“කැනඩාවේ පිරිමියාට තියෙන්නේ සුරතලේට ගෙදර හදන සත්තුන්ටත් වඩා අන්ත තැනක්”
“අපිට මෙහේ පස්වැනි තැනවත් නෑ”
මේ කැනඩාවේ වසන ශ්‍රී ලාංකික පිරිමින් අතර නිතර ඇසෙන කතාවකි. එහෙත් මෙය
ශ්‍රී ලාංකිකයින්ට පමණක් සීමා වූ මතයක් නොවේ. කැනඩාවේ උපන් සුදු ජාතික පිරිමින් පවා ඇතැම් විට පවසන්නේ වර්තමාන කැනේඩියානු සමාජය ‘පිරිමින්ට එරෙහි’ (Misandrist) සමාජයක් බවයි. සැබවින්ම කැනඩාව වැනි දියුණු රටක් පිරිමින්ව මෙලෙස සතුන්ටත් පහළින් වර්ගීකරණය කර තිබේද? නැතිනම් මෙය සංස්කෘතික රාමුවලින් බැහැරව ලෝකය දෙස බැලීමේදී ඇති වන දෘෂ්ටි දෝෂයක්ද? අපි ඒ පිළිබඳ මඳක් විමසා බලමු.
නීතිය ඉදිරියේ ගැහැනු / පිරිමි වර්ගීකරණයක් තිබේද?
පළමුවෙන්ම කිව යුත්තේ කැනේඩියානු නීතියේ හෝ පාලන තන්ත්රයේ එවැනි කිසිදු ශ්‍රේණිගත කිරීමක් නොමැති බවයි. කැනඩාව යනු මානව අයිතිවාසිකම් අතිශය දැඩි ලෙස ක්‍රියාත්මක වන රටකි. එහි මූලික නීතිය වන ‘අයිතිවාසිකම් සහ නිදහස පිළිබඳ ප්රඥප්තිය’ (Charter of Rights and Freedoms) අනුව සෑම මනුෂ්‍යයෙකුටම හිමිවන්නේ සමාන ගෞරවයකි. එහිදී පුද්ගලයෙකුගේ ස්ත්‍රී පුරුෂභාවයට වඩා ‘පුරවැසියාගේ ආරක්ෂාව’ කෙරෙහි නීතියේ අවධානය යොමු වෙයි.
එසේ නම් පිරිමින්ට ‘අන්තිම තැන’ ලැබී ඇති බවට සමාජ මතයක් ගොඩනැගී ඇත්තේ ඇයි? ඒ සඳහා බලපාන ප්‍රධාන කරුණු කිහිපයකි.
1. දැඩි දණ්ඩනීය නීති පද්ධතිය
කැනඩාවේ පිරිමින් නීතිය හමුවේ දැඩි පරීක්ෂාකාරී විය යුතුය. මන්ද, ඉතා සුළු අත්වැරදීමකින් වුවද ඔවුන්ගේ සහ ඔවුන් හා ජීවත් වන්නන්ගේ මුළු ජීවිතයම උඩුයටිකුරු විය හැකි බැවිනි. ලංකාව වැනි රටවල සාමාන්‍ය පවුල් ආරවුලක් ලෙස සලකන බොහෝ දේ කැනඩාවේදී ‘දණ්ඩනීය අපරාධ’ ගණයට වැටේ. ‘ගෘහස්ථ ප්රචණ්ඩත්වය’ (Domestic Violence) ඉතා පුළුල් පරාසයකින් කැනේඩියානු නීතිය තුළ ආවරණය වේ.
- වාචික සහ මානසික ප්රචණ්ඩත්වය(Psychological and Verbal Abuse): බිරිඳට නිරන්තරයෙන් අපහාස කිරීම හෝ ඇයගේ ආත්ම අභිමානයට හානි කිරීම ‘මානසික ප්රචණ්ඩත්වය’ ලෙස සැලකේ.
- තර්ජනය කිරීම(Uttering Threats): “මම උඹට කරන දේ බලාගනින්” වැනි ප්‍රකාශයක් පවා වසර කිහිපයක සිරදඬුවම් ලැබිය හැකි බරපතල වරදකි. පහරදීමක් සිදු විය යුතුම නැත; වින්දිතයා තුළ බියක් ඇති කිරීම පමණක් ප්රමාණවත්ය.
