දේශපාලන ලෝකය නිරන්තරයෙන් මවිතයට පත් කරන ඩොනල්ඩ් ට්‍රම්ප්, පසුගිය මැයි 11 වන දා Fox News නාලිකාවේ John Roberts සමඟ පැවැති සාකච්ඡාවකදී නවතම දේශපාලන කතිකාවතකට මුල පිරීය. ජනාධිපතිවරයා එහිදී පවසා සිටියේ, “වෙනිසියුලාව එක්සත් ජනපදයේ 51 වන ප්‍රාන්තය බවට පත් කිරීම පිළිබඳව තමන් බැරෑරුම් ලෙස සලකා බලමින් සිටින බවයි.”

මෙම ප්‍රකාශය ලොව පුරා පුවත්පත් ආයතන, රාජ්‍ය තාන්ත්‍රික අංශ සහ මූල්‍ය වෙළඳපොළවල් පුරා මහත් ආන්දෝලනයක් ඇති කළේය. මෙය හුදෙක් සමාජ මාධ්‍ය ඔස්සේ කළ විහිළුවක් හෝ ප්‍රහසනයක් නොවීය. එය අමෙරිකාවේ බලයේ සිටින ජනාධිපතිවරයෙකු විසින්, ජාතික පුවත් නාලිකාවක සෘජුව අදහස් දක්වමින්, දකුණු ඇමරිකානු ස්වෛරී රාජ්‍යයක් විධිමත් ලෙස අත්පත් කර ගැනීම පිළිබඳව කළ ප්‍රකාශයකි.

මෙහිදී ජනාධිපති ට්‍රම්ප්, රොබට්ස් අමතමින් කියා සිටියේ වෙනිසියුලානුවන් තමන්ට ඛෙහෙවින් ආදරය කරන බවයි. ඉන්පසුව ඔහු, මුළු කතාවේම සැබෑ අර්ථය මුදාහරින් රහසක් හෙළි කළේය. ඒ, වෙනිසියුලාව සතුව පවතින ඇස්තමේන්තුගත ඩොලර් ට්‍රිලියන 40 ක අතිමහත් තෙල් සම්පතයි. සැබවින්ම, එම ට්‍රිලියන ගණනක දැවැන්ත වටිනාකම, මුළු සිදුවීමේම පසුබිමේ සැඟව තිබූ දේශපාලන හා ආර්ථීක වුවමනාවන්හි නිරුවත ලොවට හෙළිදරව් කිරීමට සමත් විය.

එසේම, වෙනිසියුලාව සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ එම ආන්දෝලනාත්මක ප්‍රකාශය, හුදෙක් වාචික දේශපාලන ප්‍රහාරයකට පමණක් සීමා වන්නක් නොවේ. සැබවින්ම එය, 2026 ජනවාරි මාසයේ සිට ඉතා සූක්ෂ්ම ලෙස ක්‍රියාත්මක වූ දැවැන්ත මිලිටරි සහ ආර්ථීක උපක්‍රමශීලී මෙහෙයුමක තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය ලොවට කියා පෑමකි.

අසාමාන්‍ය හමුදා මෙහෙයුම

2026 ජනවාරි 3 වන දින අලුයම වෙනිසියුලාවේ Caracas  අහස ගිගුම් දුන්නේ හුදෙක් හමුදා මෙහෙයුමකින් පමණක් නොවේ. එය ලෝක බලශක්ති දේශපාලනයේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කළ මොහොතකි. අමෙරිකානු විශේෂ බලකායන් විසින් වෙනිසියුලානු දේශසීමා සිපගනිමින් දියත් කළ එම අකුණු වේගී වැටලීමෙන්, වසර ගණනාවක් අමෙරිකාවට අභියෝග කළ Nicolás Maduro අත්අඩංගුවට පත් විය. මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය සහ අවි චෝදනා යටතේ ජනාධිපති Maduro එක්සත් ජනපදයට රැගෙන ඒම, නවීන අමෙරිකානු ඉතිහාසයේ අතිශය නිර්භීත විදේශ මෙහෙයුම්වලින් එකකි.

