ලෝකයේ බොහෝ රටවල් COVID-19 එන්නත් ලබා ගැනීමේ අභියෝගයට මුහුණ පා ඇති අවස්ථාවක කැනඩාව AstraZeneca එන්නත් තොගයක් රඳවාගෙන සිටීම සදාචාරාත්මක ක්‍රියාවක් නොවන බව මෙරට සෞඛ්‍ය විශේෂඥයන් පවසා සිටියි.

කැනඩාවේ AstraZeneca එන්නත ලබාගත් පුද්ගලයන් 60,000 කින් එක් අයෙකුට දුර්ලභ නමුත් තරමක් බරපතල තත්ත්වයේ රුධිර කැටි ගැසීම් වාර්තා වීමත් සමග ප්‍රතිශක්තිකරණය පිළිබඳ ජාතික උපදේශක කමිටුව විසින් එම එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාදීම සලකා බලන ලෙස නිර්දේශ කරන ලදී. එසේම AstraZeneca එන්නත් සැපයුම් ලබා ගැනීමේ අපහසුවද ඒ සමගම මතු වූ අතර Pfizer-BioNTech සහ Moderna එන්නත් සැපයුම් නොකඩවා කැනඩාව වෙත ළඟා වෙමින් පැවතුණි. මේ තත්ත්වයන් සියල්ල සලකා බැලූ කැනඩාවේ පළාත් කිහිපයක් ඇස්ට්‍රාසෙනකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා දීම වහාම අත්හිටුවීමට පියවර ගනු ලැබුණි.

AstraZeneca එන්නත පිළිබඳව කැනඩාව තුළ මෙවැනි වාතාවරණයක් ගොඩනැගෙද්දී පසුගිය බ්‍රහස්පතින්දා (13) කැනඩාවට මෙම එන්නතෙහි මාත්‍රා 655,000 ක් ලැබී තිබුණි. ගෝලීය එන්නත් බෙදාගැනීමේ සන්ධානය වන COVAX හරහා මෙම එන්නත් තොගය ලැබුණු බව ෆෙඩරල් රජය ඒ සම්බන්ධයෙන්  නිවේදනයක්  නිකුත් කර පවසා ඇත. COVAX වැඩසටහන අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලට එන්නත ලබා දීම සඳහා නිර්මාණය වූ සන්ධානයක් වන අතර මෙම වැඩසටහන හරහා එන්නත් ලබාගන්නා එකම G7 රට කැනඩාවයි. ඒ පිළිබඳව විවිධ විවේචන අගමැති ජස්ටින් ටෘඩෝ වෙත පසුගිය කාලයේදී එල්ල වී තිබුණි. නමුත් තවමත් කැනඩාවට එම සන්ධානය හරහා එන්නත් ලැබෙයි.  

බොහෝ පළාත් මෙම එන්නත අත්හිටුවා ඇති විටෙක  COVAX හරහා කැනඩාවට ලැබුණු AstraZeneca මාත්‍රා මෙහි ගබඩා කර තබාගැනීම ගැන කැනඩාවේ සෞඛ්‍ය විශේෂඥයින්ගේ විවිධ අදහස් පළ කරන අතර එන්නත් ලබා දිය යුතු ප්‍රදේශ පිළිබඳව හෝ ලබා දිය යුතු පුද්ගලයින් පිළිබඳව ෆෙඩරල් රජයේ නිසි තක්සේරුවක් නොමැතිව COVAX හරහා කැනඩාවට ළඟා වූ පළමු එන්නත් තොගය මෙය බව ඔවුහු පවසති.

මැයි 08 වන දින වන විට කැනඩාව තුළ AstraZeneca එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 2.16 කි. මේ අය දෙවන මාත්‍රාව ලෙස AstraZeneca එන්නතම ලබා ගන්නවාද, එසේ නොමැති නම් mRNA තාක්ෂණය සහිත Pfizer-BioNTech හෝ Moderna එන්නත් ලබාගන්නවාද යන්න තීරණය කිරීමට මේ එන්නත ලබාගත් පුද්ගලයින්ට දැන් අවස්ථාව පැමිණ තිබේ. එන්නත් මිශ්‍ර කිරීම පිළිබඳව එක්සත් රාජධානියේ කළ පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ එසේ කිරීම අනතුරුදායක නොවන බවයි. නමුත් එන්නත් මිශ්‍ර කිරීමෙන් ලැබෙන ඵලදායිතාව පිළිබඳව මෙතෙක් තහවුරු කොට නැත. ඒ පිළිබඳ වාර්තාව ජූනි මාසය තුළ නිකුත් වීමට නියමිත බව පර්යේෂකයින් පවසයි.

ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය Patty Hajdu,  AstraZeneca එන්නත් පිළිබඳව පවසන්නේ, මෙම එන්නත් දැනට ගබඩා කර ඇත්තේ යම් හෙයකින් එන්නත ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස මේවා ලබාදීමට සිදුවිය හැකි නිසා බවයි. කෙසේ වෙතත් මෙම එන්නත් මාත්‍රා කල් ඉකුත් වී නාස්ති නොකිරීමට අධීක්ෂණය කරන බව ඇය පවසයි.

ටොරොන්ටෝහි වෛද්‍ය විශේෂඥ Dr. Irfan Dhalla, පැවසූවේ කැනඩාව වහාම මේ පිළිබඳ තීරණයක් ගත යුතු බවයි. එන්නත් නැති කම නිසා ලෝකයේ මිනිසුන් මිය යද්දී ඇස්ට්‍රාසෙනකා එන්නත් මාත්‍රා ලක්ෂ ගණනක් ශීතකරණවල තබා නොගත යුතු බව ඔහු පවසයි.

NDP පක්ෂයේ සෞඛ්‍ය විචාරක Don Davies ද කැනඩාව COVAX වෙතින් ලබාගත් AstraZeneca එන්නත් මාත්‍රා අවශ්‍ය රටවල් වෙත යැවීම සඳහා නැවත ආපසු භාර දිය යුතු බව පවසයි.

මේ ආකාරයට විවිධ එන්නත් තෝරා ගැනීමේ අවස්ථාව කැනඩාවට ලැබී ඇතත් ලොව පුරා බොහෝ ස්ථානවලට එබදු විකල්පයක් නොමැති බව හැමිල්ටන්හි St. Joseph’s Healthcare රෝහලේ බෝවන රෝග අංශයේ වෛද්‍යවරයෙකු වන Dr. Zain Chagla පවසයි. මෙය ‘ගෝලීය වසංගතයක්’ බව තනි තනිව කටයුතු කිරීමට සිතන සියලු රටවල් තේරුම් ගත යුතු බව ඔහු පෙන්වා දේ. ගෝලීය හවුල්කරුවන් ගැන සැලකිලිමත් නොවන්නේ නම් මේ උවදුර සහමුලින්ම තුරන් කිරීම අපහසු බවත් එය ප්‍රභේදයන් මතු කරමින් තව තවත් විනාශකාරී විය හැකි බවත් ඔහු පවසයි. කොවිඩ්-19 සඳහා වන එන්නත් තොගයක් භාවිතයට නොගෙන කල් ඉකුත් වීමට ඉඩ හැරීමෙන් කොවිඩ්-19  වැළඳී මිය යන පුද්ගලයන්ගේ රුධිරය අපේ අත්වල තැවරීම වැළැක්විය නොහැකි අවාසනාවක් බව ඔහු කියයි. එසේ හෙයින් කැනඩාවට ලැබුණු ඇස්ට්‍රාසෙනකා එන්නත් ප්‍රමාණය කල් ඉකුත් වී නාස්ති වී යාමට ඉඩ හරිනවා වෙනුවට කොවිඩ්-19වලින් දැඩිව පීඩාවට පත්ව සිටින ඉන්දියාව වැනි රටවලට ලබා දීමට කටයුතු කළ යුතු බව වෛද්‍ය Chagla පවසයි. වැක්සීනයක් නොලැබෙන රටකට ඇස්ට්‍රාසෙනෙකා එක මාත්‍රාවක් වුවත් ඇදහිය නොහැකි තරම් බලවත් බව ඔහු කරුණු දක්වා සිටී. ඇස්ට්‍රාසෙනකා ගැනීමෙන් දුර්ලභ වශයෙන් මතුවිය හැකි රුධිරය කැටි ගැසීමේ අවධානමට වඩා එන්නතක් නොගැනීමෙන් සිදුවන අවදානම ඉහළ බව ඔහු පවසයි.

Share this Post