වර්තමාන ලෝක දේශපාලනයේ මෙන්ම ගෝලීය ආර්ථීකයේද තීරණාත්මක කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ඉන්දු-පැසිෆික් කලාපයයි. මෙම කලාපය තුළ කැනඩාවේ භූමිකාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි සිය තීරණාත්මක දස දින නිල සංචාරය පෙබරවාරි 26 වනදා ආරම්භ කළේය.
මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා ඉන්දු-පැසිෆික් කලාපයේ ප්‍රබල රාජ්‍යයන් වන ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ ජපානය යන රටවල් ඉලක්ක කරගනිමින් සාකච්ඡාවල නිරත වීමට නියමිතය. මෙම සංචාරය හරහා එම රටවල් සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ වෙළඳ ගිවිසුම් නව මානයකට ඔසවා තැබීමට කැනේඩියානු රජය අපේක්ෂා කරයි.
විශේෂයෙන්ම කැනඩාවේ අනාගත ආර්ථීක සමෘද්ධිය සහ කලාපීය ආරක්ෂාව වෙනුවෙන් මෙම සංචාරය ඉතා වැදගත් සන්ධිස්ථානයක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. කලාපීය සහයෝගීතාව වර්ධනය කරගැනීම මෙන්ම කැනේඩියානු නිෂ්පාදන සඳහා නව වෙළඳපොළවල් විවෘත කරගැනීමද මෙම ගමනේ ප්‍රධාන අරමුණක් වී තිබේ.
මෙය පසුගිය මාසයේ ස්විට්සර්ලන්තයේ Davos නගරයේදී පැවැති ලෝක ආර්ථීක සමුළුවේදී අගමැතිවරයා කළ ‘මැද පෙළේ බලවතුන්ගේ ඒකරාශී වීම’ පිළිබඳ ආන්දෝලනාත්මක කතාවෙන් පසු සිදුකරන පළමු විදේශ සංචාරය වීම විශේෂත්වයකි. මෙම සංචාරය සඳහා කැනේඩියානු අමාත්‍යවරුන් සහ ප්‍රාන්ත නායකයින් පිරිසක්ද එක්ව සිටිති.
Davos ලෝක ආර්ථීක සමුළුවේදී කැනඩා අගමැතිවරයා කළ ප්‍රකාශය ලෝක අවධානයට ලක්වූවක් විය. එහිදී ඔහු අවධාරණය කළේ ඇමරිකාවේ වෙනස්වන ප්‍රතිපත්ති හමුවේ කැනඩාව වැනි රටවල් හුදෙකලා නොවී, තමන් වැනි අනෙකුත් ප්‍රබල රටවල් සමඟ එක්ව නව වෙළඳ සහ ආරක්ෂක වළල්ලක් ගොඩනගා ගත යුතු බවයි.
කැනඩා අගමැතිවරයාගේ මෙම සංචාරයන් පිළිබඳ විමසිලිමත් වන දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන පාලන කාලය තුළ එල්ල වන ආර්ථීක සහ දේශපාලනික අභියෝග හමුවේ ලොව ‘මධ්‍යම බලවතුන්’ එක්සත් කිරීමේ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි නිරතව සිටින බවයි.
ආසියා පැසිෆික් පදනමේ උප සභාපතිනි Vina Nadjibulla පවසන්නේ, මෙම සංචාරය කාර්නි අගමැතිවරයාගේ දේශපාලන දැක්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ලැඛෙන අගනා අවස්ථාවක් බවයි.
“ඉන්දු-පැසිෆික් කලාපය යනු වර්තමාන භූ-දේශපාලනයේ ගුරුත්වාකර්ෂණ මධ්‍යස්ථානයයි. අගමැතිවරයාගේ මෙම ප්‍රවේශය ආසියානු කලාපය තුළ කැනඩාව දෙස බලන ආකාරය වෙනස් කර තිඛෙනවා” යැයි ඇය සඳහන් කළාය.
