමානයේදී යහමින් අත්විඳිමින් සිටී. දුප්පත් පොහොසත් බේදයකින් තොරව පිළිකා රෝග, ස්වශන ආබාධ, විවිධ චර්ම රෝග, මළදරු උපත්, නොමේරූ දරු උපත්, ගබ්සා වීම් ආදියට මොවුහු ගොදුරු වෙමින් සිටිති. මෙම රෝගවලට ගොදුරු වීමෙන් පසු ධනවතුන් සහ දුප්පතුන් අතර ඇති එකම වෙනස, ධනවතුන් සඳහා සුපිරි පෞද්ගලික රෝහල් බතින්දාව අවට තිබීමත් දුප්පතුන්ට සැතපුම් ගණන් මග ගෙවා රාත්‍රී නිදිවරමින් දුම්රියක ගාල් වී ආණ්ඩුවේ පිළිකා මධ්‍යස්ථානවලට හෝ රෝහල්වලට යාමට සිදුවීමත් පමණි.

බතින්දාවේ පවතින මෙම තත්ත්වය ලෝකයේ කෘෂි රසායනයන්ට සහ කාර්මීකරණයට දැඩිව ගොදුරු වූ බොහෝ රටවල්වල අද වන විට දක්නට ලැඛෙන පොදු තත්ත්වයකි. ශ්‍රී ලංකාවේ උතුරු මැද කලාපයේ පැතිර ගොස් ඇති වකුගඩු ආබාධය මීට හොඳම උදාහරණයකි. කෘෂිකර්මාන්තය සඳහා භාවිත කරන කෘමිනාශක හේතුවෙන් ජල මූලාශ්‍ර අපවිත්‍ර yjjවීමත් එයින් පවුල් පිටින් වකුගඩු ආශ්‍රිත රෝගාබාධයන්ට ගොදුරු වීමත් නිසා තව තවත් සෞඛ්‍ය හා සාමාජයීය ගැටලූ රාශියක් හට ගෙන තිබීම අද අප රට තුළ දක්නට ලැඛෙන ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි. ආර්ථීකමය අතින් ලෝකයේ හිණිපෙත්තේ සිටින චීනය අද මුහුණ පා ඇති උග්‍ර පාරිසරික ගැටලූවද මීට හොඳ උදාහරණයකි. මිනිසා විසින් පරිසරයට එරෙහිව සිදුකළ කි්‍රයාකාරකම් වලට දෙස් දෙමින් අද එරට ප්‍රධාන නගර බොහොමයක් දහවල් කාලයේ පවා සිහින් මීදුමක් වැනි පටලයකින් වැසී පවතී. සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම සඳහා අවශ්‍ය පිරිසිදු වායු පොදක් සහිත හුස්මක් ගැනීම පවා අද චීන නාගරිකයන්ට සිහිනයකි. ඇතැම් අවස්ථාවල මුළු නගරයම අඩපණ කිරීමට තරම් එරට වායු දූෂණය බලවත් වී ඇත. පිළිකා, ස්වශන රෝග, චර්ම රෝග, මළ දරු උපත් බහුලව සිදුවන අතර මේ වන විට චීන නාගරිකයන්ට එළිමහනේ තබා ඔවුන්ගේ නිවෙස් තුළ වත් සිටිය නොහැකි තරමට පරිසර දූෂණය ඉහළ ගොස් පවතී.

ලෝකයේ පරිසර තත්ත්වයන් පිළිබඳව නිරතුරුව අවධානය යොමු කරන ලෝක සෞඛ්‍ය සංවිධානය 2015 දී නිකුත් කළ වාර්තාවකට අනුව එම වසරේ ලොව වැඩිම පරිසර දූෂණය සහිත ස්ථාන ලෙස පිළිවෙළින් ඉරානයේ අහ්වාෂ් (Ahvaz) චීනයේ ලින්ෆෙන් (Linfen) යුක්‍රේනයේ චර්නෝබිල් (Chernobyl)  නම් කර තිබුණි.

