මැදපෙරදිග අහස යළිත් වරක් යුධ ගින්නෙන් රත් වී ඇත. ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ මර්මස්ථාන ඉලක්ක කර ගනිමින් දියත් කළ Operation Epic Fury ලෝක දේශපාලන සිතියම උඩුයටිකුරු කළ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වී හමාරය.
මෙය හුදෙක් ක්ෂණිකව ගත් හමුදාමය තීරණයක් නොව, දශක පහකට ආසන්න කාලයක් ඇමරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පැවති දේශපාලනික වෛරයේ සහ න්‍යෂ්ටික බලඅරගලයේ උච්චතම අවස්ථාව ලෙස හඳුනාගත හැකිය. වසර 47ක් පුරා ඇවිළෙමින් තිබූ ‘නිහඬ යුද්ධය’ (Shadow War) ප්‍රසිද්ධ මහා පරිමාණ යුද්ධයක් බවට පරිවර්තනය වූ මෙම මෙහෙයුම, දීර්ඝකාලීන සහ සූක්ෂ්ම සැලසුමක ප්‍රතිඵලයක් බව තහවුරු කෙරෙන ප්‍රධාන සාධක කිහිපයක් විද්වතුන් පෙන්වා දෙයි.
දීර්ඝකාලීන බුද්ධි නිරීක්ෂණ: පෙන්ටගනය සහ ඊශ්‍රායල Mossad  බුද්ධි ඒජන්සිය වසර ගණනාවක සිට ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන සහ භූගත මිසයිල ගබඩා පවතින ස්ථාන ඉතා සූක්ෂ්ම ලෙස සිතියම්ගත කර තිබීම

  • උපායමාර්ගික පෙරහුරු: පසුගිය මාස කිහිපය පුරාම ඇමරිකානු සහ ඊශ්‍රායල ගුවන් හමුදා මධ්‍යධරණි මුහුද ආශ්‍රිතව දුරස්ථ ඉලක්ක වෙත පහර දීමේ ඒකාබද්ධ යුද අභ්‍යාසවල නිරත වීම (එම අභ්‍යාසයන් මෙම දැවැන්ත ප්‍රහාරය සඳහා වූ පෙරහුරු බව මේ වන විට ලෝක දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.)
  • රාජ්‍යතාන්ත්‍රික අසාර්ථකත්වය: 2015 න්‍යෂ්ටික ගිවිසුමෙන් (JCPOA) ඇමරිකාව ඉවත් වීමෙන් පසු ඇති වූ රාජ්‍යතාන්ත්‍රික රික්තකය පියවීමට හමුදාමය විකල්පයක් (Military option) ඕනෑම මොහොතක ක්‍රියාත්මක කළ හැකි බව වොෂින්ටනය නිරන්තරයෙන් අවධාරණය කිරීම
  • Maximum Pressure ප්‍රතිපත්තිය: ට්‍රම්ප් පාලනය යටතේ ක්‍රියාත්මක වූ ‘උපරිම පීඩනය’ යෙදීමේ දැඩි විදේශ ප්‍රතිපත්තිය, මෙවැනි මහා පරිමාණ හමුදා මෙහෙයුමකට අවශ්‍ය දේශපාලනික සහ හමුදාමය පසුබිම වසර ගණනාවක් තිස්සේ ක්‍රමනුකූලව සකස් කර තිබීම

