ශ්‍රී ලංකාවේ වෙසෙන එච්.අයි.වී ආසාදිත සියලූම පුද්ගලයින් සඳහා නොමිලේ ප්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තයන්ට අනුව ශ්‍රී ලංකාව තුළ එච්.අයි.වී ආසාදිතයන් 2436 දෙනෙකු පමණ සිටී. එහෙත් එච්.අයි.වී ආසාදිතව ඇතත් ඒ පිළිබඳ වාර්තා වී නැති පිරිසක්ද සිටිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ කරුණු සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාව තුළ එච්.අයි.වී සහ ඒඩ්ස් රෝග පැතිර යාම වළක්වා ඒවා මර්දන කිරීමට අවශ්‍ය විධිමත් ක්‍රමවේදයක් සැකසීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් ලැබී ඇත. එච්.අයි.වී ආසාදිතයන්ට නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ඊට අනුව ක්‍රියාත්මක වැඩපිළිවෙළේ එක් අංගයකි.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එච්.අයි.වී සඳහා ප්‍රතිකාර කිරීමට රට පුරා ප්‍රතිකාර සායන මධ්‍යස්ථාන 30 ක්ද ජංගම සායන 22 ක්ද ස්ථාපිත කොට ඇත.
එච්.අයි.වී සහ ඒඩ්ස් ආසාදිතයන් පිළිබඳව 2015 වසර තුළ නිකුත් කර ඇති දත්තයන්ට අනුව ලොව පුරා සිටින එච්.අයි.වී ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 36.7 කි. ඒඩ්ස් වැළඳීම නිසා මියගොස් ඇති සංඛ්‍යාව මිලියන 1.1 කි. 2015 වසරේදී පමණක් මිලියන 2.7 කට එච්.අයි.වී ආසාදනය වී ඇති බව හෙළිදරව් වී ඇත.

Share this Post