අවුරුද්දේ වැඩිම කාලයක් ශීත දේශගුණයක් පවතින කැනඩාවට මේ ඇවිත් තියෙන්නෙ ගිම්හාන කාලයයි. මේ දවස්වල තියෙන තද හිරු රශ්මියත් උණුසුමත් නිසා මේ ඉන්නෙ කැනඩාවෙමද කියලත් ඇතැම් වෙලාවට හිතෙනවා. හැමදාමත් අව්වෙන් නැහැවුණු නිල්ලෙන් පිරුණු නිවර්තන කලාපීය රටකින් ඇවිත් කැනඩාවේ පදිංචි වුණු අපි හැමෝම දැන් මේ ශීත-උණුසුම් දේශගුණ විපර්යාසයට හුරු වෙලා. ඊට අනුගතව ජීවත් වෙන්න හැඩ ගැසිලා. කොහොමත් ඉතිං දේශේ හැටියට බාසේ නොතිබුණොත් පැවැත්මක් නෑ කියනවනෙ.

ඒත් මේ කියන්න යන්නෙ ඒ වගේ දේශේ හැටියට බාසේ හැඩගසා ගත් කෙනෙක් ගැන නෙවෙයි. උඩුගම් බලා පීනමින් තමන්ට රිසි සේ දේශය, වටපිටාව හැඩගසා ගත්ත ඒ කාර්ය සාර්ථක කරගත්ත පුද්ගලයකු ගැනයි.

නමින් Terry Brake වන ඔහු කෙසෙල් කොටුවක හිමිකරුවෙක්. ඔහුගේ මේ කෙසෙල් කොටුව තියෙන්නෙ ඔන්ටේරියෝවේම කිව්වොත් සමහර විට ඔබට පුදුමත් හිතේවි. නමුත් එය සැබෑවක්.

ලංකාවෙ සිට ආ අපට කෙසෙල් ගොවිපොළවල් අරුමයක් නොවුවත් කැනඩාවේ ඔන්ටේරියෝවෙ කෙසෙල් ගොවිපොළක් තියෙනව කියන එක නම් මහ ලොකු අරුම පුදුම ආරංචියක්. ඒ මෙහෙ තියෙන දේශගුණික තත්ත්වය නිසයි. විශේෂයෙන්ම උෂ්ණ දේශගුණ කලාපයට ඔරොත්තු දෙන කෙසෙල් වැනි භෝගයක් කැනඩාව තුළ වගා කිරීමත් එක්තරා විදියක අභියෝගයක්. ගිම්හාන කාලයේදී මේ පළාතෙ ඇතැම් මල් පැළ වෙළඳසල්වල කෙසෙල් පැළ විකිණීමට තිබුණත් ඒවා පෝච්චිවල වගා කොට වෙනත් විසිතුරු පැළ වගේ ගෙවල් ඇතුළෙ තබා ගැනීම පමණයි කරන්නෙ. කවදාවත් එවැනි පැළයක කෙසෙල් කැනක් හටගෙන තිඛෙනවා මා දැක නෑ. bananaaa

ඒත් Terry Brake ගොවි මහතා ඔන්ටේරියෝවේ කෙසෙල් වගා කරල කෙසෙල් ඵලදාව ලබා ගෙන ඒවා වෙළඳ පොළටත් එක් කිරීමට සමත් වෙලා තියෙනවා. ඔහු මේ අභියෝගය ජයගත් අන්දම ගැන පසුගිය දිනවල පුවත්පත් කීපයක්ම වාර්තා කරල තිබුණා.

