සීනි, ලුණු සහ මේදය අධිකව ඇති ආහාරවල බදු වැඩි කළ යුතුව ඇතැයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසා ඇත. පැණි බීමවල අඩංගු කළ යුතු සීනි ප්‍රමාණය කොපමණද යන්න පිළිබඳව මේ වන විට චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් එය අගෝස්තු 01 දා සිට ක්‍රියාත්මක කෙරෙන බවත් ඇමතිවරයා පවසයි.

බෝ නොවෙන රෝග පාලනය කොට ඒ නිසා ජනතාවට සිදුවන හානිය අවම කිරීමේ අදහසින් මෙවැනි ක්‍රියාමාර්ග රැසක්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී. මේ වන විට ශ්‍රී ලංකාවේ රෝහල්වලට ඇතුළත් වන රෝගීන් අතරින් සියයට 68 ක්ම බෝ නොවන රෝග නිසා මිය යන බව සඳහන් වේ. මෙවැනි වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමෙන් 2020 වන විට එය සියයට 10 කින් අඩු කිරීමටත් 2035 වන විට සියයට 20 කින් අඩු කිරීමටත් අපේක්ෂා කෙරේ.

මෙම වැඩ පිළිවෙළ යටතේ අනාගත පරපුරෙහි සෞඛ්‍ය පිළිබඳව දැන් සිටම උනන්දුවක් දැක්වීමට කටයුතු යොදා ඇති අතර ඒ යටතේ කුඩා දරුවන්ගේ උසට සරිලන මහතක් සහිතව ශරීර ස්කන්ධ දර්ශකය පවත්වාගෙන යෑම කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත. මේ වෙනුවෙන් සෑම පාසලකම බර හා උස මැනීමේ යන්ත්‍ර සවි කිරීමටෙ අමාත්‍යාංශය අදහස් කර ඇත.

මීට අමතරව මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව විශේෂයෙන් කටයුතු කිරීම සඳහා සායන රැසක් ඇරඹීමටද කටයුතු යොදා ඇත. ඒ යටතේ

රුධිරයේ සීනි ප්‍රමාණය, කොලෙස්ටරෝල්, මේදය, රුධිර පීඩනය ආදියත් ඒවා නිසා හටගත හැකි දියවැඩියාව, හදවත් රෝග ආදි රෝගත් පරීක්ෂා කරගත හැකි ‘සුවදිවි මධ්‍යස්ථාන’ 842 ක් රට පුරා ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇත.

මේ වන විටත් රට පුරා ‘සුවනාරි’ සායන 906 ක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒවායින් කාන්තාවන්ගේ රෝගී තත්ත්වයන්,

විශේෂයෙන්ම පියයුරු හා ගැබ්ගෙල පිළිකා කල් ඇතිව හඳුනාගත හැකි වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කර ඇත.

 

Share this Post