කැනඩාවේ ආගමන විගමන පද්ධතිය මුහුණ දී ඇති දැඩි අර්බුදය හමුවේ, ‘ආගමන පද්ධතිය සහ දේශසීමා ශක්තිමත් කිරීමේ පනත – C-12 පනත’ (Bill C-12) පසුගිය මාසයේදී (මාර්තු 26) රාජකීය අනුමැතිය (Royal Assent) ලබා ගනිමින් නීතියක් බවට පත් විය. පනත ක්‍රියාත්මක වී වසර පහකට පසු එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව පාර්ලිමේන්තු කමිටුවක් මගින් පුළුල් සමාලෝචනයක් සිදු කිරීමට නියමිතය.
වසර ගණනාවක් පුරා පාලනයකින් තොරව සිදුවූ සංක්‍රමණ ප්‍රවාහය පාලනය කිරීම සඳහා රජය ගෙන ආ මෙම පනතට, විපක්ෂයේ කොන්සර්වේටිව් පක්ෂය සහ Bloc Québécois පක්ෂය යන දෙපාර්ශවයේම සහය හිමි වීම විශේෂත්වයකි. මෙම දේශපාලන එකඟතාවය හරහා මෙතෙක් පැවති ලිහිල් ප්‍රතිපත්ති දැඩි කිරීමටත් පද්ධතියේ පවතින නීතිමය සිදුරු වසා දැමීමටත් ෆෙඩරල් රජයට දැන් පුළුල් විධායක බලතල හිමිව තිබේ.
රජයේ ස්ථාවරය පැහැදිලි කරමින්, රජයේ සභා නායකවරයාගේ පාර්ලිමේන්තු ලේකම් Kevin Lamoureux අවධාරණය කළේ පද්ධතියේ පවතින අනවශ්‍ය තදබදය අවම කිරීම මෙම පනතේ ප්‍රධාන අරමුණක් බවයි. “යම් පුද්ගලයෙකු අධ්‍යයන කටයුතු හෝ සංචාරයක් සඳහා වසරක් පුරා කැනඩාවේ ජීවත් වී තිබේ නම්, එවැනි අයෙකුට නැවත සරණාගතභාවය ඉල්ලීමට ඉඩ දීමෙන් පද්ධතිය තදබදයට ලක් කිරීමේ අවශ්‍යතාවයක් තිබේද? ” යනුවෙන් ප්‍රශ්න කළ ඔහු, ඊට ඇති කෙටිම පිළිතුර “නැත” යන්න බව පෙන්වා දුන්නේය.
මෙම නව නීතිමය රාමුව මගින් සරණාගත පද්ධතිය අවභාවිත කරන්නන් පාලනය කිරීමට රජයට හැකිවන අතර, ඒ හරහා සැබෑ ලෙසම මානුෂීය රැකවරණය අවශ්‍ය පුද්ගලයන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසීමට අපේක්ෂා කෙරේ. මෙම පනත, දශක කිහිපයකට පසු කැනේඩියානු ආගමන විගමන ඉතිහාසයේ සිදු වූ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකේ.
මෙම නව නීතිය යටතේ ආගමන විගමන අමාත්‍යවරයා වෙත ‘මහජන යහපත’ උදෙසා අයදුම්පත් භාර ගැනීම තාවකාලිකව නැවැත්වීමේ සහ දැනට පවතින අයදුම්පත් සැකසීම අත්හිටුවීමේ විශේෂ බලතල හිමිවේ. වඩාත්ම කැපී පෙනෙන කරුණ වන්නේ, යම් හදිසි තත්ත්වයකදී හෝ වංචනික ක්‍රියාවන් වැළැක්වීමේ අරමුණින් විශාල කණ්ඩායම්වල වීසා බලපත්‍ර එකවර අවලංගු කිරීමට (Mass cancel) අමාත්‍ය මණ්ඩලය වෙත බලය පැවරීමයි. වැඩ බලපත්‍ර, අධ්‍යයන බලපත්‍ර සහ ස්ථීර පදිංචි වීසා පවා මෙලෙස අත්හිටුවීමට හෝ වෙනස් කිරීමට රජයට දැන් නීතිමය අවසරය ඇත.
