
මිනිසා තාක්ෂණයෙන් කොතරම් දියුණු වුවද, ස්වභාවධර්මයේ මහා බලපෑම් හමුවේ තවමත් අසරණය. එහෙත් අප අවට වසන සතුන් සතු සහජ බුද්ධිය සහ සංවේදීතාව, ස්වභාවික ව්‍යසන අවස්ථාවලදී මිනිස් ජීවිත මරණයෙන් මුදවා ගැනීමට උපකාරී වූ අවස්ථා පිළිබඳව නිරන්තරයෙන් අසන්නට ලැබේ.

භූමිකම්පාවකට මොහොතකට පෙර බල්ලන් අසාමාන්‍ය ලෙස හැසිරීම, නායයෑමකට පෙර අලි ඇතුන් නොසන්සුන් වීම, මහා ගංවතුරක් පැමිණීමට පෙර ගැඩවිලුන් පොළොව මතුපිටට පැමිණීම හෝ සුළි කුණාටුවකට පෙර මෝරුන්ගේ ගමන් රටා වෙනස් වීම වැනි සිදුවීම් අප සැවොම අසා ඇත. මෙම සියලූ කරුණු එක් සුවිශේෂී නිගමනයකට අපව යොමු කරයි. එනම්, ස්වාභාවික විපත් හෝ පෘථීවියේ සිදුවන යම් අසාමාන්‍ය වෙනස්කම් පිළිබඳව පූර්ව නිගමනයකට එළඹීමේ හැකියාවක් සතුන්ට පවතින්නේද යන්නයි.
එවැනි අවස්ථා පිළිබඳව අප දන්නා ප්‍රකට උදාහරණ කිහිපයක් මෙසේ දැක්විය හැකිය.
අදින් දශක දෙකකට පෙර, එනම් 2004 දෙසැම්බර් 26 වන දින හටගත් මහා සුනාමි ව්‍යසනයේදී, මුහුදු රළ ගොඩබිමට ගලා ඒමට මොහොතකට පෙර වෙරළාසන්නයේ සිටි සියලූ සතුන් පාහේ ගොඩබිම දෙසට ඇදී ගිය බව නිරීක්ෂණය විය. විශේෂයෙන්ම යාල ජාතික වනෝද්‍යානයේ සිටි සතුන්ගේ දිවි බේරී තිබුණේ, ඔවුන් කල්තියාම වෙරළෙන් ඈත්ව වනාන්තරය තුළට සංක්‍රමණය වී සිටි බැවිනි. නිවෙස්වල ඇති කළ සතුන් මෙන්ම මහමග සිටි සතුන්ද මරණය අභියසදී උස් බිම් කරා දිව ගියහ. එහිදී වැඩිහරියක් ජීවිතක්ෂයට පත්වූයේ මිනිසුන් විසින් බැඳ තබන ලද හෝ කූඩු කරන ලද අසරණ සතුන් පමණි.
මෑතකදී ශ්‍රී ලංකාව හරහා හමා ගිය ‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වයේදීද මෙවැනිම සුවිශේෂී සිදුවීම් වාර්තා විය. කුණාටුව දරුණු ලෙස කඩා වැදීමට පෙර සහ නාය යෑම් සිදුවීමට පෙර නිවෙස්වල ඇති කළ බල්ලන් නොසන්සුන් ලෙස හැසිරීම සහ වෙනදාට වඩා වෙනස් අයුරින් ශබ්ද නිකුත් කිරීම නිසා, බොහෝ පිරිසක් අවදි වී ආරක්ෂිත ස්ථාන කරා යාමට පෙළඹී තිබුණි. සතුන් ලබා දුන් එම සියුම් ඉඟි තේරුම් ගත් පිරිසට සිය ජීවිත බේරා ගැනීමට හැකි වූ පුවත් පසුගිය කාලය පුරා අසන්නට ලැබුණි.
හුදෙක් ගොතන ලද කතාද? නැතහොත් සත්‍යයද?
පර්යේෂකයන් පවසන්නේ මෙබඳු කතාවල යම් සත්‍යතාවක් මෙන්ම අතිශයෝක්තියක්ද අඩංගු විය හැකි බවයි.
