වසරේ මහා ක්‍රීඩා සැණකෙලිය 2016 ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඊයේ (5) සවස බ්‍රසීලයේදී ආරම්භ විය. මේ වන විට එම උළෙලේ පළමු තරග ජයග්‍රහණය වාර්තා කොට ඇති ඇති අතර එහි රන් පදක්කම ඇමරිකාවට හිමි විය.  වායු රයිෆල් අංශයෙන් හිමිකරගත් මේ පදක්කම ඇමරිකාවේ වර්ජිනියා ට්‍රේසර් විසින් ලබාගෙන ඇත.

මෙවර ඔලිම්පික් අගෝස්තු 21 වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර  ගිම්හාන ඔලිම්පික් උළෙලට සමගාමීව පවත්වන පැරා ඔලිම්පික් තරග සැප්තැම්බර් 7 දා සිට 18 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

පසුගිය වසර මැද භාගයේ පමණ සිට Zika වෛරස නිසා බොහෝ පුවත් මැවූ බ්‍රසීලය බොහෝ දෙනෙකු තුළ ත්‍රාසයක් ඇති කළ රටක් විය. මේ වන විටත් Zika භීතිය මග හැරී නොතිබුණත් ඔලිම්පික්වලට එය බාධාවක් නොවන බවත් සහභාගිවන සියල්ලන්ගේම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සහතික වන බවත් සංවිධායකයින් තරයේ පවසා තිබුණි. කෙසේ වුවත් ඊයේ පැවති ඔලිම්පික් සමාරම්භක උළෙලේ අසිරිය දුටු කා තුළත් එම රෝ බිය මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි වන්නන්ට ගැටලුවක් වී නොමැති බව හැඟී යන්නට ඇත.

කෙසේ වෙතත් බ්‍රසීලය  මේ වන විට දේශපාලනමය මෙන්ම ආර්ථික වශයෙන් දැඩි අර්බුද රාශියකට මුහුණ පා ඇති අතර එවැනි දැවෙන ප්‍රශ්න රාශියක් මැද අධික වියදමක් යන ඔලිම්පික් බ්‍රසීලයට ගෙන ඒම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ ඇත්තේ දැඩි විරෝධයකි. ඊයේ්‍ සමාරම්භක උළෙල එරට උප ජනාධිපති විසින් ඇරඹි බව නිවේදනය කරද්දී පැතිර ගිය ‘හූ’ හඬ ඊට දැක්වූ ප්‍රතිචාරයක් බව බොහෝ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

බ්‍රසීල ජාතික කොඩිය ඔසවා ආරම්භ වුණු 2016 ඔලිම්පික් ක්‍රීඩා උළෙල  බ්‍රසීලියානුවන්ගේ අනන්‍යතාව පමණක් නොව සමස්ත දකුණු ඇමරිකානුවන්ගේම සංස්කෘතික ලක්ෂණයන් විදහා දැක්වූ සමාරම්භක උළෙලක් විය.  මෙවර ඔලිම්පික්හි ඔලිම්පික් පහන දැල්වීමේ ගෞරවනීය අවස්ථාව ලබා දී තිබුණේ බ්‍රසීලයෙන් බිහිවූ අති දක්ෂ පාපන්දු ක්‍රීඩක පේලේ වෙතයි. නමුත් 75 හැවිරිදි මේ සුපිරි ක්‍රීඩකයා මේ වන විට අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන නිසා ඔලිම්පික් පහන දැල්වීමේ අවස්ථාවට සහභාගි නොවන බව කමිටුව වෙත දැනුම් දී තිබුණි. මේ නිසා ඊයේ ඔලිම්පික් පහන දැල්වීමේ අවස්ථාව හිමි වූයේ සුප්‍රකට මැරතන් සූරයකු වූ බ්‍රසීලයේ Vanderlei de Lima හට හිමි විය.

වසර 17 ක් පුරා ඔලිම්පික් තරග නියෝජනය කරන ශ්‍රී ලංකාව මෙවරද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු ඊට සහභාගි කරවා ඇත.

