කැනඩාවට සංක්‍රමණය වී, ජීවිතයේ ප්‍රථම නිවහන තමන් සතු කරගත් ඒ සුවිශේෂී අවස්ථාව ඔබට තවමත් මතකද? වෘත්තීය මට්ටමේ දේපළ වෙළඳාම් නියෝජිතයෙකු ලෙස මා වසර ගණනාවක් පුරා ලැබූ අත්දැකීම්වලට අනුව, නිවසක් මිලදී ගැනීම යනු ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතයේ අතිශය තීරණාත්මක සන්ධිස්ථානයකි.
මෙරට තුළ නිවසක් මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කළ මොහොතේ පටන් බොහෝ දෙනෙකු තුළ යම් නොසන්සුන් බවක් හෝ චකිතයක් ඇතිවීම ස්වාභාවිකය. වසර ගණනාවක සිහිනයක් යථාර්ථයක් වන්නට යන මොහොතේ දැනෙන ඒ අපූර්ව හැඟීම, පසුකාලීනව ආවර්ජනය කළ හැකි සුන්දර මතකයකි. සමහරුන්ට මෙම ගනුදෙනුව බලාපොරොත්තු වූවාට වඩා ඉතා ඉක්මනින් නිම කිරීමට අවස්ථාව ලැබුණද, තවත් සමහරුන්ට එය අසීමිත කැපකිරීම් ඉල්ලා සිටින දීර්ඝ මෙහෙයුමක් වන්නට ඇත.
කෙසේ වුවද, සියලු නීතිමය ලියකියවිලිවලට අත්සන් තබා ගනුදෙනුව නිම කළ සැණින් සිතට දැනෙන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි ජයග්‍රාහී අභිමානයකි. එසේ වුවත්, තමන් ආයෝජනය කළ මුදල සහ ගත් තීරණය පිළිබඳව යම් දෙගිඩියාවක් සිතේ කොනක ඇතිවීම ද මිනිස් ස්වභාවයකි. එහෙත් අවසාන වශයෙන්, ඔබේ ප්‍රථම නිවස යනු හුදු ගොඩනැගිල්ලක් හෝ දේපළක් පමණක් නොව, එය ඔබේ අනාගතය වෙනුවෙන් තැබූ ස්ථාවරම පදනම බව පසක් වනු ඇත.
වර්තමාන නිවාස වෙළඳපොළේ පවතින දැඩි තරගකාරීත්වය සහ උකස් ණය (Mortgage) පොලී අනුපාත හමුවේ, “කැනඩාවේ (විශේෂයෙන්ම ටොරොන්ටෝ ඇතුළු GTA කලාපයේ) නිවසක් මිලදී ගැනීම අතීතයේදීත් මෙතරම්ම අසීරු වූවාද?” යන්න බොහෝ දෙනෙකු තුළ පවතින කුතුහලයකි. අන්න ඒ නිසාම, අද අපගේ දේපළ වෙළඳාම් විශේෂාංගය තුළින් 1950 දශකයේ සිට අද දක්වා නිවාස ගැනුම්කරුවන් මුහුණ දුන් අභියෝග සහ ඔවුන් ලැබූ ජයග්‍රහණ දෙස ආපසු හැරී බැලීමට අපි තීරණය කළෙමු.
Wartime Housing Limited (WHL)
කැනඩාවේ නිවාස වෙළඳපොළ අද පවතින තත්ත්වයට ඒමේ පදනම වැටුණේ දෙවන ලෝක යුද්ධයත් සමඟය. 1941 දී රජය, Wartime Housing Limited (WHL) ආයතනය ආරම්භ කරන ලද අතර මෙය යුද සේවයේ නිරත වූවන්ට සහ අවි ආයුධ කර්මාන්තශාලාවල සේවකයන්ට ලැගුම් ගෙවල් තැනීම සඳහා ස්ථාපිත කළ ආයතනයක් විය. WHL පිහිටුවීම කැනේඩියානු නිවාස ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක් වූ අතර, රජය සතු ආයතනයක් (Crown Corporation) ලෙස එය යුද සමයේ ඇති වූ දැඩි නිවාස හිඟයට සාර්ථක පිළියම් සෙවීය.