ටොරොන්ටෝ සිට කිලෝ මීටර 200 ක් පමණ බටහිර දෙසට පැය තුනක පමණ කාලයක් ගමන් කිරීමෙන් පසු හමුවන උතුරු හුරොන් හි Blyth  ග්‍රාමයේදී ඔබට මෙම කෙසෙල් කොටුව සැබවින් දැක බලා ගන්න පුළුවන්. මේ ගොවිපොළේ වගා කර ඇත්තේ කෙසෙල් පමණක් නොවෙයි. නිවර්තන කලාපීය රටවල වගා කෙරෙන ගස්ලබු, අන්නාසි, දෙහි, පේර, දොඩම් වැනි පළතුරු වර්ග කීපයක්ම මෙතන සරුවට වගා කරල තියෙනවා.

ලොව ඕනෑම දේශගුණයක වැවෙන ඕනෑම ගසක් වැලක් ඕනෑම රටක වගා කළ හැකි වුණත් ඒ සඳහා අනුගමනය කළ යුතු තාක්ෂණික උපක්‍රම සඳහා වැය කළ යුතු පිරිවැය ඉතාමත් අධිකයි. උදාහරණයක් විදියට කෙසෙල් වගාවම ගනිමු. කැනඩාවේදී කෙසෙල් වැවුවොත් හිරු එළිය සමග ඊට අවශ්‍ය දේශගුණ සාධක තත්ත්වයන් පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. ඒත් මේ රටේ ඍතු විපර්යාසයත් එක්ක එළිමහනේ නම් කෙසේ වත් මෙවැනි වගාවක් කළ නොහැකියි. ඒ සඳහාඑ ස්වභාවික හිරු එළියද ලැඛෙන උසස් තත්ත්වයේ ග්‍රීන්හවුස් (Greenhouse / Hoop House) තුළ අවශ්‍ය උණුසුම්කරණ පහසුකම් සමග මෙය කළ යුතුයි. එහෙත් එය අධික වියදම් යන වැඩක්. අවුරුද්දේ වැඩි මාස ගණනක් පැය 24 ක් පුරා විශාල ග්‍රීන්හවුස් රත් කිරීමට උණුසුම්කරන යන්ත්‍ර (heaters) භාවිත කිරීම කිසිසේත්ම ප්‍රායෝගික වන්නක් නොවෙයි.

එසේ වගා කෙරෙන කෙසෙල් ගෙඩි වෙළඳපොළට දමනවා නම් ඊට නියමිත මිල කෙසේ තීරණය කරන්නද?

ඒත් Terry Brake ගේ ගොවිපොළේ වවල තියෙන නිවර්තන භෝග වගා කිරීමට නම් ඒ තරම් වියදමක් යන්නෙ නෑ කියලයි ඔහු කියන්නෙ. කොහොමද ඔහු අඩු වියදමින් ඝර්ම කලාපීය දේශගුණයක් ඔහුගේ කෙසෙල් කොටුවට ලබාදෙන්නෙ?

මේ භෝග වගාව සඳහාත් ග්‍රීන් හවුස් ක්‍රමයම ඔහු යොදාගෙන තිඛෙනවා. එහි උණුසුම පවත්වාගෙන යෑම සඳහා දර යොදාගැනීමයි මේ අඩු වියදම්

ක්‍රමයේ විශේෂත්වය. මේ දර පෝරණු ග්‍රීන්හවුස්වලට පිටතින් සවිකරල ඒවායෙන් නිකුත්වන උණුසුම් වායුව ග්‍රීන්හවුස් තුළට යන ආකාරයට සකස් කරල තියෙනවා. (මෙය සාමාන්‍ය තාපන යන්ත්‍රයකින් උණුසුම ලබාදෙන

ආකාරයෙන්ම සිදුවන්නක්). ඒ සඳහා අවශ්‍ය දැව සපයා ගැනීම සිදුකරන්නෙත් ගොවිපොළෙන්මයි. මේ දර කැපීමේදී වසර 20 ක් පමණ පරණ ගස් තෝරාගෙන කැපීමට මේ අය ප්‍රවේශම් වෙනවා. ඒ වගේම සෑම වසරකම කපන ගස් වෙනුවට අලුත් පැල සිටුවීමත් සිදුකරනවා. මෙම ග්‍රීන් හවුස් සකස් කරන්න පොලිතින් තහඩු විශේෂයක් (polyethylene) යොදා ගෙන ඇති අතර තාපය වඩාත් හොඳින් රඳා පවත්වා ගැනීමට එය වඩාත් උපකාරී වෙන බවයි ටෙරී පවසන්නෙ.