පසුගිය දිනවල ඔලිම්පික් ගැන ලැබුණ ආරංචි අතර රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පැනවීමට සූදානම් වූ තහනම පිළිබඳව බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වී ඇත. මෙවර උළෙල සඳහා සහභාගි වන රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම් උත්තේජක ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලද බවට රුසියානු රාජ්‍යයට චෝදනා එල්ල වීමත් සමග එරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වය පිළිබඳ ගැටලූ මතු විය. මෙහිදී ජගත් තහනම් උත්තේජක නිවාරණ ආයතනය පැවසුවේ හෙළිදරව් වූ තොරතුරුවලට අනුව සියලුම රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රියෝ ඔලිම්පික් උළෙල තහනම් කළ යුතු බවයි. එහෙත් මෙහිදී සමස්ත රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් කිරීමට විරුද්ධත්වය පළ කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කටයුතු කර තිබුණි. ඔවුන් එහිදී එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ යෝග්‍යතාව පරීක්ෂා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබුණි. ඒ අනුව එයින් සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය ගණනක් මේ වන විට රියෝ ඔලිම්පික්හි තරග වැදීමට සූදානම්ව සිටී.

එහෙත් මේ වන විට ලැබෙන ආරංචි මාර්ගවලය අනුව පැරා ඔලිම්පික් තරග සඳහා රුසියානු කණ්ඩායමේ සහභාගිත්වය අවිනිශ්චිත බව පැවසේ.

මෙවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලෙහි විශේෂ තොරතුරු කීපයක් මෙසේයි.

