කැනඩාවේ ජීවත් වන බොහෝ දෙනෙකුගේ විශාලතම සිහිනය, තමාගේම කියා නිවසක හිමිකරුවෙකු වීමයි. පසුගිය වසර කිහිපය තුළ නිවාස වෙළඳපොළේ පැවති දැඩි තරඟකාරීත්වය හමුවේ බොහෝ දෙනෙක් මෙම බලාපොරොත්තුව අතහැර දැමුවද, 2026 වසර ඒ සඳහා ඉතා සුබදායී පෙරනිමිති පළ කරමින් තිබේ. රජයේ නව සහන වැඩසටහන්, පවතින මූල්‍ය වාසි සහ දියුණු වෙමින් පවතින වෙළඳපල තත්ත්වයන් නිසා ප්‍රථම වරට නිවසක් මිල දී ගන්නන්ට (First-time home buyers)  නිවාස වෙළඳපොළට පිවිසීමට සුවිශේෂී අවස්ථාවක් උදා වී තිබේ.

රජයෙන් ලැබෙන මූල්‍ය දිරිගැන්වීම්

නිවසක් මිලදී ගැනීමේදී පවතින මූල්‍ය බාධක අවම කිරීම සඳහා කැනේඩියානු රජය මේ වන විට සුවිශේෂී වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇත.

First Home Savings Account (FHSA)

2023 අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ‘ප්‍රථම නිවාස ඉතුරුම් ගිණුම’ (First Home Savings Account – FHSA)  හඳුන්වා දී ඇත. මෙය ඔබේ ඉතුරුම් වේගවත් කරන, බදු සහන රැසක් හිමිකර දෙන සුවිශේෂී වැඩපිළිවෙළකි.

ආදායම් බදු සහනය: ඔබ මෙම ගිණුමට තැන්පත් කරන මුදල ඔබේ වාර්ෂික ආදායමෙන් අඩු කර පෙන්විය හැකි බැවින්, ඔබ ගෙවිය යුතු ආදායම් බදු ප්‍රමාණය අඩු වේ.

බදු රහිත වර්ධනය: ගිණුම තුළ ඇති මුදල් ආයෝජනය කිරීමෙන් ලැඛෙන ලාභය සඳහා බදු අය නොකෙරේ.

බදු රහිත ආපසු ගැනීම: නිවසක් මිලදී ගැනීමට මුදල් ලබාගැනීමේදී, ඔබ තැන්පත් කළ මුදලට හෝ ඉන් උපයාගත් ලාභයට කිසිදු බද්දක් ගෙවිය යුතු නැත.

RRSP Home Buyers Plan සහ FHSA වෙනස

බොහෝ දෙනෙකුට ඇති ගැටලූවක් වන්නේ RRSP හරහා නිවසක් මිලදී ගැනීමට මුදල් ලබාගැනීමට වඩා FHSA වෙනස් වන්නේ කෙසේද යන්නයි.

ප්‍රධානම වෙනස වන්නේ ප්‍රතිපූරණයයි. (Repayment)

  • RRSP මගින් ලබාගන්නා මුදල වසර 15ක් ඇතුළත නැවත ගිණුමට තැන්පත් කළ යුතුය.

  • FHSA වෙතින් ලබාගන්නා මුදල නැවත තැන්පත් කිරීම අවශ්‍ය නොවේ. එය මුළුමනින්ම ඔබට හිමි මුදලකි.

තැන්පත් කළ හැකි සීමාවන්

මෙම ගිණුම උපරිම ප්‍රයෝජනයට ගැනීමට නම් එහි සීමාවන් පිළිබඳව අවබෝධයක් තිබිය යුතුය:

  • වාර්ෂිකසීමාව: වසරකට උපරිම ඩොලර් 8,000 දක්වා තැන්පත් කළ හැක.

  • ජීවිත කාලීන සීමාව: උපරිම ඩොලර් 40,000 දක්වා තැන්පත් කළ හැක.

  • ඔබ විවාහක නම්: අඹුසැමියන් දෙදෙනාටම වෙන වෙනම ගිණුම් දෙකක් විවෘත කළ හැකිය. එවිට පවුලක් ලෙස ඔබට ඩොලර් 80,000 ක බදු රහිත මුදලක් නිවසක මූලික ගෙවීම (Down-payment) සඳහා ඉතිරි කර ගැනීමට අවස්ථාව ලැබේ.