- බලහත්කාරී පාලනය (Coercive Control): බිරිඳ යන එන තැන් පාලනය කිරීම, දුරකථනය පරීක්ෂා කිරීම හෝ ඇයට මුදල් භාවිත කිරීමට ඇති අයිතිය සීමා කිරීම මෑතකදී නීතිය මගින් දැඩිව නියාමනය කර ඇත.
2. Zero Tolerance ප්‍රතිපත්තිය
කැනඩාවේ බොහෝ ප්‍රාන්තවල පොලිසිය ක්‍රියා කරන්නේ, ‘ගෘහස්ථ ආරවුලකදී පැමිණිල්ලක් ලැබුණු සැ‚න් ක්‍රියාත්මක විය යුතුයි’ යන පදනමිනි.
- ස්වාධීන තීරණ: පොලිසිය නිවසට පැමිණි විට බිරිඳ විසින් “මට පැමිණිල්ලක් එපා” යැයි පැවසුවද, පොලිස් නිලධාරියාට ප්රචණ්ඩත්වයක් සිදුව ඇති බවට සාධාරණ සැකයක් ඇත්නම් පිරිමියා අත්අඩංගුවට ගත හැකිය.
- ඇප කොන්දේසි: අත්අඩංගුවට ගැනීමෙන් පසු නිවසට යාම හෝ බිරිඳ ඇමතීම තහනම් කරමින් දැඩි කොන්දේසි පනවනු ලැබේ. මෙය නඩුව ඔප්පු වීමටත් පෙර පිරිමියාට සිය දේපළ සහ නවාතැන අහිමි කරන දණ්ඩනීය අත්දැකීමක් බවට පත්වේ.
3. දරුවන් ඉදිරියේ ආරවුල් සහ ළමා ආරක්ෂණය
කැනඩාවේ නීතියට අනුව මව සහ පියා අතර සිදුවන ආරවුලක් දරුවෙකු බලාසිටීම ‘ළමා අපයෝජනයක්’ (Child Abuse) ලෙස සැලකේ. පොලිසිය මෙවැනි අවස්ථා වහාම ළමා රක්ෂණ සේවාවට (Children’s Aid Society) වාර්තා කරයි. මෙහි ප්‍රතිඵලය වන්නේ පියාට පමණක් නොව, දරුවා ආරක්ෂා කිරීමට අපොහොසත් වූවා යැයි පවසමින් මවට එරෙහිවද නීතිය ක්‍රියාත්මක වීමයි. මෙය මුළු පවුලම විසිරී යාමට හේතු විය හැක.
4. පවුල් නීතිය සහ භාරකාරත්වය
දික්කසාදයකදී දරුවන්ගේ භාරකාරත්වය සම්බන්ධයෙන් ‘දරුවාගේ උපරිම යහපත’ සලකා බැලූණද, ප්‍රායෝගිකව දරුවන් මව
වෙත යොමු කිරීමේ ස්වභාවික ප්‍රවණතාවක් පවතින බව පිරිමි අයිතිවාසිකම් කණ්ඩායම් පෙන්වා දෙයි. එමෙන්ම දික්කසාදයකින් පසු පිරිමියාට සිය වැටුපෙන් වැඩි කොටසක් Child Support (ළමා නඩත්තු) සහ Spousal Support (බිරිඳගේ නඩත්තු) ලෙස ගෙවීමට සිදුවීම ඔවුන්ව ආර්ථීක වශයෙන් දැඩි පීඩනයකට පත් කරයි.
වින්දිතයා පිරිමියෙකු වූ විට නීතියේ ප්‍රායෝගික පැත්ත
නීතිමය වශයෙන් කැනඩාවේ ස්ත්‍රී පුරුෂභාවය මත පදනම්ව වෙනසක් නොතිබුණද, ප්‍රායෝගිකව පිරිමියෙකු වින්දිතයෙකු වූ විට ක්‍රියාවලිය ඛෙහෙවින් සංකීර්ණ වේ. කැනේඩියානු අපරාධ නීතිය යටතේ ප්රචණ්ඩත්වය යන්න ලිංගිකත්වය මත වෙනස් නොවේ. කාන්තාවක විසින් පිරිමියෙකුට පහර දීම හෝ වාචිකව හෝ මානසිකව තර්ජනය කිරීම හෝ පීඩනයට ලක් කිරීම බරපතල වරදකි. එහෙත් මෙහිදී පොලිසිය මැදිහත් වන ආකාරය සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටලූ පවතී.
