තහවුරු කළ ලෝක තෙල් නිධි සිතියම දෙස බලන විට කැනඩාව සැබවින්ම දැවැන්තයෙකි. වෙනිසියුලාව, සවුදි අරාබිය සහ ඉරානයට පසුව ලොව සිව්වන විශාලතම භූගත තෙල් සංචිතයට හිමිකම් කියන කැනඩාව, ඇල්බර්ටා ප්‍රාන්තයේ ඇති ‘ඛනිජ තෙල් පස් නිධි’ (Oil Sands) නිසා ගෝලීය බලශක්ති සුපිරි බලවතෙකු ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. එහෙත්, මේ ‘සම්පත් සාගරය’ මත හිඳිමින්ම, ඉන්ධන පිරවුම්හලකට ගිය විට කැනේඩියානුවෙකුට ගෙවීමට සිදුවන අධික මිල ගණන් සහ ඇතැම් විට අසන්නට ලැඛෙන ඉන්ධන හිඟය පිළිබඳ පුවත් බොහෝ දෙනා තුළ කුතුහලයක් මෙන්ම විමතියක් ඇති කරවයි.

මෙම තත්ත්වය වර්තමානයේ වඩාත් දරුණු අතට හැරී ඇත්තේ මැදපෙරදිග කලාපයේ ඇවිළී යන දරුණු යුද ගින්න හේතුවෙනි. තෙල් සැපයුම් දාමයේ හදවත බඳු මැදපෙරදිග මෙලෙස කම්පනයට ලක් වෙද්දී, එහි සෘජු බලපෑම ගෝලීය තෙල් මිල කෙරෙහි එල්ල වී ඇත්තේ දරාගත නොහැකි අයුරිනි.

ලොව පුරා ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළ යද්දී, සංවර්ධිත රටවල් අතර ඉහළම තෙල් මිලක් ගෙවන රටවල් ලැයිස්තුවේ කැනඩාවද අද ඉදිරියෙන්ම සිටීම සැබවින්ම උත්ප්‍රාසාත්මක කරුණකි. තමා ජීවත් වන රටේ පොළොව යට ලෝකයේ හතරවැනි විශාලතම තෙල් සංචිතය තිබියදී, තෙල් මිල ඉහළම රටවල් අතර තම රටේ නමද කියවීම කැනේඩියානු ජනතාව තුළ ඇති කරන්නේ විස්මිත හැඟීමකි.

“අපට මෙතරම් තෙල් තිබියදීත්, මිල මෙතරම් වැඩි ඇයි?” යන්න අද රටේ ප්‍රධානතම කතාබහක් බවට පත්ව ඇත්තේ එබැවිනි.

මෙම අර්බුදය හුදෙක් එක් කරුණක් මත පදනම් වූවක් නොව, එය සංකීර්ණ තාක්ෂණික, දේශපාලනික සහ ආර්ථීක හේතු ගණනාවක එකතුවකි. රටේ සම්පත් බහුලත්වය සහ ජනතාව අත්විඳින මිල පීඩනය අතර ඇති මෙම නොගැලපීම පිටුපස ඇති ප්‍රධාන සාධක කිහිපයක් මෙසේ හඳුනාගත හැකිය.

සම්පත් ඇතත් භාවිතයට ගැනීමේ දුෂ්කරතාව

කැනඩාවේ බහුතර තෙල් සම්පත් ඛනිජ තෙල් පස් (Oil Sands) ලෙස පවතින අතර, එම නිධිවලින් තෙල් පිරිපහදු කිරීම මැදපෙරදිග රටවල ඇති සාමාන්‍ය බොරතෙල් (crude oil) ලබාගැනීම මෙන් සරල ක්‍රියාවලියක් නොවේ. ඛනිජ තෙල් පස් භාවිතයට සුදුසු තත්ත්වයට පත් කිරීමට විශාල තාක්ෂණික ක්‍රියාවලියක් සහ ඉහළ පිරිවැයක් අවශ්‍ය වේ. මේ නිසා, තෙල් නිධි තිබුණත් එය ඉක්මනින් හා ලාභදායක ලෙස වෙළඳපොළට ගෙන ඒම සරල කටයුත්තක් නොවේ.

