පැරණි රෝම අධිරාජ්‍යය පිළිබඳ තොරතුරු රැසක් හෙළිදරව් කෙරෙන ඓතිහාසික ස්ථාන අතර කොලොසියම් පරීශ්‍රයට හිමිවන්නේ ප්‍රධාන තැනකි. වසර 2000 කට වැඩි ඉතිහාසයක් සහිත මෙම ගොඩනැගිල්ල සඳහා නවීන අධි තාක්ෂණ අංගයන් සහිත පාදමක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ඉතාලි රජය මේ වනවිට කටයුතු කරමින් සිටී.

මේ පිළිබඳව අදහස් දක්වන එරට සංස්කෘතික අමාත්‍යවරයා පවසා සිටින්නේ, මෙය සැබවින්ම අසාමාන්‍ය ව්‍යාපෘතියක් විය හැකි බවයි. අතීතයේ ග්ලැඩියේටර්වරු මරණය දක්වා සටන් කළ ආකාරය පිළිබඳව වඩාත් ගැඹුරු හා පැහැදිලි වැටහීමක් කොලොසියම නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට ලබාදීම මෙම මෙම අලුත් තට්ටුව නිර්මාණය කිරීමේ අරමුණ බව අමාත්‍යවරයා පවසයි.

දැනට කොලොසියම නැරඹීමට පැමිණෙන්නන් සඳහා වෙන් කර ඇති කලාපවලට කොලොසියමේ නිරීක්ෂණය කළ යුතු වැදගත්ම ස්ථාන බොහොමයක් මග හැරී යාම එහි යන සංචාරකයින්ට සිදුවන බරපතල පාඩුවකි. එහෙත් එම ස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම ආරක්ෂා කළ යුතු නිසා සංචාරකයින්ට ඔබ මොබ නිදහසේ ඇවිද ගොස් නැරඹීමට ඉඩ සැලසීමද කළ නොහැක්කකි. මෙම කරුණු සියල්ල සැලකිල්ලට ගෙන මෙවැනි නැරඹුම් පාදමක් ඉදිකිරීම මගින් 19 වන ශතවර්ෂයේ අග භාගය දක්වා අමුත්තන් භාවිත කළ ආකාරයටම කොලොසියමේ මධ්‍යයට ගොස් එය වඩාත් හොඳ නිරීක්ෂණය කිරීමට නරඹන්නන්ට හැකියාව ලැබෙන බව මෙම ඉදිකිරීමට මූලික වන රාජ්‍ය අංශවල අදහසයි.

තට්ටු කිහිපයකින් නිමා කොට ඇති කොලොසියමේ මණ්ඩප පිටියට පහත කොටසෙහි ඇති කාමර සහ පටු ආලින්ද ඉහළ සිට නරඹන්නන්ට දැක බලා ගැනීමට මෙහි අවසන් මහල ඉවත් කිරීමට පුරාවිද්‍යාඥයින් කටයුතු කර ඇතත් එයින්ද වඩා හොඳ ප්‍රවේශයක් ලැබී නොමැත.

විශාල සංචාරක ආකර්ෂණයක් සහිත වූ ඉතාලියේ කොලොසියම නැරඹීම සඳහා 2019 වසරේදී මිලියන 7.6 ක සංචාරකයින් පිරිසක් පැමිණ ඇත. කොරෝනාවෛරසය නිසා ඉතාලියේ සංචාරක ස්ථාන රැසක් වසා දැමීමට එරට රජය පියවර ගත් අතර කොලොසියමද ඒ අතරට අයත් විය.

මීට වසර 2000 කට පෙර ගලින් නිමවන ලද මේ මහා පීඨිකාව රෝම අධිරාජ්‍යයේ විශාලතම ගෝලාකාර නැරඹුම් පීඨිකාව විය. 70,000 කට පමණ ආසන පනවා තිබූ මෙහි සිට පහතින් ඇති පිඨිකාවේ ග්ලැඩියේටර්වරුන් ඔවුනොවුන් සමගත් සිංහයන්, කොටින් වැනි සතුන් සමගත් සටන් කරමින් තම ශක්තිය විදහා දැක්වූ ආකාරය හොඳින් නැරඹීමට අවස්ථාව ලැබී ඇත. ඇතැම් අවස්ථාවල මුහුදු සටන්වලටද මෙම පීඨිකාව යොදාගත්අ බව සඳහන්ත වන අතර ඒ සඳහා අවශ්‍ය ජලය පුරවාගත හැකි ආකාරයේ තාක්ෂණයක් මෙහි තිබී ඇත.

මෙම නව ව්‍යාපෘතියේ කටයුතු ඉතාලියේ ප්‍රකට ඉංජිනේරු සමාගමක් වන Milan Ingegneria ට ලබා දී ඇති අතර යුරෝ මිලියන 18.5 (C$27.4 million) ක් ලෙස එය ඇස්තමේන්තුගත කොට ඇත. එම සමාගම මෙම ව්‍යාපෘතිය 2023 දී නිම කිරීමට අපේක්ෂා කරයි.

Share this Post