බටහිර ජාතීන් ගුවන් යානය ලොවට හඳුන්වා දීමටත් පෙර, ලොව ප්‍රථමයෙන් අහස ජයගත් ජාතියක් ලෙස, ලාංකේය ජන විඥානය තුළ මුල් බැස ඇත්තේ රාවණා රජුගේ ‘දඩුමොණර’ යන්ත්‍රයයි. රාමායණය සහ දේශීය ජනප්‍රවාදයන්ට අනුව, රාවණා රජු සතුව තිබූ දඩුමොණරය හුදෙක් පරිකල්පනයක්ම පමණක් නොවන බව බොහෝ දෙනා විශ්වාස කරති.
එසේම, වර්තමානයේ රත්මලාන හෝ කටුනායක මෙන්, රාවණා යුගයේදී වාරියපොළ, මහියංගනය සහ සීගිරිය වැනි ප්‍රදේශ දඩුමොණරය ගොඩබැස්ස වූ මධ්‍යස්ථාන (ගුවන් පථ)ලෙස භාවිත වූ බවට ජනප්‍රවාද පවතී. ‘වාරියපොළ’ යන නාමය පවා ‘වාරි’ (අහස) සහ ‘පොළ’ (ස්ථානය) යන වචනවලින් බිඳී ආවක් බව පැවසේ.
යකඩ කුරුල්ලා
කෙසේ වෙතත්, අද අපේ කතාවේ කේන්ද්‍රය වන්නේ ඒ ජනප්‍රවාදගත දඬුමොණරය ගැන නොවෙයි. මාතෘභූමියෙන් පිටවී විදේශයක වෙසෙන ඔබත් මමත්, ජීවිතයේ එක් වතාවක් හෝ ගුවන් ගමනක අත්දැකීම ලබා ඇති, සතුටේත් කඳුළේත් මතකයන් දහසක් සඟවාගෙන සිටින ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපොළ ඇති කිරීමට මූලික වූ ඒ අතීත කතාව පිළිබඳවයි.
අද වන විට ලක්ෂ සංඛ්‍යාත විදෙස්ගත ලාංකිකයන්ගේ ප්‍රධාන පිවිසුම් දොරටුව බවට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පත්ව තිබුණද, මෙරට නූතන ගුවන් ගමන් ඉතිහාසයේ සැබෑ ආරම්භය සොයා යන ගමනේදී අපේ අවධානය නිතැතින්ම යොමු වන්නේ කොළඹ තුරඟ තරග පිටිය (Racecourse) වෙතයි. එය වර්තමාන අර්ථයෙන් ගත් කල ගුවන් තොටුපොළක් නොවූවත්, ලාංකීය අහස් ගැබ ජයගත් ප්‍රථම ගුවන් යානය අහසට නැගුණේ එහි සිටය.
ශ්‍රී ලංකාවට ප්‍රථම වරට ගුවන් යානයක් රැගෙන එනු ලැබුවේ 1911 වසරේදීය. ප්‍රංශ නිෂ්පාදනයක් වූ Bleriot වර්ගයට අයත් මෙම කුඩා ගුවන් යානය එංගලන්තයේ සිට කොටස් වශයෙන් ගලවා නැවක පටවා කොළඹ වරාය හරහා ගෙන එන ලදී. කොලින් බ්‍රවුන් නම් ඉංග්‍රීසි ජාතිකයාට අයත් වූ, අශ්ව බල 25 ක ශක්තියෙන් යුත් මෙම යානය එකල ලොව පැවති හොඳම පියාසර යන්ත්‍රය ලෙසද ප්‍රසිද්ධියට පත්ව තිබුණි.