C-12 පනත මගින් සරණාගතයින් සඳහා සිදුවන වෙනස්කම්
කැනඩාවේ සරණාගතභාවය ඉල්ලීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සහ පද්ධතියේ පවතින අධික තදබදය පාලනය කිරීම අරමුණු කරගනිමින් හඳුන්වා දුන් C-12 පනත මගින්, මෙරට සරණාගත ආගමන විගමන නීති පද්ධතියට ප්‍රබල සංශෝධන රැසක් එක් කර ඇත. මෙම නව නීතිමය රාමුව මගින් ආගමන හා සරණාගත මණ්ඩලය (IRB) හමුවේ පූර්ණ විභාගයකට පෙනී සිටීමට අයදුම්කරුවන්ට ඇති අයිතිය සීමා කරන ප්‍රධාන බාධක දෙකක් නිර්මාණය කර ඇති අතර, ඒ අනුව 2025 ජූනි 3 වන දින (සරණාගත අයදුම්කරුවන් සඳහා නව නීතිය සක්‍රීයව ක්‍රියාත්මක වීමට ආරම්භ වන දිනය) හෝ ඉන් පසුව ඉදිරිපත් කරන සියලුම ඉල්ලීම් සඳහා මෙම නව සීමාවන් අදාළ වනු ඇත.
පනතේ පළමු ප්‍රධාන සංශෝධනය වන්නේ කැනඩාවට ඇතුළු වී වසරකට වඩා වැඩි කාලයක් ගතවී ඉදිරිපත් කරන අයදුම්පත් සම්බන්ධ නීතියයි. 2020 ජූනි 24 දිනෙන් පසුව පුද්ගලයෙකු ප්‍රථම වරට කැනඩාවට ඇතුළු වී වසරකට වැඩි කාලයක් මෙරට රැඳී සිට පසුව සරණාගත ඉල්ලීමක් ඉදිරිපත් කරන්නේ නම්, එය විභාගයක් සඳහා IRB වෙත යොමු කරනු නොලැබේ. මෙම තීරණය අතීතයට බලපාන පරිදි (Retroactively) ක්‍රියාත්මක වන බැවින්, දැනට පද්ධතියේ පවතින අයදුම්පත් 19,000 ක් පමණ ප්‍රතික්ෂේප වනු ඇතැයි ආගමන විගමන අමාත්‍ය Lena Diab සඳහන් කර ඇත. විශේෂත්වය වන්නේ, අදාළ පුද්ගලයා පසුව කැනඩාවෙන් පිටවී නැවත මෙරටට පැමි‚යද, මෙම ‘වසරක නීතිය’ නොවෙනස්ව පැවතීමයි.
දෙවනුව. මීට පෙර ක්‍රියාත්මක වූ සහනයක් වූ ‘දින 14 නීතිය’ ද මෙම පනත මගින් අහෝසි කර ඇත. මීට පෙර නීතිවිරෝධී ලෙස දේශසීමා තරණය කර දින 14 ක් රහසිගතව රැඳී සිටීමෙන් පසු සරණාගත ඉල්ලීම් ඉදිරිපත් කිරීමට තිබූ අවස්ථාව මින් ඉදිරියට හිමි නොවේ. ඒ අනුව, කැනඩා – එක්සත් ජනපද ගොඩබිම් සීමාවේ නිල දොරටු මග හැර මෙරටට ඇතුළු වී දින 14 කට පසුව සරණාගත ඉල්ලීමක් ඉදිරිපත් කරන පුද්ගලයන්ද IRB විභාගයක් සඳහා සුදුස්සන් වනු නොලැබේ. මෙමගින් දහස් සංඛ්‍යාත පිරිසකට තමන් අපේක්ෂා කළ සාමාන්‍ය සරණාගත ක්‍රියාවලිය අනුගමනය කිරීමට ඇති අවස්ථාව අහිමි වී යනු ඇත.
