1930 දශකයේ මහා ආර්ථීක අවපාතය හමුවේ දහස් සංඛ්‍යාත ව්‍යාපාර බංකොලොත් වෙද්දී, William Wrigley Jr සිය ධනය වර්ධනය කර ගත්තේ අපූරු රහසක් ලොවට හෙළි කරමිනි. Juicy Fruit සහ Spearmint වැනි චුවින්ගම් ලෝකයට හඳුන්වා දුන් රිග්ලි වරෙක මෙසේ පැවසීය.

මම හිතන්නේ මිනිසුන් දුකෙන් ඉන්නකොට චුවින්ගම් වැඩියෙන් හපනවා.”

එදා ඔහු කී ඒ කතාව අදටත් වලංගු වෙමින් පවතී.

 

 

මිනිසුන් චුවින්ගම් හැපීමට මෙතරම් ප්‍රිය කරන්නේ ඇයි?

බොහෝ දෙනෙක් හුස්ම ප්‍රබෝධමත් කර ගැනීමට චුවින්ගම් භාවිතා කළද, 20 වන සියවසේ මුල් භාගයේදී එය ප්‍රචාරණය කෙරුණේ මනස සන්සුන් කරන දෙයක් ලෙසය. 1918 වසරේ රිග්ලිගේ එක් වෙළඳ දැන්වීමක සඳහන් වූයේ එය ‘ස්නායු ස්ථාවර කරන’ (It steadies nerves) බවයි.
චුවින්ගම්වල රසය ආකර්ෂණීය වුවද, එහි පෝෂණ ගුණයක් නොමැති අතර රසය අවසන් වූ පසුව පවා මිනිසුන් එය දිගටම හපමින් සිටිති. මෙයින් පෙනී යන්නේ හපන ක්‍රියාව (act of chewing) තුළම කිසියම් ආකර්ෂණයක් පවතින බවයි. එමෙන්ම එය මනස ලිහිල් කිරීමට හෝ චින්තනය දියුණු කරගැනීමට ඇති සරල ක්‍රමයක් විය හැකිය. හුදෙක් හකු චලනය කිරීම මගින් ඔබේ හැඟීම් වෙනස් කළ හැකිද?

හකු චලනය සහ මොළය අතර සම්බන්ධය
රිග්ලි අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වුවද, ඔහුගේ අලෙවි ප්‍රචාරණ සෑම විටම තහවුරු කරන ලද විද්‍යාත්මක පදනමක් මත ගොඩනැගී නොතිබුණි. එසේ වුවද, චුවින්ගම්වල ඇති සන්සුන් කිරීමේ ගුණය පිළිබඳව ඔහු එදා ඉදිරිපත් කළ අදහස සත්‍යයක් බව පර්යේෂකයන් දැන් පිළිගනිති. චුවින්ගම් හැපීමේ සංජානනීය (cognitive) බලපෑම් පිළිබඳව විද්‍යාඥයන් පර්යේෂණ කරන විට, නිතිපතා චුවින්ගම් හපන පුද්ගලයන්ගේ අවධානය (attention) වැඩි කිරීමට සහ මානසික ආතතිය අඩු කිරීමට එය උපකාරී වන බව සොයාගෙන ඇත.
මෙයට බලපාන ප්‍රධාන හේතු කිහිපයකි.

  • රුධිර ගමනාගමනය – හපන ක්‍රියාවේදී මුහුණේ මාංශ පේශි ක්‍රියාත්මක වීම නිසා මොළයට ලැබෙන රුධිර ප්‍රමාණය සහ ඔක්සිජන් මට්ටම සුළු වශයෙන් ඉහළ යා හැකියි.
  • කෝටිසෝල් (Cortisol) මට්ටම – හපන ක්‍රියාව මගින් ශරීරයේ ප්‍රධාන ආතති හෝමෝනය වන කෝටිසෝල් මට්ටම අඩු කරන බව පර්යේෂණ මගින් හෙළි වී ඇත.
  • සංවේදන උත්තේජනය – හපන විට ඇති වන රිද්මයානුකූල චලනය මගින් මොළයේ සන්සුන් වීමට අදාළ ප්‍රදේශ උත්තේජනය කරන බව විශ්වාස කෙරේ.

