පසුගිය ‘දසත’ කලාපය ඔස්සේ අපි 1950 සහ 60 දශකවල කැනේඩියානු නිවාස වෙළඳපොළේ ස්වර්ණමය යුගයත්, පශ්චාත් යුධ සමයේ Bungalow සංස්කෘතියේ ව්‍යාප්තියත් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළෙමු. එලෙස 50-60 දශකවල පැවති සරල මෙන්ම සාපේක්ෂව දැරිය හැකි නිවාස වෙළඳපොළ පිළිබඳව කළ විමසුමෙන් අනතුරුව, මෙවර අපගේ අවධානය යොමු වන්නේ පෙරළිකාර 70 දශකය වෙතයි.
එය හුදෙක් දශකයක කාලානුරූපී වෙනසක් පමණක් නොව, කැනේඩියානු නිශ්චල දේපළ ක්ෂේත්රය තුළ දැවැන්ත ආර්ථීක සහ සමාජයීය විපර්යාසයන් රැසක් සනිටුහන් කළ තීරණාත්මක කාලපරිච්ඡේදයකි. මෙම දශකය තුළ කැනේඩියානු නිවාස මිල ගණන් ප්‍රථම වරට දැවැන්ත පිම්මක් පිනූ අතර, ‘නිවාස අයිතිය’ යන්න හුදෙක් පදිංචියට පමණක් සීමා නොවී, එය වටිනා ‘ආයෝජනයක්’ ලෙස සමාජය තුළ තදින් මුල් බැසගත් අවධියක්ද විය.
දශකය ආරම්භයේදී ඩොලර් 20,000-30,000 සීමාවේ පැවති සාමාන්‍ය නිවසක මිල, 70 දශකය අවසාන වන විට දෙගුණයකින් පමණ ඉහළ ගියේ කෙසේද යන්න එකල ජීවත් වූවන් පවා අද සිහිපත් කරන්නේ මහත් විමතියෙනි. මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාමට අමතරව, නවීන පන්නයේ තට්ටු නිවාස (Apartments & Condos) සංස්කෘතිය නගර මධ්‍යයට ප්‍රවේශ වීමද මෙම දශකයේ දක්නට ලැබුණු සුවිශේෂී වෙනස්කමකි.
කොන්ක්‍රීට් වනාන්තරයක උපත
මොහොතකට ඇස් පියාගෙන 70 දශකයට පෙර ටොරොන්ටෝ නගරය කෙබඳු වන්නට ඇත්දැයි සිතන්නට උත්සාහ කරන්න. එකල එය අද අප දකින ඔප දැමූ, නූතන ස්වභාවයට වඩා රළු, කාර්මික පෙනුමකින් යුත් නගරයකි. එහෙත් අප අද අත්දකින ටොරොන්ටෝ නගර මධ්‍යය (Downtown Core) සැබෑ ලෙසම හැඩගැසීම ආරම්භ වූයේ 70 දශකයේදීය.
මෙම දශකයේ සුවිශේෂීම සන්ධිස්ථානය වන්නේ 1976 දී CN Tower විවෘත කිරීමයි. එය හුදෙක් සන්නිවේදන කුළුණක් පමණක් නොව, ටොරොන්ටෝව ලෝක සිතියමේ සනිටුහන් කළ මහා නිර්මාණයක් විය. එහි ආගමනයත් සමඟ නගරයේ පෙනුම සහ ඒ අවට දේපළවල වටිනාකම අදහාගත නොහැකි ලෙස ඉහළ ගියේය. ඒ හා සමානවම 1977 දී Eaton Centre විවෘත වීම, නගර මධ්‍යයේ වෙළඳ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් කළ අතර, එය ව්‍යාපාරික සහ පාරිභෝගික ආකර්ෂණය දිනාගත් කේන්ද්‍රස්ථානයක් බවට පත් විය.