ඇමරිකාවට එහායින් ලෝකය දෙස බැලීම
ට්‍රම්ප් රජයේ අනපේක්ෂිත තීරුබදු ප්‍රතිපත්ති හේතුවෙන් කැනඩාව ඇතුළු රටවල් රැසක් මේ වන විට දැඩි අස්ථාවරත්වයකට මුහුණ දී සිටින බව නොරහසකි. වාහන නිෂ්පාදන, වානේ, ඇලුමිනියම් සහ දැව වැනි කැනේඩියානු කර්මාන්ත රැසකට ට්‍රම්ප්ගේ මෙම නව බදු පැනවීම් දැඩි බලපෑමක් එල්ල කර ඇත.
පසුගිය ජනවාරි මාසයේදී චීනයේ සංචාරය කළ අගමැති කාර්නි, ඇමරිකාව මත පවතින ආර්ථීක යැපීම අවම කරමින්, චීනය සමඟ බලශක්ති, කෘෂිකාර්මික සහ විද්‍යුත් වාහන ක්ෂේත්රවල අන්‍යෝන්‍ය තීරුබදු සහන සහිත නව උපායමාර්ගික වෙළඳ සබඳතාවක් ගොඩනැගීමට තීරණාත්මක පියවර කිහිපයක් ගත්තේය.
මෙවර ඉන්දු-පැසිෆික් කලාපීය සංචාරය හරහා කැනේඩියානු ආර්ථීකයට නව ජීවයක් ලබා දීම ඔහුගේ උත්සාහයයි.
අගමැති කාර්නි බොහෝ බටහිර නායකයින්ට වඩා වේගයෙන් සහ අඛණ්ඩව විදේශ සංචාරවල නිරත වෙමින් සිටීම, ඇමරිකානු දේශපාලන උච්චාවචනයන් හමුවේ කැනඩාවේ ස්වෛරීභාවය සහ ආර්ථීක ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීම සඳහා දරන ප්‍රබල උත්සාහයක් ලෙස විචාරකයෝ පෙන්වා දෙති.
ඔහුගේ මෙම ‘නොපසුබට සංචාරක ක්‍රියාවලියේ’ ප්‍රධාන අරමුණු වී ඇත්තේ,
- ස්වභාවික සම්පත් අපනයනය: කැනඩාව සතු තෙල්, ස්වභාවික වායු සහ අනෙකුත් ස්වභාවික සම්පත් මෙම රටවලට අලෙවි කිරීම සඳහා වන ගිවිසුම්වලට එළඹීම.
- ආයෝජන සහ ආරක්ෂාව: නව ආයෝජන අවස්ථා සුරක්ෂිත කර ගැනීම සහ ඉන්දු-පැසිෆික් කලාපයේ ප්‍රධාන රටවල් සමඟ ආරක්ෂක ගිවිසුම්වලට පිවිසීම.
- වෙළඳ විවිධාංගීකරණය: ඇමරිකාව මත පමණක් යැපීම අවම කරමින් ආසියානු වෙළඳපොළ තුළ ශක්තිමත් පදනමක් සැකසීම.
අගමැති මාර්ක් කාර්නිගේ ඉන්දීය නිල සංචාරය, දෙරට අතර පැවති රාජ්‍යතාන්ත්‍රික සීතල යුද්ධය නිමා කරමින් ආර්ථීක සහ ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් සම්බන්ධයෙන් නව පරිච්ඡේදයක් සනිටුහන් කළේය. හර්දීප් සිං නිජ්ජර්ගේ ඝාතනය සම්බන්ධයෙන් මතු වූ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයෙන් පසු, පසුගිය වසරේ ඇල්බර්ටාහි පැවැති G7 සමුළුවට අගමැති කාර්නි විසින් ඉන්දීය අගමැති මෝදිට ආරාධනා කිරීම සබඳතා යථා තත්ත්වයට පත්වීමේ හැරවුම් ලක්ෂය විය.