ගොවිපොළේ ශාකවලට තමන්ගේ මුල් නිජබිම්වල සිටින ආකාරය දැනීමටත් මේ ගොවි මහතා අපූරු ක්‍රමයක් යොදාගෙන තියෙනවා. ග්‍රීන්හවුස් තුළ කැළෑවක් මවා පෙන්වීමයි (jungle-like) ඒ ක්‍රමය. අක්‍රමවත් විධියට වගා කරල තියෙන පැළ නිසා ඇත්තටම ඒ ගොවිපොළ කැළෑවක් වගේමයි. මෙයින් ගස්වල ඵලදාව වැඩිකරගන්න පුළුවන් බවයි ටෙරී කියන්නෙ.

“ඔබ මෙතෙන්ට ආවොත් හුදෙක් නිවර්තන ප්‍රදේශයකට ආව වැනි හැඟීමක් ඔබට දැනේවි” ටෙරී එයාගෙ ග්‍රීන්හවුසිය ඇතුළෙ පරිසරය ගැන පැහැදිලි කළේ එහෙමයි.

“මේක ඇතුළෙ තෙතමනය නිවර්තන දේශගුණයට සමාන කමක් තියෙනවා. සාමාන්‍යයෙන් කැනඩාවේ සෑම ඍතුවක්ම දැඩි වියළියි. ඒත් මේ ගොවිපොළ ඇතුළෙ හැම වෙලාවකම 85 ත් 90 ත් අතර ආර්ද්‍රතාවක් තියාගන්න අපි වෙහෙසෙනවා”

වසර හයකට පමණ පෙර ආරම්භ කර ඇති මෙම ගොවිපොළෙහි විශාල ප්‍රමාණයේ ග්‍රීන්හවුස් තුනක් තුළ මේ භෝග වගාව සිදුවෙයි. ලබන වසරේදී ගොවිපොළ තවත් විශාල කොට වැඩිදියුණු කිරීම ටෙරීගේ බලාපොරොත්තුවයි. ඒ වෙනුවෙන් හෙක්ටයාර දෙකහමාරකට ආසන්න බිම් ප්‍රමාණයක ග්‍රීන් හවුස් 100 ක් හදන සැලසුමක් ක්‍රියාත්මක කිරීමටයි ඔහු අදහස් කර සිටින්නෙ.

“අපේ ලොකුම ඉලක්කය රටේ අනික් අයත් මීට එකතු කර ගැනීමයි. මේ නිවර්තන භෝග වගාව ඔන්ටේරියෝවේ මේ පළාතට, අපේ ගොවිපොළට පමණක් සීමා නොවී රට පුරාම පැතිර යනවා නම් අපි කැමතියි”

“අපේ ආහාර සපයා ගැනීම් විදෙස් රටවල් මත රඳා පැවතීම සුදුසු නෑ. ඒ සෑම දෙයක්ම අපටම සාදා ගත හැකියි. ඊට අවශ්‍ය ලාභ පහසු ක්‍රම සොයා බලා යොදා ගැනීමයි කළ යුත්තෙ”  පිටින් ගෙනත් දෙනකන් කට ඇරන් සිටින හැමෝටම ටෙරීගේ ඒ අදහස ලොකු පණිවිඩයක් දෙනවා.