වසර 8000 ක චුවින්ගම්  ඉතිහාසය
මිනිසුන් නිරන්තරව යමක් හැපීමට ප්‍රිය කිරීම අද ඊයේ ආරම්භ වූවක් නොවේ. වසර දහස් ගණනක සිට ලොව පුරා විවිධ සංස්කෘතීන් තුළ මෙම පුරුද්ද පැවති බවට සාක්ෂි හමු වේ.
මෙතෙක් සොයාගෙන ඇති පැරණිතම චුවින්ගම් වර්ගය හමු වී ඇත්තේ ස්කැන්ඩිනේවියාවෙනි. එය වසර 8000 ක් පමණ පැරණි වන අතර, බර්ච් ගසේ පොතුවලින් ලබාගත් ඇලෙන සුළු ද්‍රව්‍යයකින් (Birch bark pitch) නිපදවා තිබුණි. එම පෞරාණික ‘ගම්’ මත තිබූ දත් සලකුණු පරීක්ෂා කිරීමේදී හෙළි වූයේ ඒවා හැපූ පිරිස අතර අවුරුදු පහක තරම් කුඩා දරුවන්ද සිටි බවයි. මෙයින් ගම්‍ය  වන්නේ ඔවුන් කිසිවක් නිපදවීමට නොව, හුදෙක් විනෝදය සඳහා ඒවා හපන්නට ඇති බවයි.
පුරාණ ග්‍රීකයින්, ස්වදේශික ඇමරිකානුවන් සහ මායාවරුන්ද සැපදිල්ලා  (Sapodilla) ගසෙහි කිරිවලින් සාදා ගත් ඇලෙන සුළු ද්‍රව්‍යයක් හැපීමට පුරුදු වී සිටියහ. සැපදිල්ලා ගසෙන් ලබා ගන්නා රබර් කිරි වැනි මෙම සාරය චිකල් (Chicle) ලෙස හඳුන්වන අතර එම නිසා සැපදිල්ලා ගසට Chicle tree නමද භාවිත වේ.

 

ඇමරිකාවට චුවින්ගම් පැමිණීම
ඇමරිකා එක්සත් ජනපදයට චුවින්ගම් හඳුන්වා දෙනු ලැබුවේ 1850 දශකයේදීය. ඒ, නිව්යෝර්ක් ජාතික නව නිපැයුම්කරුවෙකු වූ Thomas Adams හට, මෙක්සිකෝවෙන් පිටුවහල් කර සිටි ජනාධිපති Antonio López de Santa Anna ගෙන් ‘චිකල්’ ස්වල්පයක් ලැබීමත් සමගය. ඇඩම්ස් මුලින්ම උත්සාහ කළේ එය රබර් සඳහා ආදේශකයක් ලෙස භාවිත කිරීමට වුවද, එය අසාර්ථක වීම නිසා ඔහු ඉන් චුවින්ගම් නිපදවීමට පෙළඹුණේය.
ඇමරිකාව තුළ චුවින්ගම් රැල්ලක් ඇති කිරීමට විලියම් රිග්ලි විශාල දායකත්වයක් ලබා දුන්නේය. රිග්ලි මුලින්ම අලෙවි කළේ සබන් සහ බේකින් සෝඩාය. චුවින්ගම් ඔහු ලබා දුන්නේ එම භාණ්ඩ මිල දී ගන්නා අයට නොමිලේ ලැබෙන තෑග්ගක් (freebie) වශයෙනි.
1890 දශකයේදී, මිනිසුන් ඔහුගේ අනෙකුත් භාණ්ඩවලට වඩා චුවින්ගම්වලට වැඩි කැමැත්තක් දක්වන බව වටහාගත් රිග්ලි Atlantic නගරයෙන් පිටත සැතපුම් ගණනාවක් දිගැති පුවරු ප්‍රදර්ශනය කළ අතර, ඇමරිකානු දුරකථන නාමාවලියේ සිටි සැමට චුවින්ගම් පැකට්ටුව බැගින් තැපැල් කිරීමට තරම් නිර්භීත විය.

 