ට්‍රම්ප් මෙම මෙහෙයුම හුදු නීතිමය ක්‍රියාවලියකට එහා ගිය ‘අසාමාන්‍ය හමුදා මෙහෙයුමක්’ ලෙස හඳුන්වා දුන් අතර, ඔහුගේ මීළඟ ඉලක්කය වූයේ වෙනිසියුලාවේ ආර්ථීක දේහය සතු තෙල් සම්පත යළි අත්පත් කර ගැනීමයි.

51 වන ප්‍රාන්තයේ සිහිනය

වෙනිසියුලාව සතු තෙල් බලය හුදු ස්වභාවික සම්පතක් පමණක් නොව, එය ලෝක දේශපාලනයේ බල තුලනය තීරණය කරන තීරණාත්මක සාධකයකි. සෞදි අරාබියද අභිබවා යමින් බැරල් බිලියන 303-304 ක දැවැන්ත තෙල් සංචිතයකට හිමිකම් කියන වෙනිසියුලාව, වර්තමානයේ ලොව විශාලතම තෙල් සංචිතය හිමි රාජ්‍යයයි. වත්මන් වෙළඳපොළ මිල අනුව එහි ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් ට්‍රිලියන 40 ක් පමණ වේ.

මෙම අගයේ බරපතලකම වටහා ගැනීමට නම් ඇමරිකාවේ වත්මන් මූල්‍ය තත්ත්වය සමඟ එය සැසඳිය යුතුය. මේ වන විට මුළු ඇමරිකානු ෆෙඩරල් ණය ප්‍රමාණය දළ වශයෙන් ඩොලර් ට්‍රිලියන 36 කි. එනම්, වෙනිසියුලාවේ තෙල් සම්පතින් පමණක් මුළු ඇමරිකානු ණය බර සම්පූර්ණයෙන්ම පියවා දැමීමට හැකියාව පවතී.

ට්‍රම්ප්ගේ මෙම මූලෝපාය ඔහුගේ සමස්ත විදේශ ප්‍රතිපත්තිය තුළ සැඟව ඇති ‘බලශක්ති ආධිපත්‍යය’ පිළිබඳ දැක්ම මනාව පිළිබිඹු කරයි. ඔහු හරිත බලශක්ති කැපවීම්වලින් බැහැර වෙමින් දේශීය තෙල් කැණීම් ව්‍යාප්ත කිරීමට කටයුතු කළ අතර, වෙනිසියුලානු හමුදා මෙහෙයුම සෘජුවම හඳුන්වා දුන්නේ ‘තෙල් ප්‍රකෘතිමත් කිරීමේ මෙහෙයුමක්’ (Oil Recovery Operation) ලෙසිනි. ඔහුගේ තර්කය වූයේ වෙනිසියුලාවේ තෙල් යටිතල පහසුකම් ‘ඇමෙරිකානු දක්ෂතාවයෙන් සහ කුසලතාවයෙන්’ ගොඩනඟන ලද ඒවා බවත්, සමාජවාදී පාලන තන්ත්‍රය විසින් ඒවා ‘සොරකම් කර’ ඇති බවත්ය.

මෙම චෝදනාවත් සමගම, ට්‍රම්ප් ප්‍රමුඛ පෙළේ ඇමරිකානු තෙල් සමාගම් යළිත් එරට ස්ථාපිත කර, යටිතල පහසුකම් ගොඩනඟා ‘රජය වෙනුවෙන් මුදල් ඉපයීමට’ පටන් ගන්නා බවට ප්‍රතිඥා දුන්නේය. එම ප්‍රකාශය හුදු වචනවලට පමණක් සීමා නොවූ අතර, දින කිහිපයක් ඇතුළත එක්සත් ජනපදය වෙනිසියුලාවේ නව වැඩබලන රජය සමඟ බැරල් මිලියන 50 ක තෙල් සැපයුම් ගිවිසුමක් ප්‍රකාශයට පත් කළේය. එහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 300 ක මුදලක් ජනවාරි 20 වන විටත් තැන්පත් කර තිබීම විශේෂත්වයකි.