කිසිදු ලෙසකින් ගොවියකු වීමට නොසිතූ ගොවිතැනක් ගැන දැන හෝ නොසිටි ටෙරි බ්‍රේක් ඒ වෙත තල්ලු කළ කතාන්දරය තරමක ඛේදවාචකයකින් ආරම්භ වන්නක්. මීට වසර 11 කට පෙර කාර්මික ඉංජිනේරුවරයකු වශයෙන් කටයුතු කළ ටෙරීගේ ඉරණම ඔහු මුහුණ පෑ දරුණු රිය අනතුරකින් පසු නොසිතූ විරූ දිශාවකට පෙරළුණු අන්දම ඔහු පුවත්පත්වලට පවසා තිබුණා. එම අනතුරෙන් ටෙරීගේ මොළයටත් හානි සිදු වී ඒ හානිය නිසා ඔහුගේ සමහර ශරීර ක්‍රියාකාරකම් අඩපණව ගොස් තිබුණා. ඇවිදීම, කථනය වගේ දේවල් නැවත සකස් කරගන්න භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා යොමුවීමට ඔහුට සිදුවී තිබුණා. මේ නිසා එතෙක් ඔහු කරගෙන ආ රැකියාවට සමුදීමට සිදුවුණු ආකාරයත් එක තැනක එක දිගට සිටිමින් මොනම වැඩක්වත් කිරීමට දුෂ්කර වූ හැටිත් ඔහු පවසා තිබුණා. ටෙරී තුළ ඇති වී තිබුණ මේ නොසන්සුන් මානසිකත්වය සමනය කිරීමට වෛද්‍යවරු නොයෙක් භෞත චිකිත්සක ක්‍රම යොදාගනු ලැබුවා. ඒ සඳහා ඔහුට ප්‍රතිකාර කළ දකුණු අප්‍රිකානු ජාතික වෛද්‍යවරයා වරෙක අමුතුම ක්‍රමයක් යොදාගෙන තිබුණා. වෛද්‍යවරයා විසින් ඒ සඳහා යොදාගත්තේ කෙසෙල් පැළයක්. කෙසෙල් පැළය ටෙරී වෙත ලබා දී ඔහුගේ මානසික ඒකාග්‍රතාව වර්ධනය කිරීමේ චිකිත්සක ක්‍රමයක් යොදාගනු ලැබුවා. කෙසේ වෙතත් මේ කෙසෙල් පැළය ටෙරීගේ සිතෙහි රෝපණය කළේ වෙනස්ම වූ බීජයක්. ඒ ඔස්සේ කල්පනා කිරීමේදී මෙවැනි නිවර්තනඑ ගොවිපොළක අදහස ටෙරීගේ සිතට ඇවිත් තිබුණා.

එම අදහස යථාර්ථයක් කර ගැනීමට එවකට ඔහුට ඇප උපස්ථාන කළ පෞද්ගලික උපස්ථායක Laurie Macpherson ගේ සහායද ඉතාමත් ඉහළින් ඔහු වෙත ලැබුණා. ඒ වන විට උපස්ථායකයකු ලෙස කටයුතු කළත් ඔන්ටේරියෝවේ හුරොන් ප්‍රදේශයේ ලුරිට අයිති හෙක්ටයාර 40 ක ගොවි බිමකුත් තිබුණා. මේ ගොවිපොළ තම අදහස ඉෂ්ට කර ගැනීමට වෙස්වලාගෙන ආපු වාසනාවක් වුණ බවයි ටෙරී පවසන්නෙ. ටෙරී තුළ පහළ වුණු අදහසට අඩුවැඩිය සපයපු ලුරි, ඒ සිහින නිවර්තන ගොවිපොළ සැබෑවක් කර ගැනීමට තමාගේ හෙක්ටයාර 40 ලබාදීමට එක පයින්ම එකඟ වුණා.

අවසානයේදී හිම මිදෙන හුරොන් මිටියාවතේ මේ අපූරු විශ්මලන්ත නිවර්තන ගොවිපොළ බිහිවුණේ ටෙරී සහ ලුරි හවුල් ව්‍යාපාරයක හිමිකරුවන් කරමින්.

