මිනිසා මහපොළවට අයත් වනවා විනා මහ පොළොව මිනිසාට අයත් නොවේ.
– රතු ඉන්දියානු නායක සියටැල්
ප්රාග් කාර්මික යුගයට (pre-industrial times) වඩා, ගෝලීය උෂ්ණත්වය, සෙල්සියස් අංශක 1.5 ඉක්මවූ පළමු පූර්ණ වසර 2024 තුළදී ලෝකය අත්විඳි බවEuropean Union’s Copernicus Climate Change Service (C3S) විසින් ජනවාරි 10 වන දින තහවුරු කරන ලදී. එහිදී ඔවුන් පවසා ඇත්තේ, නූතන මිනිසුන් විසින්, පෘථිවියේ උෂ්ණත්වය ඇතුළු දේශගුණික විපර්යාස පෙර නොවූ විරූ මට්ටමකට තල්ලු කරමින් පවතින බවයි. C3S හි අධ්යක්ෂ, Carlo Buontempo රොයිටර් වෙත පවසා තිබුණේ, ‘මෙම ධාරිතාව ඇදහිය නොහැකි තරම් ඉහළ’ බවයි. මිනිසා විසින් මහා පරිමාණයෙන් පොසිල ඉන්ධන දහනය කරමින් කාබන්ඩයොක්සයිඩ් විමෝචන සිදු කිරීමත් සමග, පසුගිය වසර 10 තුළ සෑම වසරකම ක්‍රම ක්‍රමයෙන් වාර්තාගත ලෙස පෘථිවි උණුසුම ඉහළ ගොස් ඇත. දේශගුණික විපර්යාසවල බලපෑම් වර්තමානයෙහි සෑම මහාද්වීපයකම දෘශයමාන වන අතර, එය පෘථිවියෙහි ධනවත්ම රටවල සිට දුප්පත්ම රටවල් දක්වා මිනිසුන්ට බලපානු ලබයි. එහි බරපතලම අවස්ථාවක් ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ කැලිෆෝනියාව අත්විඳිමින් සිටී. පසුගිය ජනවාරි 07 වැනි දා කැලිෆෝනියාවේ හටගත් ලැව්ගිනි නිසා මේ වන විට අවම වශයෙන් 27 දෙනෙකු මරණයට පත් වී, ඇතැමුන් අතුරුදන් වී ඇති අතර දේපළ රැසක් විනාශ වී ඇත.
ගිනිගත් නගර
නිව්යෝර්ක්වලින් පසු ජනගහනය අතින් එක්සත් ජනපදයේ දෙවන විශාලතම නගරය ලෙස සැලකෙන ලොස්ඇන්ජලීස් නගරය තුළ මෙම ලිපිය ලියන මොහොත වන විටත් ලැව් ගිනි ඇවිලෙමින් පවතී. මිලියන 13 කට වැඩි ජනගහනයක් වාසය කරන මෙම කලාපයේ, තවදුරටත් ගින්න පැතිරෙතැයි යන අනතුරු සංඥා තවමත් නිකුත් කෙරෙමින් ඇත. ජාතික කාලගුණ සේවය, බදාදා (ජන 15) දක්වා දරුණු ලැව්ගිනි තත්ත්වයන් සඳහා Red Flag අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ලැව් ගිනි පැතිර තිබූ ප්‍රදේශ මෙසේය. Los Angeles County(Palisades), San Gabriel Valley(Eaton), San Bernardino County (Crestline iy Lake Arrowhead), Orange County(Laguna Beach), Ventura County (Thousand Oaks iy Simi Valley).