පළමු ලෝක සංග්‍රාම සමයේදී රිග්ලි ඇමරිකානු හමුදාව හමුවී, සොල්දාදුවන්ගේ කුසගින්න පාලනය කිරීමට, දත් පිරිසිදු කිරීමට සහ මානසික ආතතිය අඩු කිරීමට මෙය උපකාරී වන බව පෙන්වා දෙමින් ‘චුවින්ගම්’ හමුදා ආහාර සලාකයට (Rations) ඇතුළත් කරවීය. මේ නිසා යුද්ධයට ගිය සොල්දාදුවන් හරහා චුවින්ගම් ලොව පුරා ව්‍යාප්ත විය.
20 වන සියවසේ, එනම් චුවින්ගම් කර්මාන්තයේ ස්වර්ණමය යුගයේදී, එය කෙතරම් ජනප්‍රිය වූවාද යත් New York Times පුවත්පතේ පවා ඒ පිළිබඳව විවිධ විවේචනාත්මක ලිපි පළ විය. 1906 දී එක් මාධ්‍යවේදියෙකු පවසා තිබුණේ, ‘උමං දුම්රියපොළවල සිටින තරුණියන් පේළියට හිඳගෙන චුවින්ගම් හපන ආකාරය, ගොවිපොළක සිටින එළදෙනුන් පේළියට හිඳගෙන තණකොළ හපනවා වැනි’ බවයි. නිව්යෝර්ක් නගරාධිපති ෆියොරෙලෝ ලා ගාර්ඩියා පවා වීදිවල චුවින්ගම් අපද්‍රව්‍ය පිරී තිබීම ගැන නිෂ්පාදකයින්ගෙන් විසඳුම් ඉල්ලා තිබුණේය.
ලොව පුරා චුවින්ගම් ව්‍යාප්ත වීමත් සමගම, එහි සෞඛ්‍යමය ප්‍රතිලාභ පිළිබඳ විවිධ කතාන්දරද පැතිර ගියේය.  1916 දී පළ වූ එක් ලිපියක චුවින්ගම් ප්‍රවර්ධනය කර තිබුණේ මෙලෙසිනි. ‘ඔබ දුකෙන්ද? චුවින්ගම් හපන්න. රාත්‍රි නින්ද නොයයිද? චුවින්ගම් හපන්න. ඔබ මානසිකව වැටී සිටිනවාද? මුළු ලෝකයම ඔබට එරෙහි වී තිබේද? චුවින්ගම් හපන්න.’ චුවින්ගම් පිළිබඳව මෙවැනි මත දශක ගණනාවක් පුරා පැවතිණි.

විද්‍යාත්මක ගවේෂණය සහ සීමාවන්
රිග්ලි සමාගම (Wrigley Company) විසින් චුවින්ගම්වල ප්‍රතිලාභ ප්‍රචාරය කිරීමේ ‘රිග්ලිගේ ආරය’ අඛණ්ඩව ඉදිරියට ගෙන ගියේය. 2006 දී එම සමාගම විසින් Wrigley Science Institute, පිහිටුවා  චුවින්ගම්වල ප්‍රතිලාභ ගවේෂණය කිරීම සඳහා පර්යේෂණ සහ ආචාර්ය උපාධි මට්ටමේ අධ්‍යයන සඳහා අරමුදල් සැපයීය.
Cardiff Universit හි  මනෝ විද්‍යාඥ Andrew Smith සහ මහාචාර්ය Crystal Haskell-Ramsay මේ පිළිබඳව පර්යේෂණ කළ අතර, ඔවුන් පෙන්වා දෙන්නේ චුවින්ගම් මගින් මතකය (Memory) කෙරෙහි විශාල බලපෑමක් නොමැති වුවද, අවදි බව (Alertness) සහ අවධානය රඳවා ගැනීම (Sustained attention) සියයට දහයකින් පමණ ස්ථාවරව ඉහළ යන බවයි.

හැපීම පරිණාමීය පුරුද්දක්ද?
සතුන් බොහෝ විට මානසික ආතතියට පත් වූ විට, යමක් හැපීමට පෙළඹෙති. එම නිසා මෙය අපගේ පොදු පූර්වජයන්ගෙන් පැවත එන ප්‍රාථමික පුරුද්දක් විය හැකිය. නමුත් පරිණාමය පිළිබඳ ජීව විද්‍යාඥයෙකු වන Adam van Casteren පවසන්නේ මීට වඩා වෙනස් අදහසකි. ඔහුට අනුව මිනිසා අද සිටින තත්වයට පත් වූයේ අඩුවෙන් හැපීමට  (Chew less) ඉගෙන ගැනීම නිසාය.
‘මිනිසුන් අනෙකුත් ප්‍රයිමේටාවන්ට (primates) වඩා ඛෙහෙවින් අඩුවෙන් හපති. චිම්පන්සියන් දිනකට පැය හතරක් හෝ පහක් හපන අතර ගෝරිල්ලන් පැය හයක් පමණ හපයි. නමුත් මිනිසෙකු සාමාන්‍යයෙන් ආහාර හපන්නේ දිනකට විනාඩි 35 ක් වැනි කෙටි කාලයකි. ගින්දර සොයා ගැනීමට සහ මෙවලම් භාවිතයට පෙර, අපේ පූර්වජයන්ටද මෙතරම් කාලයක් ආහාර හැපීමට වැය කිරීමට සිදු වන්නට ඇති,’ ඔහු පවසයි.
වෑන් කැස්ටරන් විශ්වාස කරන්නේ චුවින්ගම් කෙරෙහි ඇති ආකර්ෂණය අපේ මුතුන් මිත්තන්ගේ හැපීමේ පුරුද්ද සමග ආවක් නොවන බවයි. ඔහුගේ හොඳම අනුමානය වන්නේ, ‘මිනිසුන් පුනරාවර්තී දේවල් කිරීමට කැමතියි’ යන්නයි. එය හරියට අසීරු කාර්යයකදී ඇඟිලිවලින් හෝ පෑනකින් මේසයට තට්ටු කිරීම වැනිය.

