
වර්තමානයේ ලොව පුරා අලෙවි වන ආහාර අතිරේක (Dietary Supplements) අතරින් ඔමේගා-3 සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. හදවත රකින ‘මැජික් පෙත්තක්’ ලෙස බොහෝ දෙනා මෙයට ඇලුම් කළද, නවතම විද්‍යාත්මක අධ්‍යයනයන් පෙන්වා දෙන්නේ මෙහි යථාර්ථය අප සිතනවාට වඩා සංකීර්ණ බවයි. මෙම ලිපිය මගින් ඔමේගා-3 පිළිබඳ පාරිභෝගිකයා දැනගත යුතු සැබෑ විද්‍යාත්මක පදනම කෙසේදැයි විමසා බලමු.

තෙල් බිඳුවක විද්‍යාත්මක රහස
අපේ සිරුරට අත්‍යවශ්‍යම නමුත්, සිරුර තුළ නිපදවා ගත නොහැකි සුවිශේෂී මේද අම්ල විශේෂයක් ලෙස ඔමේගා-3 හැඳින්විය හැකියි. මෙහි ‘ඔමේගා’ යන්න ග්‍රීක හෝඩියේ අවසාන අකුරෙන් බිඳී ආවක් වන අතර, එය මෙම මේද අම්ලයේ අණුක ව්‍යුහය හඳුන්වන විද්‍යාත්මක සංකේතයයි. මෙම සුවදායී මේදය සොයා අප යා යුතු හොඳම තැන නිල්වන් සාගරයයි. විශේෂයෙන්ම මසුන්ගේ සිරුරේ මෙම ඔමේගා-3 බහුලව අඩංගු වේ.
මෙහිදී අප සැලකිලිමත් විය යුතු තවත් කරුණක් තිබේ. ඒ, අප සාමාන්‍යයෙන් භාවිත කරන බීජ තෙල්වල (Seed oils) බහුලව ඇත්තේ ‘ඔමේගා-6’ මේද අම්ලය බවයි. නූතන ආහාර රටාව තුළ ඔමේගා-6 අධික ලෙස ශරීරගත වන බැවින්, සැබෑ සෞඛ්‍ය සම්පන්න බව උදෙසා අපේ අවධානය වැඩිපුර යොමු විය යුත්තේ මේ දුර්ලභ ඔමේගා-3 වෙතයි.
අයිස් කඳු අතර සිරවී තිබූ Inuit මේද රහස
ඔමේගා-3 පිළිබඳ ලෝක අවධානය යොමුවන්නේ මීට දශක පහකට පෙර, එනම් 1970 දශකයේ මුල් භාගයේදීය. එවක වෛද්‍ය විද්‍යාවේ ප්‍රබල මතය වූයේ ‘මේදය යනු හදවතේ සතුරා’ යන්නයි. එහෙත් ඩෙන්මාර්ක ජාතික පර්යේෂකයන් දෙදෙනෙකු වූ Hans Olaf Bang සහ Jorn Dyerberg ග්‍රීන්ලන්තයේ අයිස් කඳු අතර වෙසෙන Inuit වැසියන්ගේ සෞඛ්‍ය රටාව නිරීක්ෂණය කිරීමත් සමඟ එම මතය අභියෝගයට ලක් විය.
Inuit වැසියන්ගේ ප්‍රධාන ආහාරය වූයේ අධික මේදයකින් යුත් තල්මස් මස්, සීල් මස් සහ සාගර මසුන්ය. බැලු බැල්මට මෙය හෘදයාබාධ වැළඳීමට ඇති කෙටිම මගක් ලෙස පෙනුනද, සැබෑ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් විය. මෙම ජන කොට්ඨාසය අතර හෘදයාබාධ වාර්තා වීම එවක බටහිර රටවලට සාපේක්ෂව අතිශය අවම මට්ටමක පැවතිණි.