එම ආයතනය මගින් සිදු කළ සුවිශේෂී මෙහෙවර මෙසේය.
1. යුද සමයේ හදිසි අවශ්‍යතා සහ – Victory Houses
එකල යුද කටයුතු සඳහා අවශ්‍ය අවිආයුධ කර්මාන්තශාලාවලට සේවකයන් විශාල වශයෙන් ගලා ඒමත් සමග නගරබදව දැඩි නිවාස හිඟයක් ඇති විය. මීට පිළියමක් ලෙස WHL ආයතනය Victory Houses හෝ Strawberry Box Houses ලෙස හැඳින්වෙන සරල, කුඩා නිවාස ඉදි කළේය. මෙම නිවාසවල කොටස් කර්මාන්තශාලා තුළ කලින් නිපදවා (Prefabricated), ඉදිකරන ස්ථානයට ගෙන ගොස් ඉතා ඉක්මනින් එකලස් කරන ලදී. මේවා සාමාන්‍යයෙන් වර්ග අඩි 800 ත් 1000 ත් අතර ප්‍රමාණයෙන් යුක්ත වූ අතර, බිම් මහලකින් සහ කුඩා අට්ටාලයකින් (Attic) සමන්විත විය.
2. හුදකලා සේවකයන්ට නේවාසිකාගාර (Dormitories)
කර්මාන්තශාලාවල සේවය කිරීමට පැමිණි තනිකඩ සහ විශේෂයෙන්ම දහස් සංඛ්‍යාත වූ කාන්තා සේවිකාවන් වෙනුවෙන් නේවාසිකාගාර පන්නයේ නිවාස WHL විසින් ඉදි කරන ලදී. මේවා කර්මාන්තශාලාවලට ඉතා සමීපව පිහිටා තිබීම නිසා සේවකයන්ගේ ගමනාගමන පහසුව සැලසු‚.
3. කුලී නිවසේ සිට හිමිකාරිත්වය දක්වා
මුලින් මෙම නිවාස රජය විසින් කුලී පදනම මත පවත්වාගෙන ගිය නමුත් යුද්ධය අවසන් වීමත් සමඟ, නැවත පැමිණෙන යුද සෙබළුන් a (Veterans) සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් ස්ථීර පදිංචිය ලබා දීමට රජයට අවශ්‍ය විය. මේ සඳහා 1947 වන විට WHL විසින් නිවාස 30,000 කට අධික ප්‍රමාණයක් ඉදි කර තිබු‚. අනතුරුව WHL ආයතනය CMHC (Central Mortgage and Housing Corporation) වෙත අන්තර්ග්‍රහණය කරන ලද අතර, එම නිවාස ඒවායේ පදිංචි වී සිටි කුලීකරුවන්ට සහ යුද සෙබළුන්ට සහනදායී මිලකට විකුණා දමන ලදී.
4. අදටත් ඉතිරිව පවතින උරුමය
WHL මගින් ඉදි කළ මෙම නිවාසවල ඇති විශේෂත්වය වන්නේ ඒවායේ ශක්තිමත් බවයි. ඉතා ඉක්මනින් සහ අරපිරිමැස්මෙන් ඉදි කළද, අදටත් ටොරොන්ටෝ, වැන්කූවර් සහ හැමිල්ටන් වැනි නගරවල මෙම ‘වික්ටරි හවුසස්’ සුරක්ෂිතව පවතී. අද වන විට බොහෝ දෙනා මෙම නිවාස නවීකරණය කර හෝ පුළුල් කර භාවිත කරති. මෙම නිවාස විප්ලවයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මොන්ට්‍රියල්හි පිහිටි Benny Farm ව්‍යාපෘතිය හැඳින්විය හැකිය. 1946 දී රජය විසින් ආරම්භ කර, පසුව 1947 දී CMHC ආයතනය යටතට පත් වූ මෙය කැනඩාවේ ප්‍රථම සහනාධාර නිවාස (Subsidized Housing) ව්‍යාපෘතිවලින් එකකි.
CMHC හි සම්ප්‍රාප්තිය සහ උකස් ණය රක්ෂණය
WHL ආයතනය CMHC වෙත අන්තර්ග්‍රහණය වීම හුදෙක් ආයතන දෙකක් එකතු වීමක් නොව, කැනඩාව ‘යුධ සමයේ අවශ්‍යතා’ සපුරාලීමේ සිට ‘ස්ථීර ජාතික නිවාස ප්‍රතිපත්තියක්’ කරා ගමන් කිරීමේ සලකුණකි.
