ටොරොන්ටෝ විශ්වවිද්‍යාලය මෑතකදී නිකුත් කළ වාර්තාවකට අනුව, ටොරොන්ටෝ නගරය තුළ සෙසු සියලුම නිදන්ගත රෝග අභිබවා වකුගඩු රෝගය සහ වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝගී තත්ත්වයන්ගේ සීඝ්‍ර වර්ධනයක් පවතින බව අනාවරණය වී තිබේ. Ontario Hospital Association හි මඟපෙන්වීම මත 2020 සිට 2040 දක්වා වූ ඉදිරි දශක දෙකක කාලය පාදක කරගනිමින් මෙම දීර්ඝකාලීන පුරෝකථන සහිත ගැඹුරු අධ්‍යයනය සිදුකර ඇත.
ඔන්ටාරියෝ පළාතේ කලාප හයක නිදන්ගත රෝග දත්ත විශ්ලේෂණයට ලක් කළ මෙම අධ්‍යයනය මගින් පෙනී ගොස් ඇත්තේ, ටොරොන්ටෝ නගර සීමාව තුළ වකුගඩු රෝගීන්ගේ වර්ධනය කැපී පෙනෙන මට්ටමක පවතින බවයි. මෙම නවතම දත්ත මගින් නගරයේ මහජන සෞඛ්‍ය සේවාවන් කෙරෙහි එල්ල වී ඇති දැඩි බලපෑම පිළිබඳව බලධාරීන්ගේ විශේෂ අවධානය යොමු කර ඇත.
මධ්‍යම ඔන්ටාරියෝවේ Osteoporosis වර්ධනය
වාර්තාවේ දත්තයන්ට අනුව Mississauga, Brampton සහ Markham ඇතුළු මධ්‍යම ඔන්ටාරියෝ කලාපයේ වේගයෙන්ම ඉහළ යන නිදන්ගත සෞඛ්‍ය ගැටලුව ලෙස හඳුනාගෙන ඇත්තේ ඔස්ටියෝපොරෝසිස් හෙවත් අස්ථී පටක දිරායාමේ රෝගී තත්ත්වයයි. ටොරොන්ටෝ නගරයේ වකුගඩු රෝගීන්ගේ ප්‍රතිශතය ඉහළ යද්දී, මෙම ප්‍රධාන උප නගරවල වැසියන් අතර අස්ථී දුර්වල වීමේ අවදානම ප්‍රමුඛතම සෞඛ්‍ය තර්ජනයක් ලෙස හිස ඔසවා තිබේ.
අවධානය යොමු විය යුතු සෙසු රෝගී තත්ත්වයන්
මෙම අධ්‍යයනය මගින් ශ්‍රවණාබාධ, Crohn’s and colitis, පිළිකා මෙන්ම Dementia වැනි තත්ත්වයන් පිළිබඳවද පුළුල් අවධානයක් යොමු කර ඇත. කෙසේ වෙතත්, වර්තමාන දත්තයන්ට අනුව වකුගඩු රෝගය සහ ඔස්ටියෝපොරෝසිස් වැනි තත්ත්වයන් පෙන්නුම් කරන්නන්ගේ වර්ධන වේගය, සෙසු සියලූම ප්‍රධාන නිදන්ගත රෝග අභිබවා ගොස් තිබීම විශේෂත්වයකි. මෙමගින් පෙනී යන්නේ අදාළ කලාපයන්හි සෞඛ්‍ය සම්පත් සහ අවධානය මෙම නව ප්රවණතාවන්ට අනුකූලව කඩිනමින් යොමු විය යුතු බවයි.
වකුගඩු රෝගීන් සංඛ්‍යාව ඉහළ යන්නේ ඇයි?
වර්තමානයේ වකුගඩු රෝගීන් වාර්තා වීම ඉහළ යාම පිටුපස ඇති ප්‍රධානතම හේතුවක් වන්නේ රෝගීන් අලුතින් බිහිවීමට වඩා, මෙතෙක් කල් වෛද්‍ය ඇසට නොපෙනී සැඟවී සිටි රෝගීන් හඳුනා ගැනීමට ඇති හැකියාව දියුණු වීම බව St. Michael’s රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය Jeffrey Zaltzman පෙන්වා දෙයි.