අගමැති මාර්ක් කාර්නිගේ සංචාරය හරහා ඉන්දීය සිසුන් සම්බන්ධයෙන් ගත් තීරණ වඩාත් කැපී පෙනේ. කෙටියෙන් ඒ පිළිබඳව සඳහන් කළහොත්,
- විද්‍යා හා තාක්ෂණ අංශවල ඉන්දීය සිසුන්ට වසර 5ක රැකියා බලපත්‍ර සහ ස්ථීර පදිංචිය (PR) සඳහා වේගවත් මාවතක් විවෘත කිරීම
- වංචනික ක්‍රියාවන් වැළැක්වීම සඳහා Trusted Institutions Framework යටතේ සුදුසුකම් ලත් සිසුන්ගේ වීසා අයදුම්පත් දින 15ක් වැනි කෙටි කාලයකදී ප්‍රමුඛතාව මත සැකසීමට එකඟ වීම
- දක්ෂ සිසුන් වෙනුවෙන් ඩොලර් මිලියන 25 ක ශිෂ්‍යත්ව අරමුදලක් ස්ථාපිත කර ඇති අතර, AI වැනි නවීන ක්ෂේත්‍ර සඳහා විශේෂ අවධානයක් යොමු කිරීම
අගමැති කාර්නි ඉන්දියාව සමඟ සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට දරන මෙම උත්සාහය හුදකලා සිදුවීමක් නොවේ. එය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ‘ගනුදෙනුකාරී’ (Transactional) විදේශ ප්‍රතිපත්තිය හමුවේ කැනඩාව සිය ආර්ථීකය ආරක්ෂා කර ගැනීමට දරන උත්සාහයකි. එක් අතකින්, කැනඩාව මෙන්ම ඉන්දියාවද ට්‍රම්ප්ගේ දෙවන පාලන සමයේ තීරුබදු සහ සංක්රම‚ක ප්‍රතිපත්ති හමුවේ දැඩි පීඩනයකට ලක්ව සිටී.
මෙම සංචාරයේදී අගමැති කාර්නි සෑම විටකම කැනඩාව සහ ඉන්දියාව අතර සබඳතාවයේ ‘වඩාත්ම ආරක්ෂිත භාෂාව’ ලෙස ‘ආර්ථීකය’ භාවිත කිරීමට උත්සාහ කර තිබීම විශේෂයෙන් කැපී පෙනෙන්නකි. එවැනි වෘත්තීමය වගකීමකින් යුත් කතාබහ අතරේ දෙරට අතර වසර ගණනාවක් ඇණහිට තිබූ වෙළඳ සාකච්ඡා මාස 12 ක් වැනි කෙටි කාලයකදී අවසන් කිරීමට දෙපාර්ශවයම එකඟ වී ඇත. ඉන්දියාව සහ කැනඩාව යන දෙරටම සිය වෙළඳ කටයුතු සඳහා ඇමරිකාව මත පමණක් යැපීම අවම කිරීමට උත්සාහ කිරීම මෙයට ප්‍රධාන හේතුවකි.
නමුත්, අගමැති කාර්නි හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ ඉන්දියාවේ විශ්වාසවන්තභාවයයි. අතීත උදාහරණ පෙන්වා දෙන්නේ ඉන්දියාව වොෂින්ටනයේ බලපෑම් හමුවේ පහසුවෙන් නැමෙන බවයි.
ඊට උදාහරණ ලෙස, ඇමරිකානු බලපෑම මත ඉන්දියාව ඉරානය සමඟ පැවති ගනුදෙනු සීමා කිරීම, සිය සමීපතම මිතුරා වුවද, ට්‍රම්ප්ගේ පීඩනය හමුවේ රුසියාවෙන් බොරතෙල් මිල දී ගැනීම ඉන්දියාව නිහඬව අවම කිරීම ආදිය දැක්විය හැක. හෙට දින ට්‍රම්ප් කැනඩාවට එරෙහිව පියවරක් ගතහොත්, ඉන්දියාව සිය ඇමරිකානු සබඳතාව රැකගැනීම වෙනුවෙන් කැනඩාව සමඟ අත්සන් කරන බලශක්ති හෝ ඛනිජ ගිවිසුම් ක්ෂණිකව අතහැර දැමීමට ඉඩ ඇත.