2026 පෙබරවාරි වන විට මෙම උපායමාර්ගය තවත් වේගවත් විය. ඇමරිකානු බලශක්ති ලේකම් Chris Wright කරකාස් හි සංචාරය කරමින් වාර්තා කළේ, මදුරෝ බලයෙන් පහ කළ දින සිට මේ දක්වා වෙනිසියුලානු තෙල් අලෙවියෙන් ඩොලර් බිලියන 1 කට වඩා උපයා ඇති බවත්, ඉදිරි මාසවලදී එය ඩොලර් බිලියන 5 දක්වා ඉහළ යනු ඇති බවත්ය.

පරිවර්තනයේ පෙරගමන්කාරිනිය

Delcy Eloína Rodríguez Gómez is a Venezuelan politician and diplomat who has been acting president of Venezuela since 2026, after the United States intervention in Venezuela. – Wikipedia

වෙනිසියුලාව අමෙරිකානු ප්‍රාන්තයක් කිරීමේ යෝජනාව හුදෙක් දේශපාලන ප්‍රකාශනයක් නොවන්නේ, ඒ සඳහා අවශ්‍ය පසුබිම කරකාස් නුවර තුළ දැනටමත් නිර්මාණය කර ඇති බැවිනි. මදුරෝගේ වැටලීමෙන් පසු ඇති වූ දේශපාලන රික්තකය පිරවීම සඳහා Delcy Rodríguez වැනි සහයෝගී නායකත්වයක් වැඩබලන ජනාධිපති ධුරයට පත් කිරීම මෙම සැලසුමේ තීරණාත්මක පියවරකි.

මෙම පත්වීම පිටුපස ඇති ප්‍රධාන කරුණු කිහිපයකි:

දේශපාලන සහයෝගීතාව: මදුරෝ පාලන සමයේ උප ජනාධිපතිනිය ලෙස කටයුතු කළද, වත්මන් සංක්‍රාන්ති සමයේ අමෙරිකානු අභිලාෂයන් සමඟ එකඟ වෙමින් කටයුතු කරන ‘සහයෝගී’ පාලනයක් මෙහෙයවීමට Rodríguez තෝරාගෙන ඇත. මෙය ට්‍රම්ප් පවසන ‘නිසි සංක්‍රාන්තිය’ සහතික කිරීම සඳහා වූ උපායමාර්ගික පියවරකි.

තෙල් සම්බාධක ඉවත් කිරීම: Rodríguez පාලනය යටතේ අමෙරිකාව පනවා තිබූ තෙල් සම්බාධක ලිහිල් කිරීම ආරම්භ වූ අතර, එමඟින් අමෙරිකානු බලශක්ති සමාගම්වලට වෙනිසියුලානු භූමිය තුළ නිදහසේ ආයෝජනය කිරීමට මාවත විවෘත විය.

පාලනය තහවුරු කිරීම: ට්‍රම්ප් Mar-a-Lago හිදී පැවසූ “අපි රට පාලනය කරන්න යනවා” යන ප්‍රකාශය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ රොඩ්රිගස්ගේ පාලනය හරහාය. ඇයගේ රජය අමෙරිකානු උපදේශනය සහ ආරක්ෂාව යටතේ ක්‍රියාත්මක වන අතර, එය වෙනිසියුලාව අමෙරිකාවේ 51 වන ප්‍රාන්තය බවට පත් කිරීමේ තාර්කික අවසානය කරා යන ගමනේ අතරමැදි පාලමයි.

මෙලෙස සක්‍රීය හමුදා මෙහෙයුමක්, තෙල් සම්පත පාලනය කිරීම සහ තමන්ට හිතවාදී වැඩබලන ජනාධිපතිවරයෙකු පත් කිරීම යන කරුණු එකිනෙකට බැඳී පවතී. ට්‍රම්ප්ගේ තර්කය වන්නේ, මෙම සියලු කළමනාකරණයන් අමෙරිකාව විසින් සිදු කරන්නේ නම්, එය නිල වශයෙන්ම අමෙරිකානු භූමියක් බවට පත් කරගැනීම වඩාත් ප්‍රායෝගික බවයි.

