ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 රෝගීන් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවේ (අප්‍රේල් 29) එම රෝගීන් අලුත් අවුරුදු කොවිඩ් පොකුරට අයත් බව සඳහන් කොට ඇත.

මීට පෙර අවස්ථාවල වාර්තා වූ කොවිඩ් රෝගීන් විවිධ වූ නම්වලින් යුක්ත කොවිඩ් පොකුරුවලට අයත් විය. කවර පොකුරකට අයත් වුවත් මෙවර ශ්‍රී ලංකාවේ කොරෝනාවෛරස ආසාදිතයින් වාර්තා වීම සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බව ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ නිකුත් කරන වාර්තා සැලකිල්ලට ගැනීමේදී පෙනී යයි.

ශ්‍රී ලංකාව තුළ ගත වූ දින 8 තුළදී කොරෝනා ආසාදිතයින් 8434 ක් වාර්තා වී ඇති අතර අප්‍රේල්  27, 28, 29 යන දින තුන අඛණ්ඩව රෝගීන් දහස ඉක්මවා වාර්තා කොට ඇත. ඒ අතරින් අප්‍රේල් 29 වන දින රෝගීන් 1531 ක් වාර්තා වූ අතර එය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ලෙස සඳහන් වේ. මෙම තත්ත්වය දිගටම පැවතුනහොත් එම රෝගී ධාරිතාව ශ්‍රී ලංකාවට දරාගත නොහැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දේ.

‍ලොව පුරා පැතිර ඇති මෙම මාරාන්තික වෛරස වසංගතය පිළිබ‍ඳ සැලකිල්ල යොමු නොකළ බොහෝ දෙනෙකු අවුරුදු සැමරීම සඳහා සාප්පු සවාරිවල නිරත වූ අයුරු මාධ්‍ය මගින් දක්නට ලැබුණි. එමෙන්ම  නුවරඑළිය වැනි ප්‍රදේශ කරා විනෝද චාරිකා ගිය පිරිස කෙතෙක්ද යත් එම ප්‍රදේශවල ලොකු කුඩා සියලුම නිවාඩු නිකේතන, සංචාරක ස්ථාන දේශීය සංචාරකයින්ගේ පිරී ඉතිරී යෑම පිළිබඳ පුවත්වලින්ම පෙනී යයි. මෙම බහුතරයක් දෙනා අවම සෞඛ්‍ය නීතිරීතිවත් අනුගමනය කර නොතිබුණු බව විශේෂයෙන්ම සඳහන් කළ යුත්තකි.

 

Share this Post