ශ‍්‍රී ලංකාව තුළ මගී ප‍්‍රවාහනයේ යොදවා ඇති පෞද්ගලික බස් රථවලින් සියයට 85 කට වැඩි ප‍්‍රමාණයක් ඞීසල් වෙනුවට භූමිතෙල් භාවිත කරන බව එ් පිළිබඳව කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.
පසුගිය කාලයේදී ඔටෝ ඞීසල් මිල අධික ලෙස වැඩිවීම නිසා ලාභදායී ඉන්ධනයක් ලෙස බස් හිමියන් විසින් බස් රථ සඳහා ඞීසල් වෙනුවට මෙසේ භූමිතෙල් භාවිත කිරීමට පටන් ගෙන ඇත. මේ වන විට ඔටෝ ඞීසල් ලීටරයක් රුපියල් 123 ක්ද භූමිතෙල් ලීටරයක් රුපියල් 70 ක්ද වේ. බස් රථ ධාවනයට භූමිතෙල් යොදා ගැනීමෙන් දුර සේවා බස් රථයක් සාමාන්‍ය ආදායමට අමතරව දිනකට රුපියල් 5000 ක පමණත් කෙටි දුර බස් රථයක් දිනකට රුපියල් 2500 ක පමණත් අමතර ලාභයක් උපයා ගනු ලැබේ.
මේ ආකාරයට මගී ප‍්‍රවාහන පෞද්ගලික බස් රථ භූමිතෙල් යොදා ධාවනය කිරීමෙන් බස් රථය තුළ අධික ලෙස භූමිතෙල් ගඳ වහනය වීමත් එමගින් මගීන් විවිධ ස්වසන රෝගවලට ගොදුරු වීමත් සිදුවන අතර පරිසරයට සිදුවන හානියද අතිවිශාල වේ.
මෙලෙස පෞද්ගලික මගී බස්රථ භූමිතෙල් යොදාගෙන ධාවනය කිරීම පිළිබඳව මෝටර්රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවට නිතර පැමිණිලි ලැබෙන බවත් එසේ භූමිතෙල් පාවිච්චි කිරීම තහනම් බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

Share this Post