ඇතැම් සතුන්ට කාලගුණයේ සිදුවන ප්‍රධාන වෙනස්කම් හඳුනාගත හැකි බව බොහෝ අධ්‍යයනයන් මගින් පෙන්වා දී ඇත. උදාහරණයක් ලෙස, භූගත ජල මට්ටම ඉහළ යාමත් සමග ගැඩවිලුන් එම ස්ථානවලින් ඉවත් වන බව හඳුනාගෙන ඇත. පක්ෂීන් වායු පීඩනයේ වෙනස්වීම් කෙරෙහි ඉතා සංවේදී වන අතර, විශාල කුණාටුවකට පෙර ඔවුන් බොහෝ විට ආරක්ෂිත ස්ථානවල සැඟවී සිටිති. ෆ්ලොරිඩාවේ මෝරුන් පිළිබඳ කළ පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ, මහා සුළි කුණාටුවක් පැමිණීමට පෙර ඔවුන් ගැඹුරු මුහුදට පලා යන බවයි. එම පර්යේෂණයේ නිරත වූ Mote Marine Laboratory ආයතනයේ විද්‍යාඥ Michelle Heupel ඒ පිළිබඳව මෙසේ පවසයි.
“අප සිතනවාට වඩා මෙම සතුන් තමන් ජීවත් වන පරිසරය පිළිබඳව ඉතා තියුණු අවධානයකින් පසුවන බව මම සිතනවා. පරිසරයේ යම් වෙනසක් සිදුවන විට එය සිදුවන්නේ ඇයිදැයි ඔවුන් නොදන්නවා විය හැකියි. නමුත් එම වෙනස විසින්ම ඔවුන්ව වඩාත් ආරක්ෂිත ප්‍රදේශයක් කරා ගෙන යාමට අවශ්‍ය සහජ බුද්ධිය අවදි කරනු ලබනවා.”
ඉහත කරුණුවලට අනුව, මහා භූමිකම්පාවක් පැමිණෙන බවට ඔබේ සුරතල් බළලාට හෝ බල්ලාට ඔබට ඉඟියක් ලබා දිය හැකිද? පර්යේෂකයන් ඒ පිළිබඳව පසුවන්නේ දෙගිඩියාවකිනි. මේ සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ සිදු කළ අධ්‍යයනයන්ගෙන් පසු ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (US Geological Survey) පවසන්නේ මෙවැන්නකි.
“සතුන්ගේ හැසිරීම්වල වෙනස්වීම් භූමිකම්පා පිළිබඳ අනාවැකි කීම සඳහා නිශ්චිතවම භාවිත කළ නොහැක. භූමිකම්පාවලට පෙර සතුන් අසාමාන්‍ය ලෙස හැසිරුණු අවස්ථා වාර්තා වී තිබුණද, යම් නිශ්චිත හැසිරීමක් සහ භූමිකම්පාවක් ඇති වීම අතර නැවත නැවතත් තහවුරු කළ හැකි විද්‍යාත්මක සබඳතාවක් ගොඩනැගීමට මෙතෙක් හැකි වී නැත. සතුන් විවිධ හේතු නිසා තම හැසිරීම් රටා වෙනස් කරන අතර, භූමිකම්පාවකදී මිලියන සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත්වන බැවින්, ඒ අතර සිටින කිහිප දෙනෙකුගේ සුරතල් සතුන් අහම්බයකින් මෙන් එම ව්‍යසනයට පෙර අසාමාන්‍ය ලෙස හැසිරීමට ඉඩ තිබේ.”
එලෙසම, 2004 වසරේ ඉන්දියන් සාගරයේ ඇති වූ මහා සුනාමියෙන් සතුන්ට දිවි ගළවාගැනීමට කිසියම් සුවිශේෂී ‘හයවන ඉන්ද්‍රියයක්’ (Sixth Sense) උදවු වූ බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ විද්‍යාඥයින් පිළිගන්නේ නැත. සුනාමි රළ පහර ගොඩබිමට ඒමට පෙර, සතුන් උස් බිම්වල ඇති වනාන්තර දෙසට පලා යන ආකාරය දුටු බවත්, මියගිය සතුන්ගේ සිරුරු හමුවූයේ ඉතා අඩුවෙන් බවත් එකල බොහෝ දෙනා වාර්තා කළහ. නමුත් විද්‍යාඥයන් පවසන්නේ මේ පිළිබඳව නිශ්චිත දත්ත ඉතා අල්ප බවත්, බොහෝ සතුන් බේරී ඇත්තේ ඔවුන් දක්ෂ පිහිනුම්කරුවන් වීම හෝ ගස් මතට ඉක්මනින් නැගීමේ හැකියාව තිබීම වැනි සරල හේතු නිසා විය හැකි බවත්ය.