1900 දශකයේ මුල් භාගයේදී (1920 සහ 30 දශකවල) ඉතා ක්‍රියාකාරීව පැවති Waddington & Grundy දේපළ වෙළඳාම් ආයතනයේ ඡායාරූපයක්.
(Image Courtesy of Toronto Public Library, HSS-SANDS-0016)
Thompson, R. J., & Herbert Duern, real estate office, Bloor Street West, northeast corner Prince Edward Drive1940
(Image Courtesy of Toronto Public Library PICTURES-R-5918)
Scarborough Township Public Library bookmobile
in the 1950s
(Image Courtesy of Toronto Public Library, TPL-A-0816)
මෙම අන්තර්ග්‍රහණයත් සමඟ කැනඩාවේ නිවාස ප්‍රතිපත්තිය ‘හදිසි සහන’ (Emergency Relief) මට්ටමේ සිට ‘දීර්ඝකාලීන සංවර්ධන’ (Long-term Development) මට්ටමක් කරා පරිවර්තනය විය. 1945 දෙසැම්බර් 1 වන දින පාර්ලිමේන්තු පනතක් මගින් කඵ්‍යක ස්ථාපිත කිරීමේ මූලික අරමුණු මෙසේ විය.
- ආපසු පැමිණෙන සෙබළුන් සඳහා නිවාස සොයා දීම.
- කැනඩාව පුරා නිවාස වැඩසටහන් සම්බන්ධීකරණය
- උකස් ණය (Mortgages) ලබා දීමට පහසුකම් සැලසීම.
1954 බැංකු පනත සංශෝධනය
කැනේඩියානු නිවාස වෙළඳපොළ ඉතිහාසය උඩුයටිකුරු කළ තීරණාත්මකම සාධකයක් වන්නේ 1954 බැංකු පනත සංශෝධනයයි. එතෙක් කැනඩාවේ වාණිජ බැංකුවලට නිවාස ණය ලබා දීම සඳහා නීතිමය අවසරයක් තිබුණේ නැත.
මෙම සංශෝධනය හරහා සිදු වූ සුවිශේෂී වෙනස්කම් මෙසේය.
- 1954 ට පෙර, නිවාස ණය ලබා දුන්නේ රජයේ ආයතන හෝ රක්ෂණ සමාගම් වැනි සීමිත පිරිසක් පම‚. මෙම පනත මගින් කැනඩාවේ ප්‍රධාන වාණිජ බැංකුවලට ප්‍රථම වතාවට නිවාස ණය වෙළඳපොළට පිවිසීමට අවසර ලැබු‚.
- බැංකු මෙම වෙළඳපොළට ආකර්ෂණය කර ගැනීමට රජය විසින් CMHC හරහා ‘උකස් ණය රක්ෂණ ක්‍රමයක්’ (Mortgage Insurance) හඳුන්වා දෙන ලදී. යම් ගැනුම්කරුවෙකුට ණය ගෙවීමට නොහැකි වුවහොත්, එම පාඩුව පියවා ගැනීමට බැංකුවට රක්ෂණාවරණයක් හිමි විය.
- මූලික ගෙවීම් (Down payment) අඩු වූ අතර, නිවාස ණය ලබා ගැනීම පහසු විය. මේ හේතුවෙන් 1950 දශකයේ අගභාගය වන විට තනි පවුල් ජීවත් වන නිවාස (Single-family homes) ඉදිකිරීමේ දැවැන්ත පිම්මක් ඇති විය.
1950 දශකයේ නිවාස වෙළඳපොළ
කැනේඩියානු රජය සහ CMHC ආයතනය විසින් නිවාස හිමිකාරිත්වය දිරිමත් කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගවල සාර්ථක ප්‍රතිඵල 1950 දශකය වන විට දක්නට ලැබුණි. අද පවතින දැඩි තරගකාරී මිල ගණන් (Bidding Wars) සහ මිලියන ගණනින් වටිනා නිවාස වෙළඳපොළට වඩා 1950 දශකය හාත්පසින්ම වෙනස් පරිසරයකි.