මෙම ‘පෝෂණ ප්‍රහේලිකාව’ විසඳීමට පර්යේෂකයන් ඔවුන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කළහ. එහිදී හෙළි වූයේ මත්ස්‍ය තෙල්වල අඩංගු සුවිශේෂී මේද අම්ල වර්ග දෙකක් (EPA සහ DHA) ඔවුන්ගේ රුධිරයේ බහුලව ඇති බවයි. අද අප ‘ඔමේගා-3’ ලෙස හඳුන්වන්නේ එම රහසිගත මේද අම්ලයයි.
මෙම සොයාගැනීම ලෝකයට නව පණිවිඩයක් ගෙන ආවේය. සියලුම මේද, හදවතට සතුරු නොවන බවත්, මසුන්ගෙන් ලැඛෙන ‘හොඳ මේදය’ හදවතට ආරක්ෂක පවුරක් විය හැකි බවත්ය. දශක ගණනාවක් පුරා අදටත් අප ඔමේගා-3 පසුපස හඹා යන්නේ එදා ග්‍රීන්ලන්තයේ අයිස් තලාව මතින් ඇරඹුණු එම විද්‍යාත්මක විප්ලවයේ ප්‍රතිඵලයක් වශයෙනි.
නවතම පර්යේෂණ පවසන ‘අමිහිරි සත්‍යය’
දශක පහකට පෙර ග්‍රීන්ලන්තයෙන් ඇරඹුණු ඔමේගා-3 වර්ණනාව, අද වන විට ලොව ප්‍රමුඛතම වෛද්‍ය පර්යේෂකයන් අතර දැඩි මතභේදයට තුඩු දුන් මාතෘකාවක් බවට පත්ව තිබේ. කාලයත් සමඟ විද්‍යාව දියුණු වන විට, අප මෙතෙක් ‘හදවතේ ගැලවුම්කරුවා’ ලෙස අදහනු ලැබූ ඔමේගා-3 පෙති පිළිබඳ සැබෑ තත්ත්වය නව දත්ත මගින් අභියෝගයට ලක් කරමින් සිටී.
Harvard Medical School හි මහාචාර්ය JoAnn Manson ඇතුළු විද්වතුන් පිරිසක් 2018 සහ 2020 වසර අතර කාලයේදී සිදුකළ දැවැන්ත සායනික පරීක්ෂණ මගින් පෙරළිකාර අනාවරණයක් සිදු කළහ. දහස් සංඛ්‍යාත රෝගීන් යොදාගෙන කළ මෙම අධ්‍යයනයන් පෙන්වා දෙන්නේ, අප සිතා සිටි පරිදි ඔමේගා-3 පෙති මගින් හෘදයාබාධ හෝ ආඝාතය (Stroke) වැළඳීමේ අවදානම සැලකිය යුතු මට්ටමකින් අඩු නොවන බවයි. සරලවම කිවහොත්, හෘද සෞඛ්‍යය වෙනුවෙන් ඔබ ලබාගන්නා මිල අධික ඔමේගා-3 කරල් ඔබ බලාපොරොත්තු වන තරම් ‘ආරක්ෂාවක්’ ලබා නොදෙන බව දැන් විද්‍යාත්මකව තහවුරු වෙමින් පවතී. විද්‍යාඥයන් පවසන්නේ ඇතැම් දත්ත අනුව හෘදයාබාධ අවදානම සියයට 9 කින් පමණ අඩු වීමේ සුළු ප්‍රවණතාවක් පැවතිය හැකි වුවත්, එය ‘අඩු නිශ්චිත’ (Low certainty) තත්ත්වයක් බවයි. 