එසේ වුවද, Liz von Muggenthaler වැනි පර්යේෂකයින් විශ්වාස කරන්නේ, කුණාටු සහ භූමිකම්පා මගින් නිර්මාණය වන ‘අවධ්වනි’ (Infrasonic) ශබ්ද තරංග ග්‍රහණය කර ගැනීමට සතුන්ට හැකි බවයි. එමගින් අනතුර පැමිණීමට පෙර ආරක්ෂිත ස්ථාන කරා පලා යාමට ඔවුන්ට අමතර කාලයක් ලැඛෙන බව ඇය පවසයි. සතුන් එවැනි සංඥා, අනතුරක් සමග සම්බන්ධ කර ගැනීමට ඉගෙන ගැනීම තර්කානුකූල බව ඇයගේ මතයයි.
‘සතුන්ට අද්භූත බලයයන්’ (Super powers) ඇති බව පැවසීමේදී අප ප්‍රවේශම් විය යුතු බව University of Georgia හි පරිසර විද්‍යාඥයෙකු වන Whit Gibbons පවසයි.
“සතුන් මිනිසුන්ව පරදවන කතාවලට මම සැමවිටම ප්‍රිය කරමි. නමුත් සැබවින්ම සතුන්ට ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට උපකාරී වන හැකියාවන්ට වඩා එහා ගිය කිසිදු විශේෂ බලයක් ඇතැයි මම නොසිතමි.” යනු විද්‍යාඥ ගිබන්ස්ගේ අදහසයි.
ඔහු තවදුරටත් මෙසේ විග්රහ කරයි.
“සුනාමියෙන් බේරීමට රට අභ්‍යන්තරයට දිවීම ගැන සලකා බැලීමේදී, මුවෙකු හෝ ෆ්ලෙමින්ගෝ පක්ෂියෙකු වැනි ඕනෑම වේගවත් සතෙකු එසේ කරනු ඇතැයි මම සිතමි. මන්ද ඔවුන්ගේ ස්වභාවික නිවහන වන වනාන්තර පිහිටා ඇත්තේ වෙරළෙන් ඈතට වන්නට බැවිනි. භූමිකම්පාවක මුල් කම්පනයන් වැනි ඇතැම් ස්වභාවික සංඥා, මිනිසාට පෙර බොහෝ සතුන්ට හඳුනාගත හැකි බව මම සැක නොකරමි. මෙයින් අදහස් කරන්නේ අපට වඩා කලින් ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව ඔවුන්ට ලැබෙන බවයි. මෙයින් සතෙකුට ආරක්ෂාව පතා පලා යාමට පෙළඹවීමක් මිස වෙනත් මග පෙන්වීමක් ලබා නොදෙයි. බොහෝ සතුන්ට ආරක්ෂිතම ස්ථානය වනාන්තරයයි, එබැවින් ඔවුන් වෙරළ තීරයෙන් පලා යන විට ගොඩබිම දෙසට ගමන් කරයි. එයින් අදහස් කරන්නේ ඔවුන් වනාන්තරයට පමණක් නොව උස් බිම්වලටද ළඟා වන බවයි. මෙය සම්පූර්ණයෙන්ම ස්වාභාවික ක්‍රියාවලියක් මිස කිසිසේත්ම අද්භූත දෙයක් නොවේ.”
හයවන ඉන්ද්රිය සහ අසාමාන්‍ය ශ්‍රවණ පරාසය
මෙම කරුණු සලකා බැලීමේදී, සතුන්ට විපත් හඳුනාගැනීමට උපකාරී වන ‘හයවන ඉන්ද්‍රියයක්’ ඇතැයි යන මතය විද්‍යාඥයින් පූර්ණ ලෙස පිළිගන්නා බවක් නොපෙනේ. විද්‍යාඥයින්ගේ මතය වන්නේ, සතුන් තම ඉන්ද්රියයන් ඉතා කාර්යක්ෂමව භාවිත කිරීම තුළින් මෙම සුවිශේෂී ප්‍රතිචාර දක්වන බවයි. මිනිසුන්ට වඩා බෙහෙවින් තියුණු ලෙස පරිසරයේ වෙනස්කම් ග්‍රහණය කර ගැනීමේ ශක්තිය සතුන්ට පවතී. මෙම හැකියාව කෙරෙහි බලපාන වඩාත්ම තීරණාත්මක ඉන්ද්‍රියයක් වන්නේ ශ්රවණයයි. එය සිදුවන්නේ කෙසේද?