කෙසේ වෙතත්, මුල් මාස කිහිපය තුළ මෙම යානය පියාසර කරවනු ලැබුවේ නැත. එය විවිධ ස්ථානවල ප්‍රදර්ශනය කරමින් ප්‍රවේශ පත්‍ර අලෙවි කළ අතර, අහසින් යන මේ අරුම පුදුම යන්ත්‍රය දැකබලා ගැනීමට ලාංකිකයෝ වැල නොකැඩී පැමිණියහ. එකල ගැමියන් විසින් මෙම අපූර්ව නිපැයුම හඳුන්වනු ලැබුවේ ‘යකඩ කුරුල්ලා’ යන නාමයෙනි.
Bleriot යානයක්
ලංකාවේ අහසට මුලින්ම ගුවන් යානයක් නැංවීමට උත්සාහ කර ඇත්තේ 1911 දෙසැම්බර් මාසයේදීය. ජර්මන් ජාතික නියමුවෙකු වූ Franz Oster විසින් පරෙවියෙකුගේ හැඩය ගත් Bleriot යානය කොළඹ තුරඟ තරග පිටියේ සිට අහසට නැංවීමට උත්සාහ කළද, එය අනතුරට ලක් විය. පසුව කොලින් බ්‍රවුන්ගේ Bleriot යානයෙන් කළ උත්සාහයද රාජකීය විද්‍යාලයේ උණ බම්බුවක ගැටී අසාර්ථක විය.
විධිමත් ගුවන්ගත වීමක්, සංචාරයක් සහ ආරක්ෂිත ගොඩබැස්වීමක් සහිත ප්‍රථම සාර්ථක ගුවන් ගමන වාර්තා වූයේ 1912 දෙසැම්බර් 07 වැනිදාය. ප්‍රංශ ජාතිකයන් දෙදෙනෙකු වූ Georges Verminck සහ Marc Pourpreවිසින් Bleriot යානයකින් කොළඹ තුරඟ තරග පිටියේදී මෙම ඓතිහාසික ජයග්‍රහණය සනිටුහන් කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් ගමන් ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබූ එම පියාසර කිරීම, එතෙක් පැවති අසාර්ථක උත්සාහයන් ජය ගනිමින් ලාංකීය අහස් ගැබ නිල වශයෙන් විවෘත කළේය.
එතැන් සිට 1935 වසර දක්වාම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගුවන් පථය ලෙස භාවිත වූයේ මෙම තුරඟ තරග පිටියයි. කෙසේ වෙතත්, 1935 දී රත්මලාන ගුවන්තොටුපොළ ඉදිවීමත් සමඟ මෙරට ගුවන් ගමන් ක්ෂේත්‍රය හුදු ‘විවෘත පිට්ටනියක’ සිට විධිමත් තාක්ෂණික පහසුකම් සහිත ‘ගුවන්තොටුපොළ’ සංකල්පයකට සංක්‍රමණය විය. එම සංක්‍රමණය ලාංකීය ගුවන් සේවාවේ නව යුගයක සමාරම්භය සනිටුහන් කළේය.
ප්‍රථම සිවිල් ගුවන් තොටුපොළ
1930 දශකය උදාවීමත් සමඟ ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ ස්ථාවර ගුවන් මධ්‍යස්ථානයක අවශ්‍යතාව තදින්ම දැනෙන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස කොළඹ නගරයට නුදුරු රත්මලාන ප්‍රදේශය තෝරාගෙන 1934 දී එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණු අතර, 1935 වසරේදී රත්මලාන ගුවන් පථය නිල වශයෙන් නිම කරන ලදී.
රත්මලාන අහස ප්‍රථම වරට සිසාරා ගිය ගුවන් යානය ලෙස ඉතිහාසගත වන්නේ Puss Moth වර්ගයේ කුඩා ගුවන් යානයකි. 1935 නොවැම්බර් මස 27 වන දින මෙම යානය රත්මලාන ගුවන් පථයට ගොඩබැස්සවීමත් සමග ලංකාවේ ගුවන් මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ විය. එතෙක් විවෘතපිටියක් පමණක් වූ රේස්කෝස් පිට්ටනියට සීමා වී තිබූ ලාංකීය ගුවන් ක්ෂේත්‍රය, තාක්ෂණික පහසුකම් සහිත විධිමත් ගුවන්තොටුපොළ යුගයකට පිවිසියේ එලෙසිනි.