ආරක්ෂාව සහ තාක්ෂණය පිළිබඳ අවධානය
අගමැති මාර්ක් කාර්නි සිය ඉන්දු-පැසිෆික් සංචාරයේ දෙවන අදියර ලෙස ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙත පැමිණි අතර දෙරට අතර පවතින දීර්ඝකාලීන බුද්ධි තොරතුරු හුවමාරු සබඳතාවලින් ඔබ්බට ගොස්, වෙළඳ සහ ආරක්ෂක ක්ෂේත්රයන්හි සහයෝගීතාව පුළුල් කිරීම මෙහි මූලික අරමුණයි.
අගමැතිවරයා සමඟ මෙම සංචාරයට එක්ව සිටින ආරක්ෂක අමාත්‍ය David McGuinty පවසන්නේ, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව අතර, ගැඹුරු ආර්ථීක සබඳතා සහ ආරක්ෂක සහයෝගීතාව යන ප්‍රධාන අංශ දෙකක් ඔස්සේ ගොඩනැගෙමින් පවතින බවයි.
“මධ්‍යම බලවතුන් එක්ව ආර්ථීකය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවට අගමැතිවරයා ගෙන යන ප‚විඩය, ඕස්ටේ්රලියාව තුළ ඉතා ප්‍රබල ලෙස පිළිගැනීමට ලක්ව තිඛෙනවා,” යැයි McGuinty වැඩිදුරටත් පැවසීය.
කැනඩාව සහ ඕස්ටේ්රලියාව Five Eyes බුද්ධි තොරතුරු හුවමාරු සන්ධානයේ හවුල්කරුවන් වන අතර, මෙම සංචාරයේදී අගමැති කාර්නි එරට අගමැති Anthony Albanese සමඟ ආරක්ෂක සහ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
කැනඩාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින සබඳතාව
කැනඩාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල් දෙකම ප්‍රධාන වශයෙන් ස්වභාවික සම්පත් අපනයනය කරන රටවල් වේ. අතීතයේදී චීනය සමඟ ඇති වූ රාජ්‍යතාන්ත්‍රික ගැටලු හමුවේ චීනය විසින් කැනේඩියානු නිෂ්පාදන (උදා: කැනෝලා තෙල්) තහනම් කරන විට, ඒ වෙනුවට ඕස්ට්‍රේලියාවෙන් එම ද්‍රව්‍ය ආනයනය කිරීමට කටයුතු කර ඇත. මෙවැනි තත්ත්වයන් මඟහරවා ගැනීම සඳහා දෙරට අතර වඩාත් ශක්තිමත් සහයෝගීතාවයක් අත්‍යවශ්‍ය වී තිබේ.
ඒ අනුව, එක්සත් ජනපදය මත මෙන්ම චීනය මතත් යැපීම අවම කිරීම සඳහා තීරණාත්මක ඛනිජ සම්පත් (Critical Minerals) සැපයුම් දාම ශක්තිමත් කිරීමට දෙරටම එකඟ වී ඇත. එහිදී, වැදගත් ඛනිජ සම්පත් අනාගත ප්‍රයෝජනය සඳහා රැස් කර තැබීමට ඕස්ට්‍රේලියාව ගෙන ඇති පියවර කැනඩාවටද ආදර්ශයක් වනු ඇත.
ඉන්දු-පැසිෆික් කලාපය තුළ කැනඩාවේ සෘජු විදේශ ආයෝජන ලබා දෙන සහ ලබාගන්නා ප්‍රධානතම මූලාශ්‍රය ඕස්ට්‍රේලියාව වන අතර, විශේෂයෙන් කැනේඩියානු විශ්‍රාම වැටුප් අරමුදල් එහි ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි.
පසුගිය නොවැම්බරයේ දකුණු අප්‍රිකාවේ පැවැති G20 සමුළුවේදී කැනඩාව, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව එක්ව නැගී එන තාක්ෂණයන් පිළිබඳ හවුල්කාරිත්වයක් ආරම්භ කළේය. මීට අමතරව ආක්ටික් කලාපයේ ආරක්ෂාව සඳහා ඕස්ට්‍රේලියාවෙන් Over-the-horizon රේඩාර් පද්ධතියක් මිල දී ගැනීමට කැනඩාව පසුගිය වසරේ එකඟ විය. එසේම, Cyber security සහ Quantum technology වැනි ක්ෂේත්රවල ආරක්ෂක -කාර්මික ව්‍යාපෘති හරහා දෙරට අතර සබඳතාව තවදුරටත් පුළුල් කිරීමට නියමිතය.