නවීකරණය වන සරණාගත අයදුම් සැකසීමේ පද්ධතිය
සුදුසුකම් ලැබීමේ සීමාවන්ට අමතරව IRCC ආයතනය විසින් සරණාගත ඉල්ලීම් භාරගන්නා සහ ක්‍රියාවට නංවන ආකාරය පිළිබඳ පුළුල් ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමටද C-12 පනත මගින් අවසර ලබා දී ඇත. ඉදිරි මාස කිහිපය තුළ ‘ආගමන හා සරණාගත ආරක්ෂණ රෙගුලාසි’ යාවත්කාලීන කිරීමට නියමිත අතර, එහි අරමුණ වන්නේ මාර්ගගත (Online) අයදුම්පත් සරල කිරීම, අතිරික්ත ප්‍රශ්න ඉවත් කිරීම සහ සම්පූර්ණ කරන ලද අයදුම්පත් පමණක් IRB වෙත යොමු කිරීමයි. එසේම, අයදුම්කරු මෙරටින් පිටව ගොස් ඇති අවස්ථාවන්හිදී සම්පත් වැයවීම වැළැක්වීම සඳහා මින් ඉදිරියට IRB ආයතනය තීරණ ලබා දෙන්නේ අයදුම්කරු ශාරීරිකව කැනඩාව තුළ රැඳී සිටින අවස්ථාවන්හිදී පමණක් බවද අවධාරණය කර ඇත.
පද්ධතියේ පවතින අයදුම්පත් 300″000 කට ආසන්න ප්‍රමාණයක පසුබෑම (Backlog) අවම කිරීම සඳහා නව පනත මගින් තවත් දැඩි පියවර කිහිපයක් හඳුන්වා දී ඇත. ඒ අනුව, IRB ආයතනය තීරණයක් ලබා දීමට ප්‍රථමයෙන්, තමන්ට හිංසා පීඩා සිදුවන බව පැවසූ රටටම අයදුම්කරු ස්වේච්ඡාවෙන් ආපසු ගියහොත්, එම ඉල්ලීම ‘අත්හැර දමන ලද’ (Abandoned) එකක් ලෙස සලකා ඉවත දමනු ලැබේ. එමෙන්ම, අයදුම්පතක් ඉල්ලා අස්කර ගන්නා දිනයේදීම රටින් පිටකිරීමේ නියෝග (Removal orders) බලාත්මක වන බැවින්, ස්වේච්ඡාවෙන් මෙරටින් පිටවීම් කඩිනම් කෙරෙනු ඇත.
බාලවයස්කාර දරුවන් සඳහා වන සහනය
මෙම දැඩි නීති රීති මධ්‍යයේ වුවද, මානුෂීය පදනම මත සහන සැලසීමේ පියවර කිහිපයක්ද හඳුන්වා දී ඇත. විශේෂයෙන්ම,
නීත්‍යානුකූල භාරකාරත්වයක් නොමැතිව තනිව පැමිණි බාලවයස්කාර දරුවන්ගේ පුද්ගලික තත්ත්වයන් සලකා බලන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර, ඒ සඳහා වන නිශ්චිත රෙගුලාසි ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ. තවද, බාලවයස්කරුවන් හෝ ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් නොමැති අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සඳහා සහාය වීමට IRCC ආයතනය විසින් නියෝජිතයන් පත් කිරීමට පියවර ගෙන ඇති අතර, මෙම තීරණය සිවිල් ක්‍රියාකාරී කණ්ඩායම්වල ප්‍රසාදයට ලක්ව ඇත.