  1. Bitumen: ගලා නොයන ‘ඝන’ තෙල්වල ස්වභාවය

කැනඩාවේ Oil Sands එසේත් නැතිනම් ඛනිජ තෙල් පස් තුළ අඩංගු වන්නේ බිටුමන් නමැති අතිශය උකු හයිඩ්‍රොකාබන් වර්ගයකි. සාමාන්‍ය බොරතෙල් දියරයක් මෙන් ගලා ගියද, බිටුමන් සාමාන්‍ය උෂ්ණත්වයේදී පවතින්නේ ඝන තත්ත්වයට ආසන්නවය. මෙය වැලි, මැටි, පස් සහ ජලය සමඟ තදින් මිශ්‍ර වී පවතින බැවින් සාමාන්‍ය ක්‍රමයට පොම්ප කළ නොහැක. මෙහි ඇති හයිඩ්‍රොකාබන් අණු ඉතා විශාල සහ බරින් වැඩි අතර, සල්ෆර් සහ ලෝහ වර්ග වැඩි සාන්ද්‍රණයකින් අඩංගු වීම නිසා ඒවා පිරිසිදු කිරීමට අතිරේක රසායනික ක්‍රියාවලීන් රැසක්ද අවශ්‍ය වේ.

2. ඛනිජ තෙල් පස්වලින් තෙල් වෙන්කර ගන්නා විද්‍යාත්මක ක්‍රමවේද
ඛනිජ තෙල් පස්වලින් තෙල් වෙන් කර ගැනීම සඳහා ප්‍රධාන ක්‍රම දෙකක් භාවිත කරන අතර, ඒ දෙකම අධික බලශක්ති පරිභෝජනයක් සහිත තාක්ෂණයන් වේ.
Surface Mining: ඛනිජ තෙල් පස් පොළොව මතුපිටට ආසන්නව ඇති විට (මීටර් 75 ට වඩා අඩු ගැඹුරකදී) මෙම ක්‍රමය යොදාගනී. මෙහිදී විශාල යන්ත්‍ර මගින් වැලි හාරා ඉවත් කර, සෙල්සියස් අංශක 50-80 පමණ උෂ්ණත්වයක් සහිත උණු වතුර සහ රසායනික ද්‍රව්‍ය භාවිත කර වැලිවලින් බිටුමන් වෙන් කරනු ලැබේ.
Steam Assisted Gravity Drainage – SAGD: ඛනිජ තෙල් පස්  පොළොව අභ්‍යන්තරයේ ගැඹුරින් පිහිටන විට, පොළොව යටට අධික පීඩනයකින් යුත් වාෂ්ප (steam) විදිනු ලැබේ. එම තාපය මගින් ඝන වී ඇති බිටුමන් දිය වී (එහි දුස්ස්‍රාවිතාව අඩු වී) පහළට ගලා එන අතර, පසුව එය පොම්ප මගින් මතුපිටට ගනු ලැබේ.

Synthetic Crude Oil
නිෂ්පාදනය
මතුපිටට ලබාගන්නා බිටුමන් සෘජුවම පිරිපහදු කළ නොහැක. ඒ සඳහා වැඩිදුර ක්‍රියාවලියකට ලක් කළ යුතුය (Upgrading). මෙහිදී බිටුමන්වල ඇති අතිරික්ත කාබන් ඉවත් කිරීම (Carbon rejection) සහ හයිඩ්‍රජන් අණු එකතු කර අණුක ව්‍යුහය ශක්තිමත් කිරීම (Hydrogen addition) සිදු කෙරේ. මෙම සංකීර්ණ ක්‍රියාවලියෙන් පසුව ලැඛෙන ‘සංශ්ලේෂිත බොරතෙල්’ (Synthetic crude oil) පමණක් පෙට්‍රල් හෝ ඩීසල් නිපදවීමට යොදාගත හැකිය.