මෙම දැවැන්ත ව්‍යාපෘතිවලට සමගාමීව, නගර මධ්‍යයේ අහස සිප ගන්නා කාර්යාල කුළුණු (Office Towers) සහ ප්‍රථම වරට විශාල වශයෙන් මහල් නිවාස ඉදිවීමද ඉහළ ගියේය. නගර මධ්‍යයේ ඉදි වූ අහස සිපගන්නා ගොඩනැගිලි නිසා ටොරොන්ටෝව සැබෑ අගනගරයක (Metropolis) සිරිය ගත්තේ මේ දශකයේදීය. මින් පෙර තනි පවුලේ නිවාසවලට (Single-family homes) සීමා වී සිටි ජනතාව, නගරයේ පහසුකම් පතා මහල් නිවාස සංස්කෘතියට හුරු වීම ආරම්භ වූයේ මේ කාලයේදීය. මෙම සංවර්ධනය නිසා නගර මධ්‍යයේ ඉඩම් හිඟයක් ඇති වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස නිශ්චල දේපළ මිල ගණන් සීඝ්රයෙන් ඉහළ යාම වැළැක්විය නොහැකි විය.
ප්‍රවාහන ජාලය සහ තදාසන්න ප්‍රදේශවල නව නිවාස සංස්කෘතිය
මෙම තත්ත්වය යම් මට්ටමකට පාලනය කිරීමටත් නගර මධ්‍යයටම කොටුවීමට උත්සාහ කළ ජනතාව ඉන් පිටතට ආකර්ෂණය කර ගැනීමටත් ඒ හා සමගාමීව දියුණු වූ ප්‍රවාහන පද්ධතිය ප්‍රධාන හේතුවක් විය. විශේෂයෙන්ම මෙම දශකයේ මුල් භාගයේ සහ මැද භාගයේදී Yonge Subway මාර්ගය උතුරට (North York දෙසට) සහ Bloor-Danforth මාර්ගය දෙපසට (Etobicoke සහ Scarborough දෙසට) තවදුරටත් ව්‍යාප්ත විය. මෙම ප්‍රවාහන සේවා ව්‍යාප්ත වීමත් සමඟ එතෙක් නගරයෙන් බැහැර ‘පිට පළාත්’ ලෙස සැලකූ ප්‍රදේශවල ජන ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් විය.
නගර මධ්‍යයේ අධික මිල ගණන් හමුවේ අසරණ වූ මධ්‍යම පාන්තික ජනතාවට Scarborough, North York සහ Etobicoke වැනි ප්‍රදේශවලින් දැරිය හැකි මිලකට නිවසක් හිමි කර ගැනීමේ මාවත විවර විය. ප්‍රවාහන පහසුකම්වල මෙම ව්‍යාප්තිය නොවන්නට නගර මධ්‍යයේ ජනගහන ඝනත්වය සහ නිවාස මිල මීටත් වඩා දරුණු ලෙස ඉහළ යන්නට ඉඩ තිබුණි.
මෙලෙස ජනතාව නගරයෙන් බැහැර තදාසන්න ප්‍රදේශ කරා ඇදී යාමත් සමඟ කැනේඩියානු නිවාසවල වාස්තු විද්‍යාත්මක ස්වරූපයද කැපී පෙනෙන වෙනසකට ලක් විය. පශ්චාත් යුධ සමයේ (1950-60 දශකවල) අතිශය ජනප්‍රිය වූ කුඩා තනි මහලේ Bungalow නිවාස වෙනුවට වැඩි ඉඩකඩක් සහිත Split-level සහ දෙමහල් නිවාස 70 දශකය තුළ වේගයෙන් ප්‍රචලිත විය. වැඩෙන පවුල්වල අවශ්‍යතා සපුරාලීම සඳහා වැඩි නිදන කාමර සංඛ්‍යාවක් සහ පෞද්ගලිකත්වය ආරක්ෂා වන අයුරින් නිර්මාණය වූ මෙම නව නිවාස මාදිලි එකල තදාසන්න ජන ජීවිතයේ (Suburban life)- අලුත්ම සංකේතය බවට පත් විය.