මෙම ගින්න Hollywood Hills වෙත ඍජුවම බලපෑම් එල්ල කොට නැතත් එම ප්‍රදේශයට ආසන්නව පිහිටි Pacific Palisades සහ Topanga හි සක්‍රීයව පවතින ලැව්ගිනි නිසා Hollywood Hills ප්‍රදේශයද, යම් අවදානමකට ලක්ව ඇත. මේ වන විට එම ප්‍රදේශයේ පදිංචිකරුවන් පළාත් පාලන ආයතන හරහා දැනුවත් වෙමින් පසුවන අතර සුළං ප්රවාහයන් දැඩි වී ගින්න පැතිරුණහොත්, තත්ත්වය වෙනස් විය හැකි බවට ඔවුන් වෙත අනතුරු ඇඟවීම් නිකුත් කොට තිබේ.
නගරයේ බටහිර මායිමේ පිහිටි Santa Monica සහ Malibu අතර ඇති Palisades, Pasadena සහ නැගෙනහිරි ඇති Eaton හි ගින්න, ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ වඩාත්ම විනාශකාරී ලැව් ගින්න ලෙස මේ වන විට ශ්‍රේණිගත වී ඇත. මෙම ප්‍රචණ්ඩකාරී ගින්නෙන්, අක්කර දහස් ගණනක් මුළුමනින්ම විනාශ වී, දැවී අළු බවට පත්ව ඇත.
ලොස් ඇන්ජලීස් ජාතික කාලගුණ දෙපාර්තමේන්තුව, ජනවාරි 06 වෙනි සඳුදා රාත්‍රි අනතුරු ඇඟවීමක් ජනතාව වෙත කර තිබුණි. එහි සඳහන් වූයේ ‘ඉතා දැඩි සුළං වර්ධනය වෙමින් පවතී’, ‘ප්‍රදේශයේ වියළි කාලගුණයත් සමග, මෙය විශාල අනතුරකි. ලැව්ගිනි ඇති වීමේ තත්ත්වයක් පිළිබඳ අවදානමක් ඇති බැවින් විමසිල්ලෙන් පසුවන්න’ යනුවෙනි. Pacific Palisades ආසන්නයේ සුළං අතිශයින් ඉහළ මට්ටමට ළඟා වූ විට ඉක්මනින් පාලනයෙන් ඉවතට යාමේ හැකියාවක් ඇති ගින්නක මූලික ලක්ෂණ පහළ වී ඇති බව Cal Fire (California Department of Forestry and Fire Protection) අනාවරණය කරගෙන තිබුණි. කාලගුණ අංශ අනුමාන කල පරිදිම, මාස අටකට වැඩි කාලයක් සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබුණු නගර, ලැව්ගිනිවලින් අපායක් කිරීමට හමා ආ Santa Ana සුළඟ සමත් විය.
Santa Monica කඳුවැටිය සහ Pacific සාගරය අතර පිහිටි ධනවත් නගරයක් වූ Palisades හි අක්කර දහස් ගණනක් මෙම ලැව් ගින්න විසින් සම්පූර්ණයෙන්ම විනාශ කර දැමුණි. ලොස්ඇන්ජලීස් (LA) ගිනි නිවීමේ ප්‍රධානි Kristin Crowley පවසන්නේ, ඔහුගේ සේවා කාලය තුළ අත්දුටු, වේගයෙන්ම පැතිර ගිය ගින්න මෙය බවයි. වනගත කඳුකරයෙන් වට වූ බොහෝ නිවාස අඟහරුවාදා සවස් වන විට ගිනිබත් වී තිබුණි. මුහුද දෙසින් තදින් හමා ආ Santa Ana සුළඟ ජනාකීර්ණ පෙදෙස් වෙත ගින්න වඩ වඩාත් තල්ලු කිරීමට හේතු විය.
මේ වන විටත් ගිනි නිවන භටයින් ගින්න පාලනය කිරීම සඳහා දැඩි සටනක නිරත වී සිටියත්, ගින්න පැතිර යන අවස්ථාවේ ඒ සඳහා අවශ්‍ය ජලය ප්‍රමාණවත් පරිදී නොතිබීම Palisades හි ගිනි නිවීමේ ප්රයත්නයන් සංකීර්ණ කර තිබුණි. ජලය අවසන් වූ පසු, ඔවුන් විසින් ගෙන ආ ගිනි නිවන ද්‍රව්‍ය භාවිත කිරීමට නොහැකි වී ඇති අතර එම ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඉතිරි විය.