Fox News ඇතුළු ගතානුගතික ඇමෙරිකානු විචාරකයින් මෙම අදහස උනන්දුවෙන් වැළඳගෙන තිබේ. ප්‍රකට මාධ්‍යවේදී Sean Hannity යෝජනා කළේ ට්‍රම්ප් ‘කැනඩාව අමතක කර’ ඔහුගේ භූමිය අත්පත් කර ගැනීමේ අභිලාෂයන් වෙනිසියුලාව දෙසට යොමු කළ යුතු බවයි. සෙනෙට් සභික Lindsey Graham පවා හැනිටිගේ එම යෝජනාවට එකඟ වෙමින් පවසා සිටියේ “එය හොඳ අදහසක්” බවයි.

මේවා හුදෙක් හුදෙකලා හඬවල් නොවේ. ඒ වෙනුවට, ඒවා වර්තමාන රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධාන පෙළේ කතිකාවත තුළ මුල් බැසගනිමින් පවතින නව අධිරාජ්‍යවාදී චින්තනයක පෙරනිමිති වේ. ඒ අනුව, වෙනිසියුලාව යනු තවදුරටත් ස්වෛරී රාජ්‍යයක් නොව, ඇමෙරිකාවේ මූල්‍ය අර්බුදයට විසඳුම් සපයන බලශක්ති ගබඩාවක් ලෙස පරිවර්තනය වෙමින් පවතී.

ලෝකයේ ප්‍රතිචාරය

වෙනිසියුලාව සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය රාජ්‍ය තාන්ත්‍රික ලෝකය දැඩි කැලඹීමකට ලක් කළද, ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඊට ලැබුණේ පිළිතුරු ප්‍රකාශ නොව ‘අද්භූත මහා නිහඬතාවකි’. එම නිහඬතාවය පිටුපස සැඟවී ඇති ගෝලීය අසරණකම මැයි 11 වන දා ට්‍රම්ප් පරිපාලනයෙන් නිකුත් වූ අභ්‍යන්තර වාර්තා මඟින් වඩාත් හොඳින් තහවුරු වෙයි. ඉන් මනාව පසක් කර දෙන්නේ වෙනිසියුලාව ඉලක්ක කරගනිමින් වොෂින්ටනය දියත් කරන ඒකපාර්ශ්වික භූ-දේශපාලනික න්‍යාය පත්‍රය අභියෝගයට ලක් කිරීමට තබා, එය වෙනස් කිරීමට තරම් ව්‍යුහාත්මක ශක්තියක් හෝ දේශපාලනික වුවමනාවක් මේ වන විට සමස්ත ලෝක ප්‍රජාව සතු නොවන බවයි.

ජනවාරි මාසයේදී එක්සත් ජනපදය විසින් වෙනිසියුලානු නායක නිකලස් මදුරෝ ඉලක්ක කර ගනිමින් දියත් කළ මෙහෙයුම, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ වෙනිසියුලාවේ ස්වෛරීභාවය සෘජුවම උල්ලංඝනය කිරීමක් බව පවසමින් ජාත්‍යන්තර නීති විශේෂඥයන් සහ ලෝක රාජ්‍යයන් රැසක් ඊට එරෙහිව දැඩි විරෝධයක් පළ කළහ. එහෙත්, ඊට ජනාධිපති ට්‍රම්ප් ලබාදුන්නේ ලෝකයම මවිත කළ ප්‍රතිචාරයකි. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත අමතමින් ඔහු ප්‍රසිද්ධියේම කියා සිටියේ තමන්ට ‘ජාත්‍යන්තර නීතිවලින් වැඩක් නොමැති’ බවත්, තමාට වැදගත් වන්නේ ‘තමන්ගේම සදාචාරය සහ විනිශ්චය පමණක්’ බවත්ය. සුපිරි බලවතා ජාත්‍යන්තර නීති පද්ධතියම මෙලෙස ප්‍රතික්ෂේප කිරීමත් සමඟ, වොෂින්ටනයේ ක්‍රියාකලාපය පිළිබඳව පැවති ජාත්‍යන්තර නීතිමය සංවාද සහ විවේචන සියල්ල එතැනින්ම අවසන් වී ගියේය.