ට්‍රම්ප්ගේ ස්ථාවරය සහ න්‍යෂ්ටික අර්බුදය

ඉරානයට එරෙහිව දියත් කළ මෙම දැවැන්ත හමුදා මෙහෙයුම සාධාරණීකරණය කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දිනවල දැඩි ප්‍රකාශ නිකුත් කර තිබුණි. සිය Truth Social ජාලය හරහා වීඩියෝ පණිවිඩ නිකුත් කරමින් ඉරානයට එරෙහිව ඔහු බරපතල චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළේය.
එහිදී ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කළේ, සිය න්‍යෂ්ටික අභිලාෂයන් අත්හැරීමට ලැබුණු සෑම රාජ්‍යතාන්ත්‍රික අවස්ථාවක්ම ඉරානය විසින් ප්‍රතික්ෂේප කර ඇති බැවින්, ඇමරිකාවට තවදුරටත් මෙය ඉවසා සිටිය නොහැකි බවයි. ඉරානය මේ වන විටත් න්‍යෂ්ටික බෝම්බයක් නිපදවා ඇති බවට ස්ථීර බුද්ධි තොරතුරු ඉදිරිපත් වී නොමැති වුවත්, ඔවුන් ඒ සඳහා අවශ්‍ය ‘යුරේනියම් සාන්ද්‍රණය’ (Uranium Enrichment) අනතුරුදායක මට්ටමක් දක්වා ඉහළ නංවා ඇති බව ලොවම දන්නා දෙයක් බව ට්‍රම්ප්ගේ ප්‍රකාශයේ සඳහන් විය. එවැනි විනාශකාරී අවියක් මෙම ‘ත්‍රස්තවාදී පාලන තන්ත්‍රයට’ හිමි කර ගැනීමට කිසිසේත්ම ඉඩ නොදීම තම රජයේ නොසැලෙන ස්ථාවරය බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඉරානය ඇමරිකාව දක්වා පවා ළඟා විය හැකි බැලස්ටික් මිසයිල නිෂ්පාදනය කරන බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය ගෝලීය දේශපාලනය තුළ මේ වන විට දැඩි විවාදයකට තුඩු දී ඇත. ආරක්ෂක බුද්ධි ඒජන්සිය  (DIA) විසින් 2025 දී නිකුත් කළ තක්සේරුවකට අනුව, ඉරානයට අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් (ICBM) නිපදවීමට තාක්ෂණික හැකියාව ලැඛෙන්නේ 2035 වන විටය. එහෙත්, ට්‍රම්ප් පවසන්නේ ඉරානය රහසිගතව රුසියාව හෝ උතුරු කොරියාව වැනි රටවල සහාය ඇතිව එම කාලරාමුවට වඩා වේගයෙන් ඇමරිකාවට පහර දිය හැකි මිසයිල තාක්ෂණය අත්කර ගනිමින් සිටින බවයි.
නිල බුද්ධි වාර්තා මගින් එම තර්කය තවමත් ස්ථීර කර නොමැති වුවද, ඉරානය සතුව දැනටමත් පවතින Sejjil සහ Khaibar  වැනි මධ්‍යම දුර මිසයිල පද්ධති මැදපෙරදිග කලාපයට සහ යුරෝපයේ කොටසකට බරපතළ තර්ජනයක් වී ඇති බව ආරක්ෂක විශ්ලේෂකයෝ පවසති.
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයත් සමඟ ඉරාන පාලන තන්ත්‍රය තුළ හටගෙන ඇති දේශපාලන අස්ථාවරත්වය පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපති ට්‍රම්ප්, එය හඳුන්වා දුන්නේ “ලොව සිටි කුරිරුතම පාලකයෙකුගේ නිමාව” ලෙසයි.
‘අපේ සතුරා ඉරාන ජනතාව නොව, ඔවුන් පාලනය කරන පීඩාකාරී පාලන තන්ත්‍රයයි’ යන මතය ලෝකය හමුවේ තබමින්, ඉරාන රජය සහ ඉරාන ජනතාව අතර පැහැදිලි ඛෙදීමක් නිර්මාණය කිරීම ට්‍රම්ප්ගේ උපායමාර්ගික ප්‍රකාශයන්හි ප්‍රධාන අරමුණ වී තිබේ.
මෙම මෙහෙයුම පිළිබඳව ට්‍රම්ප් කරන ප්‍රකාශයන් තුළ වසර 47 ක් පුරා පවතින සතුරුකම පියවා ගැනීමේ ස්වරූපය නිරන්තරව ගැබ්ව ඇත. “වසර 47 ක් පුරා ඔවුන්, ‘ඇමරිකාවට මරණය’ (Death to America) යැයි පවසමින් නිමක් නැති ලේ වැගිරීම් සිදු කළා,” යැයි පවසමින් ඔහු 1979 ප්‍රාණ ඇපකරුවන්ගේ අර්බුදය සහ 1983 බේරූට්හි ඇමරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාර සිහිපත් කළේය. “මෙම මහා පරිමාණ භීෂණයට අපි තවදුරටත් ඉඩ දෙන්නේ නැහැ,”  යැයි ඔහු තරයේ පවසා සිටියේය.

ඊශ්‍රායලයේ භූමිකාව

මෙම යුද මෙහෙයුමේදී ඊශ්‍රායලය සුවිශේෂී සහ තීරණාත්මක භූමිකාවක් ඉටු කරන අතර, ඉරානයට එරෙහිව යුද්ධය ප්‍රකාශ කිරීම පිටුපස ඇති සිය ස්ථාවරය ඔවුන් ඉතා පැහැදිලිව ලොවට හෙළි කර ඇත.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය ඛෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කළේ ඉරානය යනු හුදෙක් දේශසීමා අර්බුදයක් නොව, ඊශ්‍රායල රාජ්‍යය ලෝක සිතියමෙන් මකා දැමීමට සැරසෙන ‘තම රටේ පැවැත්ම පිළිබඳ සෘජු තර්ජනයක්’ (Existential Threat)බවයි.
ඊශ්‍රායලයට ඉරානය පිළිබඳව ඇති ප්‍රධානතම ගැටලූව කරුණු තුනක් ඔස්සේ විග්‍රහ කළ හැකිය.