මෙම ප්‍රමාණයේ ලැව්ගිනි පාලනය සඳහා ඉදිකර නොතිබුණු නගරයේ ජල සැපයුම් පද්ධතිවල තිබූ දුර්වලතා මෙහිදී කැපී පෙණුනු අඩුපාඩුවක් විය. ලොස් ඇන්ජලීස් Department of Water and Power(DWP) හි හිටපු සාමාන්‍යාධිකාරී මාටින් ඇඩම්ස් පැවසූවේ, අසල්වැසි ප්‍රදේශවලට සපයන ජල පද්ධතියට පැය කිහිපයක් පුරා මෙතරම් විශාල ජල පරිමාවක් ලබා දීමට පුළුවන් කමක් නොමැති බවයි. මෙම පද්ධතිය කිසි විටෙකත් ප්‍රජාවක් ආවරණය කරන ලැව් ගින්නකට එරෙහිව සටන් කිරීමට නිර්මාණය කර නැති බව ඔහු ප්‍රකාශ කර ඇත.
එසේම, LA හි ලැව්ගිනි ඇති වූ බොහෝ අවස්ථාවල, ජලය සහ ගිනි නිවන උපකරණ ගුවන් යානාවල සිට භාවිත කිරීමට ගිනි නිවන භටයින් කටයුතු කර තිබුණත්, ගින්න පැතිරෙන මුල්ම අවස්ථාවේදී Santa Ana සුළඟ, හෙලිකොප්ටර් යානා ගුවන්ගත කිරීමට බාධා පමුණුවා තිබුණි.
එහිදී ජලය සොයා ගැනීමට තිබූ එකම විකල්පය වී තිබුණේ ජල ටැංකි ට්‍රක් රථ එම ප්‍රදේශයට යොමු කිරීම පමණි. නමුත් ඒ සා විශාල වූ ගින්නක් සඳහා ජල ටැංකි කොපමණ ප්‍රමාණයක් යොමු කරන්නද? සහ භීතියෙන් පළා යන ජනයාගෙන් තදබද වූ මාර්ගවල ජල ටැංකි සිය ගණනක් කෙසේ ගමන් කරන්නද?
එම ගිනි නිවීමේ ප්රයත්නය නිසා ප්‍රදේශයේ ජල පද්ධතියද දැවැන්ත පීඩනයකට ලක් වූ අතර, සාමාන්‍ය පැය 15 ක ජල ඉල්ලුම මෙන් හතර ගුණයක් පද්ධතියට එක් කිරීමට කටයුතු කිරීමට සිදු වූ බව DWP හි ප්‍රධාන විධායක ඉංජිනේරුවරිය පවසා තිබුණි. නමුත්, Palisades Highlands වැනි උස් කඳුකර ප්‍රදේශයක පැතිරුණු මෙතරම් විශාල ගින්නක් මැඩ පැවැත්වීමට, පහත් බිමක පිහිටි ජල රඳවනයන්ගේ සිට උඩට ජලය රැගෙන යාමේදී ඇතිවන ගුරුත්වාකර්ෂණ බලයේ ගැටලුත් සමග, විශාල ජල පරිමාවක් නොකඩවා ලබාදීම සඳහා නගරයේ සවිකර තිබූ fire hydrant වල ක්‍රියාකාරීත්වය ශක්තිමත් නොවූ බව ඉංජිනේරුවරිය පිළිගෙන තිබුණි.
DWP හා නගර නායකයින්ගේ ‘වැරදි කළමනාකරණය’ සහ පැරණි යටිතල පහසුකම් නවීකරණය නොකිරීමෙන් මේ සා විශාල ලෙස ලැව්ගින්න ප්රචණ්ඩ වූ බවට, නගර වැසියෝ මේ වන විට චෝදනා නගමින් සිටිති.