ක්රියැටිනින් සිට eGFR දක්වා
වසර විසි ගණනකට පෙර රසායනාගාර පරීක්ෂණයකදී පුද්ගලයෙකුගේ වකුගඩු නිරෝගීදැයි තීරණය කළේ රුධිරයේ ඇති Creatinine මට්ටම දෙස බලා පමණි. නමුත් එම ක්‍රමය සැමවිටම නිවැරදි නොවූ බව වෛද්‍ය ජෙෆ්රි පැහැදිලි කරයි.
“පුද්ගලයෙකුගේ මාංශ පේශි ප්‍රමාණය අනුව ක්රියැටිනින් අගය වෙනස් වෙනවා. එම නිසා සාමාන්‍ය ක්රියැටිනින් අගයක් තිබූ පම‚න්ම කෙනෙකුගේ වකුගඩු නිරෝගී යැයි අපට නිගමනය කළ නොහැකියි” ඔහු පවසයි.
වර්තමානයේදී මෙම ක්‍රමය වඩාත් විද්‍යාත්මක වී ඇත. දැන් රසායනාගාර මගින් ක්රියැටිනින් අගයට අමතරව රෝගියාගේ වයස, ස්ත්‍රී/පුරුෂ භාවය වැනි සාධකද සැලකිල්ලට ගනිමින් eGFR (Estimated Glomerular Filtration Rate) නමැති දර්ශකය ගණනය කරයි. මෙය වකුගඩුවක් හරහා රුධිරය පෙරීමේ සැබෑ වේගය මැන බලන වඩාත් නිවැරදි මිනුම් දණ්ඩකි.
අතීතයේ නිරෝගී අය අද රෝගීන් වූයේ කෙසේද?
වෛද්‍ය ජෙෆ්රිමේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන්නේ, “වසර විස්සකට පෙර අප නිරෝගී යැයි සිතා නිවසට යැවූ අයෙකුගේ දත්ත, අද පවතින මෙම නව මිනුම් ද~ුවලට අනුව නැවත පරීක්ෂා කළහොත්, ඔවුන්ගේ වකුගඩු ක්‍රියාකාරිත්වය සැබවින්ම සාමාන්‍ය මට්ටමට වඩා අඩු බව පෙනී යනවා” යනුවෙනි.
මේ අනුව, වකුගඩු රෝගීන් සංඛ්‍යාලේඛනවල ඉහළ යාම සඳහා රෝග විනිශ්චය වඩාත් තියුණු වීමද එක් සාධකයක් වී ඇත. මෙය රෝගීන්ට ඉතා වාසිදායක තත්ත්වයකි. මන්ද යත්, රෝගය මාරාන්තික වීමට පෙර, එනම් මුල් අවධියේදීම එය හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර සහ ජීවන රටා වෙනස්කම් සිදු කිරීමට දැන් වෛද්‍යවරුන්ට හැකියාව ලැබී තිබේ.
වකුගඩු රෝගය යනු කුමක්ද?
වකුගඩු රෝගය යනු වකුගඩුවලට බලපාන විවිධ තත්ත්වයන් සහ ආබාධ හැඳින්වීමට භාවිත කරන පුළුල් යෙදුමකි. මෙම රෝගය මගින් වකුගඩුවල මූලික ක්‍රියාකාරී ඒකක ලෙස හැඳින්වෙන, රුධිරය පිරිසිදු කරන අන්වීක්ෂීය පෙරහන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයකින් සමන්විත නෙෆ්රෝනවලට (Nephrons) ප්‍රහාර එල්ල කරයි. මෙමගින් රුධිරයේ ඇති අපද්‍රව්‍ය සහ අතිරික්ත දියර වෙන් කර බැහැර කිරීමේ ස්වාභාවික හැකියාවට දැඩි හානි පමුණුවන අතර, එම විෂ ද්‍රව්‍ය ශරීරය තුළම රැඳීමට මග පාදයි.