  • දකුණු ඇමරිකානු රටක් ගිම්හාන ඔලිම්පික් හා පැරා ගිම්හාන ඔලිම්පික් සත්කාරත්වය උසුලන ප්‍රථම අවස්ථාව මෙයයි.
  • බ්‍රසීලයේ රියෝ දි ජනයිරෝ නගරය ඔලිම්පික් පැවැත්වීම සඳහා සුදුසුකම් ලද බව නිවේදනය කෙරුණේ 2009 දීය. එහිදී ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්, ඇමරිකාවේ චිකාගෝ සහ ජපානයේ ටෝකියෝද 2016 ඔලිම්පික් එම නගර වෙත ලබාගැනීම සඳහා ඉදිරිපත් වී තිබුණි.
  • නූතන ඔලිම්පික් තරගාවලිය ආරම්භ වීමත් සමග පවත්වා ඇති සමස්ත තරග සංඛ්‍යාව 27 කි. ඉන් 16 ක් යුරෝපයේත් 6 ක් උතුරු ඇමරිකාවේත් 3 ක් ආසියාවේත් 2 ක් ඕස්ටේ්‍රලියාවේත් පවත්වා ඇත.
  • මෙවර ඔලිම්පික් උළෙල සඳහා රටවල් 206 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10500 ක් සහභාගි වේ.
  • දින 17 ක කාලයක් පුරා ක්‍රීඩා අංශ 28 ක් මෙවර පැවැත්වේ. මෙවර සිට ඔලිම්පික් තරගවලට අලූත්ම ක්‍රීඩා දෙකක්ද ඇතුළත් කොට ඇති අතර ඒ ගොල්ෆ් සහ සත් සාමාජික රගර් යන අංශ දෙකයි. ගොල්ෆ් සහ රගර් යන ක්‍රීඩාව අතීතයේදී ඔලිම්පික් තරගාවලිය තුළ තිබී ඇති අතර ගොල්ෆ් නැවතත් ඇතුළත් කොට ඇත්තේ වසර 112 කට පසු වන අතර රගර් වසර 92 කට පසු නැවතත් ඔලිම්පික්වලට එක් වී ඇත.
  • තරග කාණ්ඩ 42 ක් යටතේ ඉසව් 306 මෙවර පැවැත්වේ. එම ඉසව් අතර පිරිමි ඉසව් 161 ක්ද කාන්තා ඉසව් 136 ක්ද මිශ්‍ර තරග ඉසව් 9 ක්ද ඇතුළත් වී ඇත.
  • මෙවර ඔලිම්පික් ධජය යටතේ සරණාගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 ත් 10 ත් අතර සංඛ්‍යාවක් තරග වැදීමට නියමිත අතර තමන්ගේ මවු රටින් පළා ගිය ක්‍රීඩක ක්‍රීඩිකා කණ්ඩායමක් ඔලිම්පික් උළෙලක තරග වදින ප්‍රථම අවස්ථාව මෙයයි.
  • 2016 අප්‍රේල 21 වනදා චාරිත්‍රානුකූල ඔලිම්පික් ගිනිසිළුව ඔලිම්පික් උපන් බිම වන ග්‍රීසියේ ඔලිම්පියාවෙන් බ්‍රසීලය දක්වා පැමිණීමට ගමන් ආරම්භ කර ඇත. ඔලිම්පියාවෙන් ග්‍රීසියේ අතැන්ස් දක්වා රැගෙන ආ ගිනිසිළුව ඇතැන්ස් කිට්ටුව ඇති Eloenas  සරණාගත කඳවුර හරහා යන අවස්ථාවේදී එය අත දැරීමේ වාසනාව එහි පදිංචිකරුවකුටද හිමිවීම විශේෂත්වයකි.
  • 2016 මැයි 03 වන දා ගිනිසිළුව බ්‍රසීලය වෙත ගෙන ආ අතර Brasillia නගරයෙන් එහි ගමන ආරම්භ විය. මේ වන විට ගිනිසිළුව බ්‍රසීලයේ ප්‍රධාන ජනපද 26 ක් පුරා නගර 300 කට අධික සංඛ්‍යාවක් ආවරණය කරමින් පැමිණ රියෝ දි ජනයිරෝහි Maracanã Stadium දල්වා ඇත.
  • 2016 ඔලිම්පික් සමාරම්භක සහ සමාප්ත උළෙලවල් රියෝ නගරයේ Maracanã Stadium හි පවත්වනු ඇත. මෙතෙක් ලොව පාපන්දු තරගයක් නැරඹීම සඳහා පැමිණි විශාලතම ක්‍රීඩා ලෝලීන් සංඛ්‍යාව පිළිබඳ ලෝක වාර්තාව හිමිකරගෙන ඇත්තේ මේ ක්‍රීඩාංගනයයි. 1950 පැවති එම ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගය නැරඹීම සඳහා මේ ක්‍රීඩාංගනයට අවම වශයෙන් 173,000 පමණ පිරිසක් සහභාගි වී ඇති බව සඳහන් වේ. 2014 වසරේ ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගය පැවැත්වූයේද Maracanã ක්‍රීඩාංගනයේයි. මෙම ක්‍රීඩාංගනයේ වර්තමාන ක්‍රීඩාලෝලී ධාරිතාව 78,000 ක් පමණ වෙතැයි සඳහන් වේ.
  • තරගාවලියේ තරග ඉසව් රියෝ නගරයේ ප්‍රධාන පළාත් 4 ක පැවැත්වීමට නියමිතව ඇත. Copacabana – ලෝක ප්‍රසිද්ධ සුන්දර වෙරළ තීරයක් මේ පළාතේ පිහිටා ඇත. මෙවර බීච් වොලිබෝල් මෙහි පැවැත්වේ. Barra – මෙවර ඔලිම්පික් ගම්මානය සහ ප්‍රධාන ක්‍රීඩාගාරය මෙහි පිහිටා ඇත. Deodoro – මෙවර ජල ක්‍රීඩා, බයිසිකල් ධාවන තරග, අශ්වාරෝහක තරග මෙහි පැවැත්වේ. Maracanã – සෙසු සියලූම තරග මේ ප්‍රධාන ක්‍රීඩාංගනය තුළ ඇති විශාල ක්‍රීඩාගාර දෙකක පැවැත්වෙනු ඇත.
  • ඔලිම්පික් ගම්මානයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා එක් දිනකදී කෑම වේල් 60,000 ක් සෑදෙන බව ඔලිම්පික් සංවිධායකයෝ සඳහන් කරති. මෙහිදී බ්‍රසීලියානුවන්ට ආවේණික ආහාර වේල් ලබාදීමට මූලිකත්වය දී ඇති අතර එ් ඒ රටවලින් ආ අයට තම කැමැත්ත පරිදීද කෑම තෝරාගත හැකි ලෙස කටයුතු සූදානම් කර ඇත.
  • ස්වේච්ඡා සේවකයින් 70,000 ක්ද ආරක්ෂ අංශ සාමාජිකයින් 85,000 ක්ද මෙවර ඔලිම්පික් උළෙල වෙනුවෙන් සිය සේවය ලබා දෙයි.

සටහන – චමරි අබේසිංහ

සේයා රූ අන්තර්ජාලයෙන්

12345

Share this Post