කැනඩාවේ අනෙකුත් පළාත් සහ සංක්‍රමණික ප්‍රවාහය
අප මෙතෙක් අවධානය යොමු කළේ ටොරොන්ටෝව සහ ඒ අවට නගර පිළිබඳව වුවද 1970 දශකය යනු මුළුමහත් කැනඩාවම භූගෝලීය සහ ජන විකාශන අතින් විශාල වෙනසකට ලක්වූ අවධියකි. ටොරොන්ටෝව මෙන්ම Vancouver සහ Calgary වැනි නගරද මෙම දශකයේදී ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළේය. විශේෂයෙන්ම Alberta පළාතේ තෙල් කර්මාන්තයේ ඇති වූ පිබිදීම නිසා කැල්ගරි නගරයේ නිවාස මිල ගණන් සහ ජනගහනය අදහාගත නොහැකි ලෙස ඉහළ ගියේය.
ටෘඩෝගේ සංක්‍රමණික ප්‍රතිපත්තිය සහ නව ජනගහන වර්ධනය
1970 දශකය කැනේඩියානු ඉතිහාසයේ සුවිශේෂී වන්නේ එවකට අගමැතිව සිටි Pierre Trudeau විසින් ගනු ලැබූ විප්ලවීය තීරණ නිසාය. ඔහු කැනඩාවේ දොරටු ලෝකයාට විවර කළ නායකයා ලෙස සැලකේ.
Multiculturalism:
1971 දී ටෘඩෝ රජය විසින් නිල වශයෙන් ‘බහුසංස්කෘතික ප්‍රතිපත්තිය’ (Multiculturalism Policy) ප්‍රකාශයට පත් කරන ලදී. මෙතෙක් යුරෝපීය ජාතිකයින්ට පමණක් සීමා වී තිබූ කැනඩාවේ දොරටු ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු සංක්‍රමණිකයන් සඳහා විවෘත වූයේ මේ අවධියේදීය.
Points System:
1967 වසරේදී එනම් ටෘඩෝ අගමැතිවරයාට පෙර මෙම ලකුණු ක්‍රමය හඳුන්වා දුන්නද එය වඩාත් විධිමත් ලෙස සහ සාර්ථකව ක්‍රියාත්මක වූයේ 70 දශකයේ ටෘඩෝ පාලන සමය තුළදීය. ටෘඩෝ රජය විසින් අනුගමනය කළ බහුසංස්කෘතික ප්‍රතිපත්තිය සමඟ මෙම ලකුණු ක්‍රමය මනාව බද්ධ වූ අතර ඒ හරහා ජාති හෝ ආගම් භේදයකින් තොරව හුදෙක් දක්ෂතාවය සහ වෘත්තීය සුදුසුකම් මත පදනම්ව ලොව පුරා විසිරී සිටි දක්ෂ වෘත්තිකයන්ට කැනඩාවේ දොරටු විවර විය. 70 දශකයේදී කැනඩාව ලබාගත් මෙම තීරණාත්මක මාවත මෙරට ශ්‍රම බලකාය ශක්තිමත් කිරීමටත් නිවාස ඉල්ලුම තවදුරටත් වර්ධනය වීමටත් ප්‍රබල හේතුවක් විය.
නිවාස ඉල්ලුම ඉහළ යාම: මෙම නව සංක්රම‚ක ප්‍රවාහයත් සමඟ ටොරොන්ටෝ, වැන්කුවර් වැනි ප්‍රධාන නගරවල ජනගහනය සීඝ්රයෙන් ඉහළ ගියේය. මෙතෙක් පැවති නිවාස සැපයුමට වඩා වැඩි ඉල්ලුමක් නිර්මාණය වූයේ මේ නිසාය. ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවලින් සැලකිය යුතු පිරිසක් කැනඩාවට සංක්‍රමණය වීම ආරම්භ වූයේද මෙම 70 දශකයේ අගභාගයේදීය.
පිට පළාත්වල නිවාස වෙළඳපොළ
Quebec:
මොන්ට්‍රියල් නගරය එකල කැනඩාවේ ප්‍රධානතම මූල්‍ය කේන්ද්‍රස්ථානය ලෙස පැවතියද 70 දශකයේ ඇති වූ දේශපාලන අස්ථාවරත්වය (Separation movement) නිසා බොහෝ ව්‍යාපාර සහ ජනතාව මොන්ට්‍රියල් අතහැර ටොරොන්ටෝවට සංක්‍රමණය විය. ටොරොන්ටෝව කැනඩාවේ විශාලතම නගරය බවට පත්වීමට මෙයද එක් හේතුවක් විය.