කැනඩාව පසුගිය මාසයේ ප්‍රකාශයට පත් කළ බිලියන ගණනක නව ආරක්ෂක උපායමාර්ගය තුළද ඕස්ට්‍රේලියාව ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස නම් කර ඇත.
අගමැතිවරයා මාර්තු 05 වනදා ඕස්ට්‍රේලියාවේ අගනුවර වන කැන්බරා වෙත ගොස් එරට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය. එය වසර 20කට පසු කැනේඩියානු අගමැතිවරයෙකු ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව අමතන පළමු අවස්ථාව වනු ඇත.
වෙළඳ විවිධාංගීකරණය සොයා ජපානයට
අගමැති මාර්ක් කාර්නි සිය දස දින ඉන්දු-පැසිෆික් සංචාරයේ අවසන් නැවතුම ලෙස මාර්තු 6 සහ 7 යන දිනවල ජපානයේ සංචාරය කිරීමට නියමිතය. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉහළ තීරුබදු ප්‍රතිපත්තිය හමුවේ එල්ල වී ඇති වෙළඳ පීඩනය සමනය කරගැනීම සඳහා නව ආයෝජන සහ වෙළඳ හවුල්කාරිත්වයන් සොයා යාම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි.
එහිදී ජපානයේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය වන Sanae Takaichi සමඟ පැවැත්වෙන ද්විපාර්ශ්වික හමුවේදී සහ නිල රාත්‍රී භෝජන සංග්‍රහයේදී පහත දැක්වෙන ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කෙරේ.
- ජපානය සහ කැනඩාව අතර තාක්ෂණික හුවමාරුව සහ ඒකාබද්ධ නිෂ්පාදන ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම.
- විද්‍යුත් වාහන සහ අධි-තාක්ෂ‚ක උපකරණ සඳහා අවශ්‍ය ඛනිජ සම්පත් සැපයුම්දාම සුරක්ෂිත කර ගැනීම.
- කැනේඩියානු කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ජපාන වෙළඳපොළ තුළ ස්ථාවරත්වයක් ඇති කිරීම.
නිදහස් සහ විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක්
ආර්ථීක කරුණුවලට අමතරව, කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත. ඇමරිකාව සිය වෙළඳ ප්‍රතිපත්ති දැඩි කරමින් සිටින පසුබිමක, කැනඩාව සිය වෙළඳාම විවිධාංගීකරණය කිරීමට දරන උත්සාහයේදී ජපානය ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරයි. චීනය සහ ඇමරිකාව යන දෙපාර්ශවයෙන්ම එල්ල වන වෙළඳ උච්චාවචනයන් පාලනය කරගැනීමට මෙම කැනඩා-ජපාන සබඳතාව අත්වැලක් වනු ඇතැයි විචාරකයෝ විශ්වාස කරති.
අගමැති කාර්නිගේ මෙම දස දින සංචාරය කැනඩාවේ ආර්ථීක අනාගතය තීරණය කරන තීරණාත්මක සාධකයකි. ඩොලර් බිලියන 300 ක අපනයන ඉලක්කය සපුරා ගැනීමට නම් ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ ජපානය වැනි රටවල් සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීම හැර වෙනත් විකල්පයක් කැනඩාවට නොමැත.
ඒ නිසා මෙම සංචාරය හුදු සංකේතාත්මක එකක් පමණක් නොව, කැනඩාවේ ආර්ථීක සහ ආරක්ෂක සබඳතා සැලකිය යුතු ලෙස ශක්තිමත් කරන ගිවිසුම් කරා යොමු වන්නක් බව දේශපාලන විචාරකයින් ප්‍රකාශ කර ඇත.
(Image generated by AI)