එසේම, එම දශකය කැනඩාවේ නව ජනගහන පිබිදීමක් (Baby Boom) ඇති වූ යුගයකි. එකල කැනඩාවේ මුළු ජනගහනය මිලියන 14 ක් පමණ වූ අතර, අද වන විට මිලියන 7 ක් (2025 වාර්තාවලට අනුව) ඉක්මවා ඇති ටොරොන්ටෝ නගරයේ ජනගහනය එදා පැවතියේ මිලියන 1.1 ක් වැනි සීමිත මට්ටමකය. ජනගහනය අඩු වීම නිසාම අද මෙන් තදබදයක් හෝ ඉඩම් හිඟයක් එදා නොවීය.
එවකට කැනේඩියානු පවුලක වාර්ෂික ආදායම ඩොලර් 3,500 ත් 4,000 ත් අතර මට්ටමක පැවති අතර, මෝටර් රථයක් ඩොලර් 2,000 කටත්, පාන් ගෙඩියක් ශත 19 කටත් මිල දී ගත හැකි විය.
එවන් යුගයක, ටොරොන්ටෝ නගරයේ සුන්දර පරිසරයක සිය කුලුඳුල් කැදැල්ල තැනීමට තීරණය කළ Mae සහ Leonard නම් තරුණ යුවළ, ඒ සඳහා ටොරොන්ටෝ Chaplin Crescent ප්‍රදේශය තෝරා ගත්හ. ඔවුන් තෝරාගත් නිවසේ වටිනාකම ඩොලර් 30,500 කි. එහෙත්, down payment සඳහා අවශ්‍ය මුදල පවා ඔවුන් සතුව නොතිබූ බැවින්, ලෙනාඩ් තමා සේවය කළ ආයතනයේ හිමිකරුගෙන් ඒ සඳහා ණයක් ඉල්ලා සිටියේය. එහිදී එම හිමිකරු ලෙනාඩ් වෙත ඩොලර් 30,000 ක ත්‍යාගශීලී ණය මුදලක් ලබා දෙමින් ඔවුන්ගේ නිවාස සිහිනය සැබෑ කර ගැනීමට මග පෑදුවේය.
මෙම යුවළ එම සොඳුරු නිවහනේ සිය සැඳෑ සමය දක්වා දශක පහකට අධික කාලයක් ජීවත් වූහ. 2013 වසරේදී Leonard මෙලොව හැර යෑමෙන් පසු, 2014 වසරේදී Mae විසින් එම නිවස ඩොලර් 1,600,000 කට (මිලියන 1.6) අලෙවි කරන ලදී. එය ඔවුන් 1957 දී ආයෝජනය කළ මුදල හා සැසඳීමේදී පනස් දෙගුණයකට වඩා වැඩි දැවැන්ත ලාභයකි.
1960 දශකය හිපි සංස්කෘතිය, නාගරික පිබිදීම සහ නිවාස මිල ඉහළ යාමේ ඇරඹුම
1960 දශකයේ ටොරොන්ටෝ නගරය අද අප දකින පෙනුමට වඩා හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගත්තේය. නගරයේ අභිමානය බඳු CN Tower එවකට ඉදිවී නොතිබූ අතර, අද පවතින සුපිරි වෙළඳසැල් සහ අහස සිඹින තට්ටු නිවාස ඇතුළු ගොඩනැගිලි වෙනුවට Yorkville ප්‍රදේශය එකල ප්‍රසිද්ධ වී තිබුණේ නිදහස් මතධාරී ‘හිපි’ (Hippie) සංස්කෘතියේ කේන්ද්‍රස්ථානයක් ලෙසය.
නාගරීකරණය සහ ‘මහල් නිවාස’ යුගයේ ඇරඹුම
කැනේඩියානු නිවාස ඉතිහාසයේ හැඩය වෙනස් කළ ‘නාගරික වර්ධනයේ’ දශකය ලෙසද 1960 හැඳින්විය හැකිය. එම දශකයේදී කැනේඩියානු සමාජයේ කැපී පෙනෙන සංක්‍රාන්ති සමයක් සනිටුහන් විය. එතෙක් කෘෂිකාර්මික සහ ගම්බද පරිසරයන්හි දිවි ගෙවූ ජනතාව, කාර්මික දියුණුව සහ නව රැකියා අවස්ථා සොයා විශාල වශයෙන් නගර කරා සංක්‍රමණය වීම ආරම්භ කළහ. මෙම දැවැන්ත ජනගහන ප්‍රවාහය දරා ගැනීමට නගර මධ්‍යයේ ඉඩකඩ සීමිත වීම නිසා, තනි නිවාස වෙනුවට සිරස් අතට ඉදිවන මහල් නිවාස (Multi-unit apartment buildings) සංකල්පය කරළියට පැමිණියේය.