බටහිර කැනඩාව:
ඇල්බර්ටා සහ බ්‍රිටිෂ් කොලොම්බියා පළාත්වල නිවාස ඉදිකිරීම් වේගවත් වූ අතර කැනඩාවේ ජනගහණ කේන්ද්‍රය ක්‍රමයෙන් බටහිර දෙසටද විහිදී යාම ආරම්භ විය.
මැනිටෝබා (Winnipeg) :
70 දශකයේදී විනිපෙග් නගරය කැනඩාවේ මධ්‍යම ප්‍රවාහන හා කෘෂිකාර්මික කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාවරව පැවතියේය. ටොරොන්ටෝවේ මෙන් දැවැන්ත මිල ඉහළ යාමක් මෙහි සිදු නොවූ අතර නිවාස මිල ඉතාමත් සහනදායී මට්ටමක පැවතුණි. එහෙත් නගරයේ යටිතල පහසුකම් දියුණු වීමත් සමඟ මධ්‍යම පාන්තික ජනතාවට තනි නිවසක් හිමි කර ගැනීම මෙහිදී ඉතා පහසු කටයුත්තක් විය.
අත්ලාන්තික් කැනඩාව (Nova Scotia iy PEI):
නෝවා ස්කෝෂියා (Halifax) සහ ප්‍රින්ස් එඩ්වඩ් අයිලන්ඩ් වැනි පළාත්වල නිවාස වෙළඳපොළ ප්‍රධාන වශයෙන් ධීවර හා කෘෂිකාර්මික ආර්ථීකය මත පදනම් විය. කැනඩාවේ අනෙක් ප්‍රදේශවලට සාපේක්ෂව මෙම පළාත්වල නිවාස මිල ගණන් ඉතාමත් අඩු මට්ටමක පැවති අතර zසෙමින් ගලා යනZ ජීවන රටාවක් මෙහි දක්නට ලැබුණි. 70 දශකයේ අගභාගයේදී ඇති වූ උද්ධමනය මෙම ප්රදේශවලටද බලපෑවත් ටොරොන්ටෝවේ මෙන් නිවාස හිඟයක් හෝ අධික තදබදයක් මෙහි නිර්මාණය නොවීය.
එදිනෙදා ජීවන වියදම
එකල පැවති නිවාස මිල ගණන්වල සැබෑ වටිනාකම තේරුම් ගැනීමට නම්, එම යුගයේ පොදු පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් සමඟ එය සැසඳීම අත්‍යවශ්‍ය වේ. 1970 දශකයේ මැද භාගයේදී ඔබ සුපිරි වෙළඳසැලකට ගියේ නම්, එහි මිල ගණන් සටහන් වී තිබුණේ මෙලෙසයි:
| භාණ්ඩය | 1971 මිල (සාමාන්‍ය) | 1978 මිල (සාමාන්‍ය) |
|---|---|---|
| පාන් රාත්තලක් | ශත 25 | ශත 50 |
| කිරි ලීටරයක් | ශත 30 | ශත 60 |
| බිත්තර දුසිමක් | ශත 55 | ශත 95 |
| ගෑස් ලීටරයක් | ශත 10-12 | ශත 20-25 |
| නව මෝටර් රථයක් | $ 2500-3500 | $ 5000-7000 |
මෙම දත්ත දෙස බැලීමේදී පෙනී යන්නේ, එදා නිවාස මිල මෙන්ම එදිනෙදා ආහාරපාන සහ ඉන්ධන මිලද අදට සාපේක්ෂව ඉතා අවම මට්ටමක පැවති බවයි. එහෙත් 70 දශකයේ අග භාගය වන විට උද්ධමනය ක්‍රමයෙන් ඉහළ යාම, ඉදිරි දශකයේදී ඇති වීමට නියමිත ආර්ථීක කුණාටුවේ පෙරනිමිති පළ කළේය.