  • Proxy War: ඊශ්‍රායලය වටා සිටින හමාස්, හිස්බුල්ලා සහ හූති වැනි සන්නද්ධ කණ්ඩායම්වලට මුදල්, අවි ආයුධ සහ පුහුණුව ලබා දෙන්නේ ඉරානය විසිනි. ඊශ්‍රායලය පවසන්නේ ඉරානය මෙම කණ්ඩායම් ‘බෝම්බ පටි’ ලෙස භාවිත කරමින් ඊශ්‍රායලය නිරන්තර භීෂණයක තබා ඇති බවයි.
  • න්‍යෂ්ටික භීතිය: ඉරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම යනු ඊශ්‍රායලයේ අවසානය බව නෙතන්යාහු පාලනය දැඩිව විශ්වාස කරයි. මන්දයත්, ඉරාන නායකයින් වරින් වර ‘ඊශ්‍රායලය විනාශ කරන’ බවට කරන ප්‍රසිද්ධ ප්‍රකාශ ඊට හේතු වී ඇත. ඒ නිසා ඔවුන් අතට එවැනි විනාශකාරී අවියක් පත්වීම වැළැක්වීම ඊශ්‍රායලයේ ප්‍රමුඛතම ආරක්ෂක ප්‍රතිපත්තියයි.
  • පූර්ව ආරක්ෂිත යුද්ධය (Pre-emptive War): ඉරානය විසින් ඊශ්‍රායලයට එරෙහිව දැවැන්ත සහ ඒකාබද්ධ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට ලැබුණු බුද්ධි තොරතුරු මත පදනම්ව, මෙම මෙහෙයුම දියත් කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි. තමන්ට ප්‍රහාරයක් එල්ල වන තෙක් බලා නොසිට, සතුරාගේ මධ්‍යස්ථාන වෙත පළමුව පහර දී එම තර්ජනය මැඩ පැවැත්වීම තම ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීමක් ලෙස ඔවුන් හඳුන්වයි.

කමේනිගේ අභාවයත් සමඟ ඛෙන්ජමින් නෙතන්යාහු ලෝක ප්‍රජාව අමතමින් කියා සිටියේ, “කලාපය වෙලාගෙන සිටි භීෂණයේ මකුළු දැල දැන් බිඳ වැටෙමින් පවතින” බවයි. කමේනිගේ මරණයෙන් පසු ඉරාන පාලන තන්ත්‍රය අස්ථාවර වීම ඊශ්‍රායලයට සිය පැවැත්ම තහවුරු කර ගැනීමට ලැබුණු ඓතිහාසික අවස්ථාවක් ලෙස ඔහු හැඳින්වීය.
“වසර ගණනාවක් පුරා මැදපෙරදිග අස්ථාවර කළ නපුරේ අක්ෂය (Axis of Evil) මෙහෙයවූ මනස දැන් නිහඬ වී ති‌බෙනවා. අප ඉරානයට පහර දෙන්නේ එරට ජනතාව සමඟ වෛරයකින් නොව, අපගේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙනුයි. ඉරානයේ න්‍යෂ්ටික සිහිනයත්, කමේනිගේ මරණයත් සමඟ වළලා දැමීමට අප පසුබට වන්නේ නැහැ,” යනුවෙන් නෙතන්යාහු අවධාරණය කළේය.