- ප්‍රාථමික ආක්රමණිකයා (Primary Aggressor) හඳුනාගැනීම: ගෘහස්ථ ආරවුලක් සඳහා පොලිසිය පැමිණි විට, ඔවුන් මුලින්ම උත්සාහ කරන්නේ ආරවුල ආරම්භ කළේ කවුද සහ වඩාත් හානියක් කළ හැකි පුද්ගලයා කවුදැයි හඳුනා ගැනීමටයි. බොහෝ විට පිරිමියෙකු කාන්තාවකට වඩා ශාරීරිකව ශක්තිමත් යැයි උපකල්පනය කෙරෙන බැවින්, පිරිමියාට තුවාල තිබුණද, ඔහු රණ්ඩුව පාලනය කිරීමට උත්සාහ කළ ආකාරය ගැන පොලිසිය සැක මතු කරන අවස්ථා තිබේ.
- ද්විත්ව අත්අඩංගුවට ගැනීම්: පැහැදිලිව වරදකරු කවුදැයි හඳුනාගත නොහැකි වූ විට සහ දෙදෙනාම එකිනෙකාට චෝදනා කරගන්නා විට, ඇතැම් විට පොලිසිය දෙදෙනාවම අත්අඩංගුවට ගනී. මෙහිදී දරුවන් සිටී නම් ඔවුන්ව වහාම ළමා රක්ෂණ සේවාව (CAS) භාරයට ගැනීමට සිදුවීම පිරිමින්ට තීරණාත්මක බලපෑමක් ඇති කරයි.
නිහඬව විඳවන පිරිමි පරපුර
පිරිමියා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වීමේදී පවතින ලොකුම බාධාව වන්නේ පිරිමින් විසින්ම තමන්ට සිදුවන හිංසා පිළිබඳ පැමිණිලි නොකිරීමයි.
- සමාජීය ලැජ්ජාව: කාන්තාවකගෙන් පහර කෑ පිරිමියෙකු දෙස සමාජය බලන ආකාරය නිසා බොහෝ දෙනා නිහඬව සිටිති.
- ප්‍රතිවිපාක පිළිබඳ බිය: තමන් 911 ඇමතුමක් දුන්නද, අවසානයේ පොලිසිය තමන්වම අත්අඩංගුවට ගනීවි යැයි යන බිය (Counter-accusation) පිරිමින් තුළ පවතී. සංඛ්‍යාලේඛනවලට අනුව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන පිරිමින්ගෙන් පොලිසියට වාර්තා කරන්නේ 20% කටත් වඩා අඩු පිරිසකි.
පිරිමියා ‘අන්තිමයා’ වන සමාජ විෂමතාව
මෙය නීතියේ ගැටලුවකට වඩා සමාජ ප්‍රමුඛතාවල ගැටලුවකි. ‘ළමයින්, ගැහැණුන්, සතුන් සහ පිරිමින්’ යනුවෙන් සමාජයේ පවතින නොනිල වර්ගීකරණය තුළ පිරිමියාට ලැබෙන අවධානය අවම බව විවේචකයෝ පවසති.
- සංරක්ෂිත රැකවරණය සහ හුදෙකලාව: ප්‍රචණ්ඩත්වයට පත්වන කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් සෑම නගරයකම රජයේ සහ රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් ක්‍රියාත්මක වුවද, අසරණ වන පිරිමියෙකුට එවැනි ‘විශේෂිත’ රැකවරණයක් ලැබෙන්නේ කලාතුරකිනි. කැනඩාවේ නිවාස නොමැති (Homeless) පුද්ගලයන්ගෙන් 70% කට වඩා පිරිමින් වුවද, ඔවුන් වෙනුවෙන් වෙන්වූ නවාතැන් ප්‍රමාණය සාපේක්ෂව ඉතා අඩුය.
- ‘ශක්තිමත් පිරිමියා‘ යන මිථ්‍යාව: කැනඩාවේ සියදිවි නසාගන්නා පුද්ගලයන්ගෙන් 75% ක්ම පිරිමින් වේ (Statistics Canada අනුව, දිනකට කැනේඩියානුවන් 12 දෙනෙකු පමණ සියදිවි නසා ගන්නා අතර ඉන් 9 දෙනෙකුම පිරිමින්ය.). එහෙත් මානසික ආතතියකදී උපකාර පැතීමට පිරිමින්ට ඇති අවස්ථා සහ ඔවුන්ව දිරිමත් කිරීමේ වැඩසටහන් ඉතා මදය. “පිරිමියෙකු ලෙස ශක්තිමත්ව සිටිය යුතුය” යන සමාජ පීඩනය නිසා ඔවුහු හුදෙකලා වෙති.
- සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර: වර්තමාන කැනේඩියානු සමාජය තුළ පිරිමියා ‘අමතක වූ පුරවැසියා’ ලෙසට දැනෙන කරුණු අතර, උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ගෙන් බහුතරය කාන්තාවන් වීමත් (සියයට 60 කට ආසන්න ප්‍රමාණයක්), රජයේ විවිධත්ව ප්‍රතිපත්ති (Diversity mandates) හේතුවෙන් රැකියා වෙළඳපොළ තුළ පිරිමින්ට ඇති තරඟකාරිත්වය දැඩි වීමත් ප්‍රධාන හේතු වේ. කාන්තාවන්ට රැකියා අවස්ථා අඩු බවට මතයක් පැවතියද, සැබෑ ගැටලූව වන්නේ රැකියා හිඟය නොව පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් ලබන වැටුපේ පවතින අඩුව හෙවත් ‘වැටුප් පරතරය’ (Gender Wage Gap) පිළිබඳ ගැටලූවයි.
මෙම සමාජ විෂමතාව සෞඛ්‍ය ක්ෂේත්රය තුළද දැකිය හැකි අතර, පියයුරු පිළිකා වැනි කාන්තා සෞඛ්‍ය ගැටලූ සඳහා ලැඛෙන දැවැන්ත රාජ්‍ය අවධානය සහ ප්‍රතිපාදන, පිරිමින්ට පමණක් වැළෙඳන ප්‍රොස්ටේට් පිළිකා වැනි රෝග සඳහා සාපේක්ෂව ඉතා අඩුවෙන් ලැබීම පිරිමියා පද්ධතිය තුළ කොන් වී ඇති බවට නැගෙන විවේචන තහවුරු කරයි.
පිරිමියාද ‘මනුෂ්‍යයෙකි’
කැනඩාව තුළ පිරිමි අයිතිවාසිකම් (Men’s Rights) පිළිබඳ විවාදය මෑත වසරවලදී සැලකිය යුතු මාතෘකාවක් බවට පත්ව ඇත. මෙය හුදෙක් පවතින දැඩි නීති පද්ධතියට එරෙහි වීමක් නොව, එම පද්ධතිය තුළ පිරිමියාට හිමිවිය යුතු සාධාරණත්වය සහ මානුෂීය රැකවරණය පිළිබඳව කෙරෙන නැවත කියවීමකි.
විශේෂයෙන්ම, Centre for Men and Families (CCMF) වැනි සංවිධාන පෙන්වා දෙන්නේ පිරිමින් මුහුණ දෙන ගැටලූ – එනම් පවුල් අධිකරණයේ පවතින ඇතැම් පක්ෂග්රාහී තීරණ, පිරිමි වින්දිතයන්ට ඇති රැකවරණ මධ්‍යස්ථානවල දැඩි හිඟකම සහ ඉහළ යන සියදිවි නසාගැනීම් අනුපාතය – ජාතික මට්ටමේ අවධානයක් ලැබිය යුතු බරපතල ‘සමාජ අර්බුද’ බවයි.
ළමයින්, කාන්තාවන් සහ සතුන් ආරක්ෂා කිරීම ශිෂ්ට සම්පන්න සමාජයක ලක්ෂණයක් වුවද, එම ආරක්ෂාව පිරිමියාටද සමාන ලෙස අයිති විය යුතු අතර එය මෙම පද්ධතිය තුළ මගහැරී යාම නූතන කැනේඩියානු සමාජය හමුවේ ඇති ප්‍රබල අභියෝගයකි. ඕනෑම දියුණු සමාජයක පැවැත්ම රඳා පවතින්නේ එක් පාර්ශවයක් මර්දනය කිරීම මත නොව, සෑම කොටසකටම එකසේ ගෞරවය සහ ආරක්ෂාව ලැඛෙන නීතිමය සහ සමාජයීය පරිසරයක් තුළය.
කැනඩාව අද පසුවන්නේ එම පරිපූර්ණ සමානාත්මතාවය සොයා යන ගමනේ අභියෝගාත්මක සන්ධිස්ථානයකය. අප පිරිමියා දෙස බැලිය යුත්තේ ‘බලවතා’ ලෙස නොව, අනෙක් සෑම ජීවියෙකු මෙන්ම ආරක්ෂාව සහ ආදරය ලැබිය යුතු ‘මනුෂ්‍යයෙකු’ ලෙසය.