4. බලශක්ති කාර්යක්ෂමතාව සහ පිරිවැය අර්බුදය
විද්‍යාත්මකව බලන විට, ඛනිජ තෙල් පස්වලින් තෙල් බැරලයක් නිපදවීමට තවත් බලශක්ති ප්‍රමාණයක් (විශේෂයෙන් ස්වභාවික වායුව) විශාල වශයෙන් වැය කිරීමට සිදුවේ. මෙය බලශක්ති ආයෝජනය මත ප්‍රතිලාභය අවම කරන සාධකයකි. කැනඩාවේ තෙල් බැරලයක අවම නිෂ්පාදන පිරිවැය (breakeven Price) තීරණය වීමේදී බලපාන සාධක අතිශය සංකීර්ණ වේ. ඉහත සඳහන් කළ තාක්ෂණික අභියෝගවලට අමතරව, මෙරට ක්‍රියාත්මක වන දැඩි පාරිසරික රෙගුලාසිද මේ සඳහා සෘජුවම බලපායි. විශේෂයෙන්ම නිස්සාරණ (Extraction) ක්‍රියාවලියේදී ඉතිරි වන අපජලය කළමනාකරණය කිරීම (Tailings pond management) සහ කැණීම් කටයුතු අවසන් වූ පසු එම භූමිය නැවත යථා තත්ත්වයට පත් කිරීම  (Land reclamation) වැනි ක්‍රියාවලීන් සඳහා වැය වන අතිවිශාල පිරිවැය හේතුවෙන්, වෙළඳපොළට මුදා හැරිය හැකි මට්ටමේ තෙල් බැරලයක මූලික පිරිවැය ඇමරිකානු ඩොලර් 40 සිට 70 දක්වා වූ ඉහළ අගයක් ගනී.
මෙම තත්ත්වය ලොව අනෙකුත් ප්‍රධාන තෙල් නිෂ්පාදකයන් සමඟ සැසඳීමේදී විශාල පරතරයක් පෙන්නුම් කරයි. උදාහරණයක් ලෙස, සවුදි අරාබිය වැනි රටවල භූගතව පවතින දියර බොරතෙල් ලබාගැනීමට වැය වන්නේ බැරලයකට ඇමරිකානු ඩොලර් 10 කටත් වඩා අඩු මුදලකි.

කැනේඩියානු තෙල් අර්බුදයේ ද්විත්ව උගුල

කැනඩාවේ තෙල් සම්පත සහ පාරිභෝගිකයා අතර ඇති සම්බන්ධය බිඳ දමන ප්‍රධානතම සාධක දෙකක් හඳුනාගත හැකිය. ඉන් පළමුවැන්න නම් පවතින ප්‍රවාහන අවහිරතාවයයි (Transportation bottleneck). තෙල් නිපදවන බටහිර කැනඩාවේ සිට වැඩිම ජනගහනයක් වෙසෙන නැගෙනහිර ප්‍රාන්තවල පිරිපහදු මධ්‍යස්ථාන දක්වා තෙල් ගෙන යාමට ඇති ලාභදායී සහ ආරක්ෂිතම ක්‍රමය නළ මාර්ග වුවද, කැනඩාව තුළ ඒවා ඉදිකිරීම හුදු ඉංජිනේරුමය කර්තව්‍යයකට වඩා සංකීර්ණ දේශපාලන සහ සමාජීය අරගලයක් බවට පත්ව ඇත. ප්‍රමාණවත් නළ මාර්ග පද්ධතියක් නොමැතිකම නිසා කැනඩාවට තමන් නිපදවන තෙල් වෙළඳපොළට ගෙන යෑමේ විශාල බාධාවකට මුහුණ දීමට සිදු වී තිබේ.

කැනඩාව වර්තමානයේ මුහුණ දෙන බලශක්ති අර්බුදය දෙස ගැඹුරින් බලන විට පෙනී යන සුවිශේෂී කරුණක් නම්, මෙය හුදෙක් ප්‍රවාහන දුෂ්කරතාවයක් පමණක්ම නොවන බවයි. ඇත්ත වශයෙන්ම, මේ පිටුපස ඇති බරපතලම ගැටලුව වන්නේ මෙරට තෙල් පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය තුළ පවතින අර්බුදයයි.