Reza Pahlavi භූමිකාව

ඉරාන පාලන තන්ත්‍රයේ ‘මහ මොළකරු’ ලෙස සැලකූ කමේනිගේ අභාවයත් සමඟ ඇති වූ දේශපාලන රික්තකය පුරවාලීමට සහ ඉරානය යළි ලෝක ප්‍රජාව සමඟ සම්බන්ධ කිරීමට අවශ්‍ය ‘රාජ්‍යතාන්ත්‍රික පාලම’ ලෙස ඇමරිකාවේ පිටුවහල්ව වෙසෙන හිටපු ෂා රජුගේ පුත් රේසා පහ්ලවි දැන් කරළියට පැමිණ සිටියි. Operation Epic Fury මෙහෙයුම සඳහා පහ්ලවිගේ සෘජු හමුදාමය සහභාගිත්වයක් නොමැති වුවද, එහි සාර්ථකත්වය සඳහා ඔහු උපායමාර්ගික, බුද්ධිමය සහ මනෝවිද්‍යාත්මක මට්ටමින් ඉටුකළ දායකත්වය අතිශය තීරණාත්මක විය.
තමන් වටා සිටින ඉරාන විරුද්ධවාදී ජාලය උපයෝගී කරගනිමින්, ඉරාන පාලන තන්ත්‍රයේ රහසිගත මධ්‍යස්ථාන සහ ආරක්ෂක ව්‍යුහය පිළිබඳ තීරණාත්මක තොරතුරු ඇමරිකානු බුද්ධි අංශ වෙත ලබා දීමට ඔහු කටයුතු කළේය. මෙය මෙහෙයුමේදී ඉලක්ක නිවැරදිව හඳුනා ගැනීමට මහෝපකාරී වූ අතර, ඒ හරහා ඉරානය අරාජිකත්වයට පත්වීම වැළැක්වීම සඳහා වොෂින්ටනය සහ ට්‍රම්ප් පාලනය සමඟ එක්ව ‘සංක්‍රාන්ති පාලන සැලසුමක්’ ඉදිරිපත් කිරීමටද ඔහු සමත් විය. ඔහුගේ අවසන් අරමුණ වී ඇත්තේ ආගමික මර්දනයෙන් තොර, ලෞකික සහ ප්‍රජාතන්ත්‍රවාදී ඉරානයක් යළි ගොඩනැගීමයි.
මෙහෙයුම ක්‍රියාත්මක වන අතරතුර ඉරාන හමුදාව අභ්‍යන්තරයෙන් බිඳ දැමීම සඳහා ඔහු ප්‍රබල මනෝවිද්‍යාත්මක මෙහෙයුමක් දියත් කළේය. ‘ඔබේ සැබෑ සතුරා ඇමරිකාව නොව, ඔබව පීඩාවට පත් කරන පාලකයන්’ බව පවසමින් ඔහු ඉරාන සොල්දාදුවන්ට කළ ආමන්ත්‍රණය, මෙහෙයුමට එල්ල විය හැකි ප්‍රතිප්‍රහාර අවම කිරීමට සමත් විය. ‘මෙය පළිගැනීමේ කාලය නොව, ජාතිය ගොඩනැගීමේ කාලය’ බවට ඔහු එහිදී ඉල්ලීම් කළේය.
ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පහර දෙන විට, එය හුදු ආක්‍රමණයක් ලෙස නොව පීඩාකාරී පාලනයකින් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුමක් ලෙස ලෝකය හමුවේ තහවුරු කිරීමට පහ්ලවි කුමාරයාගේ පෙනී සිටීම විශාල දේශපාලන නීත්‍යනුකූලභාවයක් ලබා දුන්නේය. එමෙන්ම, ඊශ්‍රායලය සමඟ පවතින දශක ගණනාවක වෛරය අවසන් කර, අනාගත ඉරානය කලාපීය සාමයේ කොටස්කරුවෙකු වන බවට ඔහු ලබාදුන් සහතිකය, නෙතන්යාහු පවසන ‘පැවැත්ම පිළිබඳ තර්ජනය’ ඉවත් කිරීමට ඇති එකම ස්ථීර විසඳුම ලෙස බටහිර ලෝකය මේ වන විට පිළිගෙන තිබේ.

 

ජාත්‍යන්තර දේශපාලනයේ ‘සන්නද්ධ’ බලපෑම සහ අභ්‍යන්තර පීඩනය
පසුගිය දශකය පුරා මැදපෙරදිග කලාපයේ දේශපාලන ස්ථාවරත්වයට දැඩි බලපෑම් එල්ල කළ ප්‍රධාන සාධකයක් වූයේ ඉරානය තුළ වරින් වර මතු වූ ජනතා නැගිටීම් සහ ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ දරුණු මර්දනයන්ය. විශේෂයෙන්ම 2025 වසර ආරම්භයේ සිටම ඉරානය අගාධයකට ඇද දැමූ දැඩි ආර්ථීක අර්බුදය, එරට මුදල් ඒකකයේ (Iranian Rial) කඩා වැටීමක් පමණක් නොව, දශක හතරක පාලන තන්ත්‍රයට එරෙහිව එල්ල වූ දැවැන්ත සාමාජයීය අභියෝගයක් බවට පත් විය. මෙම ආර්ථීක පසුබෑමත් සමඟ ජනතාව තුළ මතු වූ දැඩි නොසන්සුන්තාව, Operation Epic Fury මෙහෙයුම දියත් කිරීමට අවශ්‍ය වූ දේශපාලනික පසුබිම තවදුරටත් ශක්තිමත් කළ අතර, එය ඉරාන පාලන තන්ත්‍රය අභ්‍යන්තරයෙන්ම දුර්වල කිරීමට සමත් වූ තීරණාත්මක සාධකයක් බව දැන් පැහැදිලි වෙමින් පවතී.
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇතුළු පාලක කණ්ඩායමට එරෙහිව ජනතාව වීදි බැසීමට බලපෑවේ කරුණු කිහිපයක සංකලනයකි. විශේෂයෙන්ම තරුණ පරපුර අතර පැවති විරැකියාව සහ නිදහස සීමා කිරීම ජනතා කෝපය ඇවිළවීමට සමත් විය.
ඉරාන වැසියන් මෙම පාලනයට විරෝධය දැක්වූ ප්‍රධාන හේතු කිහිපයක් මෙසේය:

  • ආර්ථීක බිඳවැටීම සහ දූෂණය: ජාත්‍යන්තර සම්බාධක හමුවේ රියාල් මුදලේ අගය පහත වැටීම නිසා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගිය අතර, රජයේ ඉහළ නිලධාරීන්ගේ දූෂිත මූල්‍ය පරිපාලනය පිළිබඳව ජනතාව තුළ දැඩි කළකිරීමක් පැවතුණි.
  • ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ඇහිරීම: දැඩි ආගමික නීති මගින් පුද්ගල නිදහස පාලනය කිරීම සහ දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම නිසා ජනතාවට තම හඬ අවදි කිරීමට ඇති ඉඩකඩ අහිමි විය.
  • සම්පත් අවභාවිතය: රටේ අභ්‍යන්තර ආර්ථීකය අර්බුදයක පවතිද්දී, කලාපීය බල අරගල සඳහා (සිරියාව, ලෙබනනය වැනි රටවල සන්නද්ධ කණ්ඩායම්වලට සහය වීමට) රටේ ධනය වැය කිරීම ජනතාවගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.

ජනතාව වෙතින් පැන නැගුණු විරෝධතා මැඩ පැවැත්වීම ඉරාන රජය අනුගමනය කළේ අතිශය කෲර පිළිවෙතකි.  සැලසුම් සහගත දැඩි මර්දනකාරී ක්‍රියාවලියක් වූ එහි ස්වරූපය සැකවින් විස්තර කළහොත්, විරෝධතාකරුවන් විසිරුවා හැරීමට සාමාන්‍ය ක්‍රමවේද භාවිත කරනවා වෙනුවට, ආරක්ෂක අංශ එල්ලය බලා සජීවී උණ්ඩවලින් ජනතාවට වෙඩි තැබූ අතර, එහිදී බොහෝ පිරිසකගේ හිස සහ පපුව ඉලක්ක කර තිබීම විශේෂත්වයකි. මෙම මර්දනය ලෝකයෙන් වසන් කිරීම සඳහා රජය විසින් රට පුරා අන්තර්ජාල පහසුකම් සම්පූර්ණයෙන්ම අත්හිටුවා ‘තොරතුරු කළුකුහරයක්’ (A total information blackout) නිර්මාණය කළ අතර, එම කාලය තුළ දහස් ගණනක් පිරිස් සමූහ වශයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තැබූහ. සිරකඳවුරු තුළදී අත්අඩංගුවට ගත් පිරිස්වලට දැඩි වධහිංසා පැමිණවීම, බලහත්කාරයෙන් පාපොච්චාරණ ලබාගැනීම සහ පසුව ඉතා කෙටි නඩු විභාග හරහා තරුණයින්ට මරණ දණ්ඩනය නියම කර ප්‍රසිද්ධියේ එල්ලා මැරීම වැනි ක්‍රියාමාර්ග හරහා සමාජය තුළ භීෂණයක් ඇති කිරීමට පාලන තන්ත්‍රය කටයුතු කළේය.
මෙයින් දහස් ගණනක් විරෝධතාකරුවන් මියගිය අතර, තවත් බොහෝ පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය. ඉරානයේ මෙම අභ්‍යන්තර තත්ත්වය හමුවේ ලෝක බලවතුන්ගේ අවධානය ඒ වෙත යොමු වූ අතර, විශේෂයෙන්ම එවකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කළ ප්‍රකාශය ලෝක දේශපාලනයේ දැඩි කතාබහට ලක් විය.
ඉරාන වැසියන්ට එල්ල වන මර්දනය හමුවේ ඇමරිකාව නිහඬව නොසිටින බව එහිදී අවධාරණය කළ ට්‍රම්ප්, පීඩිත වැසියන්ගේ සහයට පැමිණීමට තමන් ‘සන්නද්ධව සහ සූදානමින්’ සිටින බව ප්‍රකාශ කළේය. මෙය හුදු රාජ්‍යතාන්ත්‍රික ප්‍රකාශයකට එහා ගිය, සන්නද්ධ මැදිහත්වීමක ඉඟියක් ලෙස විචාරකයෝ හඳුනා ගත්හ.
ඉරාන අර්බුදය යනු හුදෙක් අභ්‍යන්තර දේශපාලන ආරවුලක් පමණක් නොව, එය මැදපෙරදිග බල අරගලය සහ ගෝලීය බලවතුන්ගේ උපායමාර්ගික මැදිහත්වීම්වල තීරණාත්මක සන්ධිස්ථානයකි.

සාකච්ඡා මේසය යටින් සූදානම් වූ Operation Epic Fury
පසුගිය සති කිහිපය පුරා ලෝකය දුටුවේ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ අතිශය පරස්පර විරෝධී සහ රහසිගත හැසිරීමකි. එක් පැත්තකින් ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ඉරාන නිලධාරීන් හමුවෙමින් නව න්‍යෂ්ටික ගිවිසුමක් සඳහා දැඩි උත්සාහයක නිරත වන බව ලෝකයට පෙන්නුම් කළේය. එහෙත් එම සාකච්ඡා අතරතුර පවා, ට්‍රම්ප් පරිපාලනය විසින් 2003 ඉරාක ආක්‍රමණයෙන් පසු මැදපෙරදිග කලාපයේ සිදු කළ විශාලතම හමුදා බලමුලු ගැන්වීම රහසින් ක්‍රියාත්මක කරමින් සිටියේය.