මෙම කාලය තුළ ටොරොන්ටෝ වැනි නගරවල අහස සිඹින මහල් නිවාස සංකීර්ණ දහස් ගණනින් ඉදිවන්නට විය. මෙය කැනේඩියානු නිවාස ඉතිහාසයේ ‘මහල් නිවාස යුගය’ ලෙස හැඳින්වෙන අතර, එමගින් නගර මධ්‍යයේ ජීවත්වීම සාමාන්‍ය මධ්‍යම පාන්තික ජනතාවට වඩාත් සමීප විය. විශේෂයෙන්ම තරුණ පවුල් සහ තනිකඩ සේවකයන් අතර මෙම නවීන මහල් නිවාස අතිශයින් ජනප්‍රිය වූයේ ඒවා නගරයේ කාර්යබහුල ජීවිතයට පහසුවක් වූ බැවිනි.
නිවාස සැලසුම්කරණයේ තාක්ෂණික විප්ලවය
1960 දශකය යනු නිවසක අභ්‍යන්තර සැලසුම (Interior Design) සම්පූර්ණයෙන්ම වෙනස් වූ යුගයකි. එතෙක් පැවති සංවෘත සහ වෙන් වෙන්ව පිහිටි කාමර වෙනුවට, අවකාශය වැඩිපුර පෙනෙන පරිදි සකස් කළ ‘විවෘත මුළුතැන්ගෙවල්’ (Open-concept kitchens) නිර්මාණය කිරීම මෙම දශකයේ විශේෂත්වයක් විය. මෙහි ප්‍රධාන අරමුණ වූයේ මුළුතැන්ගෙයෙහි වැඩ කරන අතරතුර පවුලේ සෙසු සාමාජිකයන් සමඟ සම්බන්ධ වී සිටීමට ගෘහණියට අවස්ථාව සලසා දීමයි.
තාක්ෂණික අතින් බලන කල, නිවාස සැලසුම් කිරීමේදී නවීන විදුලි උපකරණ (Modern appliances) සඳහා වැඩි ඉඩක් වෙන් කිරීම ආරම්භ විය. ශීතකරණ, විදුලි පෝරණුව (Electric stoves) සහ රෙදි සෝදන වේලන යන්ත්‍ර වැනි පහසුකම් නිවසක අනිවාර්ය අංග බවට පත් වූ අතර, ඒවා සඳහා අවශ්‍ය විදුලි පද්ධති සහ නළ පද්ධති වඩාත් ක්‍රමවත්ව නිවාස සැලසුම්වලට ඇතුළත් කෙරුණි. මෙය කැනේඩියානු ගෘහ ජීවිතය වඩාත් සුවපහසු සහ කාර්යක්ෂම කළ ‘තාක්ෂණික පිම්මක්’ ලෙස හැඳින්විය හැකිය.
TREB වාර්තාකරණයේ ආරම්භය
වර්තමානයේ කැනේඩියානු නිවාස වෙළඳපොළේ ප්‍රධාන මිනුම්දණ්ඩක් වන TREB (Toronto Real Estate Board) සිය නිල වාර්තා පවත්වාගෙන යාම ආරම්භ කළේද මෙම යුගයේදීය. 1967 වසරට පෙර නිවාස මිල ගණන් සහ විකුණුම් පරිමාව පිළිබඳ දත්ත පදනම් වූයේ පුවත්පත් වාර්තා හෝ රජයේ ලේඛන මතය. පසුව 1967 වසරේ සිට TREB ආයතනය එම දත්ත නිල වාර්තා ලෙස ඉදිරිපත් කිරීම ආරම්භ කරන ලදී. ඒ අනුව මුළු මහත් GTA කලාපයම විවිධ කේත (C01, E01, W12…) මගින් කොටස්වලට ඛෙදා නිවාස මිල වාර්තා කිරීමේ ක්‍රමවේදය ස්ථාපිත විය.