කැනඩාවේ පිරිපහදු ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේ, දේශීයව නිපදවන බොරතෙල් වර්ග සහ දැනට පවතින පිරිපහදු මධ්‍යස්ථානවල : (Refineries) තාක්ෂණික හැකියාවන් අතර පවතින නොගැලපීමයි. වර්තමානයේ කැනඩාව සතු පිරිපහදු මධ්‍යස්ථාන බොහොමයක් මීට දශක කිහිපයකට පෙර ඉදිකරන ලද ඒවා වන අතර, එම Refineries මුලින් සැලසුම් කර ඇත්තේ පහසුවෙන් ගලා යන ලුහු බොරතෙල් (Light Crude Oil) පිරිපහදු කිරීම සඳහාය.

එහෙත් කැනඩාවේ, විශේෂයෙන්ම ඇල්බර්ටා ප්‍රාන්තයේ නිපදවන තෙල්වලින් බහුතරයක් අතිශය උකු සහ බරැති Bitume වර්ගයට අයත් වේ. මෙම බරැති බිටුමන්, පෙට්‍රල් හෝ ඩීසල් බවට පත් කිරීමට ප්‍රථම විශේෂ තාක්ෂණයක් මගින් සංශ්ලේෂිත බොරතෙල් (Synthetic Crude Oil) බවට පරිවර්තනය කළ යුතුව ඇත.

මේ වන විට එඩ්මන්ටන්හි Scotford Upgrader & Refinery” Fort McMurrayහි Suncor Base Plant” සස්කැච්වන්හි Co-op Heavy Oil Upgrader (CCR) සහ ඇල්බර්ටාහි Strathcona Refinery ඇතුළු මධ්‍යස්ථාන කිහිපයක් මෙසේ බිටුමන් පිරිපහදු කරමින් සංශ්ලේෂිත බොරතෙල් සහ අනෙකුත් ඉන්ධන වර්ග නිපදවනු ලබයි.

කෙසේ වෙතත්, බිටුමන් ලුහු බොරතෙල් බවට හැරවීමේ සහ පිරිපහදු කිරීමේ මෙම විශේෂිත මධ්‍යස්ථාන සංඛ්‍යාව, කැනඩාව නිපදවන සමස්ත බිටුමන් ධාරිතාව හැසිරවීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. දේශීයව පිරිපහදු කිරීමේ පවතින මෙම සීමිත හැකියාව හේතුවෙන්, කැනඩාවට සිදුව ඇත්තේ අතිවිශාල බරැති බොරතෙල් තොගය ඉතා අඩු මිලට ඇමරිකාවට විකුණා, ඔවුන්ගෙන් පිරිපහදු කළ ඉන්ධන හෝ පිරිපහදු කිරීමට පහසු සැහැල්ලු තෙල් නැවත ඉහළ මිලකට ආනයනය කිරීමටයි.

රට තුළම සම්පත් තිබුණත්, ප්‍රවාහන දුෂ්කරතා සහ පිරිපහදු පද්ධතියේ පවතින මෙම ද්විත්ව අර්බුදය නිසා කැනේඩියානු පාරිභෝගිකයාට අද ලෝකයේ ඉහළම ඉන්ධන මිලකට මුහුණ දීමට සිදු වී ඇත. Trans Mountain වැනි දැවැන්ත නළ මාර්ග ඉදිකිරීමෙන් පවා සිදු වන්නේ මෙම අපනයන ක්‍රියාවලිය පහසු කිරීම මිස, රට තුළ පිරිපහදු ධාරිතාව වැඩි කිරීම නොවන බව වටහා ගැනීම වැදගත්ය. කෙටියෙන් කිවහොත්, කැනඩාව යනු zසම්පත් තිබුණත් ඒවා තම ප්‍රයෝජනයට හසුරුවා ගැනීමට නොහැකි වූZ අමුතුම ආකාරයේ බලශක්ති උගුලකට හසු වූ රටකි.