කෙසේ වෙතත් ගිනි නිවීමේ ප්රයත්නයන්ට බාධාවක් වූ ජල සැපයුම් ගැටලු පිටුපස ඇති හේතු විමර්ශනය කිරීමට ආණ්ඩුකාර Newsom නියෝග කර ඇති අතර, මෙය නැවත සිදු නොවීමට වග බලාගැනීමත් ඊට අවශ්‍ය නිසි පිළිතුරු ලබා දීමත් කළ යුතු බව ඔහු තරයේ පවසා තිබුණි. ලැව් ගින්නත් සමග මහජන ආරක්ෂාව වෙනුවෙන් ප්‍රදේශ ගණනාවක විදුලිය විසන්ධි කර ඇත. ඒ ජනවාරි 12 වෙනිදායින් පසු ආරම්භ වන සතියෙහි Santa Ana සුළං නැවතත් ඉහළ යනු ඇතැයි යන අනතුරු ඇඟවීමත් සමගිනි. නව ගිනි ඇවිලීම් වැළැක්වීමට විදුලිය විසන්ධි කිරීමට පියවර ගෙන ඇති බවත් එය මහජන ආරක්ෂාව වෙනුවෙන්, ජීවිත බේරා ගැනීම වෙනුවෙන් නොවැළැක්විය හැකි පියවරක් බව කරුණාවෙන් තේරුම් ගෙන ඉවසීමෙන් කටයුතු කරන ලෙස LA ගිනි නිවීමේ ප්‍රධානියා නගර වැසියන්ගෙන් ඉල්ලා ඇත.
Palisades ගින්න මේ වන විට සුළං ප්‍රවාහය මගින් උතුරට සහ නැගෙනහිර ප්‍රදේශවලට යොමුකරමින් පවතී. එය, Brentwood සහ Encino වැනි නගර කරා යාම වැළැක්වීම සඳහා මේ වන විටත් ගිනි නිවීමේ හෙලිකොප්ටර් යානා සහ සැහැල්ලු ගුවන් යානා දැඩි ප්රයත්න දරමින් සිටී. අසල්වැසි ප්‍රදේශ ගිනි රකුසා ගිල ගැනීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස, අධිවේගී මාර්ග අංක 405 ට නුදුරින් පිහිටි විදුලි රැහැන්වලට ජලය සහ ගිනි නිවන ද්‍රව්‍ය හෙළමින් ඇත. ඒ පිළිබඳව පළවූ වීඩියෝ පටයක දැක්වෙන ආකාරයට, එම උත්සාහයන් යම් ඵලදායී බවක් පෙනුනද Mandeville Canyon හි කඳුකර නිවාස දෙකක් මේ වන විටත් ගින්නෙන් දැවී ඇත. ඒ සමගම මෙම කලාපයේ ජනතාවද ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර, එහි නිවැසි පුද්ගලයෙකු පවසා ඇත්තේ, ‘ඔවුන් ජලය දමන සෑම අවස්ථාවකම එය හොඳ අතට හැරුණත් එය නැවතූ වහාම තිබූ තරමටත් වඩා දරුණු ලෙස ගිනි ඇවිලෙන’ බවයි. මෙම භූමි ප්‍රදේශයේ පවතින තද සුළං නිසා ගොඩබිමෙන් ගිනි නිවීම සිදුකරමින් සිටින භටයන්ද දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටිති. LA ලැව්ගින්න නිවීම සඳහා මෙක්සිකෝවෙන් පැමිණි ගිනි නිවන කාර්ය මණ්ඩලය සමග කැලිෆෝනියාවේ බන්ධනාගාර පද්ධතියේ රැඳවියන් 950 කට ආසන්න සංඛ්‍යාවක් එක් වී සිටිති. මෙම රැඳවියන් නොයෙකුත් හේතු මත සිරගතව සිටින ගිනි නිවන භටයන් අතරින් තෝරා ගත් අය වීම විශේෂත්වයකි. මේ සඳහා ගිනි නිවන රථ 1,400 කට ආසන්න සංඛ්‍යාවක්, ගුවන් යානා 84 ක් සහ කාර්ය මණ්ඩලය 14,000 කට වැඩි සංඛ්‍යාවක් යොදා ගෙන ඇත.