ලේඛන සමූහ වශයෙන් අවලංගු කිරීමේ බලය
C-12 පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදවලදී වඩාත්ම දැඩි කතාබහට ලක්වූ කරුණ වන්නේ, ‘මහජන යහපත’ උදෙසා අවශ්‍ය යැයි සැලකෙන විශේෂ අවස්ථාවන්හිදී විශාල ප්‍රමාණයක ආගමන ලේඛන සමූහ වශයෙන් අවලංගු කිරීමට, අත්හිටුවීමට හෝ වෙනස් කිරීමට රජයට නව බලතල ලබා දීමයි. මෙහිදී වංචනික ක්‍රියා, පරිපාලනමය දෝෂ, මහජන සෞඛ්‍යය පිළිබඳ ගැටලු, ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව යන කරුණු ‘මහජන යහපත’ සඳහා වන ප්‍රධාන පදනම් ලෙස දක්වා ඇත. කෙසේ වෙතත්, මෙම බලතල ක්‍රියාත්මක කිරීම සඳහා භාවිත කර ඇති භාෂාව සහ නිර්වචන ඕනෑවට වඩා පුළුල් මට්ටමක පවතින බවට විවේචකයන් මත පළ කරති.
මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ, කිසිදු අමාත්‍යවරයෙකුට තනිවම මෙම තීරණය ගත නොහැකි වීමයි. සෑම තීරණයක් සඳහාම අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශය මත Governor in Council හරහා නිල අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ. පද්ධතියේ විනිවිදභාවය සහ අධීක්ෂණය තහවුරු කිරීම සඳහා, මෙම බලතල යටතේ ගනු ලබන සියලුම තීරණ Canada Gazette පතේ ප්‍රසිද්ධ කළ යුතු අතර, ඒවා පාර්ලිමේන්තුවටද වාර්තා කළ යුතුය. මෙමගින් අත්තනෝමතික තීරණ ගැනීම වැළැක්වීමට අවශ්‍ය පසුබිම සැකසෙන බව රජයට පක්ෂව අදහස් දක්වන්නන් ප්‍රකාශ කරයි.
බලපෑමට ලක්වන සහ නොවන ලේඛන පරාසය
මෙම නව බලතල භාවිත කළ හැකි සීමාවන් පිළිබඳවද පනතේ පැහැදිලිව දක්වා ඇත. මෙම විශේෂ බලතල සරණාගත ආරක්ෂාව (Refugee protection) සඳහා වන අයදුම්පත්වලට කිසිසේත්ම බලපාන්නේ නැත. එසේම, ස්ථීර පදිංචිය (PR) හෝ තාවකාලික පදිංචිය (TR) යන නීතිමය තත්ත්වයන් ලබා දීමට, වෙනස් කිරීමට හෝ අවලංගු කිරීමටද මෙමගින් රජයට ඍජු බලයක් නොලැබේ.
කෙසේ වෙතත්, හදිසි අවස්ථාවන්හිදී හෝ වංචනික ක්‍රියාවන් වැළැක්වීමේ අරමුණින් පහත සඳහන් ලේඛන සමූහ වශයෙන් අත්හිටුවීමට හෝ වෙනස් කිරීමට රජයට හැකියාව ඇත:
සේවා බලපත්‍ර : (Work permits)
අධ්‍යයන බලපත්‍ර : (Study permits)
වීසා : (Visas)
විද්‍යුත් සංචාරක අවසරපත් : (eTA)
පසුබිම සහ වර්තමාන සංක්‍රමණික මට්ටම්
C-12 පනත සම්මත වන්නේ කැනඩාව සිය සංක්‍රමණික මට්ටම් සැලකිය යුතු ලෙස අඩු කරමින් සිටින පසුබිමකය. 2026-2028 සංක්‍රමණික මට්ටම් සැලසුම යටතේ, 2028 දක්වා වාර්ෂිකව ස්ථීර පදිංචිය (PR) ලබාදීම 380,000 කට සීමා කර ඇත. තාවකාලික පදිංචිකරුවන්ගේ (Temporary Residents) පැමිණීම 2025 දී 673,650 සිට 2026 දී 385,000 දක්වා 43% කින් අඩු කිරීමට අපේක්ෂා කෙරේ.