අපනයනය කෙරෙහි පවතින දැඩි අවධානය

කැනඩාව යනු දිනකට බොර තෙල් බැරල් මිලියන 4 සිට 5 දක්වා ප්‍රමාණයක් නිපදවන ලෝකයේ ප්‍රමුඛතම තෙල් නිෂ්පාදකයෙක් වෙතත්, මෙම දැවැන්ත නිෂ්පාදනයෙන් වැඩි ප්‍රතිලාභයක් හිමිවන්නේ කැනේඩියානු පාරිභෝගිකයාට නොව විදේශීය වෙළඳපොළටයි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ කැනඩාව නිපදවන බොර තෙල්වලින් සියයට 80 ක් පමණ සෘජුවම ඇමරිකා එක්සත් ජනපදය වෙත අපනයනය කිරීමයි. ඇමරිකාව කැනේඩියානු තෙල්වල විශාලතම සහ ප්‍රධානතම පාරිභෝගිකයා වේ.

මෙම දැඩි අපනයන ප්‍රමුඛතාවය නිසා දේශීය භාවිතයට වඩා විදේශ වෙළඳපොළේ ඉල්ලුම සපුරාලීමට නිෂ්පාදකයන් පෙළඹී සිටී. සරලවම කිවහොත්, කැනඩාව තෙල් නිපදවන්නේ තම රටේ වැසියන්ගේ ඉන්ධන ටැංකි පිරවීමට වඩා ලෝක වෙළඳපොළ ජය ගැනීමටය.

ලෝක වෙළඳපොළ මිල සහ ගෝලීය බලපෑම්

කැනඩාවේ නිධි තුළ තෙල් තිබූ පමණින් එහි මිල තීරණය කිරීමේ පූර්ණ බලය කැනඩාව සතු නොවේ. ඉන්ධන මිල යනු දේශීය සාධකවලට වඩා ගෝලීය දේශපාලන හා ආර්ථීක ප්‍රවණතා මත තීරණය වන්නකි.

OPEC තීරණ: මැදපෙරදිග රටවල් ඇතුළු තෙල් අපනයනය කරන රටවල සංවිධානය (OPEC) ගන්නා තීරණ ලෝක වෙළඳපොළේ මිල තීරණය කරන අතර, කැනඩාවටද එම මිල ගණන් අනුගමනය කිරීමට සිදු වේ.
ජාත්‍යන්තර ගැටුම්: ලෝකයේ කොහේ හෝ තැනක ඇති වන යුදමය තත්ත්වයන් හෝ දේශපාලන අස්ථාවරත්වයන් නිසා ලෝක බොරතෙල් මිල ඉහළ යන විට, එහි දෝංකාරය කැනඩාවේ පිරවුම්හල්වලින්ද ඇසෙන්නට පටන් ගනී.

අපට මිල තීරණය කළ නොහැකි ඇයි?

“කැනඩාවේම තෙල් පිරිපහදු කර දේශීය පාරිභෝගිකයාට ලබා දෙන්නේ නම් ඉන්ධන මිල පාලනය කළ නොහැකිද?” යන්න බොහෝ දෙනා නගන තර්කානුකූල පැනයකි. එහෙත් මෙහි ප්‍රායෝගික යථාර්ථය ඛෙහෙවින් සංකීර්ණ වීමට ප්‍රධාන හේතු කිහිපයක් බලපායි. ප්‍රධාන වශයෙන් කැනඩාව නිදහස් වෙළඳපොළ ආර්ථීකයක් (Free Market Economy) අනුගමනය කරන බැවින්, මෙරට තෙල් සමාගම් රජයට නොව පෞද්ගලික අංශයට අයත් වේ. එම සමාගම්වල ප්‍රධාන අරමුණ ලෝක වෙළඳපොළේ පවතින උපරිම මිලට සිය නිෂ්පාදන අලෙවි කර ලාභ ලැබීමයි. ලෝක වෙළඳපොළේ තෙල් බැරලයක් ඉහළ මිලකට අලෙවි කළ හැකි පසුබිමක, දේශීය පාරිභෝගිකයාට පමණක් සහන මිලකට ලබා දීමට එවැනි සමාගම් පෙළඹෙන්නේ නැත.