ජාත්‍යන්තර තලයට ගිය රත්මලාන
1938 පෙබරවාරි 28 වන දින ලංකාවෙන් පිටතට යන ගුවන් තැපෑලක් සහිත පළමු ගුවන් යානය.
1938 පෙබරවාරි 28 වන දින රත්මලාන ගුවන් තොටුපොළ ‘ජාත්‍යන්තර’ තත්ත්වයට පත්වීම දකුණු ආසියානු සන්නිවේදන ජාලයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් විය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් එංගලන්තයේ සිට ඕස්ට්‍රේලියාව දක්වා රටවල් යා කළ Empire Air Mail වැඩසටහන යටතේ මෙම ගමන ආරම්භ විය. මෙහි වඩාත්ම සුවිශේෂී සිදුවීම වන්නේ ඉන්දියානු ගුවන් සේවයේ පියා ලෙස සැලකෙන J.R.D. Tata ගේ මූලිකත්වයෙන්, කරච්චි නුවර සිට මදුරාසිය හරහා රත්මලාන වෙත Waco වර්ගයේ යානයක් පැමණීමයි. එදා මෙම ඓතිහාසික ගමන සිදු කළ Tata Airlines සමාගම 1946 දී Air India ගුවන් සේවය ලෙස නිල වශයෙන් නාමය වෙනස් කරනු ලැබුණි.
එදින එම යානය මගින් පවුම් 300 කට අධික වටිනාකමකින් යුත් තැපැල් මලු ප්‍රමාණයක් ලංකාවට රැගෙන ආ අතර, එතැන් සිට රත්මලාන ප්‍රධාන තැපැල් මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගැණුනි. මේ නිසා සති ගණනක් ගත වූ ජාත්‍යන්තර ලිපි හුවමාරු දින කිහිපයකින් නියමිත ස්ථාන කරා ළඟා විය. එම සන්නිවේදන සබඳතාවත් සමඟ රත්මලාන දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් කේන්ද්‍රස්ථානයක් ලෙස ශීඝ්‍රයෙන් ගොඩනැඟුණු අතර, එය ලංකාවේ වෙළඳ හා රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියකට මඟ පෑදුවේය.
Air Ceylon
1935 සිට 1960 දශකයේ අගභාගය වන තෙක් ලංකාවේ ප්‍රධාන ගුවන් මධ්‍යස්ථානය රත්මලාන විය. අපේ රටේ ප්‍රථම ජාතික ගුවන් සේවය වූ Air Ceylon ජාත්‍යන්තර පියාසර මෙහෙයුම් ආරම්භ කළේද රත්මලාන ගුවන් තොටුපොළ කේන්ද්‍ර කරගනිමිනි. 1947 දෙසැම්බර් 10 වන දින නිල වශයෙන් ගුවන් ගමන් ආරම්භ කළ එයාර් සිලෝන් ආයතනය, එදින සිය ප්‍රථම ගුවන් ගමන රත්මලාන සිට යාපනය හරහා මදුරාසිය බලා පියාසර කළේය.
