ඉන්දියාවෙන් ප්‍රථම වරට සොයාගත් B.1.617 කොරෝනාවෛරස ප්‍රභේදය පහසුවෙන් හා ඉක්මණින් හඳුනාගැනීමට සඳහා ඔන්ටේරියෝව මහා පරිමාණ ක්‍රමවේදයක් මෙතෙක් සකස් කර නොමැති බව ඔන්ටේරියෝ මහජන සෞඛ්‍ය අංශය (Public Health Ontario- PHO) පවසා සිටියි. මේ වන විට B.1.617 වෛරස ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් 45 දෙනෙකු ඔන්ටේරියෝවෙන් වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් 37 දෙනෙකු ජාත්‍යන්තර සංචාරවලට ඍජුවම සම්බන්ධ බව තහවුරු කරගෙන ඇත. ඉතුරු 8 දෙනාට මෙම වෛරස් ප්‍ර‍භේදය ආසාදනය වූ ආකාරය ගැන පරීක්ෂණ සිදුකරමින් පවතී.

මේ පිළිබඳව අදහස් දක්වන ඔන්ටේරියෝ මහජන සෞඛ්‍ය අංශය (Public Health Ontario- PHO)පවසන්නේ, ජානමය අනුපිළිවෙළ හරහා නැගී එන නව කොරෝනාවෛරස ප්‍රභේද හඳුනාගැනීම සඳහා අවශ්‍ය නිරීක්ෂණ ක්‍රමවේද (PCR මත පදනම් වූ) මේ වන විට ඔන්ටේරියෝව තුළ නොකඩවා සිදු කරමින් පවතින නමුත් B.1.617 ඉන්දියන් ප්‍රභේදය කඩිනම්ව හා පහසුවෙන් හඳුනාගැනීම සඳහා PCR මත පදනම් වූ ක්‍රමවේදයක් තවමත් ඔන්ටේරියෝව තුළ සංවර්ධනය කොට නොමැති බවයි. මේ නිසා PCR පරීක්ෂණ මගින් ධනාත්මක බව තහවුරු වන කොවිඩ්-19 රෝගීන්ගේ අහඹු නියැදි  ප්‍රමාණයක් ජානමය අනුක්‍රමණ ක්‍රියාවලියකට යොමු කිරීම සඳහා විනිපෙග්හි National Microbiology lab වෙත යොමු කිරීම සිදුකරන බව ඔවුහු පවසති. කොවිඩ්-19 ධනාත්මක වන සියලු රෝගීන්ගේ නියැඳි මෙලෙස පරීක්ෂා කළ නොහැකි නිසා මේ මගින් B.1.617 ආසාදිතයින් පිළිබඳ සාර්ථක සංඛ්‍යාත්මක තොරතුරක් ලබාගත නොහැකි බව ඔවුන් පෙන්වා දේ. එසේම ජානමය අනුක්‍රමණ ක්‍රියාවලිය සංකීර්ණ ක්‍රියාවලියක් නිසා පර්යේෂණාගාරයට යොමු කර ප්‍රතිඵල තහවුරු කර ගැනීමට කාලයක් ගත වීම මත B.1.617 වැළඳුණු සංඛ්‍යාව දිනපතා නිවේදනය කිරීම අපහසුව ඇති බවද ඔවුන් පවසයි.