2020 වසරේදී TREB (Toronto Real Estate Board) ආයතනය TRREB (Toronto Regional Real Estate Board) ලෙස සිය නම වෙනස් කරමින් එහි සේවා පරාසය පුළුල් කළේය. (මේ පිළිබඳ පසුව කතා කරමු)
නිවාස මිල සහ ආර්ථීක පසුබිම
TREB වාර්තා අනුව 1967 වසරේදී ටොරොන්ටෝවේ සාමාන්‍ය නිවසක මිල ඩොලර් 24,078 ක් විය. 60 දශකය අවසන් වන විට එම අගය සියයට 20.4 කින් ඉහළ ගොස් ඩොලර් 28,900 ඉක්මවූ අගයක් දක්වා ළඟා විය. එකල සාමාන්‍ය පවුලක වාර්ෂික ආදායම ඩොලර් 20,000 කට ආසන්න මට්ටමක පැවති අතර, නිවාස ණයක් සඳහා ගෙවීමට සිදු වූ පොලී අනුපාතය පැවතියේ සියයට 4 ක් වැනි මට්ටමකය.
සාමූහික නිවාස (Cooperative Housing) සහ නාගරික පිබිදීම
1960 දශකයේ ජනගහන වර්ධනය සහ සංක්‍රමණිකයන්ගේ ශීඝ්‍ර පැමිණීම හමුවේ නිවාස අවශ්‍යතාව දැඩිව දැනෙන්නට විය. මෙයට පිළියමක් ලෙස 1966 දී කැනඩාවේ ප්‍රථම සාමූහික නිවාස ව්‍යාපෘතිය Willow Park නමින් Winnipeg හිදී විවෘත විය. මෙය විශේෂයෙන්ම නිර්මාණය කර තිබුණේ වාර්ෂික ආදායම ඩොලර් 3,000 ත් 6,000 ත් අතර වූ මධ්‍යම පාන්තික පවුල් වෙනුවෙනි.
Winnipeg අනාගතවාදී නිවාස අත්හදා බැලීම
1967 වසරේ මොන්ටි්‍රයල්හි පැවැත්වූ Expo 67 ප්‍රදර්ශනය වෙනුවෙන් ඉදි කළ Habitat 67 සංකීර්ණය ලෝකයේම අවධානය දිනාගත් වාස්තු විද්‍යාත්මක විස්මිතයක් විය. CMHC ආයතනය මෙයට සියයට 50 ක මූල්‍ය දායකත්වයක් ලබා දුන්නේය. මෙය අතිශය නවීන සහ කලාත්මක නිර්මාණයක් වුවද, එහි මුල් කුලී මිල ගණන් (මසකට ඩොලර් 1,000) එකල සාමාන්‍ය ජනයාට දරාගත නොහැකි විය. පසුව එය ඩොලර් 450 දක්වා අඩු කළද, එකල පැවති වැටුප් මට්ටම් අනුව එය සුඛෝපභෝගී පන්තියේ නිවාසයක් ලෙසම සැලකුණි.
House, Victoria Park Avenue, at end of Ellesmere Road 6/5/1956 (Image Courtesy of Toronto Public Library, PICTURES-R-6333)
මෙය 19 වන සියවසේ මුල් පදිංචිකරුවන් විසින් දැව කොටන් යොදා ඉදිකළ (Log House) ඓතිහාසික ගොවිපළ නිවසකි. 1956 ජුනි මාසයේදී මෙම ඡායාරූපය ගන්නා අවස්ථාව වන විට, කැඩුණු ජනේල සහ අබලන් වූ වහලය දෙස බැලීමේදී මෙය මිනිසුන් පදිංචියෙන් තොරව අත්හැර දමා තිබූ නිවසක් බව පැහැදිලි වේ. එකල ටොරොන්ටෝ නගරය ශීඝ්‍රයෙන් නාගරීකරණය වීමත් සමඟ මෙවැනි පැරණි ගොඩනැගිලි භාවිතයෙන් ඉවත් වෙමින් පැවතිණි.