වසර ගණනාවක් පුරා ඇදී ගිය මෙම සංකීර්ණ රාජ්‍යතාන්ත්‍රික ‘රංගනය’ තීරණාත්මක ලෙස බිඳ වැටුණේ ‌පෙබරවාරි 26 වැනිදාය. එදින ඔස්ට්‍රියාවේ වියානා නුවර පැවැති හදිසි සාකච්ඡා වටයකදී, තමන් කිසිදා ‘සාරවත් යුරේනියම්’ තොග රැස් නොකරන බවට ලිඛිත සහතිකයක් ලබාදීමට පවා ඉරානය සිය කැමැත්ත පළ කර තිබුණි. එය යුදමය ගැටුමක් වළක්වා ගැනීම සඳහා ඉරානය ඉදිරිපත් කළ අවසන් තුරුම්පුවයි.
එහෙත්, වොෂින්ටනය තීරණය කළේ ඉරානය කෙරෙහි තවදුරටත් විශ්වාසය තැබිය නොහැකි බවයි. ඉරානය මීට පෙරද මෙවැනි පොරොන්දු කඩ කර ඇති බැවින්, මෙම ලිඛිත සහතිකය හමුදා ක්‍රියාමාර්ගයක් නැවැත්වීමට තරම් ප්‍රමාණවත් හෝ විශ්වසනීය සාධකයක් නොවන බව ඇමරිකාව අවධාරණය කළේය. ඒ අනුව, තවදුරටත් කාලය නාස්ති කළ නොහැකි බව පවසමින් ඇමරිකානු නියෝජිත පිරිස සාකච්ඡා මේසයෙන් ඉවත් වූ අතර, එය Operation Epic Furyමෙහෙයුම සඳහා වූ අවසන් ‘කොළ එළිය’ බවට පත් විය.

බුද්ධි අංශ ජාලය සහ ‘මර උගුල’
මෙම දැවැන්ත ප්‍රහාරය හුදෙක් ගුවනින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයක් පමණක් නොව, එය මාස ගණනාවක් පුරා CIA සංවිධානය සහ ඉශ්‍රායලයේ මොසාඩ් බුද්ධි අංශය එක්ව දියත් කළ සූක්ෂම බුද්ධි මෙහෙයුමක අවසානයයි. ඉරානයේ අතිශය ආරක්ෂිත ‘උත්තරීතර නායක’ අයතුල්ලා අලි කමේනිගේ සෑම ගමනක් බිමනක්ම සහ ඔහු හමුවීමට පැමිණෙන පුද්ගලයන් පිළිබඳව ඇමරිකානු බුද්ධි අංශ චන්ද්‍රිකා තාක්ෂණය සහ ක්ෂේත්‍රයේ සිටින තොරතුරුකරුවන් මාර්ගයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටියේය.
ප්‍රහාරය සඳහා තෝරාගත් නිශ්චිත ඉලක්කය වූයේ ටෙහෙරාන් නුවර පිහිටි රජයේ මර්මස්ථාන සංකීර්ණයයි. උත්තරීතර නායකයාගේ කාර්යාලය, ජනාධිපති කාර්යාලය සහ ජාතික ආරක්ෂක මධ්‍යස්ථානය යන සියල්ලම එකම පරිශ්‍රයක පිහිටා තිබීම ප්‍රහාරකයන්ට වාසියක් විය. සෙනසුරාදා උදෑසන කමේනි ප්‍රමුඛ ඉරාන ආරක්ෂක අංශවල ඉහළම පෙළේ නිලධාරීන් මෙම ස්ථානයේදී හදිසි හමුවක් පවත්වන බවට ලද ‘රන්මය’ බුද්ධි තොරතුරත් සමඟ, ප්‍රහාරය එල්ල කිරීමට අවසර ලැබුණි.

පාලන තන්ත්‍රයේ බිඳ වැටීම
දේශපාලන විශ්ලේෂකයන්ට අනුව මෙම ප්‍රහාරය ඉරාන පාලන තන්ත්‍රයේ ‘හිස ගසා දැමීමකි’. දශක හතරකට ආසන්න කාලයක් ඉරානයේ සියලූ තීන්දු තීරණ ගත් උත්තරීතර නායකයා මිය යාමත්, ඒ සමඟම එරට ජාතික ආරක්ෂක පද්ධතියේ ප්‍රධානීන් අතුරුදහන් වීමත් හේතුවෙන් ඉරාන පාලන තන්ත්‍රය නායකත්වයක් නොමැති ‘හිසක් නැති සිරුරක්’ බවට පත් වී ඇත.
මෙම තත්ත්වය හමුවේ ඉරානය තුළ අභ්‍යන්තර බල අරගලයක් හට ගැනීමට හෝ පවතින ඉස්ලාමීය පාලන ක්‍රමය සහමුලින්ම බිඳ වැටීමට ඇති ඉඩකඩ ඛෙහෙවින් වැඩි බව ඔවුන්ගේ මතයයි.