එක්සත් ජනපදයේ රෝග පාලනය සඳහා වූ මධ්‍යස්ථානය (CDC) සහ කැනඩාවේ මහජන සෞඛ්‍ය ඒජන්සිය (Public Health Agency of Canada) ඉන්දියන් කොරෝනාවෛරස ප්‍රභේදයේ පැතිරීම  අවධානය යොමු කළ යුතු තත්ත්වයක් ලෙස සලකයි. ඒ සමගම  E484Q විකෘතිය සහිත B.1.617 ප්‍රභේදය වැළඳුණු ආසාදිතයන් තවමත් බහුලව වාර්තා නොවන නිසා මානව සෞඛ්‍යයට එහි ඇති බලපෑම පිළිබඳව තවදුරටත් පර්යේෂණ කළ යුතු බවද ඔවුන් පවසා සිටියි. එම වෛරස ප්‍රභේදය ගෝලීය අවධානයට විශේෂයෙන් ලක් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයද පසුගිය සතියේදී නිවේදනය කර තිබුණි.  එසේම, එක්සත් ජනපදයද මේ වන විට B.1.617 ප්‍රභේදය සැලකිලිමත් විය යුතු ප්‍රභේදයක් ලෙස නම් කොට ආසාදිතයින් අනාවරණය කරගැනීම සඳහා PCR නියැඳි පරීක්ෂා කිරීමත් සම්පූර්ණ ජානමය අනුක්‍රමණ ක්‍රමවේදය අනුගමනය කිරීමත් මහා පරිමාණයෙන් සිදුකරනු ලබයි. මෙම ප්‍රභේදය පිළිබඳව ඉන්දියාවේ සිදුකර ඇති පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ B.1.617 එම රට තුළ තරුණ පිරිස අතර වඩාත් දරුණු ලෙස සංසරණය වෙමින් පවතින බවයි. මේ වන විට ඉන්දියා තුළ හැරුණු විට B.1.617 ප්‍රභේදය ආසාදිතයින්  ලෝකයේ රටවල් 40 කට අධික සංඛ්‍යාවකින් වාර්තා වී ඇත.

මේ වන විට B.1.617 ප්‍රභේදය සහ තවත් ආශ්‍රිත වෛරස ප්‍රභේද දෙකක් ඉන්දියාව විනාශ කරමින් පැතිර යමින් පවතී. එරට රෝහල් හා සෞඛ්‍ය පද්ධතිය දරුණු ලෙස අඩාල කරමින් දිනපතා ලක්ෂ සංඛ්‍යාත ලෙසින් රෝගීන් වාර්තා වන අතර දිනකට 3000 සිට 4000 දක්වා කොවිඩ්-19 ආශ්‍රිත මරණ වාර්තා වෙමින් පවතී. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් පසුගිය අප්‍රේල් 22 වැනි දා සිට දින 30 ක් ගත වන තුරු ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් පැමිණෙන සියලුම ඍජු ගුවන් ගමන් තහනම් කිරීමට කැනඩාව පියවර ගනු ලැබුණි.

ඉන්දියාවෙන් වාර්තා වූ B.1.617 ප්‍රභේදයේ පවතින E484Q විකෘතිය B.1.351 (South African) සහ P.1 (Brazilian) කොරෝනාවෛරස ප්‍රභේදවලට බෙහෙවින් සමානකම් පෙන්වන බව පර්යේෂකයින් පවසයි. ඉන්දියානු B.1.617 ප්‍රභේදය E484Q සහ L452R යන විකෘතිතා දෙකම සහිත ද්විත්ව ප්‍රභේදයකි. E484Q විකෘතිතාව පිළිබඳ සොයාගෙන ඇති තොරතුරුවලට අනුව සත්ව සෛලවල spike protein වෙනස් කිරීමට එයට හැකියාවක් ඇත. එම නිසා එය ඉතාමත් ඉක්මනින් මිනිස්  සෛල තුළට ඇතුළු වී ඉක්මනින් පැතිර යාම සිදුකරයි. එසේම ඉන්දියානු වෛරස ප්‍රභේදයේ හැඩය මීට පෙර හමුවූ කොවිඩ්-19 ප්‍රභේදවලට වඩා වෙනස් බවක් පෙන්වන නිසා මිනිස් ශරීර තුළ ඊට එරෙහිව ප්‍රතිශක්තිකරණය නිපදවීම සිදු නොකරන බවද පර්යේෂකයින් පවසයි.

Share this Post