2022-24 කාලය තුළ මිලියන 5 කට ආසන්න පිරිසක් කැනඩාවට ඇතුළුවීම හේතුවෙන් නිවාස හිඟය, කුලී මිල ඉහළ යාම සහ සියයට 14.1 ක් දක්වා ඉහළ ගිය තරුණ විරැකියාව වැනි ගැටලු උග්‍ර වී ඇති බව වාර්තා වේ.
දැනට පද්ධතිය තුළ ගොඩගැසී ඇති අයදුම්පත් 288,271 ක් පරීක්ෂා කිරීමට වසර ගණනාවක් ගතවන අතර, එම කාලය තුළ මෙම පිරිස නඩත්තු කිරීමට කැනේඩියානු බදු ගෙවන්නන්ට විශාල පිරිවැයක් දැරීමට සිදුවේ. ඇස්තමේන්තු අනුව, ඔවුන්ගේ සෞඛ්‍ය සේවා සඳහා පමණක් වසරකට ඩොලර් බිලියන 1 ක් වැය වන අතර, එය 2030 වන විට ඩොලර් බිලියන 1.5 දක්වා ඉහළ යනු ඇතැයි ගණන් බලා ඇත. මෙම තත්ත්වය කැනේඩියානුවන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.
විපක්ෂයේ අදහස
කැනඩාවේ ආගමන විගමන ක්ෂේත්‍රයේ පවතින වත්මන් අර්බුදය කොන්සර්වේටිව් පක්ෂයේ Michelle Rempel Garner හඳුන්වා දුන්නේ ‘සම්පූර්ණ අවුල් ජාලයක්’ ලෙසිනි. රජය විසින් නිසි පරීක්ෂාවකින් තොරව විශාල පිරිසකට රට තුළට පැමිණීමට අවසර දීම නිසා පද්ධතියට දරාගත නොහැකි පීඩනයක් එල්ල වී ඇති බව ඇය පෙන්වා දෙයි. මෙම තත්ත්වය හමුවේ සැබෑ ලෙසම මානුෂීය රැකවරණය අවශ්‍ය පුද්ගලයන්ට වසර ගණනාවක් බලා සිටීමට සිදුව ඇති අතර, විවිධ වංචාකරුවන්ට පවතින සිදුරුවලින් රිංගා පද්ධතිය අවභාවිත කිරීමට අවස්ථාව සැලසී තිබේ.
මෙහි ඇති බරපතලම කරුණ ලෙස විපක්ෂය පෙන්වා දෙන්නේ ෆෙඩරල් විගණකාධිපතිවරයා හෙළි කළ දත්තයන්ය. 2023-2024 වසරවලදී ශිෂ්‍ය වීසා ලබාගත් පිරිස අතරින් වංචනික හෝ සැකකටයුතු අයදුම්පත් 150,000 ක් පමණ හඳුනාගෙන තිබුණද, පවතින සම්පත් හිඟකම මත ඉන් විමර්ශනය කර ඇත්තේ නඩු 4,000 ක් පමණි. මෙයින් අදහස් වන්නේ ඉතිරි 146,000 ක් වූ සැකකටයුතු පුද්ගලයන් කිසිදු බාධාවකින් තොරව රට තුළ රැඳී සිටින බවයි. වංචා පාලනය කිරීමට ශක්තියක් නොමැතිව තවදුරටත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඇතුළත් කර ගැනීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවටද චෝදනා එල්ල වේ.
මෙම අසංවිධානාත්මක ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය පාර්ශ්ව කිහිපයකටම අහිතකර ලෙස බලපා ඇත. වංචනික ලෙස මෙරට රැඳී සිටින පිරිස නඩත්තු කිරීමට කැනේඩියානු බදු ගෙවන්නන්ට විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති අතර, අනෙක් අතට නිවාස හිඟය සහ රැකියා වෙළඳපොළේ පවතින දැඩි තරඟකාරීත්වය හමුවේ තරුණ විරැකියාව 14’1% දක්වා ඉහළ ගොස් තිබේ. පවතින නීතිමය සිදුරු වසා නොදමා නවකයන් ඇතුළු කිරීම ‘ගිනි කන්දක් මත හිඳ ගැනීමක්’ වැනි භයානක සහ වගකීම් විරහිත ක්‍රියාවක් බව විචාරකයෝ අවධාරණය කරති.