යුද්ධය සහ ලෝක තෙල් වෙළඳාම
ඉරානය යනු ලොව ප්‍රමුඛතම තෙල් නිෂ්පාදකයෙකු වන අතර, ඔවුන්ගේ දේශපාලන අස්ථාවරත්වය ගෝලීය බලශක්ති වෙළඳපොළ උඩුයටිකුරු කිරීමට සමත් වේ.

Hormuz සමුද්‍ර සන්ධිය අවහිර වීම
ලෝක තෙල් වෙළඳාමේ ‘හෘද ස්පන්දනය’ බඳු හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට මාර්තු 03 වන දින ඉරාන බලධාරීන් පියවර ගැනීමත් සමඟ, සමස්ත ලෝක වෙළඳපොළම දැඩි කැළඹීමකට පත් විය. ඉරානය සහ ඕමානය අතර පිහිටි මෙම පටු ජල මාර්ගය, ගෝලීය බලශක්ති සැපයුම් දාමයේ වඩාත්ම සංවේදී සන්ධිස්ථානය ලෙස සැලකේ.
මෙම අවහිර කිරීමේ බරපතලකම තේරුම් ගැනීමට පහත කරුණු වැදගත් වේ.

  • බලශක්ති අවහිරය: සංඛ්‍යාලේඛනවලට අනුව, ලෝකයේ දිනක සමස්ත තෙල් අවශ්‍යතාවයෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්නේ මෙම මාර්යෙනි. සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය සහ කටාර් වැනි ප්‍රමුඛ නිෂ්පාදකයන්ගේ බොරතෙල් සහ ස්වාභාවික වායු (LNG) ලෝකය වෙත ගලා යන ප්‍රධානතම නාවික මංපෙත මෙයයි.
  • මිල ඉහළ යාම: සමුද්‍ර සන්ධිය අවහිර වීමත් සමඟ පර්සියානු ගල්ෆ් කලාපයෙන් පිටවන තෙල් නැව් අතරමං වී ඇති අතර, මෙය ලෝක වෙළඳපොළේ තෙල් සැපයුම එකවර අඩාල කරමින් බැරලයක මිල දරාගත නොහැකි මට්ටමකට ඉහළ නැංවීමට හේතු වනු ඇත.
  • ආසියානු බලපෑම: චීනය, ඉන්දියාව සහ ජපානය වැනි ආසියානු බලවතුන්ගේ බලශක්ති සුරක්ෂිතතාව මින් දැඩි තර්ජනයකට ලක් වේ. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලටද මෙහි බලපෑම දරුණු වන අතර, ඉන්ධන ආනයන වියදම ඉහළ යාමෙන් ප්‍රවාහන හා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කළ නොහැකි ලෙස ඉහළ යාමේ අවදානමක් මතුව ඇත.

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හුදෙක් කලාපීය යුදමය පියවරක් නොව, එය මුළු මහත් ලෝකයේම ආර්ථීක ස්ථාවරත්වයට එල්ල කළ ‘බලශක්ති හෘදයාබාධයක්’ බඳුය. මෙය මැඩපැවැත්වීම සඳහා ජාත්‍යන්තර නාවික හමුදා මැදිහත් වනු ඇති බවට දැනටමත් ඉඟි පළ වෙමින් පවතී.

මැදපෙරදිග ගිනිදැල් සහ කැනඩාවේ බලශක්ති පරස්පරය

ඉරාන පාලන තන්ත්‍රයේ අස්ථාවරත්වය සහ මැදපෙරදිග කලාපයේ ඇවිළෙන යුද ගින්න හමුවේ, ලොව ප්‍රමුඛතම බලශක්ති නිෂ්පාදකයෙකු වන කැනඩාව කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ. කැනඩාව ලොව සිව්වන විශාලතම බලශක්ති නිෂ්පාදකයා වුවද, මෙම ගෝලීය අර්බුදය මෙරට ආර්ථීකයට ගෙන එන්නේ වාසි මෙන්ම අවාසිද මුසු වූ ද්විත්ව ස්වරූපයකි.

තෙල් වෙළඳපොළේ කැනේඩියානු භූමිකාව

ලොව බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රබලයකු වන කැනඩාව, බොරතෙල්, ස්වාභාවික වායු සහ ජල විදුලිය යන අංශයන්ගෙන් ලොව ඉහළම රටවල් පහ අතර නිරන්තරයෙන් රැඳී සිටියි. විශේෂයෙන්ම බොරතෙල් නිෂ්පාදනය අතින් ඇමරිකාව, සවුදි අරාබිය සහ රුසියාවට පමණක් දෙවැනි වන කැනඩාව පසුවන්නේ සිව්වන ස්ථානයේය.
මැදපෙරදිග තෙල් සැපයුම අඩාල වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම කැනඩාව වැනි අපනයනකරුවන්ට ඍජු ආර්ථීක වාසි ගෙන එන්නකි. තෙල් මිල ඉහළ යාම නිසා බලශක්ති සමාගම්වල ලාභය සහ රජයේ බදු ආදායම ඉහළ යන අතර, එය ජාත්‍යන්තර වෙළඳපොළේ කැනේඩියානු ඩොලරයේ අගය ඉහළ නැංවීමටද හේතුවකි.

