ජර්මනියේ බර්ලින් නගරයේ පැවති මැයි දින රැළියක් අතර තුර සිදුවූ ගැටුමකින් පොලිස් නිලධාරීන් 93 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.  එම අවස්ථාවේදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් 354 දෙනෙකු ආරක්ෂක අංශ විසින් රඳවාගෙන ඇති බව එරට ආරක්ෂක ප්‍රධානියකු මාධ්‍ය වෙත සඳහන් කොට ඇත.

 

ලෝක කම්කරු දිනය යෙදුණු මැයි පළමුවැනිදා බර්ලින් නගරය තුළ සාම්ප්‍රදායික මැයි රැළි 20 ක් පමණ සාමකාමී අන්දමින් විවිධ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් සිදුව ඇත. ඒ අතර 8,000 ක පමණ පිරිසක් සහිතව වාමාංශික කණ්ඩායම් එක්ව සංවිධානය කළ Neukoelln හා Kreuzberg යන ප්‍රදේශ හරහා ගමන් කළ පාගමන අතරතුරේදී මෙම කළහකාරී තත්ත්වය මතුව ඇත. මෙම ප්‍රදේශවල පසුගිය දශක කිහිපය පුරා මෙවැනි ප්‍රචණ්ඩ තත්ත්වයන් දක්නට ලැබෙන බව සඳහන් වේ.  මේ අවස්ථාවේදී විරෝධතාකරුවන් විසින් පොලිස් නිලධාරීන් වෙත බෝතල්, ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති අතර කුණු කසල බඳුන් හා මාර්ගවල ඇති ලීවලින් සෑදූ පුවරු ගිනිතබමින් කළහ කර ඇත.

 

කළහකාරී වූවන් අත්අඩංගුවට ගෙන තත්ත්වය පාලනය කිරීමට පොලිසිය පියවර ගෙන ඇති අතර තුවාල ලැබූ පොලිස් නිලධාරීන්ගෙන් ඇතැමෙකු රෝහල්ගත කිරීමට සිදුව ඇත.

මේ දිනවල ජර්මනියේ පවතින කොරෝනාවෛරස අවධානම නිසා රටේ බොහෝ පළාත්වල රාත්‍රි කාලයේදී ඇඳිරි නීතිය පනවා ඇති නමුත් දේශපාලන විරෝධතා හා ආගමික රැස්වීම් ඇඳිරි නීතියෙන් නිදහස් කොට ඇත.

Share this Post