ඇමරිකාවේ මෙම ඒකපාර්ශ්වික ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ ජාත්‍යන්තර ප්‍රජාව අතර චීනය පෙරමුණ ගත්තේය. බීජිං පාලනය විසින් වොෂින්ටනයේ මෙම මෙහෙයුම සෘජුවම ‘මැර හැසිරීමක්’ ලෙස හෙළා දුටු අතර, එය ගෝලීය බලය අනිසි ලෙස භාවිත කිරීමක් ලෙසද විස්තර කළේය. චීනය මෙලෙස දැඩි ලෙස ප්‍රතිචාර දැක්වීමට ප්‍රධාන හේතුව වූයේ, පසුගිය දශක දෙකක කාලය පුරාම ඔවුන් වෙනිසියුලාව සමඟ ගොඩනඟාගෙන තිබූ ගැඹුරු උපායමාර්ගික සහ ආර්ථීක සබඳතාවයි. විශේෂයෙන්ම, වෙනිසියුලානු තෙල් සම්පත එම සබඳතාවයේ මූලික පදනම වී තිබුණි. එබැවින්, ඇමරිකාවේ වත්මන් මැදිහත්වීම එම දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතාව බිඳ දමන්නක් වූ අතර, වෙනිසියුලාව ඇමරිකාවේ 51 වැනි ප්‍රාන්තය බවට පත් කිරීමේ යෝජනාව මඟින් සිදු වන්නේ එම කලාපය තුළ පවතින චීන බලපෑමට ස්ථීරවම දොර වැසී යාමයි.

මීට පෙර ග්‍රීන්ලන්තය, පැනමාව සහ කැනඩාව සම්බන්ධයෙන් අමෙරිකාව අනුගමනය කළ ආක්‍රමණශීලී ක්‍රියාමාර්ග හේතුවෙන් දැඩි කම්පනයට පත්ව සිටින ලතින් ඇමරිකානු රජයයන්, වත්මන් භූ දේශපාලනික පෙරළිය දෙස අතිශය විමසිල්ලෙන් බලා සිටියි. විශේෂයෙන්ම, පසුගිය මාර්තු මාසයේදී කැනඩාවේ niversity-Rosedale, Scarborough Southwest සහ Cardigan යන ආසන තුන සඳහා ප්‍රකාශයට පත් කෙරුණු තීරණාත්මක ෆෙඩරල් අතුරු මැතිවරණ ව්‍යාපාරයේදී, කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි විසින් කරළියට ගෙන ආ Never 51 යන ප්‍රබල දේශපාලන සටන් පාඨය, අමෙරිකානු අධිරාජ්‍යවාදී බලපෑම් හමුවේ ස්වෛරීභාවය වෙනුවෙන් පෙනී සිටින මුළු මහත් ලතින් ඇමරිකානු කලාපය පුරාම මේ වන විට ප්‍රබල ලෙස දෝංකාර දෙමින් පවතී.

නීතියමය තත්ත්වය

වෙනිසියුලාව ඇමරිකාවේ 51 වැනි ප්‍රාන්තය බවට පත් කිරීමේ නීතිමය සහ ව්‍යවස්ථාපිත මාවත අතිශය සංකීර්ණ මෙන්ම ප්‍රායෝගිකව අසීරු එකකි. ඇමරිකානු ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය (Article IV) ප්‍රකාරව, ෆෙඩරල් පද්ධතියට නව ප්‍රාන්තයක් ඇතුළත් කර ගැනීමේ පූර්ණ බලය හිමිවන්නේ ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයටයි. ඒ සඳහා කොංග්‍රස් මණ්ඩලයේ සරල බහුතර අනුමැතියක් අවශ්‍ය වේ. කෙසේ වෙතත්, ස්වාධීන සහ විදේශීය ස්වෛරී රාජ්‍යයක් ඍජුවම ඇමරිකානු ප්‍රාන්තයක් බවට පත් කර ගැනීම සම්බන්ධයෙන් ඇමරිකානු ඉතිහාසය තුළ නවීන පූර්වාදර්ශ කිසිවක් නොමැත.