තෙල් තිබුණත් පිටරටින් ගන්නේ ඇයි?

කෙසේ වෙතත්, මෙම කාසියේ අනෙක් පැත්ත කැනේඩියානු පාරිභෝගිකයාට එතරම් හිතකර නොවේ. කැනඩාව දැවැන්ත ලෙස තෙල් නිෂ්පාදනය කළද, මෙරට  නැගෙනහිර පළාත් (Quebec සහ Atlantic Canada) තවමත් සිය පිරිපහදු සඳහා සවුදි අරාබිය සහ ඇමරිකාව වැනි රටවලින් බොරතෙල් ආනයනය කරයි. මෙයට ප්‍රධාන හේතු දෙකකි:

යටිතල පහසුකම් හිඟකම: බටහිර කැනඩාවේ (Alberta) නිෂ්පාදනය කරන තෙල් නැගෙනහිරට ප්‍රවාහනය කිරීමට අවශ්‍ය නල මාර්ග පද්ධතියක් (Pipeline) මෙතෙක් ඉදිවී නොමැත. මීට වසර කිහිපයකට පෙර යෝජනා වූ Energy East වැනි ව්‍යාපෘති දේශපාලන සහ පාරිසරික විරෝධතා හේතුවෙන් අතහැර දැමුණි.

පිරිපහදු තාක්ෂණය: ඇල්බර්ටා ප්‍රාන්තයෙන් ලැඛෙන්නේ ‘බර බොරතෙල්’ (Heavy Crude) වර්ගයකි. එහෙත් නැගෙනහිර පිරිපහදු මධ්‍යස්ථාන බොහොමයක් නිර්මාණය කර ඇත්තේ මැදපෙරදිගින් ලැබෙන ‘සැහැල්ලු බොරතෙල්’ (Light Crude) පිරිපහදු කිරීමටය.

 

මාර්ක් කාර්නිගේ ‘ස්ථාවරත්වය සහ සහයෝගීතාව’ පිළිබඳ දැක්ම

ඇමරිකාව සහ ඉශ්‍රායලය එක්ව දියත් කළ Operation Epic Fury මෙහෙයුම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි සිය නිල ස්ථාවරය ප්‍රකාශ කරමින් කියා සිටියේ, කැනඩාව සිය සමීපතම මිතුරා වන ඇමරිකා එක්සත් ජනපදයේ තීරණයට පූර්ණ සහය පළ කරන බවයි. ලෝක බලශක්ති සැපයුමට සහ ජාත්‍යන්තර සාමයට ඉරානය එල්ල කරන තර්ජනය තවදුරටත් නොසලකා හැරිය නොහැකි බව ඔහු අවධාරණය කළේය.
මෙම තීරණාත්මක මොහොතේ ඉන්දියාවේ රාජ්‍යතාන්ත්‍රික සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි, ඇමරිකානු ක්‍රියාමාර්ගයට සිය සහය පළ කරමින් මෙසේ ප්‍රකාශ කළේය.
“ලෝක ආර්ථීකයේ රුධිර නාලය බඳු මැදපෙරදිග කලාපය, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ ත්‍රස්තවාදී පාලන තන්ත්‍රයක ප්‍රාණ ඇපයට ලක්වීමට අපට ඉඩ දිය නොහැකියි. අප ගනු ලබන මෙම දැඩි තීරණ, හුදෙක් යුද්ධයක් සඳහා නොව, අනාගතයේ ඇති විය හැකි මහා පරිමාණ විනාශයක් වැළැක්වීම සහ ගෝලීය ස්ථාවරත්වය තහවුරු කිරීම වෙනුවෙන් ගනු ලබන පියවරයන් වේ.”
අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය හරහා පැහැදිලි වන්නේ කැනඩාව මෙම ගැටුම හුදෙක් හමුදාමය ක්‍රියාවලියක් ලෙස නොව, ලෝකයේ මූල්‍ය හා බලශක්ති ස්ථාවරත්වය රැකගැනීම සඳහා වූ උපායමාර්ගික මැදිහත්වීමක් ලෙස සලකන බවයි.
කෙසේ වෙතත්, ඉරානය මෙරටට එල්ල කර ඇති තර්ජන හමුවේ, කැනේඩියානු වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ උපරිම සූදානමකින් සිටින බවටද ඔහු එහිදී සහතික විය.

 

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!