මේ සෑම නගරයක්ම මෙලෙස දූෂිත නගර ලෙස නම් වීමට පෙර ගහකොළ නිල්ල පිරුණු, පක්ෂීන් නිරන්තරව ගැවසුණු ප්‍රදේශ විය. ගංගා ඇළදොළෙහි නිල් දියෙහි මත්සයින් බහුල විය. එහෙත් ඉවක් බවක් නොමැතිව ගස්වැල් කපා දමමින් කර්මාන්ත පුර ඉදිකිරීමත්, කෘමිනාශක භාවිතයත් සමග ඒ ප්‍රදේශවල තත්ත්වය සහමුලින්ම වෙනස් විය. පරිසරය තුළ සිදුවන වෙනස මිනිසාට කලින් සතා සීපාවුන්ට දැනේ. ඒ නිසාම එම ප්‍රදේශවල සිටි පක්ෂීන් ඇතුළු සතුන් වහ වහා උන්ගේ වාසස්ථාන හැර දා පළා යෑම පළමුව සිදුවිය. එසේ පළා යෑමට නොහැකි වූ සතුන් විවිධ වූ ව්‍යසනයන් හේතුවෙන් විනාශ වී ගියහ.

මේ තත්ත්වයට අපූරු උදාහරණයක් අප ඉහත සඳහන් කළ පන්ජාබ් ප්‍රාන්තයේ බතින්දාවෙන් දැක්විය හැක. එම පරිසරයට සිදුවන ව්‍යසනය මිනිසුන්ට දැනෙන්නට පෙර සතුන්ට දැනී තිබුණි. ඉන්දියාවේ ජාතික පක්ෂියා ලෙස සැලකෙන මොණරා පන්ජාබ් ප්‍රාන්තයේ ගොවිබිම් තුළද ඉතාමත් සුලභව දක්නට ලැබුණු සතෙකි. එහෙත් ක්‍රම ක්‍රමයෙන් එම ගොවිබිම්වල සිටි මොණරුන් අඩුවීමට පටන් ගෙන තිබුණු අතර අද වන විට එම පළාත්වල මොණරුන් නැතිම තත්ත්වයකට පත්වී ඇත. දියකඩිතිවලට විෂ මුසුවීමත් සමග ඒවායේ විසූ මත්සයින් විනාශ වී යාමට පටන් ගැනුණු අතර එම මසුන් ආහාරයට ගැනීමට හුරු වී සිටි පක්ෂීන්ගේ පැමිණීමද ඒ නිසා නැවතී ඇත.

පරිසරය විනාශ කරමින් මිනිසා විසින් සිදුකරන නොනවතින අනර්ථකාරී ක්‍රියා නිසා අද පන්ජාබ වැසියන්ට පිළිකා දුම්රියක් ලැබී ඇත. දුම්රිය මගින් පිළිකා රෝගීන් නොගෙනිච්චද ලොව පුරා බොහෝ තැන්වල තත්ත්වයෙහිද මීට වැඩි වෙනසක් නොමැත. ලොව දස දෙසින්ම දිනෙන් දිනම පිළිකා රෝගයට ගොදුරු වූවන් සහ එයින් මරුමුවට පත්වූවන් පිළිබඳව අසන්නට ලැබේ. එය කෙතරම් ඛේදවාචකයක් වී ඇත්ද යත්, පිළිකා රෝගයට ගොදුරු වූ ඥාතියකු නොමැති නිවසක් සොයා ගැනීම ‘කිසිවෙකු නොමළ ගෙයකින් අබ සොයා යෑම’ මෙන් දුෂ්කර වී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන්ට අනුව ලෝකයේ බහුතරයක් මරණ සිදුවීමට ප්‍රධානතම හේතුව ලෙස දැක්වෙන්නේද පිළිකාවයි. ඊට අනුව ලෝක ජනගහනයෙන් 20,000 ක් දෙනා දෛනිකව පිළිකාව නිසා මරු වැළඳ ගනී. එය කෙතරම් දරුණු තත්ත්වයක්ද යත්, ඒඩ්ස්, ක්ෂයරෝගය හා මැලේරියාව යන රෝග තුන නිසා දිනකදී මිය යන රෝගීන්ගේ එකතුවට වඩා පිළිකාව නිසා මිය යන රෝගීන් සංඛ්‍යාව වැඩි බව පැවසේ. වර්තමානයේදී වසරකට අලූතින් පිළිකා රෝගයට ගොදුරු වන්නන් එක් කෝටි හතලිස් ලක්ෂයක් පිළිබඳව වාර්තා වන අතර 2025 වන විට එය එක් කෝටි අනූ ලක්ෂය දක්වාත් 2035 වන විට දෙකෝටි විසිහතර ලක්ෂයක් දක්වාත් වැඩි විය හැකි බව WHO  පෙන්වා දේ.