සිවිල් සංවිධානවල විරෝධය
සම්මත වූ මෙම නීති සම්පාදනය මගින් රජය අතට අසීමිත බලයක් ලැඛෙන බව පවසමින් Amnesty International, ආගමන විගමන නීතිවේදීන් සහ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ඇතුළු සිවිල් සංවිධාන සන්ධානයක් සිය දැඩි කනස්සල්ල පළ කර ඇති අතර ඊට එරෙහිව සටන් කරන බවට ඔවුන් ප්‍රතිඥා දී ඇත.
පුද්ගලික ඇගයීමේ අයිතිය අහිමි වීම
සරණාගතයෙකු යනු තම මව් රට තුළ ජීවිත තර්ජනයක්, වධහිංසාවක් හෝ පීඩාවකට ලක්වීමේ අවදානමක් ඇති අයෙකි. ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව, එවැනි අයෙකුගේ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට පෙර ඒ පිළිබඳව ඉතා සුපරීක්ෂාකාරී පුද්ගලික ඇගයීමක් සිදු කළ යුතුය. කෙසේ වෙතත්, මෙම පනත මගින් රජයට ලැබී ඇති ‘සමූහ වශයෙන් වීසා අවලංගු කිරීමේ’ බලය හරහා, එක් එක් පුද්ගලයාට ඇති සුවිශේෂී අවදානම සලකා බැලීමකින් තොරව පොදුවේ තීරණ ගැනීමට මග පාදයි. මෙය යුක්තිසහගත ක්‍රියාවලියක් නොවන බව මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ මතයයි.
ජාත්‍යන්තර පොරොන්දු
කැනඩාව 1951 සරණාගත සම්මුතියේ (Refugee Convention) පාර්ශ්වකරුවෙකි. එහි ඇති ප්‍රධානතම මූලධර්මය වන්නේ Non-refoulement හෙවත් තර්ජනයක් පවතින රටකට සරණාගතයෙකු බලහත්කාරයෙන් ආපසු යැවීම තහනම් කිරීමයි. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් පෙන්වා දෙන්නේ, කිසිදු පරීක්ෂාවකින් තොරව සමූහ වශයෙන් වීසා අවලංගු කිරීම සහ වසරක කාල සීමාවන් පැනවීම හරහා, සැබෑ ලෙසම ජීවිත අවදානමක් ඇති පුද්ගලයන් පවා ඔවුන්ගේ කැමැත්තට එරෙහිව අනතුරුදායක රටවලට පිටුවහල් වීමේ ඉඩක් පවතින බවයි. මෙය කැනඩාව ජාත්‍යන්තරය හමුවේ ලබා දී ඇති මානුෂීය පොරොන්දු කඩ කිරීමක් බව ඔවුන් පෙන්වා දේ.
සරණාගත පද්ධතියට ප්‍රවේශ වීම සීමා කිරීම
පනත මගින් හඳුන්වා දී ඇති ‘වසරක නීතිය’ (කැනඩාවට පැමිණ වසරක් ඇතුළත ඉල්ලූම් කළ යුතු වීම) මගින් සරණාගත ආරක්ෂාව පැතීමේ නීතිමය අයිතිය සීමා කරන බව විචාරකයෝ පවසති. බොහෝ විට සරණාගතයන් කැනඩාවට පැමිණෙන්නේ දැඩි කම්පනයක් හෝ භීතියක් සමඟය. එවැනි අයෙකුට පවතින නීති තේරුම් ගෙන අයදුම්පතක් ඉදිරිපත් කිරීමට කාලයක් ගතවිය හැකිය. එම කාලය ඉක්මවූ පම‚න් ඔවුන්ගේ ආරක්ෂාව පැතීමේ අයිතිය අහිමි කිරීම මානුෂීය නොවන බවත්, එය කැනේඩියානු අයිතිවාසිකම් සහ නිදහස පිළිබඳ ප්‍රඥප්තියට (Charter of Rights and Freedoms) පවා පටහැනි විය හැකි බවත් ඔවුන් පැහැදිලි කරයි.