වැඩපිළිවෙළ ආරම්භයේදී දහසක් බාධක ඇවිත් තිබුණා. විශේෂයෙන්ම දේශගුණය ඇතුළු පරිසර තත්ත්වයන් ඍජුවම ඔවුන්ට බාධා කළා. ඒත් මේ සගයින් දෙදෙනා ඒ කිසි දේකින් බිඳක් වත් සැළුනේ නෑ. දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරනු ලැබුවා. ඒ මහන්සියේ කැපවීමේ ප්‍රතිඵල අද ඔවුන් භුක්ති විඳින බව ගොවිපොළට යන කාටත් පෙනෙනවා. මුලදි නිවර්තන වගාවන් ගැන කිසිම අත්දැකීමක් නොතිබුණු නිසා ඩොමිනිකන් රාජ්‍යට ගිහින් ඒ ගැන අධ්‍යනය කර ඇවිත් ඒ ක්‍රම සහ විධි මේ ගොවිපොළට සුදුසු විදියට යොදා ගැනීමට කටයුතු කළ නිසා වගාව වඩාත් සාර්ථක වුණ බව ටෙරී කියනවා.

තම ගොවිපොළෙහි ඇති පළතුරුවල තත්ත්වයෙන් ඉහළභාවය ගැන ටෙරී කතා කරන්නෙ හරිම ආඩම්බරයෙන්.

“සුපිරි වෙළඳසැලකින් මිල දී ගන්න කෙසෙල්වලට වඩා අපේ කෙසෙල් සහ අනික් පළතුරු රසයෙන් ඉහළයි. නැවුම් බවින් ඉහළයි. ගුණයෙන් ඉහළයි”

සුපිරි වෙළඳසල්වල ඇති පළතුරු එළවළු ගැන ටෙරී තුළ තියෙන්නෙ මේ වගේ අදහසක්. ‘කැනඩාවේ වෙළඳපොළේ තියෙන හුඟක් නිවර්තන කලාපීය පළතුරු, එළවළු මෙහෙට ගේන්නෙ කොස්ටාරිකාව වගේ දකුණු ඇමරිකානු රටවලින්. මාස ගණන් ශීත ගබඩාවල ගාල් කරල නැව් නංවා එවන ඒවා කල් තියා ගැනීමටත්, ඒවායේ වර්ණය තබා ගැනීමටත් නොයෙක් රසායනයන් යොදා ගන්නවා’

තම ගොවිපොළේ තියෙන පළතුරු සුපිරි වෙළඳසැලේ තියෙන රට පළතුරු හා සැසඳීමේදී ප්‍රමාණයෙන් කුඩා වුණත් රසයෙන් ගුණයෙන් හා නැවුම් බවින් අනූන බව ටෙරී පවසනවා.

ඔවුන්ගේ නිවර්තන ගොවිපොළේ පළතුරු සම්බන්ධයෙන් ටෙරී පවසන තොරතුරු සත්‍යදැයි අත්දැකීමෙන්ම දැනගැනීමට කැමති අයට ඒ සඳහා අවස්ථාව තියෙනවා. ඔන්ටේරියෝවේ Exeter හා Goderich ගොවිජන වෙළඳපොළවලට (farmer’s markets) ගියොත් මේ පළතුරු ඔබට ලබාගන්න පුළුවන්. ටෙරී සහ ලුරිගේ නිවර්තන භෝග එම වෙළඳසල්වල විකුණනවා.

මෙහිදී ගසෙන් කැපූ හැටියෙම අලුත් කෙසෙල් ගෙඩි හතරක් ඩොලර් 2 ක් වැනි මුදලකටත් අලුත්ම ගස්ලබු ගෙඩියක් ඩොලර් 3 කටත් මිල දී ගන්න පුළුවන්.

 

සටහන – චමරි අබේසිංහ

Share this Post