COVID-19 ආසාදිතයින් අනුපාතය ඉහළ යාමත් සමග කැනඩාවේ පළාත් රැසක් මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගෙන ඇත.

මැනිටෝබා පළාතෙහි කොවිඩ්-19 රෝගීන් බහුලව වාර්තා වන කලාප දෙකක පාසල් භෞතික අධ්‍යාපන කටයුතු සඳහා වසා දමා එම සිසුන්ට online learning පමණක් ලබා දීමට තීරණය කොට ඇත. ඒ අනුව Winnipeg සහ Brandon යන කලාපවල  ළදරු පාසල් දරුවන්ගේ සිට 12 වන ශ්‍රේණිය දක්වා සිසුන්ට අවම වශයෙන් මැයි 30 දක්වා අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලැබීමට සිදුවන බව මැනිටෝබා පළාත් අධ්‍යාපන අමාත්‍ය  Cliff Cullen සහ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරී Dr. Brent Roussin විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. එසේ වුවත් මෙම කලාපවල වෙසෙන අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත දිවා කාලයේ දරුවන් රැඳවීම සඳහා විධිවිධාන යෙදීමේ අපහසුතා ඇති පුද්ගලයන්ගේ ප්‍රාථමික පාසල් දරුවන් සඳහා භෞතික අධ්‍යාපන සේවාව තවදුරටත් ක්‍රියාත්මක කෙරේ. මැනිටෝබා සෙසු කලාපවල පාසල් අමතර සීමාවන් සහිතව තවදුරටත් විවෘතව තැබෙනු ඇත. මෙම නව සීමාවන් පිළිබඳ අදහස් දැක්වූ මැනිටෝබා ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරිවරයා, පාසල් ඔස්සේ කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය ඉහළ මට්ටමකට පත් වුවහොත් එතනින් පසු සිදුවන ප්‍රජා සම්ප්‍රේෂණය කළමනාකරණය කිරීම අසීරු බව ප්‍රකාශ කර ඇත. විශේෂයෙන්ම රෝහල් පද්ධතියේ ධාරිතාව ඉක්මවා නොයෑම සඳහා අවශ්‍ය සියලු පියවර ගත යුතු බවත් ඔහු පවසයි. මැනිටෝබා පළාතේ පුද්ගල අවන්හල් භෝජන, පල්ලි සහ ඇතැම් ව්‍යාපාර ස්ථාන වසා දැමීමට පියවර ගෙන ඇති අතර සිල්ලර වෙළඳසල් ඇතුළෙහි සිටිය හැකි පුද්ගල ධාරිතාව සියයට 10 දක්වා පහත දමා ඇත.

ඇල්බර්ටා පළාතද කොවිඩ්-19 රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නව සීමාවන් පැනවීමට තීරණය කළ බව පළාත් අග්‍රාමත්‍ය ජේසන් කෙනී ප්‍රකාශ කොට ඇත. ඒ අනුව අද (09) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම අවන්හල්වල පුද්ගල භෝජන (in-person dining) සහ patios භෝජන නවතා දැමීම සිදුකෙරෙනු ඇත. ඊට අමතරව පෞද්ගලික සත්කාරක සේවා (hair salons and tattoo parlours) ව්‍යාපාර ස්ථානද වසා දැමීමට නියෝග කර ඇත. ඇල්බර්ටා පළාත විසින් පෞද්ගලික ව්‍යාපාර ස්ථාන වසා දැමීමට ගනු ලැබූ තීරණයට විරෝධය පළ කරමින් ඊයේ (08) දින නගරයේ විරෝධතාවක් පවත්වා ඇත.

ක්විබෙක් පළාත් රජය සඳුදා සිට නැගෙනහිර මොන්ට්‍රියෙල්හි Estrie කලාපයේ සෞඛ්‍ය නීති රීති දැඩි කිරීමට පියවර ගෙන ඇත. මේ වන විට ක්විබෙක් ප්‍රධාන නගර කලාපයේ රෝගීන් වාර්තා වීමත් රෝහල්ගත වන රෝගීන් සංඛ්‍යාවත් යම් තරමකට අඩුව ඇති බව පෙන්නුම් කෙරෙන නිසා එම කලාපයට පනවා ඇති emergency lockdown සීමාව සහ  ඇඳිරි නීති කාලය  ලිහිල් කිරීමට පියවර ගන්නා බව පැවසේ. 

ඔන්ටේරියෝව මැයි 20 වන දින දක්වා emergency lockdown සීමාවන් තුළ පවතින අතර සේවා ස්ථාන හරහා කොවිඩ් පැතිර යෑම වැළැක්වීමට විශේෂ පියවර ගෙන ඇත. ඒ අනුව යම් සේවා ස්ථානයක රෝගීන් 5 කට වැඩියෙන් වාර්තා වුවහොත් එම සේවා ස්ථානයේ අදාළ අංශය හෝ මුළු සේවා ස්ථානයම වසා දැමීමට රජය නියෝග පනවා ඇත.

කැනඩාවේ පළාත් සියල්ලම මේ වන විට ඒ ඒ පළාත්වලට අදාළ ආකාරයට යම් සීමා කිරීම් සහිතව කොවිඩ්-19 රෝගය පැතිර යෑම වැළැක්වීමට පියවර ගනිමින් සිටී.

කොරෝනාවෛරස පැතිර යෑම සම්බන්ධව ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇති කැනඩාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරි Dr. Theresa Tam පවසා ඇත්තේ,  රටේ බොහෝ ප්‍රදේශවල කොවිඩ්-19 ආසාදන අනුපාතය ඉහළ මට්ටමක පවතින බවයි. මේ වන විට රට පුරා ක්‍රියාත්මක වන කොවිඩ්-19 වැළැක්වීමේ එන්නත් වැඩසටහනට අනුව යම් පුද්ගලයෙකු එන්නත ලබාගෙන ඇතත් නැතත් සියලුම ජනතාව සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බව ඇය එම පණිවිඩයෙහි සඳහන් කොට ඇත.

තම ආදරණීයයන් වෙත කොවිඩ්-19 පැතිර යෑම වැළැක්වීම සඳහා සියලුමදෙනා සෞඛ්‍ය නීති අනුගමනය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු බව අද දිනට යෙදුණු මව්වරුන්ගේ දිනය වෙනුවෙන් පණිවුඩ නිකුත් කළ කැනඩාවේ සියලුම පළාත්වල අග්‍රාමාත්‍යවරු පවසා තිබුණි.

Share this Post