ගින්නෙහි හානිය
බටහිර ලොස්ඇන්ජලීස්හි වෙරළබඩ ප්‍රජාවක් වන Pacific Palisades හි ඇවිළුණු ගින්න, Malibu, Topanga Canyon, සහ Santa Monica හි ඇතැම් කොටස්වලටද පැතිරුණි. ජනවාරි 08 වන දින සවස 3.45 පමණ වන විට ගින්න පිළිබඳ මූලික ඉඟි ලැබී ඇත. පැයට සැතපුම් 70 ක පමණ වේගයෙන් හමා ගිය Santa Ana සුළං සමග ගින්න ඉක්මනින් පැතිර ගිය අතර එය දින කිහිපයකින් අක්කර 22, 600 ක් දක්වා වර්ධනය විය. Palisades ගින්නෙන් දළ වශයෙන් නිවාස සහ ව්‍යාපාරික ගොඩනැගිලි 7,200 කට වඩා විනාශ වී ඇති අතර ව්‍යුහයන් 2,800 කට පමණ අර්ධ හානි සිදුව ඇත. ‘ Palisades, Malibu ඇතුළු ආසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් 85,000 කට වඩා තම නිවැස් හැරදා ගොස් අවතැන්ව සිටී. දහස් ගණනකට අවශ්‍ය නවාතැන් පහසුකම්, ස්ථාන කිහිපයක ස්ථාපිත කොට ඇත.
Eaton හි ගින්නද ජනවාරි 08 වෙනි දින සවස 5.20 ට පමණ හටගෙන ඇත. San Gabriel කඳු පාමුල පිහිටි Altadena ප්‍රදේශයෙහි ෑ්එදබ පිහිටා ඇත. ගින්න ඉතාමත් ඉක්මනින් පැතිර ගිය අතර පළමු දින තුළදීම අක්කර 14,100 ක් විනාශ කිරීමට එය සමත් විය. ඇස්තමේන්තුගත කර ඇති ආකාරයට මෙම ප්‍රදේශයේ නිවාස 2,000 කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇත. ගින්න, ජනාකීර්ණ ප්‍රදේශ කරා ළඟා වීමත් සමග නිවැසියන් 50,000 කට අධික පිරිසකට ඉවත් වීමට බල කෙරුණි. Hurst ඇතුළු සෙසු ප්‍රදේශ කීපයෙහි ලැව් ගිනි මේ වන විට බොහෝ දුරට පාලනය කර ඇති බව Cal Fire පවසයි. නමුත් ගිනි ඇති වූ ප්‍රදේශ පහ තුළ නිවාස 23,000 ක් පමණ අර්ධ වශයෙන් හෝ පූර්ණව විනාශව ඇත.
ජනවාරි 12 වෙනි දා උදෑසන වන විට, ” Palisades, Eaton, Kenneth සහ Hurst ලැව්ගිනි, වර්ග කිලෝමීටර 160 කට වැඩි ප්‍රමාණයක් විනාශ කර ඇති බව Cal Fire වාර්තා කළේය. ඉරිදා (12 වෙනිදා) වන විට Palisades ගින්න සියයට 11 ක් පාලනය කර තිබූ අතර Eaton ගින්න සියයට 27 ක් පාලනය කර තිබුණි.