මෙවැනි ක්‍රියාවලියක් නීත්‍යනුකූල රාමුවක් තුළ සිදුවීමට නම්, වෙනිසියුලාව ප්‍රාන්තයක් වීමට පෙර ඇමරිකානු පාලන ප්‍රදේශයක් (Territory) බවට පත් විය යුතුය. ඒ සඳහා ප්‍රධාන කොන්දේසි ත්‍රිත්වයක් සපුරාලිය යුතුව ඇත.

පළමුව, වෙනිසියුලානු ජනතාව හෝ එරට නීත්‍යනුකූල රජය ඊට ස්වේච්ඡාවෙන් කැමැත්ත පළ කළ යුතුය.

දෙවනුව, එම ඒකාබද්ධ කිරීම සඳහා ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ ද්විත්ව සභා අනුමැතිය හිමිවිය යුතුය.

තෙවනුව, ජාත්‍යන්තර නීතිමය රෙගුලාසි සහ ව්‍යවස්ථාපිත ගැළපීම් පිළිබඳව ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ නීතිමය තීන්දුවක්ද මීට අත්‍යවශ්‍ය වනු ඇත.

කෙසේ වෙතත්, නීත්‍යනුකූලභාවය සහ දේශපාලන චේතනාව යනු එකිනෙකට වෙනස් කරුණු දෙකකි. ජනාධිපති ට්‍රම්ප් මීට පෙරද කැනඩාව, ග්‍රීන්ලන්තය සහ පැනමාව වැනි රටවල් ඈඳා ගැනීම හෝ ඒවාට ප්‍රාන්තභාවය ලබා දීම පිළිබඳව විවිධ අවස්ථාවලදී අදහස් පළ කළේය. එදා පටන් අද දක්වාම එම ප්‍රකාශ කිසිවක් වාචික මට්ටමෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගිකව

ක්‍රියාත්මක වූයේ නැත. එබැවින් වෙනිසියුලාව සම්බන්ධයෙන් කළ මෙම ප්‍රකාශයද සැබවින්ම සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අවම මට්ටමක පවතී.

එසේ නම් ඔහු මෙවැනි ප්‍රකාශ කරන්නේ ඇයිද යන්න වටහා ගැනීම වැදගත්ය. මෙමඟින් සැබෑ ලෙසම වෙනිසියුලාව අත්පත් කර ගැනීමට වඩා, ජාත්‍යන්තර දේශපාලන සාකච්ඡාවල ගමන් මඟ තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීමටත්, ඇමරිකාවේ බල පරාක්‍රමය හමුවේ ජාත්‍යන්තර ප්‍රජාවේ ‘ඉවසීමේ සීමාව’ පරීක්ෂා කිරීමටත් ඔහු උපක්‍රමශීලීව කටයුතු කරයි. කෙටියෙන් කිවහොත්, මෙය සැබවින්ම සිදුවන්නක් නොවන මුත්, ලෝකය පුරා ඇමරිකානු ආධිපත්‍යය පිළිබඳ භීතියක් සහ දේශපාලන කතිකාවතක් නිරන්තරයෙන් පවත්වා ගැනීමට ට්‍රම්ප් පරිපාලනය භාවිතා කරන ප්‍රබල මනෝවිද්‍යාත්මක මෙවලමකි.