රජයේ මැදිහත්වීම සහ බදු සහන
1970 දශකයේ ආරම්භයේදී, නිවාස මිල දී ගැනීමේදී ‘දැරිය හැකි මිල’ (Affordability) යන්න ප්‍රධාන සාධකයක් බවට පත් විය. මේ වෙනුවෙන් රජය සුවිශේෂී පියවර රැසක් ගත් අතර 1971 බදු පනතට ගෙන ආ සංශෝධන මගින් පුද්ගලයෙකු පදිංචි ප්‍රධාන නිවස (Principal Residence) ප්‍රාග්ධන ලාභ බද්දෙන් (Capital Gains Tax) නිදහස් කිරීම ඉන් ප්‍රධාන වේ. මීට අමතරව නිවාස හිමිකාරිත්වය දිරිමත් කිරීම සඳහා zබදු රහිත ලියාපදිංචි නිවාස හිමිකාරිත්ව ඉතුරුම් සැලසුම්Z (Registered Home Ownership Savings Plan – RHOSP) වැනි අතිරේක සහනද හඳුන්වා දෙනු ලැබීය. 1974 සිට 1985 දක්වා කාලය තුළ කැනේඩියානු රජය විසින් පළමු වරට නිවසක් මිල දී ගන්නන් දිරිමත් කිරීම සඳහා හඳුන්වා දී තිබූ මෙම වැඩසටහන වර්තමානයේ පවතින First Home Savings Account (FHSA) හා ඛෙහෙවින් සමාන පැරණි ක්‍රමයයි.
70 දශකයේ මැද භාගය වන විට කැනඩාවේ පළාත් දහයම නව නිවාස දෙපාර්තමේන්තු (Housing Departments) හෝ අමාත්‍යාංශ පිහිටුවා නිවාස හිමිකාරිත්වය දිරිමත් කිරීම සඳහා වැඩි වගකීමක් භාර ගත්තේය. නිවාස හිමිකාරිත්වය සඳහා ප්‍රදානයන් (Grants) ලබා දීම සහ නව නිවාස ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම හරහා පළාත් පාලන ආයතන නිවාස ක්ෂේත්රයේ ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළහ. ඇතැම් පළාත් බදු සහන සහ කුලී පාලන ක්‍රම මගින් කුලී නිවැසියන්ටද සිය සහයෝගය ලබා දුන්හ. මෙහි තවත් එක් සුවිශේෂී ජයග්‍රහණයක් වූයේ 1979 දී CMHC ආයතනය මොන්ට්‍රියල්හි Milton Park ප්‍රදේශය මිල දී ගෙන එය කැනඩාවේ විශාලතම සහ සාර්ථකම ලාභ නොලබන අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘතිය බවට පරිවර්තනය කිරීමයි.
එදා සොච්චමක් වූ නිවාස මිල
1970 දශකය යනු කැනේඩියානු නිවාස වෙළඳපොළේ සැබෑ ස්වභාවය සහ එහි පරිණාමය තේරුම් ගැනීමට ඇති කදිම කැඩපතකි. අද පවතින මිල ගණන් සමඟ සසඳන විට, එකල නිවසක් මිල දී ගැනීම හුදෙක් සොච්චම් මුදලකට යමක් ලබා ගන්නවාක් වැනි ඉතා සරල කාරණයක් ලෙස පෙනී යා හැකිය.
දශකය ආරම්භයේදී, එනම් 1970 වසරේදී ටොරොන්ටෝහි සාමාන්‍ය detached නිවසක මිල සටහන් වූයේ ඩොලර් 29,000 ක් වැනි මට්ටමකයි. 1971 වසර වන විට මෙම අගය ඩොලර් 30,426 ක් දක්වා මදක් ඉහළ ගිය අතර එය 2024 වසරේ මුදල් අගයට සාපේක්ෂව බැලුවද ඩොලර් 245,000 ක් වැනි සුළු මුදලකි. එහෙත් 70 දශකය පුරා නිවාස මිලෙහි ස්ථාවර සහ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබුණු අතර, 1979 අවසානය වන විට එම අගය ඩොලර් 70,000 සීමාවද පසුකර ගියේය. වසර දහයක් වැනි කෙටි කාලයක් තුළ නිවසක වටිනාකම දෙගුණයකටත් වඩා වැඩි වීම එකල නිශ්චල දේපළ ක්ෂේත්රයේ සිදු වූ ප්‍රබලම පෙරළියයි.