ශ්‍රවණ පරාසය (Hearing Range)
මිනිසුන්ට ඇසෙන්නේ හර්ට්ස් විස්සේ (20Hz) සිට හර්ට්ස් විසිදහස (20,000HZ හෙවත් 20kHz) දක්වා පරාසයක පවතින ශබ්ද පමණි. නමුත් මිනිසාට ඇසෙන ශබ්ද පරාසයට වඩා පුළුල් පරාසයක ශබ්ද ග්‍රහණය කර ගැනීමට සතුන්ට හැකියාව ඇත. සතුන්ගේ මෙම ශ්‍රවණ හැකියාව මිනිස් පරාසයේ සීමාවන් ඉක්මවා විහිදී තිබීම නිසා, සතුන්ට ‘හයවන ඉන්ද්‍රියයක්’ ඇතැයි යන ජනප්‍රිය මතය සමාජගත වී ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
මෙය ප්‍රධාන කොටස් දෙකකට ඛෙදිය හැකිය.

අවධ්වනි (Infrasound)
හර්ට්ස් 20 ට වඩා අඩු ශබ්ද තරංග මෙම පරාසයට අයත් වේ. මේවා මිනිස් කනට ඇසෙන්නේ නැත. නමුත් අලි ඇතුන් සහ තල්මසුන් වැනි සතුන්ට මෙම තරංග සැතපුම් ගණනාවක සිට වුවද හඳුනාගත හැකිය. භූමිකම්පා සහ සුනාමි රළ ඇතිවීමට පෙර මෙවැනි අවධ්වනි තරංග නිකුත් වේ.
අතිධ්වනි (Ultrasound)
හර්ට්ස් 20,000 ට වඩා වැඩි ශබ්ද තරංග මෙයට අයත් වේ. බල්ලන්, වවුලන් සහ ඩොල්ෆින් සතුන්ට මෙම ඉහළ සංඛ්‍යාත සහිත ශබ්ද ඉතා හොඳින් ඇසේ.

සතුන්ගේ අනාවැකි ගොඩබිම හා ජලයේදී භාවිතය
ගොඩබිමදී
භූමිකම්පාවක් පිළිබඳව සලකා බලමු. ඒවා ආරම්භ වන්නේ පොළොව මතුපිටට බොහෝ ගැඹුරින් පවතින භූ තැටි (Tectonic plates) චලනය වීමත් සමගයි. මෙම ක්‍රියාවලිය ආරම්භ වන නිශ්චිත මොහොතක් ඇති අතර, එම ස්ථානයේ සිට පොළොව මතුපිටට සෘජු රේඛාවක් ඇන්දහොත්, පොළොව මතුපිට එම රේඛාව අවසන් වන ස්ථානය අභිකේන්ද්රය (Epicenter) ලෙස හැඳින්වේ.භූමිකම්පාවකදී පොළොව මතුපිටට යටින් භූ කම්පන තරංග (Seismic waves) ගමන් කරන අතර, ඒවා මිනිසුන්ට සංවේදී නොවේ. කෙසේ වෙතත්, මෙම තරංග මගින් අවධ්වනි (Infrasonic sound) හෙවත් හර්ට්ස් 20 ට වඩා අඩු සංඛ්‍යාතයක් සහිත ශබ්ද නිකුත් කරයි. එවිටම, යම් අසාමාන්‍ය දෙයක් සිදුවන බව බල්ලන්ට දැනෙන බැවින් ඔවුන් අමුතු ලෙස හැසිරෙන්නට පටන් ගනී. බල්ලන්ට මිනිසුන් අසලට දුව ගොස්, “භූමිකම්පාවක් එනවා, අපි මේ ප්‍රදේශයෙන් ඉවත් වෙමු” යැයි පැවසීමේ හැකියාවක් නැත. ඔවුන් කරන්නේ යම් අසාමාන්‍ය දෙයක් (කම්පන තරංග) සංවේදනය කර ගැනීම පමණි. එම ශබ්දය හෝ කම්පනය එන්නේ කොහෙන්දැයි යන්න පිළිබඳව අවබෝධයක් ඔවුන්ට නොමැති නිසා, ඔවුන් කරන්නේ එම කම්පනය තවදුරටත් නොදැනෙන තෙක් එම ප්‍රදේශයෙන් පලා යාමයි. අලි ඇතුන් සහ තවත් ඇතැම් සතුන්ද වනාන්තරයේදී මෙවැනිම හැසිරීම් රටාවන් පෙන්නුම් කරති.