එයාර් සිලෝන් ආයතනයේ මුල්ම පියාසර මෙහෙයුම් සඳහා භාවිත කළේ බ්‍රිතාන්‍ය-ලංකා රජය විසින් ‘යුද අතිරික්තයෙන්’ (War Surplus) – ලබාගත් ගුවන් යානා කිහිපයකි. (දෙවන ලෝක යුද්ධය අවසානයේ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව සතුව ඉතිරිව තිබූ සවිශක්තිමත් ගුවන් යානා, අඩු මිලට සිවිල් ප්‍රවාහන කටයුතු සඳහා රජය විසින් මිල දී ගෙන තිබුණි.) එලෙස මිල දී ගත්, එකල ලෝකයේ වඩාත්ම විශ්වාසදායක ගුවන් යානා මාදිලියක් ලෙස සැලකූ Douglas DC-3 Dakota වර්ගයේ යානා තුනක් මගී ප්‍රවාහනයට උචිත ලෙස නවීකරණය කර ‘සීතා දේවි’, ‘විහාර මහා දේවි’ සහ ‘සුනේත්‍රා දේවි’ යනුවෙන් නම් කරමින් එයාර් සිලෝන් සිය අභිමානවත් ගමන් මඟ ආරම්භ කළේය.
එකල පුවත්පතක පළවූ වාර්තාවක්
මෙම යානයක සාමාන්‍යයෙන් මගීන් 21 සිට 28 දක්වා පිරිසකට ඉතා සුවපහසු ලෙස ගමන් කිරීමේ පහසුකම් සලසා තිබූ අතර, ගුවන් ගමන මෙහෙයවීම සඳහා ප්‍රධාන නියමුවා සහ සහාය නියමුවාට අමතරව සන්නිවේදන කටයුතු වෙනුවෙන් ගුවන් විදුලි ක්‍රියාකරුවෙකුද (Radio Officer) කාර්ය මණ්ඩලයට ඇතුළත් විය. මීට අමතරව මගීන්ගේ අවශ්‍යතා සොයා බැලීම සඳහා එක් ගුවන් සේවිකාවකගේ සහායද හිමි විය. එන්ජින් දෙකකින් සමන්විත වූ මෙම ඩැකෝටා යානා, රත්මලාන සිට මදුරාසිය දක්වා වූ ගමන පැය දෙකක් වැනි කෙටි කාලයකින් නිම කිරීමට සමත් වූ අතර, එහි තිබූ සුවිශේෂී ආරක්ෂිත බව නිසාම මගීන් අතර මෙන්ම නියමුවන් අතරද මෙම යානා ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබුණි.
ඉන්දියාවේ ප්‍රධාන නගරවලට අමතරව 1949 වන විට ලන්ඩන්, රෝමය, කයිරෝ, කරච්චි සහ සිංගප්පූරුව වැනි ලෝකයේ ප්‍රධාන ගමනාන්ත වෙත සිය පියාසර මෙහෙයුම් ව්‍යාප්ත කිරීමට එයාර් සිලෝන් සමත් විය. විශේෂයෙන්ම ඕස්‌්‍ට්‍රේලියාවේ සිඩ්නි සහ මෙල්බර්න් දක්වාද මෙම ගුවන් සේවය ව්‍යාප්ත වූ අතර, එය එකල ආසියාවේ තිබූ වඩාත් විශ්වාසදායක සහ කාර්යක්ෂම ගුවන් සේවයක් ලෙස පිළිගැනීමට ලක්විය. රත්මලාන නාමය ලෝක සිතියමට එක් කළ එයාර් සිලෝන්, වසර 32 ක් පුරා කිසිදු මාරක අනතුරක් සිදු නොවූ ගුවන් සේවයක් ලෙස ඉහළම ආරක්ෂිත වාර්තාවක්ද තබා තිබීම සුවිශේෂී කරුණකි.
1954 දී දෙවන එලිසඛෙත් රැජින සිය ප්‍රථම ලංකා සංචාරය සඳහා පැමිණි අවස්ථාවේදී ඇය පිළිගැනීමට සූදානම් කෙරුණේද රත්මලාන ගුවන්තොටුපොළයි. ඒ වෙනුවෙන් එම ගුවන් තොටුපොළ ඉතා ඉහළින් අලංකාර කර තිබුණි. රැජිනට අමතරව ඉන්දියාවේ ප්‍රථම අගමැති ජවහර්ලාල් නේරු, චීන අගමැති චෞ එන් ලායි සහ තවත් බොහෝ ලෝක නායකයන් ලංකාවට පය තැබූ මුල්ම ස්ථානය රත්මලානයි. කොළඹ නගරයට ආසන්නව පිහිටීම නිසා එකල පැමිණි ප්‍රභූවරුන්ට එය මහත් පහසුවක් විය.