පොලී අනුපාතවල දශකයක විපර්යාසය
1970 දශකයේ කැනේඩියානු නිවාස වෙළඳපොළේ පොලී අනුපාත (Mortgage rates) හැසිරුණු ආකාරය ඉතාමත් උද්වේගකර කතාවකි. දශකයේ ආරම්භයේ පැවති ස්ථාවරත්වයේ සිට දශකය අවසානය වන විට ඇති වූ දැවැන්ත ආර්ථීක කැළඹීම දක්වා එය විහිදී යයි.
1970 දශකය ආරම්භ වූයේ නිවාස මිල දී ගන්නන් හට ඉතා සහනදායී වාතාවරණයක් නිර්මාණය කරමිනි. 1971 වසරේදී ඔන්ටේරියෝහි පවුලක සාමාන්‍ය වාර්ෂික ආදායම ඩොලර් 11,000ක් පමණ වූ අතර 1975 වන විට එය ඩොලර් 18,000 දක්වා ඉහළ ගියේය. එකල සාමාන්‍ය නිවසක මිල ඩොලර් 30,000 ක සීමාවේ පැවති බැවින් 1970 සිට 1973 දක්වා කාලය තුළ සියයට 9 ක පමණ ස්ථාවර මට්ටමක පැවති පොලී අනුපාතය මධ්‍යම පාන්තික පවුලකට දරාගත හැකි මට්ටමක තිබුණි. මෙය නිවාස වෙළඳපොළේ ඉතා ශක්තිමත් සහ ක්‍රියාකාරී පිබිදීමක් ඇති කළ ‘ස්වර්ණමය’ සමයක් ලෙස හැඳින්විය හැකිය.
කෙසේ වෙතත් දශකයේ මැද භාගය වන විට ලෝක දේශපාලනයේ ඇති වූ තෙල් අර්බුදය (Oil Crisis) සහ ඒ හා සමගාමීව ඉහළ ගිය උද්ධමනය හේතුවෙන් කැනඩාවේ පොලී අනුපාතද ක්‍රමයෙන් ඉහළ යන්නට විය. 1974 සහ 1975 වසර වන විට මෙම අනුපාත සියයට 10 -11 දක්වා සීමාවට ළඟා විය. ඉහළ යන පොලී පීඩනයෙන් ජනතාව ආරක්ෂා කිරීම සහ නිවාස හිමිකාරිත්වය දිරිමත් කිරීම සඳහා බදු රහිත ලියාපදිංචි නිවාස හිමිකාරිත්ව ඉතුරුම් සැලසුම් (RHOSP) වැනි විශේෂ බදු සහන රජය විසින් හඳුන්වා දෙනු ලැබුවේ මෙම වකවානුවේදීය.
දශකය අවසන් වීමට ආසන්න වෙත්ම එනම් 1978 සහ 1979 කාලයේදී උද්ධමනය පාලනය කිරීම රජයට දැඩි අභියෝගයක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස පොලී අනුපාත සියයට 12 – 13 දක්වා තවදුරටත් ඉහළ ගියේය. මෙම කාලය තුළ නිවාස මිල දශකයේ ආරම්භයට වඩා දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබුණද අනාගතයේදී මිල තවත් ඉහළ යනු ඇතැයි යන බිය සහ උද්ධමනයෙන් සිය ආයෝජන ආරක්ෂා කරගැනීමේ අරමුණින් (Hedge against inflation) ජනතාව දිගින් දිගටම නිවාස මිල දී ගැනීමට පෙළඹුණහ. 70 දශකයේ අගභාගයේ ඇරඹි මෙම අහිතකර ආර්ථීක ප්‍රවණතාවය 1981 වසරේදී උච්චතම අවස්ථාවට ළඟා වූයේ කැනේඩියානු නිවාස ඉතිහාසයේ දරුණුතම කඩා වැටීම සනිටුහන් කරමිනි. එහිදී වසර පහක නිවාස ණය සඳහා වන පොලී අනුපාතය සියයට 23 ක් දක්වා අහස උසට ඉහළ ගිය අතර එය එතෙක් පැවති සමෘද්ධිමත් නිවාස වෙළඳපොළ ලැබූ දරුණුතම පරාජය ලෙස ඉතිහාසයට එක්විය.