අනාගත රජයන් සඳහා වන අනතුරුදායක පූර්වාදර්ශය
මෙම පනත මගින් ආගමන විගමන අමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට ලැඛෙන ‘අසීමිත බලය’ අනාගතයේදී අනිසි ලෙස භාවිත විය හැකි බවට මෙම සංවිධාන අනතුරු අඟවයි. කිසිදු අධිකරණ හෝ පාර්ලිමේන්තු පාලනයකින් තොරව විධායකයට පමණක් මෙවැනි තීරණ ගැනීමට ඉඩ දීම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයකට හානිකර බව ඔවුන් පවසයි. මෙය සරණාගත අයිතිවාසිකම් සම්බන්ධයෙන් දශක කිහිපයක් තිස්සේ කැනඩාව ලබා තිබූ ප්‍රගතිය පසුපසට ඇද දැමීමක් ලෙස ඇතැම් නීතිවේදීන් හඳුන්වා දෙයි.
ප්‍රාන්ත සඳහා වන බලපෑම
C-12 පනතේ බලපෑම කැනඩාවේ විවිධ ප්‍රාන්ත අනුව සැලකිය යුතු ලෙස වෙනස් වේ. ඒ ඒ ප්‍රාන්තවලට ලැඛෙන සරණාගත ඉල්ලීම් ප්‍රමාණය, නිල නොවන දේශසීමා හරහා පැමිණෙන පිරිස් සහ ප්‍රාන්ත නාමික වැඩසටහන් (Provincial Nominee Programs) සමඟ පවතින සබඳතා මත මෙම වෙනස්කම් තීරණය වේ. ඒ අනුව, ඔන්ටේරියෝ සඳහා C-12 පනතේ බලපෑම මෙසේය.
කැනඩාවේ වැඩිම සරණාගත අයදුම්කරුවන් පිරිසක් රැඳී සිටින්නේ ඔන්ටේරියෝ ප්‍රාන්තයේ වන අතර, වාර්ෂිකව මුළු රටෙන්ම ඉදිරිපත් වන අයදුම්පත්වලින් 40% ක් පමණ සැකසෙන්නේ ටොරොන්ටෝ හිදීය.
ඔන්ටේරියෝ සංක්‍රමණික නාමික වැඩසටහන – Ontario Immigrant Nominee Program (OINP) සරණාගත ක්‍රියාවලියෙන් බැහැරව ස්වාධීනව ක්‍රියාත්මක වුවද, සරණාගත අයදුම්පත් ගොඩගැසීම හේතුවෙන් ප්‍රාන්තයේ සමාජ සේවා සහ නිවාස යටිතල පහසුකම් කෙරෙහි දැඩි පීඩනයක් එල්ල වී තිබේ.
සරණාගත අයදුම්පත් ප්‍රමාදය අවම කිරීමට ෆෙඩරල් රජය දරන උත්සාහයට ප්‍රාන්ත බලධාරීන් සහාය පළ කර ඇතත්, ‘වසරක සීමාව’ පිළිබඳ නීතිය (one-year rule) දැනටමත් ඔන්ටේරියෝ ප්‍රජාවන් තුළ පදිංචි වී සිටින අයදුම්කරුවන්ට කෙසේ බලපානු ඇත්ද යන්න පිළිබඳව සැක සංකා පවතී.
ෆෙඩරල් සම්පත් වැඩි වශයෙන් අයදුම්පත් බහුල ප්‍රදේශ වෙත යොමු කෙරෙන බැවින්, නවීකරණය කරන ලද සැකසුම් පද්ධතියේ ක්ෂණික බලපෑම GTA ප්‍රදේශයට දැනෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.