නමුත් මෙහි ඇති වඩාත්ම බියකරු කරුණ වන්නේ මත්ස්‍ය තෙල් අතිරේක ලබා ගැනීමත් සමඟ අලුතින් මතුව ඇති සෞඛ්‍ය තර්ජනයයි. 2021 වසරේ පළ වූ වාර්තා පෙන්වා දෙන්නේ අධික මාත්රාවලින් (දිනකට ග්‍රෑම් 3-4ක් වැනි) ඔමේගා-3 ලබා ගන්නා පුද්ගලයන්ට AFib හෙවත් හෘද ස්පන්දනය අක්‍රමවත් වීමේ රෝගී තත්ත්වය ඇතිවීමේ අවදානම 25% න් පමණ වැඩි වන බවයි. මෙය කෙටි කාලීන මාරාන්තික නොවුණත්, දිගුකාලීනව හදවත අකර්මණ්‍ය වීමට හෝ ආඝාතයට මග පාදන්නකි.
මේ නිසා වර්තමාන වෛද්‍ය නිර්දේශය වන්නේ සෞඛ්‍ය සම්පන්න හදවතක් සඳහා පෙති වර්ග මත යැපෙනවාට වඩා, සැබෑ මත්ස්‍ය ආහාර වේලකට හුරු වීමයි. එහිදී හදවතට අවශ්‍ය පෝෂණය වඩාත් ආරක්ෂිතව සහ ස්වාභාවිකව සිරුරට උරා ගැනේ.
ඔමේගා-3 සිදුකරන අභ්‍යන්තර මෙහෙයුම
ඔමේගා-3 පෙති පිළිබඳ පර්යේෂණ ප්‍රතිඵල මතභේදාත්මක වුවද, මෙම මේද අම්ල සිරුර තුළ ඉටුකරන ජීව විද්‍යාත්මක මෙහෙය සුළුපටු නොවේ. විද්‍යාත්මකව මෙය ‘බහු අසංතෘප්ත මේද අම්ලයක්’ (Polyunsaturated Fatty Acid) වන අතර, හදවත සහ රුධිර වාහිනී පද්ධතිය නිරෝගීව තැබීමට එය මූලික ක්‍රම කිහිපයකින් දායක වන බව විශ්වාස කෙරේ.
- රුධිරයේ තෙල් පාලනය: රුධිරයේ ඇති අහිතකර මේදයක් වන ට්‍රයිග්ලිසරයිඩ් (Triglycerides) මට්ටම අඩු කිරීමට ඔමේගා-3 සතු හැකියාව විද්‍යාත්මකව පිළිගැනේ. එමගින් රුධිරවාහිනී බිත්තිවල මේද ස්ථර තැන්පත් වීම පාලනය කර
- ප්‍රතිදාහක ගුණය (Anti-inflammatory effect) : හෘදයාබාධ ඇතිවීමට ප්‍රධාන හේතුවක් වන රුධිර වාහිනී අභ්‍යන්තරයේ ඇතිවන ප්‍රදාහයන් (Inflammation)සමනය කිරීමට මෙම මේදය උදවු වේ.
- නම්‍යශීලී රුධිර වාහිනී: රුධිරවාහිනීවල ඇතුළු ස්ථරය (Endothelium) ශක්තිමත් කරමින්, රුධිර පීඩනය වෙනස් වන අවස්ථාවලදී රුධිර වාහිනීවලට ඊට ඔරොත්තු දීමේ නම්‍යශීලී බව ලබා දෙයි.
- කැටි ගැසීම වැළැක්වීම: රුධිර පට්ටිකා එකට ඇලීම අඩු කිරීම හරහා, හෘදයාබාධවලට මුල් වන රුධිර කැටි ගැසීමේ (Blood clots) අවදානම අවම කරයි.
එසේ නම් පරස්පරය කොතැනද?
එහෙත් මෙතරම් ගුණාත්මක විද්‍යාත්මක පදනමක් තිබියදීත්, ඔමේගා-3 අතිරේක පෙති අප සිතූ තරම් ප්රතිඵලදායී නොවන බව නවතම පර්යේෂණ පෙන්වා දෙන්නේ ඇයි? මෙහිදී පැන නගින සැබෑ ගැටලුව වන්නේ ‘ස්වාභාවික පෝෂණය’ සහ ‘කෘතිම අතිරේක’ අතර පවතින පරතරයයි.