වර්තමාන රත්මලාන ගුවන් තොටුපොළ
කටුනායක ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ රත්මලාන ගුවන් තොටුපොළ ලංකාවේ ගුවන් ක්ෂේත්‍රයේ සුවිශේෂී කාර්යභාරයන් කිහිපයක් සඳහා කැප විය. එය යුද සමයේදී මෙන්ම ඉන් පසුවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස භාවිත වන අතර, යාපනය, මඩකලපුව සහ චීන වරාය වැනි ප්‍රදේශ කරා දිවෙන දේශීය ගුවන් ගමන් ජාලයේ කේන්ද්‍රස්ථානය බවටද පත් විය. මීට අමතරව, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පියාසර පාසල් රැසක් ස්ථාපිත වීම නිසා අනාගත ගුවන් නියමුවන් බිහි කරන ප්‍රධාන පුහුණු මධ්‍යස්ථානය ලෙසද රත්මලාන අදටත් වැදගත් මෙහෙවරක් ඉටු කරයි.
වසර ගණනාවක් දේශීය ගුවන් තොටුපොළක් ලෙස පැවති රත්මලාන, 2022 මාර්තු 27 වන දින, නැවතත් කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, රත්මලාන (Colombo International Airport” Ratmalana – CIAR) ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. මෙහිදී මහා පරිමාණ මගී ප්‍රවාහනය වෙනුවට ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ මාලදිවයන සහ දකුණු ඉන්දියාව වැනි කලාපීය රටවල් සමඟ සෘජු ගුවන් සබඳතා පැවැත්වීමටයි. රත්මලාන එහි ‘පෞරාණික’ වටිනාකම රැකගනිමින්, පුද්ගලික ජෙට් යානා සහ ව්‍යාපාරික සංචාරකයන් ඉලක්ක කරගත්, සිංගප්පූරුවේ Seletar, එංගලන්තයේ London City වැනි නවීන ‘නගරබද ගුවන් තොටුපොළක්’ ලෙස සංවර්ධනය කිරීම බලධාරීන්ගේ මීළඟ ඉලක්කයයි.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ
කටුනායක ගුවන් තොටුපොළේ ඉතිහාසය දෙස බලන විට එය හුදෙක් සිවිල් ගුවන් ගමන් සඳහා ඉදිවූවක් නොව, යුද්ධයේ අවශ්‍යතාවන් මත ගොඩනැඟුණු මූලෝපායික මධ්‍යස්ථානයක් බව පැහැදිලිය.
1940 දශකයේ මුල් භාගයේදී, දෙවන ලෝක යුද්ධය උච්චතම අවස්ථාවට පැමිණ තිබියදී බ්‍රිතාන්‍ය Royal Air Force( RAF) විසින් කටුනායක ප්‍රදේශය තෝරාගනු ලැබුවේ එහි තිබූ යුද්ධෝපායී වැදගත්කම නිසාය. එකල මෙය හැඳින්වූයේ RAF Negombo යන නමිනි. ජපන් හමුදාවන්ගේ ආක්‍රමණවලින් ඉන්දියානු සාගර කලාපය ආරක්ෂා කිරීමටත්, මලයාසියාව සහ සිංගප්පූරුව වැනි රටවල සිටින මිත්‍ර පාර්ශ්වීය හමුදාවන්ට සැපයුම් ලබා දීමටත් මෙය ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් ලෙස භාවිත විය. මෙහි තිබූ ගුවන් පථයන් සහ යටිතල පහසුකම් නිර්මාණය වූයේ ප්‍රහාරක යානා සහ බර අවි රැගත් හමුදා යානා මෙහෙයවීමේ අරමුණ ඇතිවය.