නිදන්ගත වකුගඩු රෝගය Chronic Kidney Disease (CKD) යනු කුමක්ද?
නිදන්ගත වකුගඩු රෝගය යනු සාමාන්‍යයෙන් අවම වශයෙන් මාස තුනක හෝ ඊට වැඩි කාලයක් පුරා වකුගඩුවලට සිදුව ඇති හානියක් හෝ ඒවායේ ක්‍රියාකාරිත්වය සැලකිය යුතු ලෙස අඩුවීමකි. මෙම තත්ත්වය ක්‍රමයෙන් උත්සන්න වන විට, රුධිරයේ ඇති අපද්‍රව්‍ය සහ අතිරික්ත ජලය පෙරීමට වකුගඩුවලට ඇති හැකියාව අහිමි වේ. එහි ප්‍රතිඵලයක් ලෙස, ශරීරයෙන් බැහැර විය යුතු යූරියා සහ ක්රියැටිනින් වැනි විෂ ද්‍රව්‍ය රුධිරය තුළම ගොඩ ගැසීමට පටන් ගන්නා අතර මෙම භයානක තත්ත්වය ‘යූරීමියාව’ (Uremia) ලෙස හැඳින්වේ. සැබවින්ම යූරීමියාව යනු ශරීරය තුළම විෂ එකතු වීමක් වන අතර, එය වමනය, දැඩි තෙහෙට්ටුව සහ හුස්ම ගැනීමේ අපහසුව වැනි රෝග ලක්ෂණ මතු කරමින් මුළු සිරුරේම පද්ධතීන් අඩපණ කිරීමට හේතු වේ.
Uremia රෝගී තත්ත්වය මෘදු සිට දරුණු දක්වා වෙනස් විය හැකි අතර, සමහර අවස්ථාවලදී එය වකුගඩු අකර්මණ්‍ය වීම (Kidney failure) දක්වා වර්ධනය විය හැක. එම අවස්ථාවේදී වකුගඩුවලට ක්‍රියා කළ නොහැකි වන අතර රෝගීන්ට ඩයලිසිස් (Dialysis) ප්‍රතිකාරය හෝ වකුගඩු බද්ධ කිරීමක් අවශ්‍ය වේ.
නිහඬව පැමිණෙන අවදානම සහ කල්තියා හඳුනාගැනීමේ වැදගත්කම
අවදානමට ලක්විය හැකි කණ්ඩායම්: කැනඩාවේ වකුගඩු පදනමට (Kidney Foundation of Canada) අනුව, දේශීය ජනතාව (Indigenous people) මෙන්ම ආසියානු, දකුණු ආසියානු, පැසිෆික් දූපත් වාසීන්, අප්‍රිකානු/කැරිබියන් සහ හිස්පැනික් සම්භවයක් ඇති පුද්ගලයින් වකුගඩු රෝගයට සහ එය අකර්මණ්‍ය වීමට වැඩි අවදානමක් දක්වයි. සංක්‍රමණික ප්‍රජාව හරහා සිදුවන ජනගහන විවිධත්වය, ටොරොන්ටෝ වැනි නගරවල රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට තවත් හේතුවක් විය හැකි බව වෛද්‍ය ජෙෆ්රි පෙන්වා දෙයි.
රෝගයට මගපාදන ප්‍රධාන සාධක: වකුගඩු රෝගය වැළඳීමට සහ එය දරුණු ලෙස අකර්මණ්‍ය වීමට බලපාන ප්‍රධානතම සාධක ලෙස දියවැඩියාව සහ අධික රුධිර පීඩනය හඳුනාගෙන ඇත.