මේ ඛේදජනක ඉරණමට වැඩි වශයෙන් ගොදුරු වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් බව දැක්වෙන අතර එහි සත්‍යතාවක් පවතින බව ලොව අඩු ආදායම් ලබන සහ වැඩි ආදායම් ලබන රටවල්වල ජනතාව පිළිකාවට ගොදුරු වීමේ ප්‍රවණතාව සොයා බැලීමේදී පෙනී යයි. වර්තමානයේ ඒ පිළිබඳව ඇති සංඛ්‍යාත්මක ප්‍රතිශතයන්හි දැක්වෙන්නේ, වැඩි ආදායම් ලබන රටවල 8% ක් දෙනාද අඩු ආදායම් ලබන රටවල 28% ක් දෙනාද පිළිකාවට ගොදුරු වන බවයි.

මානව ඉතිහාසය තුළ හඳුනාගත් දරුණුම රෝග පීඩා අතරින් එකක් ලෙස සැලකෙන පිළිකාව මිනිස් සිරුරේ හටගන්නේ ඇයිද යන්න තවමත් අවිනිශ්චිත කරුණක් වුවත් මිනිස් ක්‍රියාකාරම් මීට ඍජුවම බලපාන බව පර්යේෂණ මගින් තහවුරු කරගෙන ඇත. ඒ අනුව මෙය බොහෝ දුරට අප විසින්ම හාරා කපා ගත් වළෙකි. ඉන් ගොඩ ඒමද කළ යුත්තේ අප විසින්මය. ඒ වෙනුවෙන් අද ලොව පුරා විවිධ සංවිධාන රැසක් පෙරමුණ ගෙන සිටින අතර එහි මූලික පියවරක් ලෙස විෂ ද්‍රව්‍යවලින් තොර, කෘෂි රසායනවලින් තොර ආහාර පාන ලබාගැනීම කෙරෙහි අවධානය යොමු වී ඇත. මේ සඳහා බොහෝ දෙනෙකු දක්වන උනන්දුව කාබනික පොහොර යොදාගනිමින් නිෂ්පාදනය කරන ආහාර සඳහා අද වෙළඳපොළ තුළ ඇති ඉල්ලූම දෙස බැලීමෙන් පෙනී යයි. ඒ සමගම වායු දූෂණය වැළැක්වීම සඳහාද විවිධ රටවල් ඉතාමත් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පෙනී යයි. විශේෂයෙන්ම ගල් අඟුරුවලින් විදුලිය උත්පාදනය කෙරෙන බලාගාර සම්පූර්ණයෙන්ම නවතා දැමීමට කටයුතු කිරීමත්, ඉන්ධන බලය වෙනුවට විදුලියෙන් දුවන මෝටර් රථ ප්‍රචලිත කිරීම සඳහා විශේෂ පෙළඹවීම් සිදුකිරීමත් බොහෝ දියුණු රටවල් ආරම්භ කර ඇත.

කලකට පෙර ගත යුතුව තිබූ පියවරවල් කල් ගත වී හෝ ගැනීමට කටයුතු කිරීම සැනසිල්ලක් දනවන්නක් වුවත් දියුණු වෙමින් පවතින ඇතැම් රටවල් මෙම තත්ත්වයෙහි ඇති බරපතල බව තවමත් තේරුම් ගෙන නොමැති බවද පෙනී යයි. ඊට හොඳම උදාහරණයක් ලෙස නුදුරේදී ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට පිඹුරු පත් සකසන සාම්පූර් ගල් අඟ=රු බලාගාරය දැක්විය හැක.

රටට, රටේ ජනතාවට ආදරය කරන කිසිම පුද්ගලයෙකුට පරිසරයට හානියක් සිදුකළ නොහැක. පරිසරය රැකීමෙන් ගහකොළ, සතා සීපාව මෙන්ම අප සියල්ලන්ද රැකෙන බව සෑම විටෙකම සිහි තබා ගත යුත්තකි. ‘පරිසර දිනය’ එක් දිනකට පමණක් නොව සෑම දවසකටම වලංගු වන බව මිනිසා තේරුම් ගතහොත් පන්ජාබයේ සිට රාජස්ථානයට යන අංක 339 දරණ ‘කැන්සර් එක්ස්ප්‍රස්’ වෙනුවට එරට දුම්රිය දෙපාර්තමේන්තුව එම දුම්රියට තැබූ සැබෑ නම මිනිසුන්ට සිහියට එනු ඇත.

 

සටහන – චමරි අබේසිංහ

Share This:

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*