ජලයේදී
මෙම විපත් හඳුනාගැනීමේ හැකියාවන් ගොඩබිමට පමණක් සීමා නොවේ. ස්වාභාවික විපතක් සිදුවන අවස්ථාවලදී ජලජ සතුන්ද මෙවැනිම හැසිරීම් පෙන්නුම් කරයි. ජලජ සතුන් ස්වභාවයෙන්ම ජලස්ථීතික පීඩනය (Hydrostatic pressure) වැනි තත්ත්වයන් කෙරෙහි දැඩි සංවේදීතාවක් දක්වයි. එබැවින් සුළි කුණාටුවක් හෝ චණ්ඩ මාරුතයක් ඇති වන විට වායු පීඩනය සහ ජලස්ථීතික පීඩනය පහත වැටෙන අතර, එයත් සමග ජලයට යටින් සිටින ජීවීන් අමුතු ලෙස හැසිරීමට පටන් ගනී. මෙම වෙනස්වීම්වලට හුරුපුරුදු නැති ජලජ සතුන්, යම් අසාමාන්‍ය දෙයක් සිදුවන බව ඉක්මනින් වටහා ගන්නා අතර, එම වෙනස්වීම් සමග පැමිණිය හැකි ඕනෑම අනතුරකින් බේරීම සඳහා ඔවුන්ගේ ආරක්ෂක ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරයි.
සහජ බුද්ධිය සහ විද්‍යාව අතර සබැඳියාව
සොබාදහම යනු විසඳා නොමැති අබිරහස් රැසක එකතුවකි. මිනිසා තාක්ෂණය ඔස්සේ ලෝකය ජය ගැනීමට උත්සාහ කළද, සතුන් තවමත් අපට නොපෙනෙන සහ නොඇසෙන ‘රහස් භාෂාවකින්’ සොබාදහම සමග ගනුදෙනු කරති. සතුන් සතු මෙම අපූර්ව හැකියාවන් ‘අද්භූත බලයක්’ ලෙස හැඳින්වීමට මිනිසුන් පෙළඹුණද, එහි සැබෑ පදනම විද්‍යාත්මක සාධක මත ගොඩනැඟී ඇත. සතුන් සොබාදහමේ සියුම් ස්පන්දනයන්, වායු පීඩන වෙනස්වීම්, පෘථීවියේ චුම්බක ක්ෂේත්‍ර වෙනස්වීම් සහ අවධ්වනි තරංග සමග සෘජුව බැඳී සිටිති. මෙය ඔවුන්ගේ පැවැත්ම සඳහා පරිණාමයෙන් උරුම වූ සූක්ෂ්ම සංවේදීතාවන්ගේ එකතුවකි.
සතුන්ගේ අසාමාන්‍ය හැසිරීම් සෑම විටම විපත්තියක පෙරනිමිති ලෙස සැලකිය නොහැකි වුවද, ඒවා පිළිබඳව විමසිලිමත් වීමෙන් අපට වැදගත් ඉඟි ලබාගත හැකි බව අතීත අත්දැකීම් පෙන්වා දෙයි.
අවසානයේදී අප වටහාගත යුත්තේ, සොබාදහමේ ‘රහස් පණිවිඩ’ කියවීමට නම් තාක්ෂණයට පමණක් නොව, අප අවට වසන අනෙකුත් ජීවීන්ගේ සහජ බුද්ධියට සහ හැසිරීම්වලටද යම් අවධානයක් ලබාදිය යුතු බවයි. විද්‍යාත්මක දත්ත සහ සතුන් ලබා දෙන මෙම ස්වභාවික සංඥා අතර මනා ගැලපීමක් ඇති කර ගැනීම, අනාගත මහා ව්‍යසනයකදී ජීවිතයත් මරණයත් අතර තීරණාත්මක සාධකය බවට පත්වනු ඇත. ස්වභාවධර්මයේ මෙම ‘ජීව විද්‍යාත්මක සංවේදක’ දෙස විවෘත මනසකින් බැලීම දියුණු මිනිසා සතු වගකීමකි.