ඔබ කැනඩාවේ පදිංචි, වයස අවුරුදු 18 ත් 71 ත් අතර, මීට පෙර නිවසක් මිලදී නොගත් අයෙක් නම්, අදම පිළිගත් බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් හරහා FHSA ගිණුමක් විවෘත කළ හැකිය. නිවසක් මිලදී ගැනීමේ සැලසුමක් පවතී නම්, මෙහි මුදල් තැන්පත් කිරීම ඔබේ මූල්‍ය අනාගතය වෙනුවෙන් තැබිය හැකි බුද්ධිමත්ම පියවරකි.

 

RRSP Home Buyers’ Plan (HBP)

කැනඩාවේ වාසය කරන ඔබ, ඔබේ විශ්‍රාම වැටුප් ඉතුරුම් ගිණුම හෙවත් RRSP (Registered Retirement Savings Plan) ගැන හොඳින් දන්නවා ඇත. නමුත් එම ගිණුමේ ඇති මුදල්, බදු ගෙවීමකින් තොරව ඔබේ ප්‍රථම නිවසේ මූලික ගෙවීම (Down-payment) සඳහා යොදාගත හැකි බව ඔබ දන්නවාද?

Home Buyers Plan (HBP) යනු ප්‍රථම වරට නිවසක් මිලදී ගන්නන් හට තමන්ගේ RRSP ගිණුමෙන් මුදල් ලබා ගැනීමට රජය ලබා දී ඇති සුවිශේෂී අවස්ථාවකි.

නවතම සංශෝධන සමඟ වැඩි වූ මුදල් සීමාව

මීට පෙර මෙම සැලැස්ම යටතේ ලබාගත හැකි වූයේ ඩොලර් 35,000 ක මුදලකි. නමුත් වත්මන් නිවාස වෙළඳපොළේ පවතින මිල ගණන් සැලකිල්ලට ගනිමින්, රජය විසින් මෙම සීමාව ඩොලර් 60,000 දක්වා ඉහළ නංවා ඇත.

ඔබ විවාහක නම් දෙදෙනාටම RRSP ගිණුම් පවතී නම්, දෙදෙනාටම ඩොලර් 60,000 බැගින් එකතුව ඩොලර් 120,000 ක විශාල මුදලක් ඔබේ ප්‍රථම නිවස වෙනුවෙන් ලබාගත හැකිය.

මුදල් නැවත ගෙවීම (Repayment) :

මෙය ණය මුදලක් නොවුණත්, ඔබේම විශ්‍රාම වැටුප් ගිණුමෙන් ලබාගන්නා මුදලක් නිසා එය නැවත තැන්පත් කිරීම අනිවාර්ය වේ. සාමාන්‍යයෙන් මෙම මුදල වසර 15ක් ඇතුළත සමාන වාරික වශයෙන් නැවත ඔබේ RRSP ගිණුමටම බැර කළ යුතුය.

වසර 5ක විශේෂ සහන කාලය (Grace Period) :

සාමාන්‍යයෙන් RRSP වෙතින් මුදල් ලබාගෙන දෙවන වසරේ සිට නැවත ගෙවීම් ආරම්භ කළ යුතුය. නමුත් රජය විසින් අලුතින් හඳුන්වා දුන් සහනයක් මත, 2022 ජනවාරි 1 සහ 2025 දෙසැම්බර් 31 අතර කාලය තුළ මුදල් ලබාගත් අයට එම මුදල් නැවත ගෙවීම ආරම්භ කිරීමට වසර 5 ක සහන කාලයක් හිමි වේ.

 

මතක තබාගත යුතු කරුණු:

  • දින 90ක නීතිය: ඔබ ලබාගන්නා මුදල් අවම වශයෙන් දින 90ක්වත් ඔබේ RRSP ගිණුමේ තිබී තිබිය යුතුය.

  • ප්‍රථම නිවස: ඔබ හෝ ඔබේ සහකරු/සහකාරිය පසුගිය වසර 4 තුළ නිවසක හිමිකාරීත්වය දරා නොතිබිය යුතුය.

  • බදු රහිත බව: මෙම ක්‍රමය යටතේ ලබාගන්නා මුදල ඔබේ වාර්ෂික ආදායමට එකතු නොවන බැවින් ඒ සඳහා බදු ගෙවීමට සිදු නොවේ.

 

Gamini Abeysinghe 

ඔන්ටේරියෝ නිවාස හා දේපල වෙළඳාම් සංගමයෙහි බලයලත් දේපල හා නිවාස වෙළඳාම් අලෙවි නියෝජිත

Tel: 1- 416 822 2789
Email : shinko@rogers.com
Web : www.gaminiabeysinghe.com

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!