වෙනිසියුලාවේ අවිනිශ්චිත අනාගතය

පසුගිය ජනවාරි මාසයේ සිට ට්‍රම්ප් පරිපාලනය වෙනිසියුලාව සම්බන්ධයෙන් හිතාමතාම නොපැහැදිලි, එනම් දෙගිඩියාවෙන් යුත් ස්ථාවරයක් පවත්වාගෙන යනු ලබයි. එක් අතකින් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඇමරිකාව විසින් වෙනිසියුලාව ‘පාලනය කරන’ (Run) බවයි. තවත් අතකින්, එහි අවසන් ඉලක්කය ‘නිසි සංක්‍රාන්ති ක්‍රියාවලියක්’ බවද ඔහු පැවසීය. මෙම ප්‍රකාශ දෙක එකිනෙකට වෙනස් දිශාවන් දෙකක් පෙන්නුම් කරන අතර, මෙම නොපැහැදිලි ස්ථාවරය හිතාමතාම උපක්‍රමශීලීව නිර්මාණය කරන ලද්දක් බව පෙනෙන්නට තිබේ. එමඟින් වෙනිසියුලානු අන්තර්වාර නායිකා Rodríguez තවදුරටත් තමන් සමඟ සහයෝගයෙන් තබා ගැනීමටත්, තෙල් සැපයුම අඛණ්ඩව ගලා යාමට සැලැස්වීමටත්, ජාත්‍යන්තර විරෝධතා අස්ථාවර කර තැබීමටත් වොෂින්ටනයට හැකි වී තිබේ. මැයි 11 වනදා වෙනිසියුලාව ’51 වන ප්‍රාන්තය’ ලෙස නම් කරමින් කළ ප්‍රකාශය මඟින්, මෙම නොපැහැදිලි දේශපාලන ස්ථාවරයට තවත් එක් නව මානයක් එකතු කර ඇත.

කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලයේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධානතම කේන්ද්‍රස්ථානය බවට වෙනිසියුලාව පත්ව ඇති බව දැන් ඉතා පැහැදිලිය. වෙනිසියුලාව සතු අතිමහත් තෙල් සම්පත, ප්‍රධාන මුහුදු ප්‍රවාහන මාර්ගවලට එය සතු සමීපභාවය, ට්‍රම්ප් විසින් ‘මත්ද්‍රව්‍ය-ත්‍රස්තවාදය’ (Narco-terrorism) ලෙස හඳුන්වන ව්‍යසනයට එරෙහිව ලැබූ ජයග්‍රහණයක සංකේතාත්මක වටිනාකම සහ දැන් එහි ඇති 51 වන ප්‍රාන්තයක් වීමේ විභවතාවය, යන මේ සියලු කරුණු එක්තැන් කරමින් මතභේදාත්මක, නමුත් පැහැදිලි විදේශ ප්‍රතිපත්ති මතවාදයක් ගොඩනැගීමට ඇමරිකාව පියවර ගනිමින් සිටියි.

මෙම අතිශය සූක්ෂ්ම දේශපාලන ක්‍රියාවලිය අවසන් වන්නේ වෙනිසියුලාව ඇමරිකාවට ඈඳා ගැනීමකින්ද, දිගුකාලීන හමුදාමය ආක්‍රමණයකින්ද, නැතහොත් ඇමරිකානු හිතවාදී රජයක් වෙත බලය පැවරීමේ සංක්‍රාන්ති ක්‍රියාවලියකින්ද යන්න තවමත් අවිනිශ්චිතය. එහෙත්, ලෝක දේශපාලන කරළිය තුළ එක් තිත්ත ඇත්තක් කිසිසේත් ප්‍රතික්ෂේප කළ නොහැක. එනම් 2026 ජනවාරි 3 වනදාට පෙර පැවති නිදහස්, ස්වාධීන වෙනිසියුලාව දැන් සම්පූර්ණයෙන්ම අතීතයට එකතු වී හමාර බවයි.

එසේම, ඇමරිකානු සුපිරි බලයට යම් සීමාවන් පවතින බව උපකල්පනය කරමින් ක්‍රියාත්මක වූ පැරණි ලෝක දේශපාලන රටාව සහ ජාත්‍යන්තර නීති පද්ධතියද, වොෂින්ටනයේ මෙම නව ව්‍යාප්තවාදී පියවරත් සමඟ සදහටම නිමාවී තිඛෙන්නට පුළුවන. නව ලෝක බල තුලනයේ සිතියම දැන් ලියවෙමින් පවතින්නේ වොෂින්ටනයේ පෑනෙනි.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!