එසේම, ජනවාරි 12 වෙනි දින වන විට, මෙම මහා ඛේදවාචකයෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. එම මරණවලින් 8 ක් Palisades ගින්නෙන්ද 16 Eaton ගින්නෙන්ද සිදුව ඇති බව Los Angeles County coroner’s office ඉරිදා (ජන 12) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. අතුරුදහන්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 16 ක් ලෙස සඳහන් වන අතර අතුරුදන් වූවන්ගෙන් සමහරක්, මියගිය අය අතර සිටිය හැකිද යන්න විමර්ශනය කරන බව ප්‍රාන්තයේ ෂෙරිෆ්වරයා පවසා තිබුණි. තවද, ජනවාරි 12 වන විට 153,000 කට වැඩි පිරිසකට, ඔවුන් වාසය කරන ස්ථානවලින් ඉවත් වන ලෙස නියෝග කර ඇති අතර තවත් 166,000 කට තම නිවෙස්වලින් ඉවත් වීමට සිදුවිය හැකි බවට අනතුරු අඟවා ඇත. අවශ්‍ය වුවහොත් කිවු සැණින් ඉවත්වීම් සඳහා සූදානම්ව පසුවන ලෙස, LA Fire Department පොදුවේ සියළුම දකුණු කැලිෆෝනියානුවන්ගෙන් ඉල්ලා ඇත.
ස්වභාවිකව සිදුවන ලැව්ගිනි අතර සිදුවිය හැකි කඩාකප්පල්කාරී ගිනි තැබීම් වැළැක්වීම සඳහා, කිසියම් සැකකටයුතු ක්‍රියාකාරමක් සිදු වෙතොත් ඒවා දැනුම් දෙන ලෙස මහජනයාගෙන් ඉල්ලීම් සිදු කරමින් පවතී. ජනතාව ඉවත් වූ ප්‍රදේශවල සිදුවන කොල්ලකෑම් වැළැක්වීම සඳහා බලධාරීන් විසින් සවස 6 න් පසු එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය දමා ඇත.
මේ වන විට ලොස්ඇන්ජලීස් ප්‍රාන්තය, මහජන සෞඛ්‍ය පිළිබඳ හදිසි අවස්ථාවක්ද ප්‍රකාශයට පත් කර ඇත. දුම සමග වාතයෙහි පැතිරෙන කාබන් අංශු කොටස්, ඊයම්, ආසනික්, ඇස්බැස්ටස් සහ වෙනත් හානිකර ද්‍රව්‍ය මිනිස් ජීවිතවලට ක්ෂණික සහ දිගුකාලීන තර්ජන ඇති කළ හැකි බවට ඔවුන් අනතුරු අඟවා ඇත. නමුත් ඉවත් කරන ලද ඇතැම් පදිංචිකරුවන්, ඔවුන්ගේ ගිනි ගෙන දැවුණු නිවාස බැලීමට පැමිණෙමින් සිටීම, Palisades ප්‍රදේශයේ තවමත් ක්‍රියාකාරීව පවතින ගිනි ගැනීම් සමග අතිශයින් අනතුරුදායක තත්ත්වයක් බව තේරුම් ගන්නා ලෙස LA නගර ගිනි නිවීම් ප්‍රධානිය පවසා සිටී.
ලැව්ගින්නෙන් දැවුණු තරු ගෙවල්
උතුරු ලොස් ඇන්ජලීස්හි ඇවිලී ගිය ලැව් ගිනි පහ අතරින් වැඩිම දේපළ අලාභහානි සිදුව ඇති, Pacific Palisades ආසන්නයේ පිහිටි, Santa Monica සහ Malibu සුවිශේෂී ඉහළ දේපළ වටිනාකම් සඳහා කවදත් ප්‍රසිද්ධියක් උසුලන නගර වේ. මෙම නගර දෙකෙහිම හොලිවුඩ්හි සුප්‍රසිද්ධ තාරකාවන් සහ ලෝක ප්‍රසිද්ධ ධනවතුන් රැසකගේ නිවාස පිහිටා ඇති අතර මින් ඇතැම් අය, දශක ගණනාවක් තිස්සේ එහිම ජීවත් වූ අය වෙති. Billy Crystal, Mel Gibson, Paris Hilton, Mandy Moore, Melissa Rivers, Anthony Hopkins, Tom Hanks, Eugene Levy, Jeff Bridges, Pete Lee, Leighton Meester සහ Adam Brody, Julia Louis-Dreyfus, Joshua Jackson, Anna Faris, Ricki Lake, Cary Elwes, Cameron Mathison, Spencer Pratt සහ Heidi Montag, John C. Reilly, Denise Crosby ඇතුළු කිහිප දෙනෙකුගේම නිවාස අහිමි වී ඇති අතර Tara Lipinski, Chrissy Teigen, Britney Spears ඇතුළු බොහෝ දෙනෙකු, ගින්න පැතිර යන බැවින් ඔවුන්ගේ නිවාසවලින් ඉවත් වන්නට සිදුවූ බව සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගෙන ඇත.