මුඛ ආවරණ හමුවේ පසුබෑ චුවින්ගම් රැල්ල
ලෝකය පුරා පැතිර ගිය කොවිඩ්-19 වසංගතය අපගේ දෛනික පුරුදු රැසක් උඩුයටිකුරු කළේය. එහි එක් අපූරු ප්‍රතිඵලයක් වූයේ දශක ගණනාවක් පුරා ලොව පුරා ජනප්‍රියව පැවති චුවින්ගම් කර්මාන්තය දැඩි අර්බුදයකට ලක් වීමයි. නමුත් අද වන විට එම අර්බුදයෙන් මිදීමට නිෂ්පාදකයන් භාවිත කරන්නේ මීට සියවසකට පෙර විලියම් රිග්ලි භාවිත කළ ‘මානසික සහනය’ පිළිබඳ ඒ පැරණි රහසමය.
වසංගත සමයේදී ඇමරිකාව වැනි රටවල චුවින්ගම් අලෙවිය තුනෙන් එකකින් පමණ පහත වැටුණි. මෙයට ප්‍රධානතම හේතුව වූයේ මුඛ ආවරණ (Face Masks) අනිවාර්ය වීමයි. මිනිසුන් එකිනෙකා මුණගැසීම සීමා වීමත්, මුඛ ආවරණ නිසා තමාගේ හුස්මෙහි නැවුම් බව අන් අයට දැනේ යැයි තිබූ සමාජීය බිය පහව යාමත් නිසා චුවින්ගම්වල අවශ්‍යතාව ගිලිහී ගියේය. තවද, සුපිරි වෙළඳසැල්වල පෝලිම්වල රැඳී සිටින කාලය අඩු වීම නිසා, අවසාන මොහොතේ චුවින්ගම් පැකට්ටුවක් මිලදී ගැනීමේ පුරුද්දද මිනිසුන්ගෙන් ඈත් විය.
මෙම පසුබෑම හමුවේ චුවින්ගම් නිෂ්පාදකයින් ඔවුන්ගේ අලෙවිකරණ උපාය මාර්ගය සම්පූර්ණයෙන්ම වෙනස් කරනු ලැබුණි. ඔවුන් දැන් චුවින්ගම් ප්‍රවර්ධනය කරන්නේ හුදෙක් මුඛය ප්‍රබෝධමත් කරන දෙයකට වඩා, කාර්යබහුල සහ ආතති සහගත ලෝකයක ‘මනස සනසන ඔසුවක්’ ලෙසය.
නූතන වෙළඳ දැන්වීම් පණිවිඩය වන්නේ ‘ඔබේ ගැටලු හමුවේ නොසැලී සන්සුන්ව හපන්න’ (Chew through) යන්නයි. මෙහිදී හපන ක්‍රියාව මගින් මොළයේ ආතති ප්‍රතිචාර පද්ධතිය පාලනය කරන ආකාරය පිළිබඳව විද්‍යාත්මක අවධානයක් යොමු කෙරේ. ඒ අනුව කොරෝනා  වසංගතයෙන් පසු ලෝකයේ චුවින්ගම් යනු හුදෙක් රසකැවිල්ලක් නොව, මානසික ආතතිය කළමනාකරණය කරන සරල මෙවලමකි.
‘පිරිසිදු භෞතික විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් බැලූ විට, යමක් ගිලින්නේ නැතිව හැපීම තේරුමක් නැති දෙයක්’ යනුවෙන් නවකතා රචකයකු වන Karl Ove Knausgaard වරෙක ලියා තිබුණි. නමුත් පසුව ඔහු පිළිගත්තේ තමාට “Juicy Fruit” චුවින්ගමයක් නොමැතිව කිසිවක් ලිවිය නොහැකි බවයි.
මිනිස් මනෝභාවයන් හා බැඳුණු මෙවැනි සුවිශේෂී ඇබ්බැහිකම් පවතින තාක්, චුවින්ගම් සංස්කෘතිය ලොවෙන් සහමුලින්ම අතුගා දැමීම අතිශය දුෂ්කර වනු ඇත.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!