වෛද්‍ය නිර්දේශ සහ කල්තියා හඳුනාගැනීම: දියවැඩියාව සහ අධික රුධිර පීඩනය වැනි අවදානම් සාධක නිසි ලෙස පාලනය කිරීමෙන් වකුගඩු රෝගය වළක්වා ගැනීමට හෝ මැනවින් කළමනාකරණය කිරීමට හැකියාව පවතී. ඒ සඳහා රෝගය කල්තියා හඳුනා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.
කැනේඩියානු වකුගඩු විද්‍යා සංගමයේ උපදේශක කමිටුවේ සභාපති වෛද්‍ය Bryce Barr පවසන්නේ, රෝගීන්ට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් (Primary care) සඳහා ඉක්මන් සහ ගුණාත්මක ප්‍රවේශයක් තිබේ නම්, වකුගඩු රෝගය උත්සන්න වීම සාර්ථකව වැළැක්විය හැකි බවයි.
පවතින අභියෝග: කෙසේ වෙතත්, මූලික පරීක්ෂණ සිදුකරන පවුලේ වෛද්‍යවරුන් සොයා ගැනීමට ඇති අපහසුව සහ විශේෂඥ වෛද්‍යවරුන් (Nephrologists) හමුවීමට ඇති දිගු පෝලිම් රෝගීන්ට විශාල බාධාවක් වී ඇත. වකුගඩු රෝගය, එහි අවසාන අදියර දක්වා බොහෝ විට පැහැදිලි රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි. එබැවින් රෝගීන් වෙනත් රෝගයකට ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවලදී තමන්ට වකුගඩු රෝගය ඇති බව අහඹු ලෙස දැනගන්නා අවස්ථා බහුලය.
“මිනිසුන් වසර ගණනාවක් වකුගඩු රෝගයෙන් පෙළෙමින් සිටියත්, ඒ පිළිබඳව කිසිදු දැනුමක් හෝ රෝග ලක්ෂණයක් ඔවුන්ට නොතිබිය හැකියි” යැයි වෛද්‍ය බාර් වැඩිදුරටත් අවධාරණය කරයි.
අත්දැකීමෙන් උගත හැකි පාඩම්: කැනඩාවේ වකුගඩු පදනමේ ඔන්ටේරියෝ අධ්යක්ෂ Craig Lindsay ගේ අත්දැකීම මෙයට කදිම නිදසුනකි. ඔහු වසර 20 ක් තිස්සේ වකුගඩු රෝගයෙන් පෙළෙන්නෙකි. ඊට පෙර වසර ගණනාවක් ඔහු දියවැඩියාවෙන් පෙළුණද එය නිසි ලෙස පාලනය කිරීමට ඔහු පියවර ගෙන නොතිබුණි. අවසානයේ ඔහු හදිසි අනතුරු අංශයට ඇතුළත් කළ අවස්ථාවේදී දියවැඩියාවේ සංකූලතාවයක් ලෙස තමාට දරුණු වකුගඩු රෝගයක් වැළඳී ඇති බව දැනගත්තේය.
“මගේ වකුගඩු ක්‍රියාකාරිත්වය පරීක්ෂා කරන ලෙස යමෙකුගෙන් ඉල්ලා සිටිය යුතු බව මම දැන සිටියේ නැහැ” යැයි වකුගඩු බද්ධ කිරීමකට භාජනය වූ ලින්ඩ්සේ පැවසීය. වකුගඩු රෝගය සහ වකුගඩු සෞඛ්‍යය පිළිබඳව ජනතාව අතර මීට වඩා දැනුවත්භාවයක් අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය.
“විශේෂයෙන්ම අධික රුධිර පීඩනය සහ දියවැඩියාව ඇති පුද්ගලයින් සඳහා පරීක්ෂණ (Screening) සිදුකිරීම පිළිබඳව වැඩි අවධාරණයක් අවශ්‍යයි.˜
දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇති පුද්ගලයින්, දුම් පානය කරන්නන් හෝ වකුගඩු රෝග පිළිබඳ පවුල් ඉතිහාසයක් ඇති අය වැඩි අවදානමක් ඇති බැවින් වාර්ෂිකව රුධිර සහ මුත්‍රා පරීක්ෂණ සිදු කර ගත යුතුය.
