පළමු මාත්‍රාව ලබාදුන් අය සඳහා දෙවන මාත්‍රාව ලබා දීමට අවශ්‍ය හිඟ එන්නත් ලක්ෂ 6 ක් ලබාගැනීම සඳහා රටවල් කිහිපයක් සමග ශ්‍රී ලංකාව සාකච්ඡා ආරම්භ කර ඇතැයි සඳහන් වේ.

ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත මේ වන විට ශ්‍රී ලංකාවේ ලක්ෂ 7 ක පමණ ජනගහනයකට ලබා දී ඇති අතර වර්තමානයේ ඉන්දියාවේ පවතින තත්ත්වයත් සමග එම එන්නත වෙනත් රටවලට යැවීම ඉන්දියාව විසින් නවතා දමා ඇත. එම නිසා පළමු මාත්‍රාව දුන් පිරිසට අවශ්‍ය එන්නත් මාත්‍රා ලබාගැනීම සඳහා ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයකින් රජය ඉල්ලුම් කර ඇත.

මේ අතර රුසියාවෙන් ලංකාවට ලැබුණු ස්පුට්නික් එන්නත් 15,000  ලබන සතියේ සිට අවුරුදු 60 ට අඩු පුද්ගලයින්ට ලබාදීමට අපේක්ෂා කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසා ඇත.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් 30-40 ත් අතර තරුණ පිරිසට පෙර අවුරුදු 60 ඉක්මවූ අයට දෙවන මාත්‍රාව ලබාදිය යුතුව ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යා අනුක වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ පවසා සිටී. වයස වැඩි පිරිස තුළ ප්‍රතිශක්තිකරණය ගොඩ නැගීම දුර්වල වීම ඊට හේතුව ලෙස ඇය පෙන්වා දේ.

ශ්‍රී ලංකාව තුළ පළමුවරට ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා දීම ජනවාරි 29 වෙනිදා ආරම්භ කර ඇති අතර එහි දෙවැනි මාත්‍රාව ලබාදීම පසුගිය සතියේ ආරම්භ විය. මේ වන විට එම දෙවන මාත්‍රාව පුද්ගලයන් 90,000 කට පමණ ලබා දී ඇති බව පැවසේ.

Share this Post