සිවිල් ගුවන් සේවා වෙත සංක්‍රමණය වීම
1948 දී ලංකාව නිදහස ලැබුවද, කටුනායක කඳවුරේ පාලනය දිගටම බ්‍රිතාන්‍යයන් සතු විය. 1957 වසරේදී එවකට අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ රජය විසින් බ්‍රිතාන්‍යයන් සතුව තිබූ ලංකාවේ යුධ කඳවුරු ඉවත් කරගන්නා ලෙස කළ ඉල්ලීමත් සමඟ කටුනායක කඳවුර නිල වශයෙන් ලංකා රජයට පවරා දෙන ලදී.
ඉන් අනතුරුව, ජෙට් යානා මෙහෙයවීමේදී රත්මලාන ගුවන් තොටුපොළට තිබූ සීමිත ඉඩකඩත් හේතුවක් කොට ගනිමින්, කටුනායක කඳවුර ශ්‍රී ලංකාවේ ප්‍රධාන සිවිල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙස සංවර්ධනය කිරීමට පියවර ගත්තේය.
කැනඩා රජයේ සහාය සහ කොළඹ ක්‍රමය
1960 දශකයේදී ශ්‍රී ලංකාවට නවීන ජාත්‍යන්තර ගුවන් තොටුපොළක වුවමනාව දැඩිව දැනෙන්නට විය. ඒ සඳහා කැනඩා රජය ‘කොළඹ ක්‍රමය’ (Colombo Plan) යටතේ ලංකාවට මූල්‍ය හා තාක්ෂණික ආධාර පිරිනැමීය. මෙම ව්‍යාපෘතිය සඳහා කැනඩාවෙන් රුපියල් මිලියන ගණනක ප්‍රදානයක් හිමි වූ අතර, එය එවකට ශ්‍රී ලංකාව ලැබූ දැවැන්තම විදේශ ආධාර ව්‍යාපෘතියක් ලෙස සැලකේ.
නව පර්යන්තය සහ නවීන ගුවන් පථය (1964-1967)
1964 වසරේදී ආරම්භ වූ මෙම මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධානතම අංගය වූයේ ජෙට් යානා ගොඩබැස්විය හැකි අඩි 11,000 කට වඩා දිග නවීන ගුවන් පථයක් (Runway) නිර්මාණය කිරීමයි. මීට අමතරව, මගීන්ට අවශ්‍ය සියලූ පහසුකම්වලින් සමන්විත නව පර්යන්ත ගොඩනැගිල්ලක්ද ඉදි කරන ලදී. 1967 වසරේදී මෙහි ඉදිකිරීම් නිම වූ අතර, 1968 දී මෙය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙස නිල වශයෙන් විවෘත විය.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ
1970 වසරේදී මෙම ගුවන් තොටුපොළේ ඉතිහාසයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් විය. බ්‍රිතාන්‍යයන්ගෙන් මෙම කඳවුර නිදහස් කරගැනීමට මුල් වූ සහ දේශීය අනන්‍යතාවය වෙනුවෙන් පෙනී සිටි හිටපු අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට ගරු කිරීමක් වශයෙන්, මෙම ස්ථානය ‘බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ’ ලෙස නම් කරන ලදී. පසුව 1977 දී මෙහි නම ‘කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ’ ලෙස කෙටි කාලයකට වෙනස් වුවද, 1995 වසරේදී නැවතත් එය ‘බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ’ ලෙසම ස්ථාවර කෙරිණි.