රුධිර පීඩනය පරීක්ෂණ: රුධිරයේ ඇති Serum Creatinine මට්ටම මැනීමෙන් වකුගඩු මගින් රුධිරය පෙරීම කෙතරම් හොඳින් සිදු කරන්නේද යන්න දැනගත හැකිය. ක්රියැටිනින් යනු මාංශ පේශි භාවිතය සහ ආහාරවල ඇති ප්‍රෝටීන් බිඳ වැටීම නිසා ඇතිවන අපද්‍රව්‍යයකි.
මුත්‍රා පරීක්ෂණ: නිරෝගී වකුගඩු මගින් සාමාන්‍යයෙන් පෙරී ඉවත් වන ප්‍රෝටීන් හෝ රුධිරය මුත්රාවල තිබේදැයි පරීක්ෂා කිරීමෙන් වකුගඩුවලට සිදුව ඇති මුල් අවධියේ හානි හඳුනාගත හැකිය. වකුගඩු රෝග වළක්වා ගැනීමට උපකාරී වන ආහාර වේලකදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ සෝඩියම් (ලූණු) අඩු කිරීම, සැකසූ ආහාර (Processed foods) සීමා කිරීම සහ බෝංචි වැනි ශාක පදනම් කරගත් ප්‍රෝටීන් වැඩිපුර ආහාරයට ගැනීම කෙරෙහිය. දුම්පානය නතර කිරීම සහ නිතිපතා ව්‍යායාම කිරීමද අවදානම අඩු කිරීමට උපකාරී වේ.
ටොරොන්ටෝවේ වකුගඩු පරීක්ෂණ සිදුකරගත හැකි ස්ථාන
කැනඩාවේ සෞඛ්‍ය පද්ධතිය අනුව, වකුගඩු පරීක්ෂණයක් කරවා ගැනීමට ඇති ප්‍රධානම සහ පහසුම ක්‍රමය වන්නේ පවුලේ වෛද්‍යවරයා හමුවීමයි.
ඔබට රුධිර පීඩනය හෝ දියවැඩියාව ඇත්නම්, ඔබේ වෛද්‍යවරයා විසින් Blood Work (eGFR) සහ Creatinine පරීක්ෂණ සඳහා සහ Urine Test (Albumin) පරීක්ෂණය සඳහා නිර්දේශ කරනු ඇත. වෛද්‍යවරයා ලබා දෙන නිර්දේශ පත්‍රය (Requisition) රැගෙන ඔබට ටොරොන්ටෝවේ ඕනෑම තැනක ඇති පරීක්ෂණාගාර (medical labs) වෙත ගොස් පරීක්ෂණ සිදු කරගත හැකිය. ඔබට පවුලේ වෛද්‍යවරයෙකු නොමැති නම්, ළඟම ඇති Walk-in Clinic එකකට ගොස් වකුගඩු පරීක්ෂණයක් සඳහා අවශ්‍ය නිර්දේශ පත්‍රය ලබාගත හැකිය.ඔබේ පරීක්ෂණ වාර්තාවල යම් ගැටලුවක් ඇත්නම්, වෛද්‍යවරයා විසින් ඔබව ටොරොන්ටෝවේ පිහිටි ප්‍රධාන රෝහලක වකුගඩු ඒකක (Nephrology Units) වෙත යොමු කරනු ඇත
‘වකුගඩු රෝගය’ යනු ‘නිහඬ මාරයෙකි’. රෝග ලක්ෂණ මතුවන තෙක් බලා නොසිට, විශේෂයෙන්ම ඔබට දියවැඩියාව හෝ රුධිර පීඩනය ඇත්නම් වහාම පරීක්ෂණ සිදු කරගන්න.
Sources: University of Toronto (Dalla Lana School of Public Health), Ontario Hospital Association (OHA), The Kidney Foundation of Canada, St. Michael’s Hospital (Unity Health Toronto)