තවත් පැහැදිලි කළහොත්, සොබාදහම මගින් ආහාරයක් ලෙස ලබාදෙන පෝෂණ ක්‍රියාවලියක්, හුදෙක් ‘පෙත්තක්’ තුළට හිර කර කෘතිමව ලබා ගැනීමට උත්සාහ කිරීමේදී අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී යා හැකිය. එපමණක් නොව, වෛද්‍ය උපදෙස් රහිතව ලබා ගන්නා අධික මාත්‍රාවන් නිසා අනපේක්ෂිත අතුරු ආබාධ මතු වීමේ අවදානමක්ද පවතී.
එබැවින්, “ඔමේගා-3 සිරුරට අත්‍යවශ්‍ය පෝෂකයක් වුවද, පෙති ආකාරයෙන් ගිලීමෙන් පමණක් හදවත ආරක්ෂා කරගත නොහැකි” බව වටහා ගැනීම නුවණට හුරුය. හදවතේ සෞඛ්‍යය රඳා පවතින්නේ මැජික් පෙත්තක් මත නොව, සමබර ආහාර වේලක් සහිත යහපත් ජීවන රටාවක් මතය.
වෙළඳපොළ මායාව සහ විද්‍යාත්මක යථාර්ථය
අද වන විට උතුරු ඇමරිකානු වෙළඳපොළ තුළ පමණක් විවිධ වර්ගයේ Dietary Supplements ලක්ෂයකට අධික ප්‍රමාණයක් පවතී. ශරීරයේ විෂ හරණය කරන බව පවසන Detox පෙතිවල සිට ප්‍රතිශක්තිය වර්ධනය කරන බව පවසන විටමින් වර්ග දක්වා මේවා විහිදී යයි. නමුත් මේ බොහොමයක් නිෂ්පාදන සැබෑ විද්‍යාත්මක පදනමකින් තොර බවත්, ඒවා හුදෙක් පාරිභෝගිකයාගේ පෝෂණ අනියත බිය (Nutritional Anxiety) මත යැපෙන ව්‍යාපාර බවත් විද්‍යාත්මක විශ්ලේෂණ මගින් පෙන්වා දෙයි.
බොහෝවිට මෙම නිෂ්පාදන වෙළඳපොළට එවීමට පෙර ඒවායේ කාර්යක්ෂමතාව පිළිබඳ විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කිරීම අනිවාර්යය නොවන බැවින්, පාරිභෝගිකයා මේ පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් විය යුතුය.
ඔමේගා-3 මට්ටම දැනගැනීමට නිවැරදිම මග
ඔබේ සිරුරේ ඔමේගා-3 මට්ටම විද්‍යාත්මකව දැනගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ Omega-3 Indexරුධිර පරීක්ෂණයයි. මෙය රතු රුධිරෙෙසෙල පටලවල ඇති EPA සහ DHA අනුපාතය මැන බලන අතර, එය පසුගිය මාස 3-4 ක කාලයක ඔබේ සාමාන්‍ය ඔමේගා අගය පිළිබිඹු කරයි.
ඔබේ පරීක්ෂණ වාර්තාවේ අගය සියයට 8 -12 ත් අතර පවතී නම්, ඔබ ලබාගන්නා ඔමේගා-3 ප්‍රමාණය ප්‍රමාණවත් බවත් හෘද රෝග අවදානම අවම බවත් ඉන් කියැවේ. එම අගය සියයට 4 ට වඩා අඩු නම් පමණක් අතිරේකයක් ලබා ගැනීම පිළිබඳව සලකා බැලීම විද්‍යාත්මකව සාධාරණ වේ.