මේ අතර, ලැව්ගින්න, ප්‍රකට නළු, Leonardo DiCaprio ගේ කීර්තිනාමයට හානි කරමින් පවතී. ඒ ඔහු, ලැව්ගින්න අතර ඔහුගේ පෙම්වතිය සහ පවුලේ අය සමග පෞද්ගලික ජෙට් යානයකින් මෙක්සිකෝවට පලා යාම පිළිබඳවයි. පාරිසරික උපදේශකයකු ලෙස මෙන්ම, දේශගුණික විපර්යාස හා තිරසාරභාවය සඳහා දිගුකාලීන අනුග්රාහකයකු වශයෙන් කටයුතු කරන ඔහු වැනි අයෙකු, ඔහුගේම ප්‍රජාවට බලපාන මෙවන් විශාල විපතකදී පෞද්ගලික ජෙට් යානයකින් පලා යාමට ගත් තීරණය කුහක ක්‍රියාවක් ලෙස කාගෙත් විවේචනයට ලක් වී ඇත. මෙතරම් විශාල දේශගුණික අර්බුදයකදී ඔහුගේ පෞද්ගලික ගුවන් ගමන්, කාබන් විමෝචනයට සැලකිය යුතු දායකත්වයක් සපයන බව මෙහිදී බොහෝ දෙනා මතු කරන තර්කයකි.
DiCaprio එසේ පලා යද්දී, Eva Longoria, Halle Berry සහ Miley Cyrus වැනි සුප්රකටයින්, ලැව්ගිනි සහන කටයුතු සඳහා සක්‍රීයව දායක වෙමින් සිටී.
මිනිසුන් දවා හළු කළ ගින්න කලා ක්ෂේත්රයේද බොහෝ දේවල් සිදුකරමින් පවතී. ජනවාරි දෙවැනි සති අන්තයේ පවත්වන්නට තිබූ සම්මාන උළෙලවල් තුනක් ගින්න නිසා කල් දමා ඇත. එසේම ජනවාරි තුන්වන සතියේදී භාර ගැනීමට තිබූ ඔස්කාර් නාමයෝජනා භාර ගැනීම ප්‍රමාද කොට ඇත. Hollywood Hills වෙත මෙතෙක් ගින්න පැතිර නැතත් Academy සම්මාන නිවහන ලෙස සලකන සුප්‍රසිද්ධ Hollywood Bowl සහDolby Theatre අසළ කඳුකරය ගින්නෙන් දැවී යමින් ඇත.
ගින්න නිසා මිනිස් ජීවිත මෙන්ම වන සතුන්, සුරතල් සතුන් ඇතුළු ජීවීන් ගණනාවක් විනාශ වී ඇත. ගිනි ගන්නා නගරයේ සහ කැළෑබද කඳු අතර ඉබාගාතේ ඇවිදින බල්ලන්, මුවන් වැනි සතුන්ගේ වීඩියෝ දර්ශන මේ දිනවල දිගටම සමාජ මාධ්‍යවල පළ කර තිබුණි. මේවා ලොස් ඇන්ජලීස් නිවහන කරගෙන සිටි වන සතුන්ට වූ හානිය පෙන්වන කුඩා දසුන් පමණි. අවතැන් වූ හෝ තුවාල වූ හෝ මරුණු සතුන් ප්‍රමාණය පිළිබඳ නිශ්චිත සංඛ්‍යා තවමත් වාර්තා වී නොමැත. නමුත් Pasadena Humane වැනි ඇතැම් සංවිධාන ගිනියම් ප්‍රදේශවලින් පැන යන බල්ලන්, බළලුන්ගේ සිට කඳුකර සිංහයන්, මොනරුන්, රැකූන් දක්වා සතුන් 300 කට වැඩි පිරිසක් බේරාගෙන ඇත. සුරතල් සතුන් ඇති කළ ඇතැම් අය එම සතුන් නිවෙස් තුළ අතහැර ගොස් තිබීම සැබෑම ඛේදවාචකයකි.