ජපාන ආධාර සහ නවීකරණ යුගය
2000 දශකයේ මුල් භාගය බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ යටිතල පහසුකම් විප්ලවීය වෙනසකට ලක්වූ කාලසීමාවකි. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) ලබා දුන් මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මගීන්ට සෘජුවම පර්යන්තයේ සිට ගුවන් යානය තුළට ගමන් කළ හැකි Aerobridges හෙවත් ගුවන් පාලම් 08 ක් ස්ථාපිත කෙරුණි. මීට පෙර පැවති බස් රථ මගින් යානා වෙත මගීන් ප්‍රවාහනය කිරීමේ ක්‍රමය වෙනුවට ආ මෙම නව තාක්ෂණය, මගීන්ට මහත් සහනයක් වූවා සේම ගුවන් තොටුපොළේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටද හේතු විය.
Terminal 2 සහ ධාරිතාව පුළුල් කිරීම
දැනට පවතින පර්යන්තය වසරකට මගීන් මිලියන 6 ක් සඳහා නිර්මාණය කර තිබුණද, වර්තමානය වන විට එය මිලියන 10 කට අධික මගීන් සංඛ්‍යාවකට සේවය සපයයි. මෙම අධික තදබදයට පිළියමක් ලෙස ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය හරහා ලැඛෙන සහනදායී ණය ආධාර මත මේ වන විට දෙවන පර්යන්තය ඉදිවෙමින් පවතී.
සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී ‘හරිත’ ගොඩනැගිලි සංකල්පයට (Eco-friendly) අනුව නිමවන මෙම අතිනවීන පර්යන්තය හරහා වාර්ෂික මගී ධාරිතාව මිලියන 15ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිත අතර, ස්වයංක්‍රීය මගී පරීක්ෂණ (Self check-in) සහ උසස් මට්ටමේ ගමන් මලූ හැසිරවීමේ පද්ධති හරහා මගීන්ට පෝලිම්වල රැඳී සිටීමට සිදුවන කාලය අවම කරනු ඇත. ආර්ථීක අර්බුද සහ කොවිඩ් වසංගතය හේතුවෙන් මෙහි වැඩකටයුතු තාවකාලිකව ප්‍රමාද වුවද, 2024 වසරේ ඇති කරගත් නව එකඟතාවලින් පසු වැඩකටයුතු යළි වේගවත් කර ඇති අතර, 2027 වසරේ මැද භාගය හෝ අගභාගය වන විට මෙය නිම කර ජනතා අයිතියට පත් කිරීමට රජය සැලසුම් කර ඇත.
එම මහා පරිමාණ ව්‍යාපෘතිය නිමවන තෙක් පවතින මගී තදබදය කළමනාකරණය කිරීම සඳහා කඩිනම් විසඳුමක් ලෙස තාවකාලික පර්යන්ත (Pre-fabricated Terminal) පහසුකම් ස්ථාපිත කිරීමටද පියවර ගෙන ඇති අතර, එමඟින් දෙවන පර්යන්තය විවෘත වන තෙක් මගීන්ට වඩාත් පහසුවෙන් සිය ගුවන් ගමන් කටයුතු සිදු කර ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.
එසේම, බණ්ඩාරනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වීම සඳහා තිබූ ප්‍රධාන බාධකය වූ කාලය ඉතිරි කර දෙමින් 2013 වසරේදී E-03 කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය විවෘත විය. මේ හරහා කොළඹ සිට මිනිත්තු 20 ක් වැනි කෙටි කාලයකදී ගුවන් තොටුපොළ වෙත පිවිසීමට හැකියාව ලැබීම සංචාරක කර්මාන්තයේ විශාල පිම්මකි.
(මූලාශ්‍ර – රාජ්‍ය ලේඛනාගාර වාර්තා, 1935 සහ 1938 වකවානුවල පළවූ පුවත්පත් ලේඛන, ගුවන් සේවා ඉතිහාස ග්‍රන්ථ සහ ටාටා ගුවන් සමාගමේ නිල ඉතිහාස සටහන්.) (ඡායාරූප – අන්තර්ජාලය ඇසුරෙන් සහ AI නිර්මාණ ඇසුරෙන්)