ස්වර්ණමය යුගයක නිමාව
මෙම සමස්ත ඓතිහාසික පසුබිම දෙස බලන විට පැහැදිලි වන්නේ 1970 දශකය යනු කැනේඩියානු නිවාස වෙළඳපොළේ සාපේක්ෂව සහනදායී සහ ස්ථාවර වකවානුවකින් ආරම්භ වී දරුණු මූල්‍ය අර්බුදයකින් කෙළවර වූ අතිශය තීරණාත්මක සංක්‍රාන්ති සමයක් බවයි. දශකය ආරම්භයේදී පැවති සියයට 9 ක සහනදායී පොලී අනුපාත සහ ඩොලර් 30,000 සීමාවේ පැවති නිවාස මිල ගණන් මධ්‍යම පාන්තික කැනේඩියානුවන්ට සිය නිවාස සිහිනය සැබෑ කර ගැනීමට මනා පිටුවහලක් විය. එහෙත් දශකය අවසානය වන විට උදාවූයේ බලාපොරොත්තු නොවූ ආර්ථීක කුණාටුවකි. උද්ධමනය පාලනය කිරීම සඳහා රජය ගත් දැඩි පියවර හමුවේ 1981 වන විට පොලී අනුපාත සියයට 23 වැනි අදහාගත නොහැකි මට්ටමකට ඉහළ යාම එතෙක් පැවති ශක්තිමත් නිවාස වෙළඳපොළ දැඩි ලෙස අඩපණ කළේය. ‘මිනිසුන් නිවාස මිල දී ගැනීමෙන් ඉවත් වූ’ එම අඳුරු යුගය නිවාස අයිතිය යනු හුදෙක් පදිංචියට පමණක් නොව, එය ගෝලීය ආර්ථීක සාධක මත තීරණය වන සංකීර්ණ ආයෝජනයක් බවට පත්ව ඇති බව මුළු මහත් සමාජයටම පසක් කර දුන්නේය.
අද අප අත්දකින නිවාස අර්බුදය දෙස ආපසු හැරී බලන විට 70 දශකයේ අත්දැකීම් අපට වැදගත් පාඩම් රැසක් කියා දෙයි. එකල සාමාන්‍ය පවුලක වාර්ෂික ආදායම මෙන් තෙගුණයක හෝ සිව්ගුණයක අගයක පැවති නිවාස මිල අද වන විට සාමාන්‍ය පවුලක ආදායම මෙන් දස දොළොස් ගුණයකින් ඉහළ ගොස් ඇත. 1970 දශකයේ පැවති එම ‘දැරිය හැකි’ නිවාස සංස්කෘතිය අද වන විට ඉතිහාසයට එක්වූ මතකයක් පමණක් වුවද එම යුගයේ සිදු වූ නාගරික සැලසුම්කරණය සහ රජයේ මැදිහත්වීම් පිළිබඳව නැවත විමසා බැලීම වර්තමාන අර්බුදයට විසඳුම් සෙවීමේදී අතිශය වැදගත් වනු ඇත.
ටොරොන්ටෝවේ අහස සිපගන්නා ගොඩනැගිලි සහ නවීන පන්නයේ මහල් නිවාස අතරින් අප අද දකින්නේ 70 දශකයේ ඇරඹි එම මහා නාගරික පරිවර්තනයේ දිගුවකි. එහෙත් එම යුගයේ පැවති ‘දැරිය හැකි නිවාස’ යන සංකල්පය වර්තමාන පරපුරටද හිමිකර දීම හෙට දවසේ ඇති ලොකුම අභියෝගයකි.
(1980 දශකයේ නිවාස වෙළඳපොළේ දැවැන්ත කඩා වැටීම සහ ඊට කැනේඩියානුවන් මුහුණ දුන් ආකාරය ගැන ලබන කලාපයෙන් විමසා බලමු.)
Gamini Abeysinghe
ඔන්ටේරියෝ නිවාස හා දේපල වෙළඳාම් සංගමයෙහි බලයලත් දේපල හා නිවාස වෙළඳාම් අලෙවි නියෝජිත
Tel: 1- 416 822 2789
Email : shinko@rogers.com
Web : www.gaminiabeysinghe.com