රක්ෂණ ආවරණය
නොසිතූ විරූ ආකාරයෙන් ආ ලොස් ඇන්ජලීස් ලැව්ගින්න මිනිසුන්, සතුන්, ගේ දොර ඇතුළු ව්‍යුහයන් දස දහසකට වඩා පුළුස්සා දැමීමට පෙර Pacific Palisades, Altadena ඇතුළු අනෙකුත් ගිනි අවදානම් ප්‍රදේශවල නිවාස රක්ෂණ ඔප්පු දහස් ගණනක් අලුත් නොකිරීමට රක්ෂණකරුවන් තීරණය කර තිබුණි. එම ප්‍රදේශවාසීන් ඔවුන්ගේ කල් ඉකුත් වන රක්ෂණ ඔප්පු අලුත් කිරීමට යාමේදී විවිධ හේතු පෙන්වා දෙමින් එම නිර්ණායකයන් සපුරන තෙක් රක්ෂණ ඔප්පු අලුත් නොකරන බවට රක්ෂණ සමාගම් පවසා ඇත. උදාහරණයක් ලෙස, ලක්ෂ සංඛ්‍යාත නිවාස සහිත LA ප්‍රාන්තයේ විශාලතම රක්ෂණකරු ලෙස කටයුතු කරන State Farmල 2024 ජූලි මාසයේදී Pacific Palisades හි නිවාස දහස් ගණනක රක්ෂණ රැකවරණ ප්‍රතික්ෂේප කර ඇත. මෙසේ ඉවත දැමූ රක්ෂණ ආවරණ ඉල්ලුම් කරුවන් අතර හොලිවුඩ් තරුද සිටී.
මේ පිබඳව අදහස් දක්වන චිත්‍රපට නිෂ්පාදක Tyler Perry පවසන්නේ, මෙම විනාශය වීමට පෙර රක්ෂණ සමාගම් විසින් ගනු ලැබූ සැක සහිත තීරණ ප්‍රශ්න කළ යුත්තක් බවයි. නිවාස ගිනි ගෙන දැවී යාමෙන් පසු ප්‍රදේශවාසීන් බහුතරයක් පවසන්නේ, ‘පළමුව නිවාස රක්ෂණය අහිමි වුණා. ඉන්පසු ලැව්ගින්න අපේ නිවාස අහිමි කළා.’ යනුවෙනි.
ලොස් ඇන්ජලීස් ගින්න පිළිබඳව Moody’s මූල්‍ය සේවා වාර්තාවක සඳහන් වන්නේ, මෙම ගින්න කැලිෆෝනියාවේ මිල අධිකම රක්ෂණ සැපයුම විය හැකි බවත් එයින් රක්ෂණ කර්මාන්තයට සිදුවිය හැකි පාඩුව බිලියන ගණනක් විය හැකි බවත්ය.
AccuWeather විසින් කරන ලද මූලික ඇස්තමේන්තුවකට අනුව මෙතෙක් ලැව් ගින්න නිසා සිදුව ඇති හානිය සහ ආර්ථික පාඩුව ඩොලර් බිලියන 135 ත් 150 ත් අතර විය හැකි යැයි සඳහන් වේ.
-
චමරි අබේසිංහ