සවුදි අරාබිය වැනි රටවල තෙල් මිල ඉතා අඩුව පවතින්නේ එරට තෙල් සමාගම් රජයට අයත් වීමත්, රජය විසින් ඉන්ධන සඳහා විශාල වශයෙන් සහනාධාර ලබා දීමත් නිසාය. එහෙත් කැනඩාවේ පවතින දැඩි පාරිසරික ප්‍රතිපත්ති සහ කාබන් බදු (Carbon Tax) ව්‍යුහය යටතේ එවැනි සහනාධාර ලබා දීමක් සිදු නොවේ. කැනඩාව පරිසර සංරක්ෂණයට මුල් තැන දෙන රාජ්‍යයක් බැවින්, ඉන්ධන භාවිතය දිරිමත් කරන සහනාධාර වෙනුවට ඉන්ධන භාවිතය පාලනය කරන බදු පැනවීමට රජය සිදුකරයි.

අනෙක් අතට, කැනඩාව තුළම අලුතින් පිරිපහදු මධ්‍යස්ථාන ඉදිකිරීම න්‍යායාත්මකව විසඳුමක් ලෙස පෙනුණද, ප්‍රායෝගිකව එය දැවැන්ත ආර්ථීක අභියෝග සහිත වූවකි. ඇල්බර්ටාහි Bitumen  පිරිපහදු කිරීමේ පිරිවැය, ඇමරිකානු Gulf Coast හි දැනටමත් ක්‍රියාත්මක වන ලෝකයේ දැවැන්තම සහ දියුණුම පිරිපහදු මධ්‍යස්ථානවල පිරිවැය සමඟ සැසඳීමේදී ඉතා ඉහළ අගයක් ගනී. ඇමරිකාව සතු එම දැවැන්ත නිෂ්පාදන ධාරිතාව (Economy of Scale) සමඟ තරග වැදීමට නම් කැනඩාවටද එවැනිම අතිවිශාල ආයෝජනයක් සිදු කිරීමට සිදුවේ.

එහෙත්, වර්තමානයේ එවැනි දැවැන්ත ආයෝජනයක් සඳහා ඉදිරිපත් වන ආයෝජකයින් සොයා ගැනීම අතිශය දුෂ්කර වී ඇත. එයට ප්‍රධානතම හේතුව වන්නේ ගෝලීය බලශක්ති ක්ෂේත්‍රය තුළ සිදුවෙමින් පවතින වේගවත් විපර්යාසයයි. ලෝකය ක්‍රමයෙන් විද්‍යුත් වාහන (Electric Vehicles – EV) සහ හරිත බලශක්තිය දෙසට යොමු වෙද්දී, තවත් දශක කිහිපයකින් ඛනිජ තෙල් සඳහා පවතින ගෝලීය ඉල්ලුම සීඝ්‍රයෙන් පහත වැටෙනු ඇතැයි ආයෝජකයෝ විශ්වාස කරති.

බොහෝ විට නව පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා වැය කළ ප්‍රාග්ධනය නැවත උපයා ගැනීමට වසර 20 ක් හෝ 30 ක් වැනි දීර්ඝ කාලයක් ගත වේ. එබැවින්, ‘විද්‍යුත් බැටරි’ යුගයක මුවවිට හිඳිමින් මිය යමින් පවතින තාක්ෂණයක් වෙනුවෙන් ඩොලර් බිලියන ගණනින් ආයෝජනය කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම පුදුමයක් නොවේ.
කෙසේ වෙතත්, කැනඩාවේ බොරතෙල් සඳහා පිරිපහදු පහසුකම් මෙරට තුළම පැවතියේ නම් සහ බටහිර සහ නැගෙනහිර යා කරන නළ මාර්ග පැවතියේ නම් අවම වශයෙන් ප්‍රවාහන හා අතරමැදි වියදම් අඩු කර ගැනීමෙන් දැනට පවතින මිලට වඩා යම් සහනයක් පාරිභෝගිකයාට ලබා දීමට හැකියාව තිබුණි.

References: Natural Resources Canada – Canada’s Energy Facts, Canada Energy Regulator – Oil supply & infrastructure reports, International Energy Agency (IEA) – Global oil market analysis, U.S. Energy Information Administration (EIA) – Canada oil data, Canadian Association of Petroleum Producers (CAPP) – Oil sands insights (AI-generated images)

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!